වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





මං මරුවා ළඟට ගිහිං ආවා

මං මරුවා ළඟට ගිහිං ආවා

ආමන්ත විජේසූරිය ගේ බිහිසුණු මුහුදු ගමන

එදා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ උණුසුමින් මුළු මහත් ක්‍රීඩාලෝලී ජනතාවගේම හදවත් උණුසුම් වූ දිනකි. එකිනෙකා අභිබවමින් නොයෙකුත් තරග ඉසව් ඔස්සේ ඉදිරියට ඇදෙන ක්‍රීඩකයන්ගේ දස්කම් ලාංකික ප්‍රේක්ෂකයන්ට සමීප කළ ජාතික රූපවාහිනියේ එම නිෂ්පාදක කණ්ඩායමේ හදවත් අනෙක් සියල්ලන්ටම වඩා වේගයෙන් ගැහෙන්නට විය.

ඒ තරග උණුසුම නිසා නම් නොවෙයි. ඒ වන විට දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සම්බන්ධ මැදිරියේ වැඩසටහන ඉදිරිපත් කරන්නට කෙනකු නොසිටි බැවිනි. ඒ වන විට ක්‍රීඩා අංශයේ ජ්‍යෙෂ්ඨයන් කත්මන්ඩු නුවර ගොස්ය. එවෙලෙහි කුමක් කළ යුතු ද යන්න සිතා ගන්නට නොහැකිව සිටි නිෂ්පාදිකා ජයමිණි ඉලේපෙරුමගේ නෙත ගැටුණේ තමන්ගේ වෘත්තීය සහායකයායි.

‘මල්ලි, උඹ වාඩි වෙයං’

එදා ඇය ගත් අවධානමත් ඔහු ගත් අභියෝගයත් අවසන් වූයේ ජාතික රූපවාහිනියට නිෂ්පාදන සහකාර (පුහුණු) ලෙස එක් වූ යෞවනයකු සාර්ථක වැඩසටහන් ඉදිරිපත් කරන්නකු බවට පත් වෙමිනි. ඒ තරුණයා අද කා අතරත් ජනප්‍රිය නිවේදක ආමන්ත විජේසූරියයි.

ඉතිං ආමන්ත ඒ දවසට ආයෙමත් යමින් කතාව අරඹමු.

ඒ දවස නම් ඇත්තටම හරිම පුදුමයි. එදා හරියට වුණේ ප්යිලට් අයින් වෙලා ප්ලේන් එක ගෙනි යන්න මට භාර දුන්නා වගේ වැඩක්. හැබැයි මමත් වැඩේ අත ඇරියේ නෑ. ගාණට සියලු දෙනාවම සුරක්ෂිතව ගමනේ අවසානය දක්වා ගෙනාවා.

ඒ කිව්වෙ?

එදා ඉඳන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අවසන් වෙනකන්ම රූපවාහිනී මැදිරියේ ඉදිරිපත් කිරීම් සියල්ල කළේ මං. ඒ විදිහට අහම්බෙන් වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වුණු මම ඊට පස්සේ නුග සෙවන, සංගීත වැඩ සටහන්, ක්‍රීඩා වැඩසටහන් වගේ නොයෙකුත් වැඩසටහන් ඉදිරිපත් කළා.

හැම දේම වෙන්නේ හොඳට. එදා සිදු වුණු දේ නිසා අද මම නිෂ්පාදකවරයෙක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වගේම ක්‍රීඩා පුවත් වාර්තාකරුවෙක්. ක්ෂේත්‍රය තුළ මේ අංශ තුනේ එකකින් හෝ දෙකකින් ඉදිරියට ගිය බොහෝ අය ඉන්න පුළුවන්. නමුත්ඒ ත්‍රිත්වය ඔස්සේම තමන්ගේ භූමිකාව සාර්ථකව ගොඩ නගා ගත් පිරිස අතිශය සීමිතයි. මට ඒ සීමිත පිරිසට ඉක්මනටම එක්වෙන්න වාසනාව උදා කළේ අහම්බෙන් එදා සිදු වුණු ඒ වෙනස.

ආමන්තගේ අනාගතය ලියවෙන්න වැඩිදුර අවස්ථාව තියෙන්නේ නිවේදකයෙක් විදිහටද?

නිවේදකයකු විදිහට වඩා මම කැමතියි මාව ඒ වෘත්තියේදී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස හඳුන්වනවාට. ඇත්තටම වැඩසටහන් ඉදිරිපත් කිරීම මම කරන්නේ විනෝදාංශයක් විදිහට. හැබැයි එය වගකීමකින් සහ සූදානමක් සහිතව සිදු කරන විනෝදාංශයක්. විශේෂයෙන් මියුසික් ෆෝග්‍රෑම් වගේ නෙවෙයි ක්‍රීඩා වැඩසටහන් ඉදිරිපත් කිරීම. අපිට කිසිම දෙයක් හිතලා හදලා කියන්න බෑ. අපි ක්‍රීඩා තොරතුරු පිළිබඳ නිවැරැදි දත්ත සහිතව දැනුවත් විය යුතුයි. මේ දවස්වල ඩයලොග් ස්පෝට්ස් කවරේජ්, ක්‍රීඩා විසිතුරු වගේම මෝර්නින්ග් ෂෝ එකකුත් කරනවා. ඒ අතර නුග සෙවන යටටත් මං එනවා. නමුත් ඉදිරියට යන්න නම් බලාපොරොත්තු වෙන්නේ බහු කැමරා සජීවීව තරග ආවරණය කරන නිෂ්පාදකවරයෙක් විදිහට.

වෘත්තීය ජීවිතයේදී නොමැකෙන මතකයක් එහෙමත් ඇති?

මොකද නැත්තෙ? මෙහෙම හිටියට එක දවසක් මරුවා ළඟටම ගිහිං ආවෙ. ‘ක්ලික්’ කියලා වැඩසටහනක් මම ඉදිරිපත් කළා. ඒක කළේ එදා හික්කඩුව මුහුදෙ. මම ප්‍රසන්ට් කළෙත් මුහුදෙ ඉඳන්මයි. අනිත් කට්ටිය එයාලගේ වැඩ කරන අතරවාරයෙත් මම හිටියේ වතුරෙමයි. එක පාරටම මාව ගිලුණා. මට වතුර පෙවිලා නිසා කෑ ගහන්නත් බෑ. ඇස් දෙකත් මගේ උඩ ගිහින්. එදා අපේ කණ්ඩායමේ හිටපු ප්‍රියන්ත මායාදුන්න තමයි ගිලෙනවා දැකලා මාව අතින් ඇදල ඇදලා ගත්තේ.

තවත් දවසක් මම ‘හෝරාවේ සුසංයෝගය’ ඉදිරිපත් කරද්දී හරියටම රූපවාහිනියේ මාව ළං කරලා පෙන්නන කොටම කකුලෙ කෙණ්ඩ පෙරලුණා. මොනවා කරන්නද වේදනාව තද කරගෙන පුරුදු විදියටම වැඩේ කරගෙන ගියා.

වර්තමාන ක්‍රීඩා වැඩසටහන් ඉදිරිපත් කිරීමේ කලාව ගැන යමක් කිව්වොත්?

අපේ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න හුඟාක් කැප කිරීම් කරන්න ඕන. සංගීත වැඩසටහනක් කළොත් කෙනෙක් සති තුනක් යනකොට ජනප්‍රියයි. නමුත් තවමත් අපේ රටේ ක්‍රීඩා වැඩසටහන් වටා එවැනි ප්‍රේක්ෂක සමූහයක් ගොඩ නැඟිලා නෑ. ඒ නිසා අනන්‍යතාවක් ඇතිව දිගු ගමනක් ක්‍රීඩා වැඩසටහන් තුළින් එන එක ඇත්තටම අභියෝගයක්. ඒ අභියෝගය ජය ගත් අය ඉන්නෙ කිහිප දෙනයි. මට හිතෙන විදිහට මම ඒ අභියෝගයට අභියෝගයක් වෙලා ඒ අභියෝගය ජය ගත්තා.

ආමන්තගේ කාර්යබහුල ජීවිතයේ හිත නවතින තැන ගැනත් කියමු?

මගේ හිත නවතින්නේ මගේ ආදරණීය බිරිඳ ජීවනී ළඟත් පුංචි දෝණිත් ළඟ තමයි. ඉඩක් ලැබෙන හැම වෙලාවෙදිම මම කරන්නේ දෝණිත් එක්ක සෙල්ලම් කරන එක හුරතලීට තවම වයස අවුරුදු පහයි. ඇය තමයි අපේ අනාගතය.