වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




ඇතුගල මහ සමයම නටවයි

ඇතුගල මහ සමයම නටවයි

’මාතා’ මෙරට නිපද වු දැවැන්ත නිර්මාණයක් මෙන්ම ලංකාව තුළ නිපද වූ පළමුවන පූර්ණ යුධ ක්‍රියාන් විත චිත්‍රපටයයි. තත්කාලීන දේශපාලන ක්ෂේත්‍රය වඩාත් උණුසුම් වූ මොහොතක මාතා තිරගත වීම ආරම්භ විය.

එකී තිරගත කිරීම හා ප්‍රේක්ෂකයා එය වින්දනයට භාජනය කළ ආකාරය ගැන කතා කරන්නට අප හා එක් වූයේ ‘මාතා’ තිර රචක මහාචාර්ය ආරියරත්න ඇතුගලයි.

වත්මන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන එතුමා ‘මාතා’ රචනය වන විට රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයාය. එනිසාම එකී වාතාවරණයන් පිළිබඳව එතුමාට ඇත්තේ ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයකි.

* මහාචාර්යතුමනි, ‘මාතා’ වැනි චිත්‍රපටයක් තිර රචනය කරන්න ඔබ පෙළඹුණේ කොහොමද?

2007 වර්ෂය වෙන කොට මම හිටියේ රූපවාහිනී සංස්ථාවේ සභාපති වෙලා. ඔය අතරෙදි තමයි එක්තරා වැඩමුළුවකදී මට බූඩිව මුණ ගැසුණේ. අපි එකට වැඩක් කරමු කියලා යෝජනාව ගෙනාවේ බූඩි. එයට එකඟ වෙලා මම එක තිර පිටපතකුත් බූඩි තව තිර පිටපතකුත් ලියාගෙන ගියා. ඒ දවස්වල තිබුණ වාතාවරණයත් එක්ක මගේ අතින් ලියැ වුණේ යුද්ධය ගැන පිටපතක්. බූඩි ඒකට එකඟ වෙලා පිටපත ලියන එක නතර කරලා ‘මාතා’ පිටපත පිටරටකදී අපි අවසන් කළා. ඒ අනුව 2009 අවුරුද්දේ චිත්‍රපටයේ පටිගත කිරීම ඇරැඹුවා.

* අපිට පේනවා ‘මාතා’ තුළින් යුද්ධයේ අවසානාත්මක අදියර ගැන පැහැදිලි අර්ථකථනයක් දෙනවා. පිටපත ලියන මොහොතේ ඔබට හිතුණද යුද්ධයේ අවසානය ඒ විදිහටම සිදු වෙයි කියලා?

යුද්ධයේ අවසානය ඒ විදියටම සිදු වෙයි කියලා මට අදහසක් තිබුණේ නැහැ. පොදු ජනයා ඒ දවස්වල විශ්වාස කළ විදියටමයි මමත් යුද්ධයේ අවසානය ගැන විශ්වාස කළේ. ඒ මත පදනම් වෙලා තමයි මම තිර පිටපත ලිව්වේ. ඒ කියන්නේ ක්‍රමයෙන් අපි දැකපු යුද්ධය තුනී වෙලා යන ආකාරය ගැන. ඒ කෙසේ වෙතත් ප්‍රභාකරන්ගේ බල බිඳීම මේ ආකාරයෙන් සිද්ධ වෙයි කියලා මම කොහොමටවත් හිතුවේ නැහැ.

* ඒ වන විටත් තිබුණු මිනිසුන්ගේ යුධ මානසිකත්වය විසින් මේ චිත්‍රපටය ග්‍රහණය කර ගනීවී කියලා හිතුවාද?

මෙහෙමයි, අපි දැක්කා යුධ මානසිකත්වය අළලා ඒවා පාදක කරගෙන චිත්‍රපට රැල්ලක් ආවා. ඔය රැල්ල ඉවර වෙන කොට ප්‍රේක්ෂකයා තමන්ට ආවේණික ප්‍රමිති හදා ගන්නවා. මේවා තමා හොඳ, මේවා තමා නරක කියලා. මම මෙහිදී කරන්නේ ලිවීමේ කාර්්‍යය. ඒ කියන්නේ චිත්‍රපටයේ මුහුණත හදන එක. එතකොට මට පූර්ව නිගමනය කරන්න බැහැ මේක මිනිසුන්ගේ මානසිකත්වයට හරි යයි ද කියලා.

බූඩි තාක්ෂණයෙන් ඉහළට ගිය කෙනෙක් නිසා මට හිතුණා ඔහු යමක් චිත්‍රපටය තුළ කරයි කියලා. එනිසාම චිත්‍රපටය විවිධ හේතුª නිසා නිෂ්පාදන කටයුතු අවුරුදු 1 1/2 දක්වා ඇදුණා. ඒ නිසාම චිත්‍රපටය යම් ඛේදවාචකයකට ගොදුරු වුණා කියලයි මට හිතෙන්නේ.

* මොකක්ද ඔබ කියන ඛේදවාචකය මේ චිත්‍රපටය ගිල ගත්තු?

‘මාතා’ ආවා පරක්කු වැඩියි. චිත්‍රපටය එන්න තිබුණේ යුධ උණුසුම මැකිල යන්න කලින්. ඒ කියන්නේ යුද්ධය ඉවර වෙලා වෙන වෙන දේවල් සාමාන්‍ය මිනිසාගේ ඔළුවට වැටෙන්න කලින්. මොකද මාතාට ලැබුණුු අනුග්‍රහය හා සහය වෙන චිත්‍රපටවලට ලෙහෙසියෙන් ලැබෙන්නෙ නැහැ.

උදාහරණයක් හැටියට ත්‍රිවිධ හමුදාවෙන් ලැබෙන සහාය වගේ සහයක්. හරියට ගහගන්න දන්නේ නැති නළුවෝ ඉන්න චිත්‍රපට අධ්‍යක්ෂණය වෙන රටක බූඩි කීර්තිසේන කියන්නේ සෑම කඩඉමක්ම අතික්‍රමණය කරපු කෙනෙක්. ඒ නිසා චිත්‍රපටයේ සියලුමාකාරයේ දේවල් මිනිස්සුන්ට කියන්න ප්‍රමාද වැඩි වුණා. ඒ දේ හරි කාලේ වුණා නම් මීට වැඩියෙන් ප්‍රේක්ෂක, විචාරක, ජාත්‍යන්තර අවධානයට මේ චිත්‍රපටය ලක් වෙනවා.

* ප්‍රේක්ෂකයාට වඩාත් ගෝචර වන පරිදි ලෝක යුධ සිනමා කෘතිවල රටාව ඔබ මෙහි පිටපතට ඇතුල් කර ඇති බව බැලූ බැල්මට පේනවා . . .?

එහෙම රටාවක් ආදේශ කර ගන්න තිර රචකයාට බැහැ. මොකද ඒක ලියන කෙනාගේ කාර්යයක් නොවන නිසා. එවැනි දේවල සාරය ගන්න පුළුවන් අධ්‍යක්ෂකට විතරයි. මොකද රුපයේ දිග පළල ගැන අවබෝධය තිබෙන්නේ අධ්‍යක්ෂකට නිසා. මම රචකයා හැටියට කරන්නේ චිත්‍රපටයේ එන චරිතවල ජීවිත නාටකය විග්‍රහ කරන එක විතරයි. උදාහරණයකට නැව් හා බෝට්ටු පෝළිමක් එන බව මම ලියනවා. ඕක කොහොම රූපයක් ද කියලා තීරණය කරන්නේ බූඩි මිසක් මම නොවෙයි. ඒ වගේ සමහර නාටකමය අවස්ථා චිත්‍රපටය තුළ දියුණු කරලා තිබුණා.

* චිත්‍රපටයේ තාක්ෂණික අර්ධය දියුණු වන විට පිටපතේ සමහර දේ සංස්කරණයෙන් ඉවත් වුණා නේද?

ඕක පැති කිහිපයකින් සිද්ධ වුණා. එකක් තමයි දර්ශන තලයේදී. තව වතාවකදී අධ්‍යක්ෂණයේදී සිද්ධිවලට බරක් දෙන්න වීමෙන් සහ අවසාන වශයෙන් සංස්කරණයේදී. සමහර බරක් දෙන්න පුළුවන් රූප මඟ හැරුණයි කියලා මට හිතෙනවා. මොකද සංස්කරණ ශිල්පියා ආවේ හොලිවුඩ්වලින්. ඔහු චිත්‍රපටය දිහා බලන්නේ තාක්ෂණික ඇසින්. සමහර විට ඔහුට අපේ දෙමළ මනුස්සයාගේ, සිංහල මනුස්සයාගේ හැඟීම් නොතේරෙන්න පුළුවන්. ඒ නිසාම වෙන්න ඇති සමහර සියුම් තැන් බරක් නොදීම මඟ හැරිලා.

හොඳයි ඒ කෙසේ වෙතත් ‘මාතා’ තුළ ඔබ හිතාමතාම වර්තාමය චිත්‍රපට ශෛලියක් පිටපතෙන් ඇතුළත් කළා කියලා ප්‍රේක්ෂාගාරයෙන් අසන්න ලැබෙනවා . . .?

නැහැ. මගේ පිටපතේ වාර්තා චිත්‍රපටයක ශෛලියක් අන්තර්ගත වී තිබුණේ නැහැ. ඔය දේ වුණේ චිත්‍රපටයේ නාටකමය අවස්ථාවන් ගිලිහී යුද්ධය වැඩියෙන් ඉස්මතු වූ නිසායි. මිනිසුන් තිරයේදී දැකපු යුධ ස්ථාන ටෙලිවිෂන් එකෙන් දැකපු ඒවම තමයි. ඒ වගේම ඒ ජවනිකා චිත්‍රපටයෙනුත් ඒ විදිිහටම දැක්කා. ඒක එක අතකින් කැමරා ශිල්පීන්ගේ දක්ෂකම ඉස්මතුවීමක්. අනික චිත්‍රපටයේදී යුද්ධයට භාවිතා කළ කාල සීමා මම කොයිම මොහොතකවත් පිටපතේ සඳහන් කළේ නැහැ. කෙසේ වෙතත් නාට්‍යමය අවස්ථා වැඩියෙන් ඉස්මතු වුණා නම් ඔය තත්ත්වය මඟ හැරෙන්න තිබුණා.

* ඔතනදි ටෙලිවිෂන් රූප රාමුවයි චිත්‍රපට රූප රාමුවයි වෙන් කොට හඳුනා ගන්න ප්‍රේක්ෂකයාට ආයාසයක් දරන්න වෙනවා නේද?

සමකාලීන ගැටලුවක් එක්ක චිත්‍රපටයක් කරන කොට රූපවල ප්‍රශ්න එන්න පුළුවන්. ඕක ලංකාවේ විතරක් නෙවෙයි. ලෝකෙටම පොදුයි. නමුත් ප්‍රවෘත්තිවල එන රූපරාමු මේ චිත්‍රපටයට ඇතුල් කරන්න උත්සාහ කරලා නැහැ. එහිදී අපිට හමුවන්නේ වඩාත් දියුණු කරන ලද රූපරාමු ටිකක්. නමුත් ප්‍රවෘත්තිවල එහෙම එකක් නැහැ. අනික වර්තමානයට චිත්‍රපටය දෙන කොට සිද්ධිය ඒ ආකාරයෙන්ම විස්තර කරන්න ඕනෑ. ඕක අවුරුදු 10 ක් 20 ක් ගියාට පස්සේ වෙනස් වුණාට ගැටළුවක් නැහැ. මොකද ඔය දේ නරඹන්නේ තවත් පරම්පරාවක් නිසා.

* නමුත් පේ‍්‍රක්ෂකයාට අවසානාත්මකව ප්‍රත්‍යක්ෂ වෙනවා නේද චිත්‍රපටයේ රූපයට වඩා ශබ්දය බලවත් වෙනවා කියලා?

ඕක අධ්‍යක්ෂවරයා අතේ තිබෙන කාරණයක්. මොකද චිත්‍රපටයේ යථාර්තවාදී ගතියට වඩා ප්‍රයෝගමය අවස්ථා වැඩියි. ඒ නිසාම තමයි ශබ්දය බලවත් වුණේ. මම කියන්නේ නැහැ ඒ දේ නරකයි කියලා. අනික පිටපතේ වෙඩි තැබීමක්, දෙබසක්, සංගීතයක් වගේ දෙයක් ඇරෙන්න වෙන ශබ්දයට අදාළ දෙයක් සඳහන් වෙන්නේ නැහැ. චිත්‍රපටයේ ශබ්දය ඔප දැමීම අධ්‍යක්ෂකගේ කාර්යයක්.

මාතාගෙන් එහා ගිය සිනමාවකට ජන සන්නිවේදනයේ ප්‍රවීණයෙක් හැටියට ඔබ යෝජනා කරන්නේ කුමක්ද?

ඇත්තටම සිනමාවේදී විශේෂයෙන් හොලිවුඩයේ ප්‍රබල කෘති නිර්මාණය වෙන්නේ පුද්ගල අභ්‍යන්තරයේ දියුණු ප්‍රකාශන හෝ අතිශය මායාකාරී නිර්මාණ පදනම් කොටගෙන. ඔවුන් ඒවාට සම්මාන ගන්නවා.

නමුත් අපේ රටේ සිනමාපටයක් ගත්තොත් සම්මානයට පාත්‍ර වෙන බොහෝ ඒවා එක්කෝ ඛේදවාචක නැත්නම් වෙනත් දෙයක්. අපි දියුණු කතා තේමා එක්ක ජාත්‍යන්තරයට යා යුතුයි. ඒක අපේ බූඩි, විමුක්ති වගේ තරුණ ශිල්පීන් ඉන්නවා. මොකද අද පතිරාජ, නිහාල්සිංහ වගේ අය ඉදිරියට එන්නේ නැති නිසා.

ලෙස්ටර්ගේ සංදේශය තුළින් පෙන්නපු සිනමා ආඛ්‍යානය කලකදී නැවතුණා. ඒ නිසයි ඒ දේ අරගෙන අපි ඉස්සරහට ගෙනියන්න ඕනෑ. එතනින් නොනැවතී ඒ දේ වාණිජ මට්ටමින් ජාත්‍යන්තරයට යන්නත් ඕනෑ.

* සිනමාවෙන් අනතුරුව ඔබ වේදිකාවටත් එන බව ආරංචියි?

ඇත්ත. මගේ කම්මැලිකම හින්දම තමයි වැඩිය නිර්මාණකරණයට එන්නේ නැත්තේ. හැබැයි ඒකට මම තිත තියලා වේදිකාවට එනවා ‘මහ සමයම’ අරගෙන. අපේ සබරගමු කලාව වේදිකාවට ආවේ නැති තරම්. ඒ හින්දම තමයි මම ඒ දේ වේදිකාවට ගෙන්නේ මගේ අධ්‍යක්ෂණයෙන්.