|
||||||
මහා වංශයට අභියෝග කළේ කොහොමද?සුගත් සමරකෝන්ගෙන් අහමු
ඉතිහාස වංශ කතා, මේ වකවානුවේදී තම ප්‍රෞඪත්වය හා බැඳී හුදකලාව ඈත් කොට පණ ගසා එන සැටියකි. හුදකලාව ඈත් කිරීම අන් කවරක් නොව රිදී තිරයේ අඩුව පුරවන්නට ඉතිහාස හා වංශ කතා යළි යළි නිර්මාණයට ලක්වෙන යුගයක් මෙයම වීම නිසාය. ඒ කෙසේ වුව ද එලෙස බිහිවන නිර්මාණ රජ ගමනක් යන්නේ එකී කතාව තුළ ඇති ඓතිහාසික වටිනාකම නිසාම වන්නට ඇත. ‘විජය කුවේණි’ එලෙස රජ ගමනක් යන්නට නියමිත දැවැන්ත ඉතිහාස ප්‍රතිනිර්මාණයකි. එහි අදියුරාගේ කාර්යයට අත ගැසූ සුගත් සමරකෝන් හා අප එක්වන්නේ විජය කුවේණි ගැන ඔහුගේ මතවාදය පිරික්සන්නටය. සුගත් කලකට ඉහතදී ප්‍රකට නාට්‍යකරුවෙක් මෙන්ම එම ක්ෂේත්‍රයේම ආන්දෝලනාත්මක චරිතයකි. එම නිසාම කලාව තුළ ඔහුගේ භූමිකාව පුළුල් වූ එකකි. * සුගත්, ඔබ විජය කුවේණි නිර්මාණයට අත ගැහුවේ එක අතකින් මහා වංශයටත් අභියෝග කරමින්. එතකොට මහා වංශය මේ ගැන දක්වන්නේ මොන වගේ ආකල්පයක්ද? මහා වංශය විජය කුවේණි කතා ප්‍රවෘත්තියට හානියක් කළ බවයි මට කියන්න තිබෙන්නේ. ඒ කියන්නේ මහා වංශය කුවේණිගේ චරිතය විකෘතියට ලක් කළා. මොකද මේ චරිත මහා වංශයට අනුව අභව්‍ය ආකාරයකටයි තිබෙන්නේ. ඒ නිසාම මට සිද්ධ වුණා මේ කතාවට සාධාරණය ඉෂ්ට කරන්න. විශේෂයෙන්ම කුවේණිට. මේ නිසාම මේ කතාව තුළ කිසිම කාරණයක් මම අභව්‍යයකට ලක් කළේ නැහැ. * එහෙම නම් සුගත් සමරකෝන් කොහොමද මහා වංශය ඉක්මවා ගියේ? මම තිර රචනය නිර්මාණය කිරීමට කලින් මේ කතා ප්‍රවෘත්තිය හොඳින් ගවේෂණය කළා. ඒ සඳහා මම අවුරුදු හතක් වැය කළා. ඒ තුළින් තමයි මම මේ පිළිබඳව සැබෑ කරුණු අනාවරණය කර ගත්තේ. යමෙකුට පුළුවන් මේ ගැන තර්ක විතර්ක කරන්න. නමුත් මේ කතා ප්‍රවෘත්තිය දිහා කෙනෙක් ද්වේෂ සහගතව බලනවා නම් ඒ ගැන මට කරන්නට දෙයක් නැහැ. සද්භාවයෙන් මේ ගැන තර්ත කරන්න එනවා නම් මම සූදානම් මේ කතාවේ සාධාරණත්වය උදෙසා සංවාදයකට එන්න. * නමුත් ඔබට පිළිගන්න සිද්ද වෙනවා නේද ඉතිහාස හා වංශ කතා සිනමා රැල්ල තුළ ඔබත් එක් චරිතයක් කියලා? නැහැ. කොහෙත්ම නැහැ. මම ඔය කියන රැල්ලේ කෙනෙක් නෙවෙයි. මොකද මම විජය කුවේණි පිටපත ලියලා අවුරුදු දහය කටත් වැඩියි. එනිසා මේ සියලු නිර්මාණ එන්න පෙර තමයි මම විජය කුවේණි පිටපත නිර්මාණය කළේ. ඒ අනුව මම ඔය දේට අදාළ නැහැ. අනික කලකට පෙර පිටපත ලියපු ගමන්ම වාගේම ඒ පිළිබඳව ‘සරසවිය’ටත් දැනුම් දුන්නා. * එතකොට ඔබ බලාපොරොත්තු වෙච්ච චිත්‍රපටය ඒ ආකාරයෙන්ම අවසන් ප්‍රතිඵලය හැටියට ඔබ දැක්කද? අනිවාර්යයෙන්ම. මම සිනමාකරණය හැදෑරීම තුළ ලබා ගත් දැනුමත් අධ්‍යයනයෙන් නිම කරපු පිටපතත් නිසාවෙන්ම එහි අවසන් ප්‍රතිපලය විශිෂ්ට එකක් වුණා කියලා මට හිතෙනවා. මොකද මම මෙහි තිර පිටපත සංස්ථාවට භාර දුන්නා. සංස්ථාවෙන් නිර්දේශ කළා මේ පිටපත උසස් එකක් බව. අනිත් කාරණේ තමයි මට ඉතාම නිදහසේ වැඩ කරන්න ඉඩ දුන්නු නිෂ්පාදකවරයෙක් හමු වීම. ඒ වගේමයි අපේ නළු නිළියෝ පිරිස. ඔවුන්ගේ දායකත්වය මත තමයි මට පුළුවන් වුණේ පිටපත ඒ විදිහටම චිත්‍රපටයක් හැටියට දකින්න. * බොහී වේලාවට අපි දකිනවා පවතින සමාජයේ පීඩනය හා නොසන්සුන්කම තුනී කරන්න මේ වගේ නිර්මාණ හොඳ ජවයක් සපයන බව. එතකොට විජය කුවේණිත් ඒ සඳහා සහය දක්වනවාද? ඔය කියන සමාජමය වටපිටාව සංසිඳුවන්න මම කටයුතුª කළේ නැහැ. මොකද මට ඔය දේශපාලනයත් එක්ක ගනුදෙනුවක් නැහැ. මම කළේ මගේ සිතැඟි නිර්මාණය. මම මීට වැඩිය සමාජීය වටපිටාව රත් වෙච්ච වකවානුවලදීත් නිර්මාණ කළා. දේශපාළුවෝ, රාහුල හිමි වගේ නිර්මාණ. ඔය දේශපාලනයෙන්ම එවකට තහනම් කළා. ඒ නිසා මට ඒ දේත් එක්ක ගනුදෙනුවක් නැහැ. නමුත් චිත්‍රපටය සතුව නම් යටි පෙළින් දේශපාලනයක් මම කරනවා. * මොකක්ද ඔය කියන දේශපාලනය? චිත්‍රපටයෙන් මතුවනවා බොහොම සාහසික කුමන්ත්‍රණයක්. ඒකට මූලික වෙන්නේ විජයගේ වටේ සිටින ඇමැතිවරු. ඒ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස තමයි කුවේණි තම වර්ගයා අතින්ම ඝාතනයට ලක් වන්නේ. ඒ අතින් බලන කොට කුමන්ත්‍රණ කියන දේ බොහොම රාජ්‍යතාන්ත්‍රිකයි. * සාමාන්‍යයෙන් ඉතිහාසගත කතා චිත්‍රපටයට එන විට ඒ සඳහා බොහෝ විට භාවිත වුණේ සාම්ප්‍රදායික ආරක්. මේ සඳහා නිදහස් ආරක් භාවිත කරන්න තිබෙන බාධාව කුමක්ද? මෙහෙමයි, මේ වගේ කතා සන්දර්භයක් තුළ අපට අවශ්‍ය හැම දේම කරන්න බැහැ. නමුත් පිරිසක් හිතනවා ඒ දේ හරිම ලේසියි කියලා. මේ දේට කාරණා දෙකක් බලපානවා. එකක් තමයි සාමාන්‍ය නිෂ්පාදන වියදම වගේ දෙතුන් ගුණයක් වැය වෙනවා මේ වගේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න. අනිත් කාරණය තමයි අපිට අවශ්‍ය ආකාරයට මේ වගේ සිද්ධීන් කපන්න කොටන්න බැරි වීම. මොකද අපි බැඳී ඉන්නවා සංස්කෘතික හා ආධ්‍යාත්මික පසුබිම ආරක්ෂා කර ගන්න. ඒ දේ තමයි අවසානයේදී පදනම වෙන්නේ. * එතකොට ඔබ චිත්‍රපටයෙන් ප්‍රක්ෂේපණය කරන මතය ප්‍රේ්ක්ෂකයා පිළිගනීවි කියලා ඔබට හිතෙනවාද? අනිවාර්යෙන්ම අපිට මේ වෙන කොටත් පේන දේ තමයි වාර්තාගත ජන ගංගාවක් චිත්‍රපටය නරඹනවා කියන එක. මේ වන විට කොළඹ, නුවර, කෑගල්ල, අනුරාධපුර ප්‍රදේශවල මේ ප්‍රතිශතය ඉතාම ඉහළයි. ඒ වගේමයි මට හිතෙන විදියට එතුළින් මම මේ ඉතිහාසයටත් සාධාරණයක් ඉෂ්ට කළා කියන එක. * අවසාන වශයෙන් කියන්න විජය කුවේණි පිළිබඳ ඔබේ නිගමනය කුමක්ද? මට කියන්න තිබෙන දෙයක් තමයි බොහෝ චරිත ප්‍රේක්ෂකයෝ විග්‍රහ කර ගත යුත්තේ එම චරිතවල ඇතුළාන්තයෙන්ම බව. විජය, කුවේණි මෙන්ම සිස්සපටිකා කියන චරිත ඔවුන් සෑහෙන ප්‍රමාණයකින් විග්‍රහ කර ගත යුතුයි. නිධානයේ ගාමිණී ෆොන්සේකා විලී අබේනායකට පණ පෙව්වා හා සමානව දුලානි කුවේණි චරිතය කළා. ඒ සියලු දේ වලින් අර්ථ ගැන් වුණේ භරතමුණි දක්වන ලද ශෝකාන්තය. මේ දේවල් ප්‍රේක්ෂකයා ග්‍රහණය කරන්නට නම් චිත්‍රපටය දෙපාරක්වත් බලන්න ඕනෑ. |
||||||