වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

සිනමා, කලා පිළිබඳ ගැටලු විමසන්නට ඔන්න නැවතත් අවස්ථාව එළැඹිලා. ඔබ කළ යුත්තේ ඔබේ ගැටලු තැපැල් පත් මගින් අර්ජුන්ගෙන් පැන විසඳුම් සරසවිය, ලේක්හවුස්,කොළඹ ලිපිනයට එවීමයි.

පාඨකයන් දස දෙනෙකුට ලිබර්ටි සිනමා ශාලාවේ නොමිලයේ චිත්‍රපට නැරැඹීමට සරසවිය මඟින් ලබා දෙන ‘ටිකට් බොනැන්සා’ වැඩසටහනින් මටත් ජය ලැබුණා. එය සරසවිය පුවත්පතේත් පළ වූවා. එම ටිකට් තවමත් මා හට නොලැබුණේ මන්ද? ඒ පිළිබඳ විමසිය යුත්තේ කාගෙන්ද?

රංජිත් ප්‍රේමලාල්, කැලණිය, මූණමල්වත්ත.

එය පුවත්පතේ පල වී මාසයක් පමණ ගිය පසු ඔබට ලැබේවි. පුවත්පතේ පළ වූ දිනය හරියටම ලියා එව්වහොත් නිසි පිළිතුරක් දිය හැකියි.

සංඛපාලි චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කවුරුන්ද?

එච්. එම්. ජයලත්, පෙතියාගඩ, ගම්පහ.

එය ඇන්ටන් ග්‍රෙගරිගේ සහ සරත් රූපසිංහගේ සම අධ්‍යක්ෂණයක්.

පූර්ණ වශයෙන් ශ්‍රී ලංකාවේ දර්ශන රූගත කළ ප්‍රථම සිනමාපටය කුමක්ද?

තිලකරත්න විල්වල, කෑගල්ල.

ලංකාවේ චිත්‍රාගාරයක නම් ‘බණ්ඩා නගරයට පැමිණීම’. එළිමහනක නම් ‘රේඛාව’ චිත්‍රපටයයි.

හින්දි සිනමාවේ නොසිඹින ලද තොල් ඇති නිළිය වන නිම්මි ගැන විස්තරයක් කරන්න.

විල්ෆ‍්‍රඩ් පෙරේරා, රත්මලාන.

ඒ දොතොල් නොසිඹින්නට තරම් ඉන්දියානු සිනමාව ශිෂ්ට යැයි මා සිතන්නේ නැහැ. කෙසේ නමුත්, පනහ, හැට දශකයන් හි අතිශය ජනප්‍රිය වූ නිම්මි 1933 පෙබරවාරි දහ අට වැනිදා නවාබ් භානු නමින් ඉන්දියාවේ සුන්දර අග්‍රා නගරයේ උපත ලැබුවා. ඇගේ මව ගායිකාවක් සහ නිිළියක්. පියා හමුදා නිලධාරියෙක්.

කොහොම වුණත් මවගේ අකල් මරණය නිසා ඇය හැදුණේ ඇගේ මිත්තනිය ඇසුරේමයි. නිම්මි සිනමාවට යොමු වන්නේ ඇගේ පවුලේ හිතවතෙකු වූ අතිශය විශිෂ්ඨ සිනමාකරුවකු වූ මෙහෙබුබ් ඛාන් නිසායි. එහෙත් ඇය ප්‍රථම වරට රංගන වරම ලබන්නේ රාජ් කපූර් අධ්‍යක්ෂණය කළ ‘බර්ෂාත්’ චිත්‍රපටයේයි.

ඉන් පසු ඇය රාජ් කපූර්, දේව් ආනන්ද්, දිලිප් කුමාර් වැනි ප්‍රධාන පෙළේ නළුවන් සමඟ වන්වාරා, දිඩාර්, දාග් වැනි චිත්‍රපටවල ප්‍රධාන චරිත රූපණයේ යෙදුණා.

ඉන්දියාවේ පූර්ණ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ ‘ආත්’ හී ප්‍රධාන නිළිය වූයේත් ඇයයි. ඕ මේ අවධියේ දී ‘භේදාර්දි’ හී ගීත ගායනා කරමින් රැඟුවත් ඇය දිගින් දිගටම ගායනයේ නම් නිරත වූයේ නැහැ. පසුව ඇය ‘දාන්කා’ නමින් චිත්‍රපටයක් ද නිෂ්පාදනය කළා.

පසු කලෙක ඇයගේ අතිශය ජනප්‍රිය වූ චිත්‍රපට අතර ‘භාසත් හාර්’, ‘අංජලී’, ‘අංගුලිමාල’ වැනි නිර්මාණ කැපී පෙනුණා. කෙසේ වෙතත් මේ අවධියේ දිලිප් කුමාර් සමඟ ඇයගේ ප්‍රේම සබඳතාවක් ගැන කටකතාවක් තිබුණත් දිලිප් - මධුබාලා ප්‍රේමය නිසා දිලිප් - නිම්මි ප්‍රේමය අහෝසි වී ගියා. පසු කලෙක බර්ෂාත්, දාග්, අමර් වැනි චිත්‍රපටවල දෙබස් රචක එස්. අලිරාසා සමඟ ඇය විවාහ වුණා.

2008 දී අලි මිය යන තුරුම සාර්ථක ලෙස එම විවාහය පැවැතුණා. 1986 ‘ලව් ඇන්ඩ් ගෝඩ්’ චිත්‍රපටය ඇය රඟපෑ අවසන් චිත්‍රපටය වුණා. කෙසේ වෙතත් නිම්මි ඉන් පසුව සිනමාවේ කිසිම උත්සවයකට හෝ සහභාගි වූයේ නැහැ.

ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ . . . යන ගීතයේ පදමාලාව සංගීතය හා ගායනය කාගේද?

මැණිකේ විල්වල, තටාකය පාර, කෑගල්ල.

අපේ ප්‍රවීණ ගීත රචක හා සංගීතඥ ආනන්ද සමරකෝන්ගේයි. එහි සහාය ගායනය පී. ලීලාවතී ගෙනි.

අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන් නිෂ්පාදනය කළ ‘සුමිතුරෝ’ චිත්‍රපටය නැවත නැරැඹීමට හැකියාවක් නැතිද?

සමන් ගාල්ලගේ, කැටපල.

සමහර විට නරඹන්නට හැකි වේවි.

‘දස පනත’ හා ‘බෙන්හර්’ යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන් පිළිබඳ විස්තරයක් කරන්න.

ෆෙ‍්‍රඩී ප්‍රනාන්දු, කල්දෙමුල්ල.
වයිලර් ඩීමෙල්

දස පනත හෙවත් ටෙන්කමාන්ඩ්මන්ට්ස්, අධ්‍යක්ෂණය කළේ සිසිල් බී. ඩීමෙල්. බෙන්හර් අධ්‍යක්ෂණය කළේ විලියම් වයිලර්. මේ දෙදෙනාම හොලිවුඩ් සිනමාවේ එක් යුගයක දැවැන්ත සිනමාකරුවන්. ඩීමෙල් මෙන්ම වයිලර් ද නිහඬ යුගයේදී සිනමාකරුවන් බවට පත් වී කතානාද සිනමා යුගයේත් තමන්ගේ සිනමාව ඒආකාරයෙන්ම පවත්වාගෙන ගිය සිනමාකරුවන් දෙපොළක්. බයිබලය ආශ්‍රිතව තැනුණු මේ සිනමාපට දෙකම ලෝක සිනමාව ගැන අධ්‍යනය කරන්නා වූ සෑම කෙනෙක්ම වර්තමානයේදී නිරීක්ෂණය කළ යුතු බවයි මගේ හැඟීම. එයට එක් හේතුවක් තමයි වර්තමානයේදී නවීන පරිගණක තාක්ෂණය යටතේ ඉතා පහසුවෙන් නිර්මාණය කරන අති දැවැන්ත සිදුවීම් රාශියක් ඔවුන් විසින් කෙතරම් විශිෂ්ඨ ආකාරයට අධ්‍යක්ෂණය කළා ද යන්න පසක් වන හෙයිනි.

බෙන්හර් චිත්‍රපටයේ එන දැවැන්ත පසුතල අද පරිගණක තාක්ෂණයෙන් පහසුවෙන් ප්‍රති නිර්මාණය කළත් ඒ යුගයේදී එහි විශිෂ්ඨත්වය අති මහත්. වයිලර් මෙන්ම ඩිමෙල් මෙම චිත්‍රපටවල චරිතයන්ට ප්‍රාණය ලබා දෙන අයුරු ඉගෙන ගැනීමට වර්තමාන සිනමාකරුවන්ට තවත් බොහෝ කලක් ගත වේවි. මේ අතරින් වයිලර් තුන් වතාවක් එනම් මිසිස් පික්චරි, ද බෙස්ට් ඉයර්ස් ඔෆ් ඇබර් ලිව්සක් හා බෙන්හර් සඳහාත්, ඩිමෙල් ග්‍රේටස්ට් ලෝ ඔන් අර්ත් සඳහාත් ඇකඩමි සම්මාන දිනා ගත්හ.

අපේ ‘හඳපාන’ චිත්‍රපටිය ගඳපාන කළා. දැන් පරසතු මල් වෙනුවට අපට වද මල් බලන්න වෙයිද?

සරත් රණසිංහ, කපුගොඩ, මාලිඳ.

නූපන් දරුවන්ට කෙන්දර හදන සිරිතක් නැහැනේ, නේද සරත්.

ක්ලැරන්ස් විජේවර්ධන ගායනා කරනු ලබන දිලීප පොඩි පුතු ගීතය කරුණාරත්න අබේසේකරයන් රචනා කර ඇත්තේ දිලීප අබේසේකර වෙනුවෙන්ද?

අජිත් ලක්මාල්, කට්ටුව, මීගමුව.

ඔව්නේ.

සුහද දිවි පිදුම චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළියන් කවරහුද?

හිලරි සිරිලාල් ද සිල්වා, මොරටුමුල්ල.

බොනිපස් ප්‍රනාන්දු, සුවිනීතා වීරසිංහ, ක්ලැරිස් ද සිල්වා, අශෝක පොන්නම්පරුම ඇතුළු නළු නිළියන්.

ලෝකෙන් උතුම් රට ලංකාවයි ගීතයේ රචකයා කවුද?

විමල් රණසිංහ, ග්‍රෑන්ඩ්පාස්

හිටපු අධ්‍යාපනඥයකු මෙන්ම, දේශපාලකයකු ද වූ අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා.

සම්මානනීය නළු අමරසිරි කලංසූරිය දැන් කෝ? ඔහු සිනමාවෙන් ඉවත් වෙලාද?

සුනිල් දිසානායක – ඉහළ වීරක්කොඩියාන.

කලං හොඳින් ඉන්නවා. මෑතකදීත් රෝස මල් සිහිනය චිත්‍රපටයට ඔහුගේ දායකත්වය ලබා දුන්නා.

(අර්ජුන්)


රූපවාහිනී සමීක්ෂා පස්වන කලාපය එළි දකී

‘රූපවාහිනී සමීක්ෂා’ රූපවාහිනිය පිළිබඳ අධ්‍යයනය කරන වත්මන් පරපුරට කදිම ගවේෂණශීලී අත්පොතකි. රූපවාහිනී තිරය ඉදිරිපිට අප නොදන්නා බොහෝ දෑ දෙස සියුම්ව බලමින් විමසිලිමත්ව ගවේෂණය කරමින් සැකසූ හරවත් ලිපි රැසක් රූපවාහිනී සමීක්ෂා වාර්ෂිකයෙහි ඇතුළත් වේ. සංවාදශීලී ලිපි මෙන්ම අලුත් ඇසකින් වෙනස්ව මාතෘකා දෙස බලමින් රූපවාහිනී සමීක්ෂා නිර්මාණය වී තිබේ. ජනමාධ්‍යය හදාරන්නවුන් මෙන්ම රූපවාහිනී කලාවේ නියුතු ප්‍රවීණයන්ට මෙන්ම ආධුනිකයන්ට ද මෙම වාර්ෂික අත් පොත කදිම මඟ පෙන්වන්නකි.

විද්වතුන් රැසකගේ ලිපිවලින් සමන්විත වන ‘රූපවාහිනී සමීක්ෂා’ ගාමිණී වේරගම සහ ජී. ඒ. ජිනප්‍රියගේ සංස්කරණයකි.

මෙම වටිනා ග්‍රන්ථය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශනයකි.