වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය 49 වසරක් රැගෙන ආ නියමුවෝ

 අවුරුදු පනහක් - හරියට අද ඊයේ වගෙයි

සරසවිය 49 වසරක් රැගෙන ආ නියමුවෝ

පසුගිය වකවානුවේ සරසවිය කියවන පාඨකයන්ට මහත් ප්‍රහේලිකාවක් වූයේ මුල් පිටුවේ පළ වූ දින ගැනීමයි. මේ කවර අරභයා දැයි කෙහෙල්කැන වැට පන්නා විමසන්නට බොහෝ දෙනකුට අවශ්‍ය ව තිබිණ. මේ පිළිබඳ පෞද්ගලිකව මගෙන් ද විමසූ බොහෝ දෙනෙකි. මගේ කර්තෘ මණ්ඩලයේ සියල්ලන්ගෙන් ද ඒ ගැන විමසූ ඇත්තන් එමට ය. ඒ හැමදෙනාටම අපේ පිළිතුර වූයේ ඔහොම දින ගනිමින් සටින ලෙස ය. දැන් ඒ සියල්ලන්ට පිළිතුරක් දීමට අප සූදානම් ය.

එනම් අප දින ගැන්නේ ගෙවුණු අප්‍රේල් දහ වැනිදාට බව ය. ඒ සරසවිය සිය ජීවන ගමන්මගේ 49 වැනි විය පසු කළේ එදා බැවිනි. අප ගැන්නේ සරසවිය පනස් වැනි වියට පා තබනතුරු ය. සරසවිය ආරම්භ කළේ 1963 වසරේ අප්‍රේල් 10 වැනි දිනය. එපමණක් නොව එය අද සිට වෙනස්ම මුහුණු වරක් ගෙන එන වග ඔබ දෝතට පුවත්පත ගත් සැනින් පෙනෙනු ඇත.

සිනමා පත්තරයක් පනස් වසර සැමරීම අපේ රටේ පමණක් නොව ලෝකයේ සෙසු පත්තර ගැන සළකා බැලුව ද පුදුම සහගත එකකැයි මම සිතමි. දැනට ලෝකයේ පළවන පැරැණිතම සිනමා සඟරාව 1920 ඇරැඹුණ ඇමෙරිකන් ‘සිනෙමට්‍රොගැෆි’ සඟරාවයි. දෙවැන්න 1932 වසරේ ඇරැඹුණ ‘සයිට් ඇන්ඩ් සවුන්ඩ්’ සඟරාවයි.

මෙයින් පළමුවැන්න ඇමෙරිකානු චිත්‍රපට කැමරා ශිල්පීන්ගේ ආයතනය මගින් ද, දෙවැන්න බ්‍රිතාන්‍ය සිනමා ආයතනය මගින් ද ප්‍රකාශයට පත් කරනු ලැබේ. මෙම ආයතන සතු ලොවපුරා ඇති පුළුල් සාමාජිකත්වය සමඟ සැසඳීමේදී එතරම් කලක් ඒවා පවත්වා ගෙන යෑම පුදුමයක් නොවේ. මෙම සඟරා දෙකම හුදු ඕපා දූපවලින් පිටු පිරවූ සඟරා නොවේ.

කලකට ඉහත මම මේ අතරින් ‘සයිට් ඇන්ඩ් සවුන්ඩ්’ සඟරාව සඳහා සාමාජිකයකුව සිටියෙමි. මම ලෝක සිනමාව පිළිබඳ එකල යම් දැනුමක් ලැබුවා නම් එයට හේතුවක් වූයේ එම සඟරාව යැයි සිතමි. එහෙත් වර්තමානයේ එයට දායක නොවන්නේ අන්තර්ජාලය එම අවශ්‍යතාව ඕනෑවටත් වඩා හොඳීන් සපුරන හෙයිනි.

ආසියානු කලාපයේ සිනමා සඟරාවන්ගේ පූර්වාදර්ශය වූයේ ඉන්දියාවේ පළවන ‘ෆිල්ම් ෆෙයාර්’ සඟරාවයි. එය ඇරැඹුණේ 1952 වසරේ ය. මෙරට මුල්ම සිනමා පුවත්පත සිනමා නමින් ඇරැඹුණේ ද 1952 වසරේ ය. එය ආරම්භ කරන ලද්දේ රොබට් ජයවර්ධනගේ කතෘත්වයෙනි. එය මුල් වරට නිකුත් වූයේ එම වසරේ ජූලි පළමු වැනිදා ය.

කෙසේ වෙතත් සරසවිය ඇරැඹෙනුයේ එයින් වසර එකොළකට පසුව ය. මේ කාලය ඇතුළත සිනමා පත්තර නමින් පුවත්පත් රාශියක් බිහි වුවද ඒ අතරින් වැඩි හරියක් කලාප කිහිපයකට, දෙකකට වඩා පළවූයේ ද නැත. මේ කාලයේ මෙරට බිහි වූ සිනමා පුවත්පත් සියල්ලම පාහේ නළු නිළියන් හෝ සිනමා කෘතින් පිළිබඳ හුදු ඕපාදූපවලින් එහාට යමක් පළ නොකර තරම් ය. එම කාලයේ වඩාත්ම ජනප්‍රිය සිනමා පුවත්පත වූයේ එස්.පියසේන විසින් මුලින් ද අනතුරුව ආරියරත්න කහවිටගේ ද සංස්කරණයෙන් පළ වූ ‘කලා’ පුවත්පතයි.

කලා පුවත්පත පළ කළේ එවකට මෙරට චිත්‍රපට නිෂ්පාදනයේ බලවත් සමාගම ක් වූ සිනමාස් සමාගම මගින් බැවින් එහි මුල් අරමුණ එකී සමාගම මගින් තිරගත කරන ලද චිත්‍රපට කෙරෙහි වැඩි ප්‍රචාරයක් ලබාදීමයි. අනෙක් අතට එම කාලය ඇතුළත මෙරට ජනප්‍රියම මාධ්‍යය වූයේ සිනමාව බැවින් එහි නියැළි බොහෝදෙනා පිළිබඳ ඕපාදූප දැන ගැනීමේ නොතිත් ආසාවට මනා ඉල්ලුමක් තිබිණ. එයට එකම විසඳුම වූයේ සිනමා පත්තර වැහි වැහීම ය. මේ පුවත්පත් බහුතරයක් පිරී තිබුණේ සිත් ඇදගත් සිනමා තරු පිළිබඳ අනේක විධ ඕපාදූප වලිනි.

එමෙන්ම එකල පළ වූ බොහෝ සිනමා පුවත්පත් අතර නම් වශයෙන් ද සමාන කමක් පෙනිණ. කලා දීප,කලා නදී,කලා පාණී,චලන චිත්‍ර,චලන රේඛා ආදී වශයෙන් මේ සඳහා හොඳම උදාහරණ රැසක් දිය හැකිය. කලා පුවත්පතකට කෙතරම් ඉල්ලුමක් ඇතිවෙත් දැයි සැක කළ බැවින් සමහරු කවියෙන් ද සිනමා පත්තර බිහි කළහ.

කොබ්බෑවල රණසිංහ ගේ සංස්කරණයෙන් බිහි වූ ‘නිළිය’ පුවත්පත එයට උදාහරණයකි. එහෙත් හතු පිපෙන්නාක් මෙන් බිහි වූ බොහෝ සිනමා පුවත්පත්වලට කලාප එකකට දෙකකට වඩා යන්නට හැකි වූයේ නැත. එයට හේතු කිහිපයක් තිබිණ. එකක් නම් ඒ සියල්ල ඒකාකාරී ගති ලක්ෂණවලින් පිරී තිබීම ය. අනෙක පුවත්පතක් ඇරැඹුමේ හැකියාව තිබුණ ද එය පවත්වා ගෙන යෑම සෙල්ලමක් නොවීම ය.

අපේ රටේ සිනමා ලිපි පළ වන්නට පටන්ගත්තේ සිනමා පත්තර නිකුත් වන්නට කලිනි. එකල දිනමිණ ඇතුළු බොහෝ පුවත්පත් සිනමා ලිපි සඳහා විශාල ඉඩකඩක් ලබාදෙනු ලැබිණ. මෙරට සිනමා පත්තර අතර කැපී පෙනෙන නාමයක් ලෙස මුල් යුගයේ හැඳීන්විය හැක්කේ ‘විසිතුර’ පුවත්පතයි.

එකල දවස නිවස නමින් ප්‍රචලිතව පැවැති ස්වාධීන පුවත්පත් සමාගම මගින් නිකුත් කළ එම පුවත්පත හුදු ඕපාදූප සංස්කෘතියෙන් බැහැරව ඉදිරිපත් කළ එකකි. එමෙන්ම ඒ වනවිට ලොව පරසිඳු සම්භාවනීය චිත්‍රපට පිළිබඳ වැදගත් ලිපි රැසක් පිළිබඳ මෙරට බොහෝදෙනා කියවන්නට පටන් ගත්තේ එමගිනි.

ජී.ඩබ්ලිව් සුරේන්ද්‍ර විසින් පළමුව ද පසුව ආතර් යූ. අමරසේන විසින් ද සංස්කරණය කරන ලද විසිතුර ආරම්භයේ එහි ලේඛකයන් ලෙස සම්මාදම් වූයේ සිනමාව පිළිබඳ අධික උනන්දුවෙන් ද රැඩිකල් ගති පැවතුම්වලින් ද පිරි එවකට ගැටවර වියේ සිටි පිරිසකි. තිස්ස අබේසේකර, රැලෙක්ස් රණසිංහ, ඔගස්ටස් විනයාගරත්නම්, රෙජී රණසිංහ, සිරිල් බී.පෙරේරා මේ අතරින් කැපී පෙනෙන නම් කිහිපයකි.

සරසවිය බිහි වනුයේ විසිතුර නිකුත්ව ටික දවසකට පසුව ය. සරසවිය ආරම්භය පිළිබඳ අපූරු පුවතක් අප මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාණන් ගේ අත්දැකීම් අළලා ලියවුණු ආවර්ජනා ග්‍රන්ථයෙහි එයි. ආචාර්ය ලෙස්ටර් ගම්පෙරළිය සදහා සුදුසු ආයෝජකයකු සොයද්දී පත්තර මහගෙදර ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර්.විජයවර්ධන මහතාණන් ගේ පුත් රංජිත් විජයවර්ධන මහතාණන් ද මුලින් එයට කැමැත්ත පළ කරයි.

එහෙත් ඔහු ලේක්හවුස් ආයතනයේ සභාපති පදවිය බාර ගැනීමත් සමඟ එයට අලුතෙන් මුදල් ආයෝජනයක් කළ යුතු වීමත් සමඟ චිත්‍රපට නිෂ්පාදනයෙන් බැහැර වන්නට ඔහුට සිදු විය. එහෙත් රංජිත් විජයවර්ධන මහතා සභාපති පදවියට පත්ව වැඩි කල් යන්නට මත්තෙන් ලේක් හවුස් ආයතනය අලුත්ම පුවත්පතක් කලා ලෝකය වෙනුවෙන් බිහි කිරීමට තීරණය කළේ ය. එය ‘සරසවිය’යි. එහි ආරම්භක කලාපය කියවන්නකුට ‘සරසවිය’ යනු තනිකරම සිනමා පත්තරයක් ය යන හැඟීම ඇති නොවෙයි. එහි සිනමාව කලාවට අමතරව ආගම, දහම ගැන ද ජ්‍යෝතිෂය ගැන ද ළමාළපටින් ගැන ද ලිපි පළ වූයේ ය. එහෙත් එහි මූලික අරමුණ වූයේ විවිධ කලාවන් පිළිබඳ පුවත්පතක් බැව් තහවුරු වනුයේ එයට සරස්වතිය වැඩ වෙසෙන්නා වූ ස්ථානය යන අරුතින් නම තැබීමෙනි.

මේ නම තබන ලද්දේ ප්‍රකට කිවි වරයකු, ලේඛකයකු වන පී.කේ.ඩී.සෙනෙවිරත්නයන් විසිනි. එහි ආරම්භක කර්තෘ වූයේ ද විශිෂ්ට ගණයේ පුවත්පත් කලාවේදියකු මෙන්ම කවියකු ද වූ මීමන ප්‍රේමතිලකයන් ය. මීමන ප්‍රේමතිලකයන් එහි ආරම්භක කර්තෘවරයා වුවද එය හදා වඩා ගැනීමේ වගකීම එතුමන් පැවරුවේ විමලසිරි පෙරේරා මහතාණන්ට ය. මීමන යන් මෙන්ම විමලසිරි පෙරේරා ශූරීන් ද කවියකු විය. කලාප කිහිපයක් යන්නට මත්තෙන් මීමන ප්‍රේමතිලකයන් ගේ ආශිර්වාදයෙන් යුතුව විමලසිරි පෙරේරා මහතාණන් සරසවිය කතු පදවියට පත් විය.

එතැන් පටන් පුරා වසර 14ක්ම සරසවිය කතු පදවිය ඉසිලුවේ විමලසිරි පෙරේරා මහතාණන් ය. සරසවිය සරසවියක් බවට පත් කරන ලදදේත් එයට සම්ප්‍රදායයන් ගොඩ නැඟුවේත් මේ මහා පුරුෂයා නිසාවෙන් යැයි මම සිතමි. සරසවිය සිනමා සම්මාන උළෙල 1964 වසරේ ආරම්භ කරන ලද්දේ ද එතුමන්ගේ ප්‍රධානත්වයෙනි. එය සිනමා පුවත්පතක් ලෙස කීර්තිමත් වන්නට පටන් ගත්තේ ද ඒ සමඟ ය. මෙම සිනමා සම්මාන උළෙල සඳහා වඩාත්ම වෙහෙස වූයේ පසු කලෙක ලේක්හවුස් ආයතනයේ සභාපති පදවියට පත්වූ රණපාල බෝධිනාගොඩ මහතාණන් ය.

සරසවිය සම්මාන උළෙල පිළිබඳ කතාවකින් තොරව සරසවිය ගැන කතා කළ නොහැක. එය මෙරට සිනමා උළෙලයන්ට මානයක් ගෙනාවේ ය. එහි ආරම්භය අතිශය ඉහළ අගයක් ගනුයේ එවර මුල්ම සිනමා සම්මාන දිනූ චිත්‍රපටය වූයේ ‘ගම්පෙරළිය’ නිසාවෙනි. එම සම්මාන උළෙල ඉන්දියාවේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ ආභාසය ලද්දක් නමුදු ආරම්භයේ සිටම සරසවිය තමන්ගේම සම්ප්‍රදායයන් ගොඩ නැඟුවේ ය.

ෆිල්ම්ෆෙයාර් සම්මානය හින්දි සිනමාවේ ප්‍රධාන ප්‍රවාහයේ චිත්‍රපට සඳහා වැඩි අවධානය ලබාදුන් තාරකා ගුණැති සම්මාන උළෙක් වූයේ නමුදු සරසවිය අවධානය යොමු කරන ලද්දේ සිනමාවේ කලාත්මක පක්ෂයට ය. එහෙත් ඒ සමඟ තාරකා ගුණය මිශ්‍ර කරමින් අතුරේ යෑම සිදුකොට එහි අන්‍යතාවය සටහන් කිරීමට සරසවියට හැකිවිය. සරසවිය සම්මාන උළෙල සමඟ එයත් තවත් ජාතික වස්තුවක් ද ගෙනාවේ ය. එනම් සරසවිය ගීතයයි. ශ්‍රී චන්ද්‍රරත්න

මානවසිංහයන් විසින් රචනා කරන ලද පණ්ඩිත් අමරදේවයන් ගයනු ලබන ජගන් මෝහිණී ගීතය ගයන ලදදේ සරසවිය සම්මාන උළෙල වෙනුවෙනි. එය සරසවියේ තේමා ගීතය වෙයි. එහෙත් එය අද ලංකාවේ බොහෝ තැන්වල සරස්වතී අභිනන්දන ගීතය ලෙස ගයනු ලබයි. මේ ගීතය ලේක්හවුස් ආයතනයේ සරසවිය වෙනුවෙන් ලියන ලද්දේ එවකට ටයිම්ස්, ලංකාදීපයේ සේවය කළ මානවසිංහයන් වීම නිසාම පෙනෙනුයේ ආරම්භයේ සිටම සරසවිය කලාකරුවන්ගේ පොදු වස්තුවක් ලෙස සැලකූ බව ය.

වසර කිහිපයක් ගතවත්ම සරසවිය කලා අනන්‍යතාවයටම යොමු වන්නට පටන් ගත්තේය. එහි වූ දහම් කරුණු වෙන්ව ගියේ බුදුසරණ පුවත්පත ආරම්භයත් සමඟ ය. ලලනා ලිපි වෙන්ව ගියේ තරුණී පුවත්පත සමඟ ය. ළමා ලිපි මිහිර ට මුල පිරුවේ ය. ජ්‍යෝතිෂය සුබසෙත පුවත්පත නිර්මාණය කළේය. මෙනයින් බලන කළ සරසවිය යනු මෙරට සාරගර්භ පුවත්පත් රාශියකටම මුළ පිරූ පුවත්පතක් වෙයි. සරසවිය සහමුලින්ම කලා විෂයයන්ගෙන් පමණක් පිරුණේ එයින් පසුව ය.

ඒ අවදියේ සරසවිය පිටපත් ලක්ෂය ඉක්මවා අලෙවි විය. එය සිනමාවේ ද ස්වර්ණමය යුගය විය. විමලසිරි පෙරේරා මහතාණන්ගෙන් පසු සරසවිය මුල් පුටුව බාර ගැනුණේ තවත් කොළඹ යුගයේ කවියකුට ය. ඒ ධර්මදාස බොතේජු මහතාට ය. බොතේජු යුගය නිමවූයේ ග්‍රැන්විල් සිල්වා මහතාණන් සරසවිය කතු පදවියට පත් වීමෙනි. සරසවිය විසි පස් වසර සැමරුවේ එසමයේ ය. කලක් නතරව තිබූ සරසවිය සිනමා සම්මාන උළෙල ආරම්භ වූයේ ද ග්‍රැන්විල් සිල්වා සමයේ ය.

එයින් පසු සරසවිය කතු පදවිය බාර ගත්තේ චිත්‍රපට රැසකටම කලා අධ්‍යක්ෂවරයකු ලෙස ද දායක වෙමින් සිනමාවටත්, ලේඛකයකු ලෙසත් දායක වූ ඒ.ඩී.රන්ජිත් කුමාර මහතා ය. එමෙන්ම ඔහු සරසවිය කතු පදවියට පත් වනවිට ලේක්හවුස් ආයතනයට බැදුණ දා සිට වසර විස්සක්ම සරසවිය කර්තෘ මණ්ඩලයේ සේවය කොට තිබිණ.

සිනමා සම්මාන උළෙලේ සම්මාන ලාභීන් සඳහා සම්මානයට අමතරව මුදල් ත්‍යාග පිරිනැමුණේ ද එසමයේ දී ය. සිනමා ශිල්පීන් හා පුවත්පත අතර මනා සම්බන්ධතාවයක් ගොඩ නැංවීමට ද රන්ජිත් කුමාර මහතා කටයුතු කළේය. රන්ජිත් කුමාර යුගය නිමා වූ පසු පත්වූයේ ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු, ලේඛකයකු, කවියකු, ගීත රචකයකු වූ තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතායි.

සිනමා සම්මාන උළෙලේ මුල්වරට සම්මාන රාත්‍රිය එළැඹෙනතුරු එය රහසක් ව තබා ගැනීමත් සම්මාන විනිශ්චය මණ්ඩලය සඳහා විචාරකයන් පමණක් පත්කර ගැනීමත් සම්ප්‍රදායයක් බවට පත්වූයේ එසමයේ ය. එමෙන්ම සරසවිය ජනප්‍රිය සම්ප්‍රදායයෙන් බැහැර සාරගර්භ ලිපිවලින් සැරසුණේ ද එසමයේ ය.

එයින් පසු කර්තෘ පදවියට පත්වූයේ ප්‍රවීණ නාට්‍යකරුවකු, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස පතළ ව සිටි සුසිල් ගුණරත්න මහතා ය. සුසිල් දිගුකලක් සරසවිය පුවත්පතේ සේවය කළ අතර පසු කලෙක එනම් සිය ජීවිතයේ පනස්විය ගෙවද්දී අකල් මරණයකට ගොදුරු වද්දී ඔහු සරසවියේ උපදේශක කර්තෘවරයා විය.

අනතුරුව එම තනතුරට පත්වූයේ නළුවකු මෙන්ම අති දක්ෂ ලේඛකයකු ද වූ අනුර බණ්ඩාර රාජගුරු මහතා ය ය. ලේක්හවුස් ආයතනයේ පුවත්පත් කිහිපයකම පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කළ රාජගුරු සම්මාන උලෙලේ දී මුල්වරට සිනමා ලේඛකයන්ට සම්මාන පිදීමේ අරමුණින් යුතුව රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්‍ය සම්මානය එයට හඳුන්වා දෙනු ලැබිණ. රාජගුරු යුගය නිමාවූයේ මෙරට සිනමා පුවත්පත් ඉතිහාසයේ පළමු කතුවරිය බිහි කිරීමේ ගෞරවය ද සරසවිය දිනා ගනිමිනි.

ඇය දීප්ති ෆොන්සේකා මහත්මියයි. ඇය සරසවිය පුවත්පත වඩාත් රසිකයන් වෙත යොමු කරවීමේ මෙහෙයක්ද කළා ය. ඇයගේ යුගයෙන් පසු එම තනතුරට පත්වූයේ ප්‍රවීණ සිනමා විචාරකයකු මෙන්ම කෘතහස්ත සිනමා ලේඛකයකු වූ සුනිල් මිහිඳුකුල මහතායි. අනතුරුව එම තනතුරට පත්වූයේ ඒ වනවිටත් සිනමා පුවත්පත් කිහිපයකම කතුවරයකු ලෙස කටයුතු කරමින් පළපුරුද්දක් තිබූ ගාමිණී සමරසිංහ මහතායි. මේ හැම කතුවරයකුම සරසවිය සිය ජීවිතයේ කොටසක් බවට පත් කර ගත් බැව් මෙහිදී කෘතවේදිත්වයෙන් සහ ඔවුනට කරන ගෞරවයක් ලෙස ලියන්නට මම කැමැත්තෙමි

එමෙන්ම පුරා වසර 49 ක් මුළුල්ලේ සරසවිය කර්තෘ මණ්ඩලයේ සේවය කරමින් මෙන්ම එයට බාහිර ව එය සතිපතා දොරට වැඩවීමේ කර්තව්‍යය දක්වා දශමයක හෝ උපකාර කළ සියලු දෙනාට ද මේ මොහොතේ මගේ ගෞරව ප්‍රණාමය පුදන්නට මම කැමැත්තෙමි.

සරසවියට පසු සහ පෙර ද බොහෝ සිනමා පුවත්පත් ඇරැඹුණ ද ඒ බහුතරය දීර්ඝායුෂ ලැබුවේ නැත.

මෙරට සිනමා පුවත්පත් අතර දස වසර සපුරන්නට සමත් වූයේ කිහිපයක් පමණී. කලා,විසිතුර,සරසි එම පුවත්පත් අතර කැපී පෙනෙයි. එයට විවිධ හේතු තිබිණ. සරසවිය පවා විවිධ කාලයන්හිදී විවිධ බාධාවලට මුහුණ දුන්නේය.

එහෙත් ලේක්හවුස් ආයතනයේ පාලනාධිකාරිත්වය සරසවිය යනු ජාතික වස්තුවක් ලෙස සලකා එය ආරක්ෂා කළ යුතුය යන මතයක හැමදා සිටියහ. එපමණක් ද නොව සරසවිය කාලානුරූපව වෙනස්ව ගියේය. සමාජයේ කලාවන් පිළිබද රැල්ලේ නොගිය ද තීරණාත්මක සෑම මොහොතකම සරසවියේ කැපවීම සහ පෙනී සිටීම එය වසර පනහක් මුළුල්ලේ අඛන්ඩව පැවැත්වීමේ රහස විය. සරසවිය කතුවරයා නොව සරසවිය පුවත්පත මෙරට කලාකරුවන්ගේත් රසිකයන්ගේත් හද දිනා ගත්තේය.

වසර පනහක් ලබද්දී සරසවිය තවත් ජාතික වගකීම් කිහිපයකටම උර දෙයි. ‘සරසවිය සවිය’ නමින් මෙරට කලාකරුවන් වෙනුවෙන් අරඹන සද්කාර්ය එයින් එකකි. සරසවිය කවර තරමේ අවස්ථාවක වුව ද හිතාමතා කිසිදු කලාකරුවකුට අපහාස කළේ නැත.ඔවුන් වෙනුවෙන් හැමවිටම පෙනී සිටියේය. එමෙන්ම හැමවිටම එයට දුර දැක්මක් තිබිණ.

එමෙන්ම එය සිනමාවට පමණක් සීමා වූවක් නොවී ය. එය සරසවිය නමේ පරිසමාප්ත අර්ථයෙන් යුතු ව සියලු කලාවන්ට දොර විවර කර ඇත්තේය. වර්තමාන කලා මාධ්‍යයන්ගේ නීර්ණායකයන් තීන්දු කරන ටෙලි විෂන මාධ්‍ය සමඟ පවා සරසවියට අත්වැල් බැඳ ගත හැක්කේ එබැවිනි. ගෙවුණු 49 වසරක් මුළුල්ලේ අප ලද වඩාත්ම වටිනාකම ඔබ ය. සරසවිය ආරම්භ වන සමයේ තිබූ ලෝකය සහමුලින්ම අද වෙනස් ය. පසුගිය දශකය මුළුල්ලේ ලෝකයේ වින්දනාත්මක මාධ්‍යයන් බරපතළ පරිවර්තනයක් අත්පත් කර ගනිමින් සිටී.

තව දුරටත් චිත්‍රපට නරඹන මාධ්‍ය සිනමාහල පමණක් නොවේ. ගීත අසන්නේ ගුවන් විදුලියෙන්ම නොවේ. පුවත්පත් කියවන්නේ මුද්‍රණ මාධ්‍යයෙන්ම නොවේ. කොටින්ම අද යුගයේ ගායක - ගායිකාවන් මුදල් උපයන්නේ ගී ගැයීමෙන්ම නොවේ. රිංගිං ටෝන් මගිනි. එදා හැම ලිපියක්ම ලේඛකයන් ලියන්නේ පෑනක් ගෙන කඩදාසියකිනි.

අද ඕනෑ නම් අත් පිටපතකින් තොරව කෙලින්ම කම්පියටරයක් මගින් ලිපිය සැපයිය හැක්කේය. ලෝකය සිතන පතන අන්දම පවා වෙනස් ව තිබේ. එම වෙනස්කම්වලට වෛර කරන්නට කිසිවකුට නොහැක. එකම දෙය නම් ලෝකය වෙනස් වන බව අවබෝධ කර ගැනීම පමණ ය.සරසවිය පුවත්පතේ වර්තමාන කර්තෘ මාණ්ඩලිකයන්ගෙන් මා ඇතුළු සියයට අනූ නවයක්ම උපත ලද්දේ සරසවිය උපන්නාට පසුවය.

එබැවින් සරසවිය පෙර පරම්පරාව අප වෙත පැවරූ වගකීම ඓතිහාසික එකක් ලෙස සලකන්නට අප පුරුදුව සිටිමු සරසවිය අන්තර්ජාල වෙබ් අඩවිය පවා අදින් පසු යාවත්කාලීන වන්නේ අපේ ඉදිරි අනාගතය සමඟ සිදු විය යුතු පරිවර්තනයන්ට මග පාදා ගැනීමට ය.

වර්තමානයේ ලේක්හවුස් ආයතනයේ නියමුවාණන් වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්ම කුමාර මහතාණන්ගේ සිට ආයතනයේ කුදු මහත් සියලු දෙනාගේ ආශිර්වාදය ද මග පෙන්වීම ද එය ඉදිරි මග නිර්මාණය කර ගැනීමේදී අපට මහත් අත්වැලක් ව ඇත්තේ ය. ඒ හැම විටම පාඨක ඔබ අප සමඟ සිටින වග අපගේ විශ්වාසයයි.

ඔබ සැමට ලබන අලුත් අවුරුද්ද සියල් පිරින් සිරි සුබ නව වසරක්වේවා.සියලු දෙනාට බුදු සරණත් , දෙවි රැකවරණයත් පතමි.

සරසවිය කර්තෘ මණ්ඩල ඡායාරූපය සමන් මෙන්ඩිස්