වර්ෂ 2012 ක්වූ මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා





යථාව සහ යථාර්ථය

අපේ රටේ දූ දරුවනට ජැක්සන් ඇන්තනි තිළිණ කරන නාට්‍ය හා රංග කලාව 49

යථාව සහ යථාර්ථය

Real and Reality

යථාව සහ යථාර්ථය පිළිබඳ මගේ මතය පැහැදිලි කරන්නට මට අයිතිවාසිකමක් ඇත. මා මේ ලියමින් සිටින්නේ මගේ ලිපි පෙළේ 49 වැනි ලිපියයි. 50 වැනි ලිපිය සරසවියේ පළවෙන ලබන සතිය වන විට එය වසරක කාලයක් පුරා සරසවිය පාඨකයන් අතර ගැවසී හමාරය.

සරසවිය පාඨකත්වය යනු මේ රටේ සිනමා, ටෙලි, වේදිකා, සංගීත, සාහිත්‍ය ඇතුළු සමස්ත සෞන්දර්යය විෂය කෙරෙහිම නෑදෑකමක් දක්වන සහෘදයන්ගේ හුදී ජන සම්මුතියයි. එහෙයින් මේ ලිපි පෙළේ වෛශික තත්ත්වය උසස් පෙළ නාට්‍ය හා රංග කලා විෂය පථය ඉක්මවා යන්නේ නම් මැනැවයි වත්මන් සරසවිය කර්තෘ ධූරන්ධර අරුණ ගුණරත්නයන් විසින් මට යෝජනා කෙරුණි. මේ ලිපි පෙළ ලිවීමට මා ඉඳගත්තේ එතුමන්ගේ බලවන්ත පෙරැත්තය මත නිසාම බව ද සටහන් කොට තැබිය යුතුමය.

එහෙයින් උසස් පෙළ නාට්‍ය හා රංග කලා විෂය පථයට සමගාමීව ඊට වඩා වෙසෙසින්ම වෙනස් විග්‍රහ රටාවක තබා මෙය රචනා කරන්නට මම පෙළඹුණෙමි. නාට්‍ය හා රංග කලාව බඳු අතිශයින්ම ප්‍රායෝගික වූ විෂයක් න්‍යාය ධර්මයකට පමණක් කොටු කිරීම නොකළ යුත්තකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විෂය මාලා සංවර්ධන ආයතනයේ අරමුණ වන්නේද මෙය ක්‍රියාන්විත න්‍යායක් බවට පත් කිරීමයි. එහෙයින් නාට්‍ය හා රංග කලාව ආත්ම කොට මෙරට ගොඩ නැගුනු ප්‍රාසංගිකයකු වන මා මේ විෂය අලලා පසක් කොටගත් ‘ක්‍රියාන්විත න්‍යාය’ පැහැදිලි කිරීමේ පෙර වදනක් ලෙස මම මේ ලිපි පෙළ රචනා කෙරුවෙමි.

මෙහි ඇත්තේ භරතමුණිගේ සිට සරච්චන්ද්‍රයන් දක්වාත්, ඇරිස්ටෝටල්ගේ සිට සුගතපාල ද සිල්වා දක්වාත්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ සිට හෙන්රි ජයසේන දක්වාත් ඔස්ට්‍රියානු ජුබාල්ගේ සිට දයානන්ද ගුණවර්ධන දක්වාත්, ස්ටැනිස්ලවුස්කිගේ සිට ධම්ම ජාගොඩ දක්වාත් වූ රංග න්‍යායධාරීන්ගේ කට පාඩම් නාම ලැයිස්තුවක් නොවේ. සමස්ත රංග ධර්මය තුළ මගේ ආස්තානය පැහැදිලි කිරීමට ද මේ ලිපි පෙළේ වපසරිය ප්‍රමාණවත් නැත. එහෙයින් මෙය හැකිතාක් සරලව සිදු කළ ශාස්ත්‍රීය පැහැදිලි කිරීමකි.

ශාස්ත්‍රය හෝ න්‍යාය, සුභාවිතයට නොගැනේ. එහෙත් මම වනාහි සුභාවිතයට ගරු කරන්නෙක්මි. සුභාවිතය යනු පොදුජන භාවිතයකි. කලාව එබන්දක් යැයි මම විශ්වාස කරමි. කෞතුකාගාරයක, විල්ලුද පෙට්ටගමක සුරක්ෂිතව කල් තබාගත යුතු පුරා වස්තුවක් හෝ විද්‍යාගාරයක, විද්‍යා නලයක රෝපනය වන්නට හල දිලීරයක් හෝ නොවෙයි කලාව.

අපේ පැරැන්නෝ කලාව හඳුනා ගත්තේ ‘හුදී ජන පහන් සංවේගයක්’ ලෙසය. කව්සිළුමිණ කිවිඳු නම් ‘පෙදෙහි රස හව් විදුනා දනතා ඉතා දුලබෝ’ කියා කී බව සැබැවි. එහෙත් කලාව කලාව සඳහා ද, කලාව සමාජය සඳහා ද යන පැනයට පිළිතුරු සමාජය පැත්තෙන් ලබන්නට නම් කලාව සමාජීය සාධකයක් බවට පත් විය යුතුය. කලාව සාමාජීය සාධකයක් වන්නට නම් එය සුභාවිතයක් බවට පත් විය යුතුය.

එහෙයිනි, යථාව සහ යථාර්ථය පිළිබඳ මා දරනා ආකල්පය මේ ලිපි පෙළට ඇතුළත් කිරීම මගේ අයිතිවාසිකමක් වන්නේ, යථාව යනු සමස්ත භෞතික ක්‍රියාවලියේම ප්‍රකාශනයයි. අප මේ අත්විඳින සමස්ත ලෝක පැවැත්ම, එහි නියාමනයන්, ක්‍රියාකාරකම්, ගති ස්වභාවයන්, පරිණාමය වන්නේ යථා පැවැත්ම තුළයි. එහෙයින් එය දෘෂ්‍ය ගෝචරය, ශ්‍රව්‍ය ගෝචරය, ස්පර්ශ ගෝචරය. එහෙයින් එය පැවතෙන සුළුය, පරිණාමය වන සුළුය, නැසෙන සුළුය, යළි බිහිවෙන සුළුය. එහෙත් කලාව යනු ‘යථාව’ නොවන්නේය. යථාව යනු වාර්තාවයි. ‘එය එසේ සිදුවුණි’ එය යථාවයි. එය වාර්තාවයි. එය එසේ සිදු නොවී මෙසේ සිදු වුණි නම්, යන ප්‍රශ්නය වාර්තාකරුවාට අයිති නැත. එහෙයින් යථාව වනාහි කලා නිර්මාණයක් නොවන්නේය.

‘ස්වභාවික කලාව’ යනු යථාව පෙන්නුම් කිරීම යැයි ඇතැමුන් වරද්දාගෙන ඇත. ඇරිස්ටෝටල්ගේ ‘ඉතිහාසය හා කලාව’ පිළිබඳ විග්‍රහය බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ‘ඓතිහාසීකරණ’ නම් නාට්‍ය ධර්මයට බලපා ඇත්තේ ඒ නිසාය. ‘කලාව ඉතිහාසයට වඩා දාර්ශනික යැයිඇරිස්ටෝටල් පෙන්නා දුන්නේය. යථාව සහ යථාර්ථය අතර ඇති වෙනස්කම මා හඳුනා ගන්නේ එතැන් සිටයි.

ඉති+ආස යන පාලි වචනයේ සරල සිංහල තේරුම වන්නේ ‘එය එසේ සිදු විය’ යන්නයි. ඉතිහාසය යනු සිද්ධාන්තයක්, න්‍යායක්, ධර්මයක් හෝ ආගමක් නොවන්නේ ඒ නිසාය. ඉතිහාසය යනු බහුවිධ මතවාද මණ්ඩපයකි. සිදුවීම සිදු වී අවසන්ය. ඉතිහාසය යනු සිදු වූ සිද්ධිය පිළිබඳව එන ආරංචියයි. ආරංචිය සපයන්නේ සමාජයයි. සමාජය යනු බහුවිධ මානව ක්‍රියාකාරකමකි. එය භින්න ආකල්ප, භින්න රුචිකත්ව සහ භින්න හැකියාවලින් යුක්ත වන නිසා ආරංචි භින්න න්‍යායක රැඳී තිබේ.

එහෙයින් ඇරිස්ටෝටල්ගේ ඉතිහාස විග්‍රහයෙන් යථාව සහ යථාර්ථය අතර ඇති වෙනසේ මූලය පාදා ගත හැක. කලාව ඉතිහාසයට වඩා දාර්ශනිකය. සිදුවීම යථාවකි. කලාව යථාර්ථයකි. අපි යථාර්ථවාදී කලා කෘති පිළිබඳ කතා කරනවා විනා ‘යථාවාදී කලා නිර්මාණ පිළිබඳ කතා නොකරමු.

යථාව ඉතිහාසය සේ ගතහොත් එහි දාර්ශනික ප්‍රතිකථනය වනාහි කලාව යැයි මම විශ්වාස කරමි. එසේ නම් ඉතිහාසයේ සිට කලාව දක්වාත්, යථාවේ සිට යථාර්ථය දක්වාත් යා හැකි දුර සමාන විය යුතුය.

මේ දුර යනු කුමක්ද?

යථාවේ සිට යථාර්ථය දක්වා ඇති දුර වනාහි සෞන්දර්යය යැයි මම කියමි. සෞන්දර්යය වනාහී දාර්ශනික චින්තාවකි. ඇරිස්ටෝටල්ගේ ඉතිහාසය පිළිබඳ විග්‍රහය සහ භරතගේ භාව විශ්ලේෂණය එකම ලක්ෂයකින් ආරම්භ වී ඇතැයි මේ ලිපි පෙළ ආරම්භයේදීම මා දක්වා ඇත්තේ ඒ නිසාය. යථාව වනාහි රසයෙන් තොරය. රසය ඇත්තේ යථාර්ථයේය. කලාවේ ඇත්තේ භාවයන් නොව රසයන් යැයි භරත පැහැදිලි කර ඇත. භාව යනු මනුස්ස සන්තානයේ අනිවාර්යෙන් පහළ වන මනෝගති ස්වභාවයකි. එය යථාවයි. මේ අචල ගති අරභයා දෙවනුව බිහි කරවන රසය වානාහි කලා විෂයයි. එහෙයින් භාව යනු යථාව බවත් රසය යනු යථාර්ථය බවත් මම ඉතා විශ්වාසවන්තව ඔබට කියමි.

එහෙයින් කලාකරුවා යථාවාදියකු නොව යථාර්ථවාදියෙකි. ඔහු යථාවේ සිට යථාර්ථයට තම සහෘදයන් රැගෙන යයි. යථාවේ සිට යථාර්ථය දක්වා ඇති දුර වනාහී සෞන්දර්යය යැයි මම කීවෙමි. සෞන්දර්යය වනාහි විද්‍යාවකි. විද්‍යාව යනු ඥාණ විභාගයකි. එය උපතින් පහළ වන නෛසර්ගික ගති ස්වභාවයක් නොවෙයි. එය අභිනවයෙන් අධ්‍යයනය කළ යුතු විද්‍යා විෂයකි.

මේ විද්‍යාව නොහදාල අයකුට තම සහෘදයා යථාවේ සිට යථාර්ථය වෙත ගෙන යාමට අසීරු ය. අසීරුව නොහැකියාවක් නොවේ. අසීරුව අපහසුතාවකි. අසීරුව, සීරුවට ජය ගැනීමේ ක්‍රමවේදය අධ්‍යාපනය විසින් සපිරේ. බුද්ධිගෝචරව සහ සංවේදීව විශ්ලේෂණය කොට සුභාවිතයට ගනී නම්, නාට්‍ය හා රංග කලාවේ විෂය පථය තුළ ද ‘යථාව සහ යථාර්ථයේ වෙනස්කම’ සහ යථාවේ සිට යථාර්ථයට ඇති කෙටි මගත් ඉගෙන ගත හැකිය.

එහෙයින් එන්න,

යථාව යථාර්ථයක් බවට පත් කළ හැකි ශාස්ත්‍රය හදාරන්න මේ හොඳම උස් බිමයි