වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




තව පොඩ්ඩෙන් එදා මං ඉවරයි

තව පොඩ්ඩෙන් එදා මං ඉවරයි

පාලගේ ත්‍රාසජනක අත්දැකීම ඔහු උපසේන සුබසිංහය. ඒ නමින් හඳුන්වනවාට වඩා හැම දෙනාම ඔහු දන්නේ හඳුනන්නේ කෝපි කඩේ පාල නමිනි. නමින් නොදන්නා වූ ද පාල හැමදෙනාම රුවින් හඳුනයි. සටන් නළුවකු ලෙසට තම හැකියාවන් ප්‍රකට කළ උපසේන වරෙක ගායකයකු ලෙසට ද අපට හමු වෙයි.

පාල අයියේ ඉතින් කොහොමද?

මේ දිනවල මම තිලක් කුමාර රත්නායකගේ ටෙලි නාට්‍ය පිටපතක අවශ්‍ය පූර්ව වැඩ කටයුතුවලට සහභාගි වෙනවා. ඒ වගේම තිලක්ගේ තාම නමක් දාල නැති තවත් නාට්‍යකට සම්බන්ධ වෙලා ඉන්නවා.

කෝපි කඩේ හරහා ඔබ ගොඩ නඟා ගත් රසික ප්‍රසාදය අති විශාලයි.

මම මුලින්ම කෝපි කඩේට සම්බන්ධ වුණේ 1986 තිලක් කුමාර රත්නායක ලියූ නිරුවත කියන කතාවෙන්. මේකෙන් තමයි පාල කියන චරිතය රසිකයන් අතරට එන්නේ. එදා ඉඳල අවුරුදු විසි හතරක් තිස්සේ විවිධ කතා තුළ පාල කියන චරිතය හරහා ප්‍රේක්ෂකයාට හිතවත් වෙන්න මට හැකි වුණා. කෝපි කඩේ අසරණයාගේ කථාවේදී මට හොඳ සිද්ධියක් වුණා. මට තිබුණේ හිඟන්නෙකුගේ චරිතයක්. මිනිස්සු මම හිඟන්නෙක් කියල හිතාගෙන සල්ලිත් දාලා ගියා. පාල කියන්නේ කළු චරිතයක්. කෙනෙකුට මොකක් හරි ලණුවක් දීම තමයි කරන්නේ. කෙනෙකුට ලණුවක් දීල අහුවෙලා දඬුවම් ලබන පාලව දකින්න ප්‍රේක්ෂකයා කැමැතියි.

ඔබ කෝපි කඩේ හැර වෙනත් නාට්‍යවල දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි?

මම මේ වෙනකොට ටෙලි නාට්‍ය විසි පහකට විතර සම්බන්ධ වෙලා තියෙනවා. මගේ වැඩිපුර දායකත්වය කෝපිි කඩේට තමයි. මේකෙ රඟපෑමට සම්බන්ධ වෙලා ඉන්න නිසා කාලය මදි. මොකද සතියකට දවස් හතරක් විතර ඒකේ ෂූටින්වලට යන්න ඕනේ. ඒත් එක්කම ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉතින් කාලය මදිකම නිසා වෙනත් නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ අඩුවෙන්.

ඔබ මෙගා නාට්‍යවලට කැමැත්තක් දක්වන්නේ නැද්ද?

මෙගා නාට්‍යවලට මගේ අකැමැත්තක් නැහැ. මමත් මෙගාවල පබා හි කොටස් පනහකටත්, සරා හි කොටස් පනහකටත් රංගනයෙන් දායක වුණා. අද රංගනයට හොඳ දක්ෂ තරුණ තරුණියෝ ඇවිත් තියෙනවා.

නමුත් මේ අයව ප්‍රේක්ෂකයන්ට මතක හිටින්නේ නෑ. මොකද අපි හදා ගත්තුª නම වගේ කෙනෙකුට හදා ගත්තු නම තියා ගන්න අමාරුයි. නම රැක ගන්න තරුණ පරපුර ඉදිරියට යන්න ඕනෙ. මේ නිසා මෙගා නාට්‍යවල වරදක් නැහැ. මෙයින් ගොඩක් අයට රඟපෑමට අවස්ථාව උදා වෙලා තියෙනවා.

ඔබ මේ දිනවල ජොීතිපාල මහතා වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා නේද?

ටී. එම්. සංඝදාස මහතා පටන් ගත්ත ලංකා කලා පදනම මගින් ජෝති අයියා වෙනුවෙන් ගුණ සමරු හා සංගීත ප්‍රසංගයේ වැඩ කටයුතුවලට මම අවුරුදු විසි හතරක ඉඳලා කටයුතුª කරනවා. මේකට ලංකාවේ ඉන්න ප්‍රවීණ ගායක ගායිකාවොත් දිගටම සම්බන්ධ වුණා. ජෝති අයියා නැති වුණාට පස්සේ මර්වින් සිල්වා, සමන් අභයගුණවර්ධන යන මහත්වරුනුයි මමයි එකතු වෙලා මේ පදනම ඉදිරියට කරගෙන යනවා. මම මේ හැම ප්‍රසංගයකදීම ජෝති අයියා වෙනුවෙන් මගේ මුදල් පරිත්‍යාගයෙන් රෝද පුටු, ඇස් කණ්ණාඩි, කාච ප්‍රදානය කරනවා.

මම අවුරුදු විසි පහක විතර ඉඳලා ජෝතිගේ ගීත ගයනා කරනවා. මොකද ජෝති අයියා මාලිගාවත්ත ප්ලැට් එකේ ඉන්න කාලේ අපි ගොඩක් හිතවත් වුණා. ඒ කාලේ තමයි මට ගීත ගැයීමේ ආසාව ඇති වුණේ. මගේ යාළුවෙක්ගේ ‘සූරයන් අතර වීරයා’ චිත්‍රපටයේ ගීත පහක්ම සල්ලි ගන්නේ නැතුව කීවා. ජෝති අයියා සල්ලි මත්තෙම දුවපු මිනිහෙක් නෙමෙයි. ඔහු ජනතාව අතර සදා අමරණීයයි’

ඔබ සටන් නළුවෙක් විදිහටත් පෙනී ඉදලා තියෙනවා නේද?

මම සටන් ජවනිකා තිහක් විතර කරල තියෙනවා. මේ දිනවලත් මට සටන් ජවනිකාවකට ආරාධනයකුත් ලැබිලා තියෙනවා. සටන් ජවනිකා කියන්නේ චිත්‍රපටයක අවදානම් වැඩක්. ලංකාවේ සටන් ජවනිකා රඟපාන නළුවන්ට රක්ෂණයක් තියෙනවා නම් හොඳයි. මොකද සටන් ත්‍රාසජනක විදිහට කළ යුතු නිසා එය මොහොතකට හරි අතපසු වුණොත් ඔවුන් අසරණ වෙනවා. ඒ නිසා ඉන්දියාවේ වගේ ලංකාවේ ශිල්පීන්ට වන්දියක්, රකෂණයක් ලබා දෙනවා නම් හොඳයි කියලා හිතනවා.

රංගනයේදී අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?

ඇත්තටම ඔව්. මට ලංකාවේ ගෝඩ් ෆාදර් චිත්‍රපටයේ රඟපාන්න දර්ශනයක් තිබුණා මාව ගහක ගැට ගහල ගින්දර දාන එකක්. මේකෙදි මට ඉහළින් ගින්දර යන්න ඕනෙ. ඒත් ගින්දර සැරට ඇවිලුනේ නෑ. කවුද කෙනෙක් කීවලු මේකට පෙට්‍රල් දාන්න එතකොට ඇවිලෙයි කියලා. දැන් දර්ශනය ගන්න ලෑස්ති වෙනකොට ගින්දර මගේ ඇඟ ළඟටම ඇවිලුණා. එත් මම කලින්ම මගේ මොළෙන් හිතලා ගහේ බඳින ලණුව බුරුල් කරල තිබුණේ. ඒක නිසා මම ගහේ අනිත් පැත්තට කැරකුණා. නැත්නම් මම මෙලහකටත් නැති වෙන්න තිබුණා.

අප පැමිණ තිබෙන්නේ කතාබහේ අවසානයට.

අද මට රසිකයන් අතර නමක් දිනා ගන්න, මෙතනට එන්න උපකාර කළ අය සිහිපත් කරන්න ඕන. මුලින්ම සරත් ද සිල්වා, තිලක් කුමාර රත්නායක දෙදෙනා මට ලොකුª සවියක් වුණා.

ඒ වගේම මම අධ්‍යක්ෂවරු බොහෝ දෙනෙක් එක්ක වැඩ කරලා තියෙනවා.

වර්තමානයේ සුදම් දයාරත්න. ඒ අය මට ගොඩක් උදව් කළා.

ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ ඩී. ජී. විපුල රත්නසිරි මහතාත්

වර්තමාන සභාපතිතුමාත් ඇතුළු පිිරිස මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕනේ.