|
රඟපාමු තුළින් බිහි වූ දුලානි
කුඩා කල සිටම කලා ලොව ජය ගන්නට පෙරුම් පුරන ඇය දුලානි කාංචනා පෙරේරා. ගම්පොල ප්‍රදේශයේ උපත ලද දුලානි ගම්පොල ශාන්ත ජෝෂප් විද්‍යාලය හා මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත. මේ වන විට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ඇය සරසවියේ රඟපාන්න ආසයි තුළින් රංගන වරම් හිමිකර ගෙන තිබේ. පාසල් වේදිකාවෙන් රංගන අත්පොත තබන දුලානි, සමස්ත ලංකා නර්ථන, ගායන මෙන්ම භාෂා තරඟවලදී ද ප්‍රථම ස්ථාන රැසකට හිමිකම් කීමට සමත්ව ඇත. පාසල් වේදිකාවේ ප්‍රතිනිර්මාණය වූ නරි බෑණා, ජසයා සහ ලෙන්චිනා වැනි නාට්‍යවල චරිතවලට පණ පෙවූ ඇය රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා ඉදිරිපත් කෙරෙන නාට්‍යයක ප්‍රධාන චරිතයකට සිය දායකත්වය ලබා දීමට සූදානම් වන්නීය. එසේම මේ වන විට ස්වර්ණවාහිනියේ විකාශය වන ශිවගුරුනාදන්ගේ පිණි වැස්සක්’ ටෙලි වෘත්තාන්තයෙන් ඔබ හමුවට එන දුලානි හට ලීලානන්ද ගජනායකගේ ‘සස දියණි’ ටෙලි වෘත්තාන්තයෙහි ද රංගනය සඳහා ආරාධනා ලැබී ඇත. මීට අමතරව ඇය සිය නර්ථන කුසලතා දක්වමින් දුෂ්යන්ත් වීරමන්ගේ නර්ථන ප්‍රසංගයක් සඳහා එක්වීමට නියමිතය. ලීල් ගජනායක යටතේ වේදිකා නාට්‍ය කලාව හා රංගනය පිළිබඳ වැඩිදුර හදාරමින් සිටින දුලානිගේ බලාපොරොත්තුව අනාගතයේදී කලා අංශයෙන් මෙන්ම වෘත්තීය වශයෙන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ද ඉහළ ස්ථානයක් ලබා ගැනීමයි. රංගනයේ දොරටු විවර කර දුන් සරසවිය දුලානි කෘතගුණ පූර්වකව සිහිපත් කළාය. දුලානිට කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සරසවියේ සුභපැතුම්.
|