වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




විසි පස් වසරක් සරසවියේ

ගෙවුණු දවස් ගැන කතන්දර
 

විසි පස් වසරක් සරසවියේ

විසි පස් වසරක් සරසවියේ දහ හතර හැවිරිදි වියේ පසු වූ මා හාපුරා කියා ‘සරසවිය’ පුවත්පතේ මංගල කලාපය කිය වූයේ නොතිත් ආසාවකිනි. ඒ නිසා මම පාසල් යන කාලයේ සිට ‘සරසවිය’ පුවත්පතට ආදරය කළෙමි.

එය වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම අපට ‘සරසවිය’ක් විය.

1963 නිකුත් වූ ඒ පුවත් පතේ මංගල කලාපයේ සිට පත්‍ර එකතු කළ මා එහි තිබූ මීමන ප්‍රේමතිලක ලියූ වන කතා, රස කතාත්, ලේඛකයන්ගේ හා දේශපාලනඥයන්ගේ රසබර තොරතුරු රහට ලියූ පී. බී. අල්විස් පෙරේරාගේ විශේෂාංගත්. ආර්. පල්ලේවෙල ලියූ නුදුටු තැන් ද, ඩයස් ගුණරත්න ලියූ මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, ඊරියගොල්ල ආදීන්ගේ රසබර විශේෂාංග ද, එඩ්වින් ආරියදාස ලියූ ශෙක්ස්පියර්, ක්ලියෝ පැට්රා, වැඩිහිටියන්ට පමණයි, චිත්‍රපට උළෙල, මෙන්ම රායි, කුරසාවා, ලීන් ආදීන් ගැන ලියූ ලිපිත්. රෙජී රණසිංහ ලියූ නිමැවුම දුටු නිමැවුම යටතේ බග්මාන්, ටෲපෝ, ඇන්ටෝනියෝනි ගැන ලියූ විශේෂාංගත්, බෙනඩික්ට් දොඩම්පේගම ලියූ පෝලන්ත හා චෙක් චිත්‍රපට ගැන තොරතුරුත්, මූ. අරුක්ගොඩ ලියූ ජී. බී. වික්‍රමසිංහ, සීවලී හිමි, පඤ්ඤාකිත්ති හිමි, අදිකාරම් ආදීන්ගේ ‘සාහිත්‍ය ජීවිත’ ගැන විශේෂාංගත් රස කර කර කිය වූ මම ඇතැම් විශේෂාංග කපා එකතු කළෙමි.

නව මඟක යන කෙටි කතා රැසක් එකල පළ විය. ඔගස්ටස් විනායගරත්නම්, සෝමරත්න බාලසූරිය, රිචඩ් ආරච්චිගේ, නෑහින්නේ ප්‍රේමදාස, වේල්ස් පෙරේරා, නිව්ටන් ගුණසේකර ආදීන් ලියූ කෙටි කතාවලට ජී. එල්. ගෞතමදාස අඳින ලද චිත්‍රයෙන් අගය වඩාත් ඔපවත් විය.

1964 පැවැත්වූ මුල්ම ‘සරසවිය සම්මාන උළෙල’ අප නිවසට යාබද ග්‍රෑන්ඩ්ස් හී අසෝකා සිනමාහලේ ගැලරියේ සිට නැරඹුවෙමි. 1965 ආනන්දයේ ඉගෙන ගන්නා කාලයේ මා කුලරත්න ආරියවංශ (ප්‍රවීණ ගීත රචක) සහ තවත් මිතුරන් දෙනෙකු සමඟ ‘සෙවණ’ නමින් පුවත්පතක් සංස්කරණය කොට මුද්‍රණය කොට මුද්‍රණය කළෙමු. අපට හොඳ ලිපි ලැබුණත් ඒවාට අවශ්‍ය බ්ලොක්ස් ලබා ගැනීමේ දුෂ්කරතාවයක් තිබුණි. සරසවිය කර්තෘ විමලසිිරි පෙරේරා මහතා අපට උපකාර කරතැයි අපි සිතුවෙමු.

මාත්, කුලරත්නත් දිනක් ලේක්හවුසියට ගොස් සරසවිය කතුවරයා හමුවීමට ගියේ අද මෙන් මුර කපොළු එකක්වත් නැතිවය.

විශාල වීදුරු කාමරයක් තුළ විරාජමානව සිටි කතුවරයා කිසිවකු හා කතා කරමින් සිටියේය. ඔහු හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්නයන් බව පසුව හඳුනා ගතිමු.

විමලසිරි පෙරේරා මහතා අප කාමරයට කැඳවීය.

‘අපි ආනන්දයෙන් . . .’

‘ඔව්, මගෙන් ඕන උදව්ව මොකක්ද?’

‘අපි පත්තරයක් කරනවා . . . අපිට බ්ලොක්ස් ටිකක් ඉල්ල ගන්න පුළුවන් ද කියලා දැනගන්න ආවේ . . .’

කුලරත්න කතාව පටන් ගත්තේය.

විමලසිරි මහතා ගැඹුරු සිතුවිල්ලකට වැටුණේය.

‘අපි පරෙස්සම් කරල ගෙනත් දෙන්නම් දින දෙකකින්’

අපි අවශ්‍ය බ්ලොක්ස් ගණන කීවෙමු.

‘අපි ප්‍රතිපත්තියක් වශයෙන් බ්ලොක්ස් එකක්වත් කන්තෝරුවෙන් පිටට දෙන්නේ නැහැ. මේ ළමයින්ගේ ඉල්ලීම අහක දමන්න බැහැනේ . . .’ ඔහු කිසිවෙකුට ටෙලිෆෝනයෙන් කතා කළේය.

‘මේ ළමයින්ගේ ඉල්ලීමට මම බ්ලොක්ස් ටික දෙන්නම්. හැබැයි රජෝ, මේවයේ සෙන්ටි මීටරයක් හරි අඩු වුණොත් තාත්තලගේ ඉඩම් විකුණන්න වෙයි. පරෙස්සම් කරලා ආපහු ගෙනත් දෙන්න . . .’ විමලසිරි මහතා හිනාවෙමින් කීවේ අපට වගකීමක් පවරමිනි.

පාසල් යන කාලයේ මෙසේ හඳුනා ගත් විමලසිරි මහතා යටතේ පූර්ණකාලීනව වැඩ කිරීමට අවස්ථාව ලැබුණේ 1969 සිටය. ලේක්හවුස් සභාපති රංජිත් විජයවර්ධන මහතා මා විමලසිරි මහතා වෙත යොමු කළේය. විජයවර්ධන මහතාගේ සහායකයකු සමඟ මම සරසවිය කතුවරයාගේ කාමරයට ගියෙමි.

විමලසිරි මහතා මගේ පාදාන්තයේ සිට කේෂාන්තය තෙක් බැල්මක් හෙළුවේය. ටික කලකට පෙර තමාගෙන් බ්ලොක්ස් ඉල්ලා ගෙන ආපු ගැටයා නොවේදැයි සිතා ඔහු අමුතුª සිනාවක් පෑවේය.

ඉන් පසු එළඹිඵයේ සම්මුඛ සාකච්ඡාවකි.

‘තමා දැන් හිතන්න සත්‍යජිත් රායි ලංකාවට ඇවිත් කියලා. දන්නවද සත්‍යජිත් රායි ගැන . . .’

‘ඔව් අර අපූ ත්‍රිත්වය හැදුවේ . . .’ මම ජයග්‍රාහික සිනාවක් පාමිණි. මම සත්‍යජිත් රායි හඳුනා ගත්තේ ද සරසවියට රෙජී රණසිංහ හා එඩ්වින් ආරියදාසයන් ලියූ විශේෂාංගවලිනි.

‘මම තමයි රායි, දැන් මගෙන් දන්න ඉංග්‍රීසියකින් ප්‍රශ්න අහන්න.’ මට හින් දාඩිය දැම්මේය. මම වටපිට බැලුවෙමි. මා කලින් හඳුනා ගෙන සිටි ලක්ෂ්මන් වික්‍රමසිංහ හා සෝමවීර සේනානායක යන උප කතුවරුන් දෙදෙනා කිසිවක් කතා කරමින් මා දෙස බලනු වීදුරු කාමරය තුළින් මම දුටුවෙමි. මම ප්‍රශ්න කිහිපයක් හිතින් හදා ගතිමි. විමලසිරි මහතාට පැමිණි දුරකතන ඇමතුමකින් අපේ සාකච්ඡාවට මඳ විරාමයක් දැනුණි. රිසීවරය තබත් ම මම මගේ මුල් ම ප්‍රශ්නය යොමු කළෙමි.

‘ගුඩ් . . . දැන් අර මේසේ ගාවට ගිහිල්ල මේ පත්තරේ කර්තෘ වාක්‍යයේ මුල් ඡේදය පරිවර්තනය කරන්න’ විමලසිරි මහතා තම මේසය මත වූ ‘ඩේලි නිව්ස්’ පත්‍රයේ කර්තෘ වාක්‍යය පිටුව පෙරළා මට දුන්නේය. විනාඩි පහකින් පරිවර්තනය නිම කළ මා යළිත් කතුවරයා වෙත ගියෙමි. ‘මීට ඉස්සර පත්තරවලට චිත්‍රපට ගැන ලිව්වද?

‘මම මගේ ලිපි අලවා තිබූ ස්කැෆ් පොත ඔහු වෙත ඉදිරිපත් කළෙමි. ‘විසිතුර’ පුවත්පතට මා ලියූ ලෙස්ටර් හා ජෝන් ද සිල්වාගේ ලිපිත්, ‘කලා’ සඟරාවට ලියූ තිස්ස අබේසේකරගේ විශේෂාංගයත් උඩින් පල්ලෙන් බලා මා සමඟ ඔහු සිනාසුණේය.
විමලසිරි පෙරේරා එඩ්වින් ආරියදාස සෝමවීර සේනානායක

‘අතන ඉන්න අපේ ප්‍රධාන උප කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහ මහත්තයා ළඟට යන්න. එයා කියල දේවි වැඩ කරන හැටි . . .’

ලක්ෂ්මන් මා හොඳින් දැන සිටි නිසා වැඩ කිරීම පහසු විය. මගේ මුල්ම ගුරුවරයා ඔහු විය. පේරාදෙණියේ ලංකා විශ්ව විද්‍යාලයෙන් සංස්කෘත ගෞරව උපාධියක් ලැබූ ලක්ෂ්මන්ට අප ඇමතුවේ ‘ලකී’ කියාය.

ඔහු නැති තැන අපි ආදරේට කීවේ ‘සුද්දා’ කියාය. ඔහු ඒ තරම් පැහැයෙන් සුදු ය. ලකී මට සරසවියට විශේෂාංග ලියන හැටි, හෙඩිම දමන හැටි පමණක් නොව පිටුව සමබරව සකස් කරන සැටි ද කියා දුන්නේය.

මගේ ඊළඟ උපදේශකයා වූයේ විදුදය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබූ නවකතා රචකයකු හා විශිෂ්ට කෙටිකතාකරුවකු වූ සෝමවීර සේනානායකය.

සෝමේ මට වැඩිහිටි සහෝදරයකු මෙන් ලිපි සබ් කරන සැටි සිත් ඇද ගන්නා හෙඩිමක් දමන සැටි, ලිපියක සැඟ වී ඇති අරුතක් මතුවන ඉන්ට්‍රෝ එකක් දමන සැටිත් කියා දුන්නේය.

මා තුළ සැඟ වී සිටි චිත්‍ර ශිල්පියා මතු කොට ගත්තේ සරසවියේ කලා සංස්කාරක නිමල් පෙරේරා අභයවර්ධන මහතාය. කෙසඟ සිරුරක් ඇති උස උප ශාන්ත, නිකටේ රැවුලක් ඇති නිමල් මහතා මගේ තුන්වැනි ගුරුවරයාය.

මුල් පිටුව මැද පිටුව සකස් කරන විට ‘රන්ජිත් මේ පින්තූරවලින් පිටුව හදන්නැයි’ මිස්ට නිමල් අනුබල දුන්නේ උණු පේලේන් ටී ගෙනත් සංග්‍රහ කරමිනි. මගේ යම් කුසලතාවයක් ඇති නම් එය උපදවා, ඒවා වැඩි දියුණු කළ මේ මානව දයාවෙන් පිරි මිනිසා, මට පත්තරේට අවශ්‍ය හෙඩිං ඇඳීමට අවස්ථාවක් දුන්නේය. (මීට වසර කිහිපයකට පෙර මිය ගිය සරළ චාම් ජීවිතයක් ගත කළ උදාර මිනිසාගේ ගුණ සුවඳ මට කිසිදා අමතක නොවේ).

එකල සරසවිය, සිනමාව පමණක් නොව සාහිත්‍ය, සංගීතය ඇතුළු ලලිත කලා විෂයයන් ඇතුළත් විශේෂාංගවලින් පරිපෝෂිත විය. කුමාරදාස වාගීස්ට, අර්නස්ට් වඩුගේ, දයා ආනන්ද රණසිංහ, ප්‍රභාත් කුමාර, දයාරත්න ලියනගේ, සෝමා දේවි පරණයාපා, ගාමිණී විජේතුංග මෙන්ම එවකට විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයන් වූ සිරි කහවල, පියසේන වික්‍රමගේ, චන්ද්‍රසිරි සෙනෙවිරත්න, සිරි කුලරත්න, නන්දසේන සූරියආරච්චි ද, විමල් තිලකරත්න, රංජිත් වීරසිංහ ආදින්ගෙන් එදා සරසවියේ විශේෂාංග, සාකච්ඡා ඔපවත් වූහ.

බන්දු එස්. කොඩිකාර, රෙජී බුලත්සිංහල, ක්‍රිස්ටි සිල්වා වැනි ඡායාරූප ශිල්පීන්ගෙන් ද, සිබිල් වෙත්තසිංහ, ජී. ඇල්. ගෞතමදාස, තලංගම ජයසිංහ, බන්දුල හරිශ්චන්ද්‍ර, එස්. ආර්. හේමපාල, කැමිලස් පෙරේරා චිත්‍ර ශිල්පීන්ගෙන් ද එදා සරසවිය අලංකාර විය.

සිළුමිණ කර්තෘ මණ්ඩලයේ සිටි තරුණ මාධ්‍යවේදියකු වූ පර්සි ජයමාන්න එවකට ජගත් සිනමාව ගැන සරසවියට විශේෂාංග ලියූ ප්‍රවීණයකු විය.

අලුතින් පැමිණි මට ඔහු අත හිත දුන්නා පමණක් නොව, ඇතැම් සවසක උසස් ඉංග්‍රීසි චිත්‍රපට බැලීමට ගෙන යමින්, දර්ශනය අවසන ඉන්දු සිලෝන් හෝටලයට එක්ක ගොස් වඩේ කමින් චිත්‍රපටය ගැන අපේ දැනුම පෝෂණය කළේය. මේ සියල්ල කළේ ඔහුගේ වියදමින් බව කෘතගුණ කිව යුතුය.

සරසවියට පැමිණි මට එවකට ජනප්‍රිය නළුවාව සිටි ගාමිණී ෆොන්සේකා ගැන විශේෂාංගයක් ලිවීමට ආසාවක් ඇති විය.

‘ලකී මට ලොකු ආසාවක් තියෙනවා ගාමිණී ගැන ආටිකල් එකක් ලියන්න. හැබැයි මම එයාව පුද්ගලිකව අඳුනන්නේ නැහැ.’ මම ලක්ෂ්මන් වික්‍රමසිංහට කීවෙමි.

ලක්ෂ්මන් සිනාසී, එවලේම ගාමිණීට ටෙලිෆෝනයෙන් කතා කළේය. වාසනාවකට ගාමිණී ගෙදර සිටියේය.

‘ගාමිණී අපේ අලුත්ම ගෝලයෙක් ඉන්නවා. ගෙදර ඉන්න වෙලාවක එවන්න පුළුවනි.’

ටික වේලාවකින් කතාව නිම කළ ලක්ෂ්මන් සිනාසෙමින් රිසීවරය තැබුවේය.

‘හෙට උදේ 10 ට ගාමිණී එන්න කිව්වා. දන්නවද ඉන්න තැන. රත්මලානේ මැලිබන් හන්දියෙන් බැහැලා සිරිමල් උයනට යන්න.’

‘මම වැලිකතර ගැන ආටිකල් එක කරන්නද?’

‘ඕනෑ ප්‍රශ්නයක් අහන්න. හැබැයි ජෝ අබේවික්‍රම ගැන මුකුත් අහන්න එපා. ඒ දෙන්නා මේ දවස්වල අමනාපයෙන් ඉන්නේ, කාගේදෝ කේලමක් අහල.’

මම වේලාවටම රත්මලානේ ගාමිණීගේ නිවසට ගියෙමි.

මම ප්‍රශ්න අසමි. ඔහු පිළිතුරු දෙන්නේ ඕනෑවට එපාවටය. මෙවැනි කෙටි පිළිතුරුවලින් මැද පිටුවේ විශේෂාංගයක් කළ හැකි ද? මගේ ඉවසීමේ සීමාව ද ඉක්ම ගොසිනි. ඔහු කුපිත කොට හෝ පිළිතුරු ගත යුතු බව සිතූ මම මෙසේ ඇසුවෙමි.

ලබන සතියට