|
මකුළු මිනිසා නැවතත් දැල් බඳී ද අමේසින් ස්පයිඩර් මෑන්හොලිවුඩ් ඉල්ලුමට සැපයුම ලබාදීමට නිර්මාණ කිරීමට ඉතාම දක්ෂයි. ඉතා වේගයෙන් ගලාගෙන යන අද ලෝකයේ හැම දෙයක්ම වෙනසක් වෙන්නේ ඉතාමත් වේගයෙන්.
හොලිවුඩයෙන් බිහි වූ ඉතාමත් කුසලතා පූර්ණ අධ්යක්ෂවරයකු වූ සෑම් රයිම් 2002 දී ස්පයිඩර් මෑන් රිදී තිරයට ගෙන ආවේ ප්‍රේක්ෂකයන්ගේ මන දොළ සපුරමින්. ස්පයිඩර් මෑන් කොමික් පොත් රසිකයින් මෙන්ම අනෙකුත් සිනමා ලෝලීනුත් එම චිත්‍රපටය වැලඳ ගත්තේ ඔවුන්ගේ සිත් සන්තානනයේ මැවී තිබුණු ස්පයිඩර් මෑන් නැතහොත් පීටර් පාකර් ගේ චරිතය ඉතාමත් තාත්ත්වික (යම් දුරකට මොකද මේ සුපිරි වීරයන්ගේ කතා නිසා) රිදී තිරයේ විද්‍යාමාන කරන්නට, හපන්කම් දක්වන්නට සෑම් රයිම් විසින් සමත් වී තිබුණ නිසා. 2004 දී ස්පයිඩර් මෑන් 2 චිත්‍රපටය තිරගත වුණේ පළමුවෙනි චිත්‍රපටයටත් වඩා ගුණාත්මක සහ නිර්මාණශීලී බවින් ඉදිරියට යමින්. ඉතින් මේ සිනමා පෞරාධිකාරය ගැන සිනමා ලොව පැහැදීමෙන් යුතුව බලාපොරොත්තු පෙරදැරි කර ගත්තේ ස්පයිඩර් මෑන්ට තවත් සිනමා නිර්මාණ තුළින් ඉදිරියට යෑමට හැකි යැයි උපකල්පනය කරමින්. නමුත් ගුරුන්ටත් අකුරු වරදින බව පසක් කරමින් 2007 තිරගත වුණු ස්පයිඩර් මෑන් 3 නම් එසේ සැමෝගේම පැහැදීමට ලක් වුණේ නැහැ. ඉතාමත් අඳුරු තේමාවක් රැගත් එහි වීරයා කවුද, දුෂ්ටයා කවුද කියාවත් හරි හැටි තේරුම් ගැනීමට ප්‍රේක්ෂකයාට ඉඩක් ලැබුණේ නැහැ. දක්ෂ සෑම් රයිම්ට වැරැදුණේ අන්න එතනයි. සුපිරි වීරයන්ගේ චිත්‍රපටවලදී කළු සුදු (ඉතාමත්ම හොඳ සහ ඉතාමත්ම නරක) චරිත ඇරෙන්නට අළු පාට චරිතවලට කොමික් පොත් රසික ප්‍රේක්ෂක ලොවේ ඉඩක් නැති බව එම චිත්‍රපටයේ අසාර්ථක වීම පෙන්වා දුන්නා.
ස්පයිඩර් මෑන්ගේ පැටිකිරිය සිනමා රසික ඔබ හොඳින් දන්නා නිසා මා ඒ ගැන නැවතත් විවරණය කිරීමට යන්නේ නැහැ. අපි දැන් මේ 2012 වසරේ ජූලි හතර නැතහොත් අමෙරිකා එක්සත් ජනපදයේ නිදහස් දිනය සමරමින් (සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ලෙස හොලිවුඩය ඉතාම විශාල බජට් චිත්‍රපට මේ දිනය අළලා නිකුත් කරනවා) අප හමුවට එන අමේසින් ස්පයිඩර් මෑන් නව උත්පාදන චිත්‍රපටය දෙසට හැරෙමු. මුල් චිත්‍රපට පෙළේ රසික හදවත් දිනා ගත් ආදරණීය ස්පයිඩර් මෑන් ලෙස හොඳින් රඟපෑ ටෝබි මැග්වයර් වෙනුවට මෙහි ප්‍රධාන චරිතය විසි අට හැවිරිදි ඇන්ඩෘ ගාර්ෆීල්ඩ් විසින් රඟපානවා. ඔහු මීට පෙර ද සොෂල් නෙට්වර්ක් චිත්‍රපටයේ ෆෙස්බුක් වෙබ් පියස නිර්මාණය කළ මාර්ක් සකර්බර්ග් ගේ හොඳම යහළුවාගේ චරිතය රඟපෑ අන්දම ඔබට මතක ඇති. ඔහුගේ පෙනුම වයස වැඩි වුණත් විශ්වසනීය ලෙස පීටර් පාකර්ගේ චරිතයට ආවේස වන්නට හැකියාව තිබෙන බව චිත්‍රපටය තුළින් පෙන්නුම් කරනවා. මෙහි ඔහුගේ පෙම්වතියගේ චරිතය රඟපාන්නේ එමා ස්ටෝන්. මේ අවුරුද්දේ ඔස්කාර් සම්මාන කිහිපයකට නිර්දේශ වුණු විශිෂ්ට චිත්‍රපටයක් වුණු ද හෙල්ප් හි ප්‍රධාන චරිතයට පණ පෙවුවේ ඇයයි. කතාවේ මූලාශ්‍රය පැහැදිලි කිරීමට චිත්‍රපටයේ පළවෙනි පැයම ගත වෙනවා. එයත් එතරම් නරක දෙයක් නොවෙයි. මක්නිසාද සුපිරි වීර චිත්‍රපටවල නිතරම දක්නට ලැබෙන තොරතෝංචියක් නැති ගුටි කෙළි ක්‍රියාදාම සහ විශේෂ ප්රයෝගවලින් මොහාතකට මිදී කතාවක් රස විඳීමේ හැකියාව මෙහිදී අපට ලබා දෙන බැවිනි.
ඔහුව දැක්කහම නම් සිනහ නොවී සිටීමට අපහසුයි. ඉතාමත්ම විකාරකාරි චරිතයක් වන ඔහු තමයි මේ චිත්‍රපටයේ දුෂ්ටයාගේ චරිතය නිරූපණය කරන්නේ. ආචාර්ය කර්ටි කොනර්ස් නැතහොත් පිස්සු විද්වතා ලෙස රඟ දක්වන්නේ රයස් අයිෆන්ස් . ජුලියා රොබට්ස් සහ හියු ග්‍රාන්ට් රඟපෑ නොට්ං හිල් චිත්‍රපටය නැරැඹූ ඔබට නම් ඔහුව අමතක කිරීමට අපහසුයි. එම චිත්‍රපටයේ හියූ ග්‍රාන්ට් ගේ අර්ධ නිර්වස්තර කාමර සගයාගේ චරිතය ඉතා සුළු ලෙස වුවත් අමතක නොවන ලෙස අප සිත්වල සටහන් කරන්නට රයස් අයිෆන්ස් දක්ෂ වුණා. එක් අතක් අහිමි ඔහුගේ ජීවන අභිප්‍රාය වන්නේ විවිධ සතුන්ගේ විශේෂයෙන් කටුසු කුලයේ ජාන මිශ්‍ර කරමින් තමන්ගේ නැතිවුණු අත යළි වවා ගැනීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස දැවැන්ත කටුස්සකු බවට පත් වෙන ඔහු අප ගොඩිසිලා නැතහොත් ජුරාසික් පාක් සිහි කරමින් නිව්යෝක් නගරය දෙවනත් කිරීමට පටන් ගන්නවා. ඔන්න ඉතින් දැන් හොඳ සහ නරක අතර ඇතිවන සදාකාලික ද්වන්ධ යුද්ධය මේ චිත්‍රපටයෙත් ඇරැඹෙනවා. මේ අලුත් ස්පයිඩර් මෑන්ගේ දස්කම් විස්කම් හපන්කම් සියල්ල රිදී තිරය මත දිග හැරෙන්නට පටන් ගන්නවා. සෑම් රයිම්ගේ ස්පයිඩර් මෑන් චිත්‍රපට අතරින් හොඳම චිත්‍රපටය වූ ස්පයිඩර් මෑන් 2 තරම් මෙය නිර්මාණශීලී ආකර්ශණීය නොවුණත් අමේසින් ස්පයිඩර් මෑන් තවත් එක් සති අන්තයක පොරි රස විඳිමින් මුළු පවුලටම එකට සිට පැය දෙකකුත් යම් ප්‍රමාණයක් කාලය වැය කරමින් නැරැඹීමට තරම් වටී.
|