|
||||||||
මැදියම් රැයෙහි සාදයට එක්වන ආගන්තුකයා කවුරුන්ද? සෙනසුරු මාරුවඋදයකාන්ත වර්ණසූරියගේ අධ්‍යක්ෂණයක් දිගු වෙහෙසකර ගුවන් ගමනකින් පසු ඔහු වසර ගණනාවකට පසු මව්බිමට පා තැබුවේය. වෙහෙසත්, ඒකාකාරි බවත් පරදවමින් මව්බිමටපැමිණි සතුට ඔහු සිත නෙත පුරා දල්වී තිබුණි. කිසල් තම අරමුණ පෙරදැරි කොට ගනිමින් ගුවන් තොටින් ගමන් ඇරැඹුවේය. එය ඔක්තෝබරයේ එක්තරා අන්ධකාර රාත්‍රියකි. නේකවිධ විදුලි බුබුවලින් වර්ණවත් වූ මඟ දිගෙහි කිසල් තමා සොයා ගත් තොරතුරු පීරමින් ඉදිරියටම ඇදුණේය. මීට කලකට ඉහතදී වූ වේදනාබර සිදුවීම් දාමය කිසල්ගේ සිත තුළ ඊයම් බරුවක් සේ ගිලී වේදනා දුන්නේය. අඳුරු අතුරු මාවතක් දිගේ පැමිණි රිය එකවර නතර වූයේ සුවිසල් මන්දිරයක් ඉදිරියේය. රතු ෆාම් ගසින් වටවූත් උස තාප්පයකින් ආරක්ෂා වූත් ඒ සුවිසල් බංගලාව මහීල් රණදේවගේය. කිසල්ගේ ගමනේ අරමුණ වූයේ ද මේ බංගලාවය. අද බංගලාවේ සැඳෑ සාදයකි. විදුලි එළි මධු සාද මැද සාදයේ අඩක් ගෙවී ගොස් හමාරය. නේකවිධ තානාන්තර දරන්නන්ට මැදි වූ මහීල් තම දියණිය අනුත්තරාගේ විවාහ ගිවිස ගැනීමේ උළෙලෙන් ඔද වැඩී සිටියේය. උළෙල තවත් වර්ණවත්වීමට හේතු සාධක තිබුණේය. මනාලයා විරාජ් විජේනායකය. විරාජ් ප්‍රබල දේශපාලනඥයකු වූ විජේනායකගේ පුත්‍රයා වූයේය. සුවිසල් බංගලාවේ දොරටුව එදා ආරාධිතයන් වෙනුවෙන් විවෘතව තිබුණේය. කිසල් ඉවෙන් මෙන් ඒ බව දැන උන්නේය. ඒ අවසරයෙන් කිසල් තමාගේ අරමුණ දෝතින් ගෙන කොරිඩෝව අතරින් නිවෙසට ගොඩ වූයේ ආරාධිතයකු පරිද්දෙනි. කොරිඩෝවෙන් ගොඩවත්ම සංගීත රාවය ක්‍රමයෙන් වේගවත් වෙමින් තිබිණි. ඒ මංගල සාදයේ එකිනෙකා සුහද කතාබස්වලය. කිසල්ට මේ කිසිවකුත් අනවශ්‍යය. ඔහුට අවශ්‍ය මහීල් හමුවීමටය. කිසල් මහීල් සොයමින් ඒමේ අත සැරිසරන්නට පටන් ගත්තේය. එක්වරම දැවැන්ත අලංකාර තරප්පු පේළියෙන් බසින මහිල් ගේ නෙතු කිසල්ගේ අපේක්ෂා පිරුණු තියුණු නෙතු සමඟ ගැටුණේය. ‘කොහොමද?’ කිසල් කතාව ඇරැඹුවේ දෑස මත දෑස දුවවමිනි. ‘කොහොමද?’ මහීල් එකවරම වික්ෂිප්තව වචන මිමිණුවේය. ‘අඳුනගන්න පුළුවන්ද?’ කිසල් නැවත නෝක්කාඩුවෙනි. මහීල් නැවතත් කිසල්ගේ දෙපා සිට හිස තෙක් පිරික්සුවේය. ‘පාටියක් වගේ’ කිසල් කතාබහ කලේ නිවි නිවී දැල්වෙන විදුලිධාරා මත නෙතු යොමු කරමිනි. මහීල් තමාගේ ආත්මයම කඩා වැටුණු සේ මුහුණ රැළි ගන්වා ගත්තේය. ‘මට ටිකක් කතා කරන්න ඕනෙ’ කිසල් සංගීත රාවයේ හඬ යටපත් කරන්නට උත්සාහ දැරුවේය. දෙදෙනාම ගෙඋයනේ ඉදිරියේ තුරු පෙළට අද්දර නැවතුණෝය. ‘ෂා ලස්සන ගෙයක්. උඹ ගොඩක් පෝසත් වෙලා. මං හිතුවෙ උඹ මීට වඩා පුදුම වේවි කියලා. මං අවතාරයක් නෙවෙයි. එදා උඹ මරන්න හදපු කිසල් . . .’ කිසල් ආවේගය මිශ්‍ර වූ සංවේදී ස්වරයකින් කියාගෙන ගියේය. කිසිවක් අදහාගත නොහැකි තැන මහීල් උන්තැන ගල් ගැසී බලා උන්නේය. උඹ හිතුවෙ මං මැරුණ කියලනේ. උඹේ කරුමෙට හරි මගේ කරුමෙට හරි මං ජීවත් වුණා. කිසල් අපේක්ෂාභංගත්වයෙන් වදන් ඇමිණුවේ වෙහෙසකර ලෙසිනි. මේ අතරතුර මහීල්ගේ ක්ෂණික අතුරුදන්වීම පිළිබඳ ම¼ගුල් ගෙදර පිරිස උන්නේ සුපරීක්ෂාකාරීවය. සේවකයකු පැමිණ දෙදෙනාගේ කතාබහට බාධා කළේ අනවසරයෙන්. ‘සර් ඇමතිතුමා ඇවිත් . . . හොයනවා . . . වෙනදාට සේවකයාට පෙරළා වදන් දෙන මහීල් නිරුත්තරව ඒ දෙස බැලුවා පමණි. ‘හරි . . . මහීල් . . . වැඩත් ඇතිනෙ. අපි පස්සෙ හිමීට හම්බ වෙමු.’ කිසල් පිටව ගියේ තර්ජනාත්මක ඇරැයුමක් මහීල්ගේ දෙකන මතට පතිත කරලමිනි. මංගල සාදය නිමා වූයේ මහීල්ගේ හිතට දෙනෝදහසක් බර එක් පැනයක් තබමිනි. රාත්‍රිය පුරාවටම මහීල් අන්ධකාර අතීිතයේ සැරිසැරුවේ අමිහිරි මතක ගොන්නක් මෙනෙහි කරමිනි. කිසල් සහ තමා එකම නැවක සහෝදරයන් ලෙස සේවය කළ ඒ සොඳුරු අතීතය වරෙක මහීල්ගේ හිතට ගෙවැදුණේය. අනතුරුව එක් දිනයකදී නැවෙහි තිබූ දියමන්ති බෑගය දෙදෙනා එක්ව හොරකම් කළ ආකාරයත්, ඊට ලොබ බැඳි තමා කිසල්ට අමානුෂික ලෙස පහර දී මුහුදට තල්ලු කළ වේදනාබර මතකයත්, ඒ දියමන්ති විකුණා තමා පොහොසත් වූ හැටිත් මහීල් චිත්‍රපටයක දර්ශන සේ මනසින් දුටුවේය. මේ සුබදායක රාත්‍රිය අමිහිරි කරලන්නට ක්ෂණයෙහි පැමිණි ආගන්තුකයා කිසල්ම නොවේදැයි මහීල් අඳුර අතරේ සොයන්නට පටන් ගත්තේය. නොනිදා දිගුª රාත්‍රිය පහන් වූයේය. කෝටිපති ව්‍යාපාරිකයා වන මහීල් මේ හිතට වද දෙන පැනයද රැගෙන පසුදා කාර්යායට ගොඩ වූයේය. හිත බරය. අවුල්ය. නෙත විඩාබරය. මහීල් නැවත කල්පනාවට වැටුණේය. දිගින් දිගටම නාද දෙන දුරකතනයේ රිසීවරය අතට ගත් මහීල් ඇමතුම ගණනකට නොගත්තේය. යර්ස් . . . මහීල් නළලත රැළි පිසිමින් කතාවකය. එකවරම ඔහුගේ ඉරියව් වෙනස් වූයේය. ඇමතුම කිසල්ගෙනි. ‘මොනවද උඹට මමත් එක්ක කතා කරන්න තියෙන්නේ’ මහීල් ඇසුවේ උස් හඬිනි. ‘හරි . . . හම්බ වෙමු . . .’ නොබලා තැබූ රිසීවරය මේසය මතට වැටුණේය. කල්පනාබරිත වූ මහීල් එකවරම කාමරයේ දොර වේගයෙන් විවෘත කොට පිටව ගියේය. දර්ශනීය මුහුදු වෙරළේ එළිමහන් කුටිය වියළි සුළඟින් පිරී තිබුණේය. පුටු දෙකෙන් එකක් හිස්ව තිබුණේ මහීල් වෙනුවෙනි. ප්‍රතිවිරුද්ධ අසුනේ කිසල් උන්නේ මුහුද දෙස බලාගත් වනමය. ‘ෂා වෙලාවට වැඩ කරන්න පුරුදු වෙලා වගෙයි’ මහීල්ගේ පැමිණීමෙන් කිසල්ගේ බලාපොරොත්තු ඉටු වූ බවක් පෙනෙයි. ‘ඉතිං . . . කොහොමද ජීවිතේ. . . උඹ නං ගොඩක් හොඳින් වගේයි. මං නං ගොඩක් දුක් වින්ඳා. උඹ මාව මුහුදට තල්ලු කරද්දී ඇඟේ ඉතිරි වුණු ඇඳුම් කෑලි දෙක විතරයි මගේ සන්තකේට තිබුණේ. මොන ආත්මෙ හරි පුංචි පිනකට මට ට්‍රෝලර් එකක් හම්බ වුණා. උං මාව තායිවානෙට එක්කං ගියා. ඊට පස්සේ ජීවිතේ ගැට ගහන්න මං ගොඩක් පටලැවුණා. හ්ම් . . . පහුගිය දේවල් වැඩක් නෑ. අපි ආයෙ හම්බ නොවී ජීවත් වෙමු. මට උඹෙන් උදව්වක් ඕන . . . ලක්ෂ පන්සීයක් . . .’ මෙතෙක් වේලා කතාව අසා උන් මහීල් එකවරම මනෝ ලොවින් පිබිදුණේය. ‘උඹට පිස්සුද . . . මං ලක්ෂ පනහක් දෙන්නං’ පනහක් . . . උඹට මං පනහද වටින්නෙ’ හරි . . . අපි සල්ලිත් එක්ක හමුවෙමු මහීල් . . . දෙදෙනාම නික්මුණේ පැන දෙකකින් හිත පුරවා ගනිමිනි. කිහිප වරක්ම කිසල්ගේ තර්ජනාත්මක ඉල්ලීම තවදුරටත් රහසක් බවට පත්කර ගැනීමට බැරි තැන මහීල් මේ සියල්ල විජේනායක ඇමතිවරයාට දන්වන්නේ උදව්වක් බලාපොරොත්තුවෙනි. විජේනායක ඇමතිතුමාගේ සුප්‍රකට පාතාල සගයා රන්ජන්ට කිසල් අතුගා දැමීමේ කොන්ත්‍රාත්තුව ලැබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසටය. මිනීමැරීම විනෝදාංශය කරගත් රංජන්ලා කිසල් සොයමින් නගර වීදි පීරන්නට පටන් ගත්තේය. සැලසුමට සූරයකු වන කිසල් මේ සියල්ල කල් තියා දැන උන්නේය. ඉන් රන්ජන්ලාගේ මෙහෙයුම අසාර්ථක වූයේ මහීල්ගේ බලාපොරොත්තු බිඳ දමමිනි. හිරු රත් පැහැ අහසේ මනමාල ගමනකය. කිසිවකුදු නොදත් අනුත්තරා තමාගේ පියාගේ කාර්යාලයෙන් නික්මුණේ නිවෙසට යාමේ බලාපොරොත්තුවෙනි. අනුත්තරා මඟ දෙපස තුරු වියල අතරින් සෙමෙන් ඉදිරියට ඇදුණාය. එකවරම ඇගේ රිය තවත් රියක ගැටුණේ ඇසිපිය හෙලන නිමේෂයෙනි. දෙදෙනාම සමථයකට පත් වී යන්නට ගියේ සුහද සිනහවකින් සංග්‍රහ කර ගනිමිනි. ඉන් පසුවදා උදා වූයේය. කාර්යාලයෙන් පිටත්වන අනුත්තරාගේ දුරකතනය සීරුවට නාද වූයේය. ඔව් . . . වාහනේ හැදුවද ආ . . . දාසය දාහක් . . . මං එන්නං . . . අනුත්තරා තමාගෙන් වූ වරදට වන්දි ගෙවන්නට ‘නිවැරැදිකරුවා’ සොයා ගියේය. ‘නිවැරැදිකරුවා’ කිසල්ය. තමාගේ පියාගෙන් සාධාරණ කප්පමක් ඉල්ලන්නා ‘නිවැරැදිකරුවා’ බව අනුත්තරා දැන උන්නේ නැත. ‘හරි තෑන්ක්ස් . . . මගේ වාහනේ ගරාජ් එකේ. මට ලිෆ්ට් එකක් දෙනවද?’ කිසල් අනුත්තරාගෙන් ඇසුවාය. ‘ඕකේ’ දෙදෙනා රියේ නැගී පටු මඟ ඔස්සේ ඉදිරියට ඇදුණෝය. මේ ගමනේදී අනුත්තරාගේ මතකය අවිධිව තිබුණේ තාත්තා විසින් බිඳ දැමූ තමා සහ නිලංකගේ ප්‍රේමය ගැනය. තාත්තාගේ පාතාලකාරයෝ අතින් පයින් පහරදී නිමා කළ ප්‍රේමය ගැන අනුත්තරා සිහින දුටුවාය. දුප්පත් නිලංක කොහේ හෝ සිට තමා සොයා එතැයි ඈ සිතුවාය. සිතිවිලි අතරේ වාහනය ඉදිරියට ඇදුණේ පටු පාර නිමා කොට දිගු මඟකට වැටෙමිනි. එකවරම අනුත්තරා තිගැස්සුණේ තමාගේ වමතට වැදුණු යකඩ බටයේ සීතලෙනි. එහා අසුනේ උන් කිසල් අත වූයේ පිස්තෝලයකි. ‘සොරි මේක තාත්තත් එක්ක තියෙන ප්‍රශ්නයක් . . .’ දෙදෙනා වාහනය නවතා කතාබහකය. බියෙන් තැතිගත් අනුත්තරා මහීල්ට දුරකතන ඇමතුමක් ලබා දුන්නාය. සුවිසල් නිවෙසම එකම සොහොනක් බවට පත් වූයේය. මහීල්ගේ දෑස පුළිඟු මෙන් දිලිසුණි. මේ කතාව ඇරැඹෙන්නේ එතැනින්. තිස්ස අබේසේකර සූරීන්ගේ කතාවක් ඇසුරින් උදයකාන්ත වර්ණසූරිය තිර පිටපත සැකසූ සෙනසුරු මාරුවෙහි කතා කොටසකි ඒ. මෙම චිත්‍රපටයේ මහීල් ලෙස රඟන්නේ ලකී ඩයස්ය. කිසල් නිරූපණය කරනු ලබන්නේ චන්න පෙරේරාය. අනුත්තරා ශේෂද්‍රිට බාර වී ඇති අතර විරාජ් ලෙස කලකට පසු බුද්ධික ජයරත්න සිනමාවට එක් වෙයි. නිමල් ඇන්තනි, ධනවර්ධන ගුරුගේ, නදීකා ගුණසේකර චරිත මවන සෙනසුරු මාරුව උදයකාන්ත වර්ණසූරියගේ අධ්‍යක්ෂණයකි. |
||||||||