වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





විශිෂ්ට රංගනයක අභිමානය The Iron lady

විශිෂ්ට රංගනයක අභිමානය The Iron lady

යකඩ ගැහැනියකගේ අමරණීය පෙම් පුරාවත

පිලයිඩා ලොයඩ් ‘අයන් ලේඩි’
සිනමාපටයේ අධ්‍යක්ෂක:
1957 ජූනි 17 වැනිදා උපන් ඈ බ්‍රිමින්ග් හැම් සරසවියෙන් තම උපාධිය ලබා ගති. වසර පහක් මුලුල්ලේ බී. බී. සී රූපවාහිනී නාට්‍ය අංශයේ සේවය කළ අතර කෙටි කලකින්ම ඔපෙරා අධ්‍යක්ෂණය කෙරෙහි යොමු විය. පසුකාලීනව ටෙලිවිෂනය හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘මමා මියා’ සංගීතමය ටෙලි නාටකය ඇයව ජනප්‍රියත්වයේ හිණි පෙත්තට රැගෙන ඒමට සමත් විය. ‘අයන් ලේඩි’ ඇගේ ජනප්‍රියත්වයේ අමරණීය සලකුණ තැබුවේ මේ සියල්ලටම පසුය.
පසුගිය ඇකඩමි සම්මාන උළෙලේදී මෙරිල් ස්ට්‍රිප් යළිත් වරක් හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ ‘ද අයන් ලේඩි’ චිත්‍රපටය දැන් කොළඹ මැජස්ටික් සිනමාහලේ තිරගත වෙයි.

තැචර් නෝනා කිරි පැකට්ටුවක් ගෙන ඒමට අසල තිබූ සුපිරි වෙළෙඳ සැලට ගොස් තිබුණේ ඈ රැක බලා ගන්නා අයගේ ඇස්වලට වැලි ගසමිනි. කිරි පැකට්ටුවක මිල ඉහළ ගොස් ඇති බව ඈ දැන ගන්නේ අන්න එවිටය.

ජංගම දුරකතනවලට කතා කරන අය ලෝකයේ අනෙක් අය ගැන එතරම් නොසලකන බවත්, සිංදු අහන්නට දෙසවනේ පොරොප්ප ගසා ගෙන සිටින යොවුන් කොල්ලන් මහලු අය තඹේකට මායිම් නොකරන බවත් ඈ දැන ගත්තේ එදිනය. ඒත් මේ තැචර් නෝනාය. මහලු මුත් ඈ තවමත් මාග්‍රට් තැචර්මය.

සිය ස්වාමි පුරුෂයා රහිත නිවෙස ඈ ඔහු සහිත නිවසක් බව මවාගෙන ජීවත් වන්නේ ඒ ඉතා පහසුම කාරිය බව දන්නා බැවිනි. ඔහු මිය ගිය දිනය ඇගේ වර්තමාන ජීවිතයෙන් මකා නොදමා ඇති අතර ආසන්න කාලයක ඈ ඔහුත් සමඟම දිවි ගෙවයි.

සෙල්ලක්කාර ලෙස බස්තමක් වනමින් ඩෙනිස් තවමත් මාග්‍රට් ගේ ලෝකයේ සැරිසරයි. සිනමාපටය පටන් ගන්නා විට මේ දෙබිඩි හැසිරීම ඇඟිල්ලෙන් ඇන පෙන්වීමට උත්සාහ නොකරන මුත් පළමු දර්ශන කිහිපය තුළ යම් ඉඟියක් ප්‍රේක්ෂකයාට ලබා දෙයි.

එහෙත් ඒ ඉඟිය ප්‍රේක්ෂකයාට මඟ හැරී යයි. පිලයිඩා ලොයඩ් අධ්‍යක්ෂණය කළ ‘අයන් ලේඩි’ නිකුත් වූයේ පසුගිය වසරේ අග කාර්තුවේදීය. 84 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියගේ භූමිකාව වෙනුවෙන් සම්මානය දිනා ගත් ‘අයන් ලේඩි’ එක්තරා කාලයක අමතක නොවන සුළු මතකයක් ගෙන හැර දක්වයි.

මාග්‍රට් තැචර් ලෙස රඟන මෙරිල් ස්ට්‍රිප් එකී භූමිකාවේ සංතුෂ්ටිමත් අන්තයට ගොස් හොඳම නිළියට හිමි සම්මානය දිනා ගති. සිනමාපටය නිෂ්පාදනය කළේ ඩේමියන් ජෝන්ස්ය. තිර නාටකය ඇබී මෝගන්ගෙනි. සිනමාපටය සඳහා ඇස්තමේන්තු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 13 කි.

2008 වර්ෂයෙන් පටන් ගන්නා සිනමාපටය සියුම් හුයකින් අපව අතීතයට බන්දා ගනී. මාග්‍රට් තැචර් ගේ මහලු බව හරහා ඇගේ අතීතයට යන ප්‍රේක්ෂකයා දකින්නට බලාපොරොත්තු වන අතීත කතාන්දරයට වඩා හිත සසල කරන්නේ ඇගේ වර්තමාන ජීවිතයයි.

ස්වාමියා මිය ගිය බවත්, තමා තවදුරටත් බලයෙන් ආඪ්‍යය මාග්‍රට් තැචර්ම නොවන බවත් ඈ තේරුම් ගැනීමට උත්සාහ කිරීම - නොකිරීම අතර කම්පනයේ පරිමාව එහා - මෙහා ගමන් කරයි. ගැහැනියක ස්වකීය පවුල් ජීවිතයත් තමාවත් දේශපාලනය වෙනුවෙන් කැප කළ පසු ශේෂයන් ලෙස ලැබිය හැකි මෙවන් මානසික අසමබරතාවයන්හි දිග පළල මැන බැලීම අවසන භාර වන්නේ අපටය.

අපි දැන් ඇවිද යන්නේ ඇගේ තරුණ කාලය වෙතය. සිය පියාගේ සිල්ලර කඩයක අත් උදව් වෙමින් සිටින්නී මාග්‍රට්ය. ඈ ඒ අතරතුර දේශපාලන වේදිකාවේ ආවේගශීලී දේශනවලට ද සවන් දෙයි. ඔක්ස්ෆර්ඩ් සරසවියේ අධ්‍යාපනයට වරමක් ද ලබයි. නමුත් ඇගේ සිහිනය වඩා බරපතලය. ඈ ප්‍රාර්ථනා කරන්නේ පිරිමි ලෝකයක අලුතින් තැනු ගැහැනු ආසනයකි.

දේශපාලනය හුදෙක් පුරුෂයන් උදෙසා වූ මහානර්ඝ වස්තුවක්ව පැවැති කාලයක ඈ නොනැවතීම තම සිහිනයේ සැරි සරසමින් හිඳියි. ටෝරි පක්ෂයේ අසුනක් බලාපොරොත්තුවෙන් නොනවතින සටනක නිරත වන මාග්‍රට් ඩෙනිස් සමඟ පෙමින් වෙළෙයි. අවසන ඔවුන් දෙපොළ විවාහප්‍රාප්ත වන අතර, ඇගේ දේශපාලන සිහිනය වඩාත් ඉක්මනින් සඵල වෙයි.

ඩෙනිස්ගේ සහ තවත් බලයැති කිහිප දෙනෙකුගේ උපකාර මත ඈ ටෝරි පක්ෂයේ අසුනකට හිමිකම් කියයි. ඉනික්බිති ගලා යන්නේ නොනවතින යකඩ ගැහැනියක ගේ අපූරු මතක රාශියකි. ඕ නොසැලෙන සුළු අධිෂ්ඨානයක් සහ දැඩි ආත්ම විශ්වාසයක් ඇත්තියකි.

දැඩි තීරණ ගැනීම, තනි තීරණ ගැනීම කෙරෙහි ලොල් බවක් දක්වන ඈ සියලුම අවස්ථාවන්හිදී නිවැරැදිය. වඩාත් කල්පනාකාරීය. මේ නම් බ්‍රිතාන්‍යය ලැබූ කදිම අගමැතිනියක් යැයි සිතෙන තරම් ඈ නිවැරැදිය.

විටෙක ඈ තම ජීවිත කතාව ලියූ පොත්වල තම අස්සන සමරු සටහනක් ලෙස තබයි. මාග්‍රට් තැචර් නමින් අස්සන් කරන ඈ එක් මොහොතක මාග්‍රට් රොබට්ස් ලෙස තම අස්සන තමයි.

උපතේ සිට ගෙනා නම කෙලෙස අමතක කරන්නද? ගැහැනියකට තම වාසගම එතරම් ලේසියෙන් අමතක කර දැමිය හැකිද? මොහොතකින් ඈ අපව කැඳවාගෙන යන්නේ මහා යුද සමයකටය. බෝම්බ හෙළන බව දැනුම් දීම පිණිස සයිරන් නලා නාද වෙයි. අම්මාත්, තාත්තාත්, සහෝදරියත් සමඟ ඈ මේසයක් යට දිවි ගලවා ගනු පිණිස සැඟවීගෙනය.

සිනමාපටය පුරා මෙවන් විච්ඡේදන බොහෝය. ඒ සියලු විච්ඡේදනයෝ යහපත සඳහාමය. අතීතයෙන් වර්තමානයටත්, වර්තමානයෙන් අතීතයටත් සිනමාපටය නරඹන ප්‍රේක්ෂකයෙකු ඇද දැමීමට මීටත් වඩා සුදුසු ක්‍රමයක් තිබිය නොහැකිය.

අප අගමැතිනියකගේ ජීවිතයේ නොයෙක් තැන්වල ඇගේ අතකින් අල්ලාගෙනම ගමන් කරමින් සිටින්නෙමු. විටෙක පය පැකිලී වැටෙන සුළුය. තවත් විටෙක හිත කම්පා කරවන සුළුය. එහෙත් මේ ගමන දිගටම යා යුතුය. ඈ මන්දෝත්සාහී නොකළ යුතුය. මන්ද යත් මේ කතාව ඇගේ මිස අපේ නොවන හෙයිනි. ඇගේ කතාව ඈට රිසි පරිදි අපට කියන්නට ඉඩ සැලැස්විය යුතුය.

මාග්‍රට්, ඔබ කියන්න. ඔබේ කතාව යළිත් අප අසා සිටින්නෙමු.