වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




මෙගාද? බඩී ද?

 ‘දූවරු’ එක්ක නාලන් මෙන්ඩිස්

මෙගාද? බඩී ද?

ඒක වැදගත් නෑ

රූපවාහිනිය මෙරට වඩාත්ම ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ටෙලි නාට්‍යය නිසා යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ඒ ටෙලි නාට්‍යය පොදු ජන විඥානය මැනැවින් ස්පර්ශ කළ හැකි අපූර්වතම කලාංගයක් වන බැවිනි. අපේ ටෙලි නාට්‍යය සංස්කෘතිය දෙස විමසුම් නෙත් හෙළද්දී නාලන් මෙන්ඩිස් නාමය නිතැතින්ම සිහියට නැඟේ.

පස්සෙ ගෙනා මනමාලි, දූ දරුවෝ, නෑදෑයෝ, සත්පුර වැසියෝ, සිටුවරයෝ, අපේ ඇත්තෝ වැනි අතිශය ජනප්‍රිය නිර්මාණ අපට තිළිණ කළ ඔහු ලාංකේය ටෙලි නාට්‍යය කලාවේ ගුණාත්මක බව රැක ගැන්මට සිය දායකත්වය පුද කළ නිර්මාණවේදියකු සේ හැඳින්වීම වඩාත් නිවැරදිය. මේ දිනවල ස්වර්ණවානිය ඔස්සේ විකාශය වන ‘දූවරු’ ඔහු අධ්‍යක්ෂණය කළ නවතම ටෙලි නාට්‍යයයි. මේ වන විට එය අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාරයන්ට බඳුන්ව හමාරය. එය ද නිමිත්තක් කර ගනිමින් අප නාලන් සමඟ මෙසේ පිළිසඳරකට එක් වුණෙමු.

මේ වන විට ‘දූවරු’ ඉතාමත් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් බවට පත් වෙලා. මුලින්ම ඒ ගැන යමක් කියන්න?

මම හිතන්නේ ඔය ප්‍රශ්නය මගෙන් අහනවාට වඩා හොඳයි මේ ටෙලි නාට්‍යය නරඹන අයගෙන් ඇහුවොත්. නමුත් නිර්මාණකරුවා හැටියට මේ ප්‍රශ්නයට මගේ පැත්තෙන් පිළිතුරක් දිය යුතුයිනේ. මම දකින ප්‍රධාන කරුණ තමයි ‘දූවරු’ කියන්නේ පවුලේ හැමෝටම එකට ඉඳන් බලන්න පුළුවන් ටෙලි නාට්‍යයක්. විවිධ තරාතිරමේ ප්‍රේක්ෂකයන් මෙහි විවිධ චරිත සමඟ එක්තරා ආකාරයක ගනුදෙනුවක් කරනවා. සමහරු මේ ටෙලි නාට්‍යයේ තරුණ චරිතවලට කැමැතියි. තවත් සමහරු වැඩියෙන් කැමැති වලව්වේ ජීවත්වන වැඩිහිටි කාන්තා චරිතවලට. මේ හැම චරිතයක්ම අපේ සමාජයේ ඇත්තටම ජීවත්වන චරිත. ඉතින් ප්‍රේක්ෂකයෝ ඒ චරිත එක්ක බද්ධ වීම අරුමයක් නෙවේ.

‘පවුල් සංස්ථාව’ තේමා කරගෙන තමයි ඔබ බොහෝ විට නිර්මාණකරනයේ යෙදෙන්නේ. එයට විශේෂ හේතුවක් තිබෙනවාද?

ටෙලිවිෂන් එක ඇතුලේ අපට ගොඩක් දේවල් කරන්න බෑ. අපි නිර්මාණකරුවෝ හැටියට බොහොම පරෙස්සමෙන් තමයි මේක පරිහරණය කළ යුත්තේ. සමාජයේ එක කොටසක් ගැන විතරක් කතා කරන්න ගියොත් අනෙක් කොටසට ඒක එපා වෙනවා. සාලේ මැද්දේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් විදිහේ ටෙලි නාට්‍යය මම නිර්මාණය කරන්නේ ඒ නිසයි. පිටරටවල නම් දුවගේ කාමරේ ටී. වී. එකයි, පුතාගේ කාමරේ ටී. වී එකයි වෙන වෙනම තියෙනවා. ඒ අය වෙන, වෙනම තමන්ට කැමැති වැඩසටහන් නරඹනවා. නමුත් අපේ ගෙවල්වල තියෙන්නේ එක රූපවාහිනී යන්ත්‍රයයි. ඉතින් එකම වෙලාවක හැමෝටම ගැළපෙන, හැමෝටම රස විඳින්න පුළුවන් දෙයක් තමයි අපි දෙන්න ඕනෑ. ටෙලි නාට්‍යය අතෑරලා දාපු අය පවා ‘දූවරු’ නිසා නැවත රූපවාහිනිය වටා එකතු වී සිටිනවා.

එකම නළු නිළි කණ්ඩායමක් තමා ඔබේ ටෙලි නාට්‍යය සඳහා බොහෝ විට ඔබ යොදා ගන්නේ?

ඒ, ඒ චරිත සඳහා අවශ්‍යය උපරිම සාධාරණය ඉටු කරන්න පුළුවන් නළු නිළියන් තමයි මම ගොඩක් වෙලාවට තෝරා ගන්නේ. දැන් මාලිනී ෆොන්සේකා මාත් එක්ක මේ වැඩ කරන්නේ පළමුවැනි වරට. ඒ වගේම අයිරාංගනී සේරසිංහ, මාලිනී වීරමුණි හැර ඒ චරිතවලට සුදුසු අය වෙන නැහැ කියලයි මට හිතෙන්නේ. ඉදිරියේදී ග්‍රේස් ආරියවිමල්, සුවිනීතා වීරසිංහ, බුද්ධික ජයරත්න වගේ නළු නිළියනුත් ‘දූවරු’ ටෙලි නාට්‍යයේ රංගනයට එක් වෙනවා. යශෝධා විමලධර්ම, රොෂාන් පිලපිටිය වගේ මීට පෙර මගේ ටෙලි නාට්‍යවල හිටපු අය වගේම වත්සලා දියලගොඩ වගේ නව පරපුරේ අයත් මා එක්ක එකට වැඩ කරනවා.

ඕනෑම නළුවකුට, නිළියකට ඕනෑම චරිතයක් රඟපාන්නට පුළුවන් කියා සමහරු කියනවා. තවත් කෙනෙක් කියන්නේ ඒ ඒ චරිත සඳහා ගැළපෙන අය ඉන්නවා කියලා. ප්‍රවීණයකු හැටියට ඔබේ ආස්ථානය?

සමහරු ඉන්නවා, ඕනෑම චරිතයකට හැඩ ගැහෙන්න පුළුවන්. තවත් සමහරු විශේෂිත චරිත සඳහා පමණයි. කෙනෙකුගේ හැඩරුව, ශරීර ප්‍රමාණය, ගති ස්වභාවය එක්ක යම් යම් චරිතවලට ගැළපෙන්න පුළුවන්. එහෙම යොදා ගන්න අවස්ථාත් තියෙනවා. නළුවකුගේ, නිළියකගේ බාහිර ස්වරූපය, සමාජ තත්ත්වය වගේ දේවලුත් නිර්මාණකරුවන් විදිහට අපි දැනගෙන ඉන්න ඕනෑ. චරිතයක් නිරූපණය කිරීමේදී ඒ සමාජ පසුබිම පවා ඉතා වැදගත්. හොඳටම නාගරික පෙනුමක් තියෙන කෙනෙකු ගම්බද චරිතයකට දැම්මොත් ඒක නොගැළපෙන්න පුළුවන්. එහෙම අවස්ථා අපි දැකලා තියෙනවා. එතකොට වෙන්නේ ප්‍රේක්ෂක විශ්වාසනීයත්වය බිඳ වැටීමයි.

මෙගා ටෙලි නාට්‍යය අද බොහෝ විවේචන, චෝදනාවලට ලක් වෙනවා. ඔබේ ‘දූ දරුවෝ’ කොටස් 220 ක් දක්වා විකාශය වූ දීර්ඝතම ටෙලි නාට්‍යයක්?

ඔව්.

එතකොට ‘මෙගා’ රැල්ලේ පුරෝගාමියා ඔබ කියා කෙනෙකු චෝදනා කරන්න පුළුවන්?

‘මෙගා’ ද ‘බඩි’ ද කියන එක නෙවේ වැදගත් වෙන්නේ. කරන දේ පැහැදිලි අරමුණක් ඇතිව කිරීමයි. වැඩේ හරියට කරනවා නම් දිග ද, කෙටි ද කියන එක ප්‍රශ්නයක් නෙවේ. අද සමහරු මේ කරන්නත් වාලේ කරන්න ගිහින් තමයි ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. හොඳ පිටපතක්, හොඳ නළු, නිළි පිරිසක් එක්ක වැඩ කරනවා නම් එවැනි ගැටලු මතු වෙන්නේ නැහැ.

හොඳ තිර පිටපතක් නොමැතිව හොඳ නළු, නිළියන් සිටියත් මම හිතන්නේ වැඩක් වෙන්නේ නැහැ?

ඒක ඇත්ත. අද බොහෝ ටෙලි නාට්‍යයවල හරිහමන් පිටපතක් නෑ. සමහරු පිටපත ලියන්නේ සෙට් එකේදී. ඩයලොග්ස් කියන්නේ ටෙලිෆෝන් එකෙන්. ඉතින් කොහොමද හොඳ නිර්මාණ බිහි වෙන්නේ. අඩු කොටස් සංඛ්‍යාවකින් අසාර්ථක ටෙලි නාට්‍යයක් හැදෙන්නෙත්, ඒ වගේම කොටස් සිය ගණනකින් සාර්ථක ටෙලි නාට්‍යයක් හැදෙන්නත් පුළුවන්.

ධම්ම ජාගොඩ, පරාක්‍රම නිරිඇල්ල වැනි ප්‍රවීණයෝ එදා ටෙලි නාට්‍යකරණට පිවිසියේ එය කලාවක් ලෙස හඳුන්වා දෙමින්. නමුත් අද එය ව්‍යාපාරයක් බවට පත් වෙලා. ඔබත් ඒ හවුල් ව්‍යාපාරයේ කොටස් කරුවෙක්?

කොයි විදිහට හැඳින්වුවත් මේක මගේ වෘත්තිය. මමත් ජීවත් වෙන්න ඕනෑ. නමුත් මම නිර්මාණකරනයේ යෙදෙන්නේ ප්‍රේක්ෂකයාට නිගාවක්, අවමානයක් නොවන විදිහට. අවුරුදු ගණනක් මම මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා. මම හිතන්නේ නෑ මගෙන් මේ ක්ෂේත්‍රයට අසාධාරණයක්, අකටයුත්තක් සිදු වුණා කියලා. මට ව්‍යාපාරයක් විදිහටවත්, උපරිම ලාභයක් ගන්නටවත් නෙවෙයි මේක කරන්නේ. නමුත් හැමෝටම නියමිත වටිනාකමක් තියෙනවා. ලැබෙන මුදල ඒ ඒ වටිනාකමට සරිලන විදිහට බෙදා ගැනීමකුයි මගේ ටෙලි නාට්‍යය හරහා සිදු වෙන්නේ.

පොදුවේ ගත්තාම අද හැදෙන ටෙලි නාට්‍යය ගැන විද්වතුන් තුළ තිබෙන්නේ විවේචනාත්මක දෘෂ්්ටියක්. ඇත්තටම ටෙලි නාට්‍යය හරහා සමාජයට යම් බලපෑමක් වෙනවාද?

අනිවාර්යයෙන්ම. ඒ නිසා මේක හරි පරෙස්සමෙන් කරන්න ඕනෑ දෙයක්. නිර්මාණකරුවාගේ වගකීමත් එකයි. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ටෙලි නාට්‍යයකට යොදා ගන්න වචන පහුවදාම සමාජගත වෙනවා. ළමයි ගෙදරදි, පාසලේදී එවැනි වදන් කතා කරනවා. ඒ නිසා වචනවලින් පවා අප ප්‍රවේශම් වෙන්න ඕනෑ. අද සමහර ටෙලි නාට්‍යය සඳහා යොදා ගන්න වචනවල කිසිම අර්ථයකුත් නෑ, අරමුණකුත් නෑ.

ටෙලි නාට්‍යය සහය අධ්‍යක්ෂවරුන් පවා අද චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිස සිටිනවා. සිනමාවට ප්‍රවේශවීමේ අදහසක් නැද්ද?

ඇත්තෙන්ම මටත් හිතෙනවා මම මේ ටෙලි නාට්‍යය කලාවට හිර වෙලා කියලා. ඒත් මට හැමදාම ආරාධනා ලැබුණේ ටෙලි නාට්‍යය කරන්නමයි. අඩුම තරමින් අලුත් ආරක රස වින්දනාත්මක රූපවාහිනී වැඩසටහනකටවත් මට ඇරියුම් ලැබෙන්නේ නෑ. නමුත් ඇත්ත වශයෙන්ම මම සිනමාවට එන්න කැමැතියි. එහෙම අදහසකුත් තියෙනවා. සමහර විට මේ අවුරුද්දේ මට ඒ බලාපොරොත්තුව සඵල කර ගන්නට හැකි වේවි.