|
තේ කොළයා දක්ෂ ගිටාර් වාදකයෙක්
වෙලාව දහය හමාරට විතර වෙන්න ඇති. තද අව් රස්නෙන් මුවා වෙමින් අපි ගමන් කරමින් හිටියේ බම්බලපිටිය පැත්තට. පරණ පොත් වෙළෙන්දාගෙන් මිදුණු දෙනෙතෙහි රැඳුණේ පුරුදු පොතක් ළග. අර ‘තේ කොළයා’ මට ඉබේම කියැවුණේ ඉදිරියේ යමින් සිටි ප්‍රසාද්ට. ශබ්දය ටිකක් වැඩි වුණාද මන්දා. ඒ නිසාම ‘තේ කොළයා’ හැරිල බැලුවේ මා දිහා. ආ . . . මේ අපේ යාලුවනේ . . . තේ කොළයා නතර වුණේ කහ ඉර ළඟ. ඉතිං . . . ඊළඟට ඔහු කතාවට වැටුණෙ මහන්සිය නිමවමින්. තේ කොළයා දැන් හැමෝම දන්න නිසා මඟ දිගේ ගිය හැමෝගෙම ආචාර, සිනහා සංග්‍රහ. අපි යමු ටිකක් කතා කරන්න. කලෙකින්නෙ හමු වුණේ. තුන් දෙනාම පාර පැනලා මැජෙස්ටික් සිටියට ගියේ ප්‍රසාද්ගේ ආරාධනයෙන්. සරත් කරුණාරත්න . . . එහෙමත් නැත්නම් දූවරු හි තේ කොළයා. මේ කතාවට වැටුණේ එහෙමයි. ඉතිං කොහොමද බිස්නස්? මම ඇහුවේ සිනාසෙමින්. මගේ වැඩ හොඳ නිසා තේ කොළයාටත් සරුයි. ‘තේ කොළයා’ කියන්නේ වෙනස්ම විදිහක කෙනෙක්. ඔහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. ‘තේ කොළ’ පැකට් කරලා ලැබෙන මුදලින් තමයි ඔහු අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ. ‘තේ කොළයා’ සතුටට කෑ ගහලාවත් දුකට හඬා වැලපිලාවත් විඳ දරා ගන්න කෙනෙක් නෙමෙයි. ඔහු සංවෘත්ත පුද්ගලයෙක්. ‘තේ කොළයා’ වගේම ‘තේ කොළයා’ගේ පෙම්වතියත් වෙනස්. ඒ හැමදේම නිසා’තේ කොළයා’ සැබෑම වෙනස් කෙනෙක්. ටෙලි නාට්‍යයක් තුළ කරන්නට ලැබුණ චරිත ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම මට හොඳ චරිත කරන්න අවස්ථාව ලැබුණා. මම බොහෝම කැමැත්තෙන් කළ එක චරිතයක් තමයි මලී ටෙලි නාට්‍ය්‍යයේ භූතයා ගේ චරිතය. මම ‘මලී’ එකට එනකොටම මැරිලා. පසුවට භූතයෙක් කියලා හැඳින්වූවාට සැබයින්ම ඔහු ඉන්නේ ගන්ධබ්බ අවධියක. අභව්‍ය චරිතයකට තාර්කික ප්‍රවිශ්ඨයක් දෙන්න අමාරුයි. සාමාන්‍ය හැසිරීමක් තුළ ඒ චරිතය ගොඩ නගන්නත් බෑ. සාමාන්‍ය රංගනයෙන් එහාට ගියොත් ඒක අධි රංගනයක් වෙනවා. නිමල් රත්නායක අධ්‍යක්ෂතුමාත්, ජානක සිරිවර්ධන නිෂ්පාදකතුමාගේත් අදහස් මට ඒ චරිතය පිළිබඳ නිරවුල් අවබෝධයක් ගොඩ නගා ගන්න ඉවහල් වුණා. ‘සිහින පුරයෙත්’ ‘ද සීනා’ කියන්නෙ ප්‍රේක්ෂකයන් ගොඩාක් ආදරය කරන චරිතයක්. ‘ද සීනා’ මේ සමාජයේ නැති නමුත් සමාජයට අත්‍යවශ්‍ය චරිතයක්. මිනිසුන් වඩාත් කැමති ළඟා වෙන්න බැරි ඒවාට. ඒ නිසා තමයි ‘ද සීනා’ ට ප්‍රේක්ෂකයෝ ආදරේ. ඊළඟට අපි ඇහුවෙ මේ ගමන් මඟ ගැන. රළුයි. ඒ වගේම හැඩයි. රංගන ගමනේ පළමු පියවර තිබ්බේ මම පාසලේදී. පාසල් වේදිකාවේ මම හොඳම සහාය නළුවා වුණා. ඊට පස්සේ මම ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලේ ඉගෙන ගත්තා. ඩග්ලස් සිරිවර්ධනගේ ‘සිහල වංශලා’ වේදිකා නාට්‍යයේ මම කළ චරිතයට 2005 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ ජූරියේ විශේෂ සම්මානයක් ලැබුණා. ඊට පස්සේ 2006 යෞවන සම්මාන උළෙලේදී ලසන්ත ෆර්ඩිනැන්ඩිගේ ‘කෝච්චිය එනකන්’ වේදිකා නාට්‍යයේ මගේ රංගනයට හොඳම සහාය නළුවා සම්මානය ලැබුණා. ඊට අමතරව 2011 දී රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානයත් යෞවන සම්මාන උළෙලකදී හොඳම නළුවා දෙවන ස්ථානය ලබා ගන්න තරම් මම වාසනාවන්ත වුණා. අන්තිමට මම රංගනයෙන් දායක වුණේ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ ‘කලම්බු කලම්බු’ වේදිකා නාට්‍යයට. ඒ නාට්‍යයේදී මම අනිවාර්යයෙන්ම රංගනනයට අමතරව ගිටාර් වාදනයත් කරන්න අවශ්‍ය වුණා. නමුත් ඒ වෙන කොට මට ගිටාර් එකක් වාදනය කරනවා තියා ගිටාර් එක හරියට අල්ලන්නවත් බෑ. කොහොම හරි මාස හයක පුහුණුවෙන් පසුව මමත් හොඳ ගිටාර් වාදන ශිල්පියෙක්. සරත්ට රිදී තිරයේ කාලය උදා වෙන්නේ කවදාද? හ්ම් . . . ඒක නම් මම හරියටම දන්නෙ නෑ. දැනට මම රඟපාලා තියෙන්නෙ මචං චිත්‍රපටයේ විතරයි. විදෙස් චිත්‍රපටයක රූප පරික්ෂණයකට සහභාගි වෙන්න ඇරැයුමක් ලැබුණා. නමුත් කාර්ය බහුලත්වය නිසා ඒ අවස්ථාව මට මඟ හැරුණා. නමුත් ඉදිරියේදී ‘වැහිලිහිණි’ සහ ‘හුස්ම සහ ඔක්සිජන්’ යන ටෙලි නාට්‍යවලින් මගේ ආදරණීය පේ‍්‍රක්ෂකයන් හමුවෙනවා. ජීවන තොරතුරු ටිකකුත් කියමු? කියමු, කියමු. මොනවද දැනගන්න ඕනෑ? පවුලේ විස්තර? විවාහකයි. මගේ බිරිඳ උවනි චාමිකා. ඇය ගුරුවරියක්. ඒ වගේම පිටපත් රචිකාවියක්. උවනිගෙන් මගේ රංගන කටයුතුවලට වගේම වෘත්තියටත් හොඳ සහයෝගයක් ලැබෙනවා. වෘත්තිය, රංගනය ද? රංගනය නම් අද පවතින තත්ත්වය ගැන හිතන කොට වෘත්තියක් විදිහට කරගෙන යන්න අමාරුයි. මම වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක්. පිළියන්දල ප්‍රදේශයේ ‘වෙඩින් වේ’ කියලා පෞද්ගලික ආයතනනයක් ආරම්භ කළා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන මගේ ගම ගැන. ‘තේ කොළයා’ ලෙසින් රටම අඳුරන මම ඉපදුණේ අම්පාර පදියතලාවේ කෙහෙල්උල්ල ග්‍රාමේ කොළඹාන කියන පුංචි ගමේ. දැන් ඔන්න තේ කොළයා වගේම මගේ ගමත් රටම දන්නවා. |