වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




නමක් නැති මිනිසාගේ නිමක් නැති පෙම් කතා - 1

නමක් නැති මිනිසාගේ නිමක් නැති පෙම් කතා - 1

බොන්ඩ්ට බෑ කියූ ඊස්ට්වුඩ්

අමෙරිකාවේ ප්‍රකට සිනමා පුවත්පත් කලාවේදියකු වූ නෝර්මන් මේලර් 1989 දී පුවත්පතකට මෙසේ ලියුවේය. ‘ඔහු අමෙරිකානුවෙකි. ඔහු තරම් සර්ව සම්පූර්ණ අමෙරිකානුවකු තවත් නැත.’නොර්මන් එසේ කීවේ ඔහුගේ හැඩරුව කතා විලාසය හා රංගනය පිළිබඳ සලකාය. ඇත්තෙන්ම හොලිවුඩ් සිනමා රසිකයන් අතර සර්ව සම්පූර්ණ අමෙරිකානු ප්‍රතිරූපයක් මවන්නට සමත් වූ වෙනත් රංගන ශිල්පියකු නැත.

නළුවෙක්, සම්මානනීය අධ්‍යක්ෂවරයෙක්, චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් හා දේශපාලනඥයෙක් ද වූ ඔහු ක්ලින්ට් ඊස්ට්වුඩ්ය. ‘රව්ඩි’ මාලා ටෙලි නාට්‍යයේ රඟපාමින් යම් තරමක ජනප්‍රියත්වයක් ලබා සිටි ඔහු 1960 දශකයේ මුල් භාගයේදී හොලිවුඩ් සිනමාව ආක්‍රමණය කරමින් ජනප්‍රිය වූයේ ‘නමක් නැති මිනිසා’ (Man With No Name) යන හැඳින්වීමත් සමඟිනි. ඒ පසුපස රසවත් කතාවක් ද තිබේ.

අකිර කුරොසාවාගේ යොජිම්බෝම් නම් ජපාන චිත්‍රපටය ඇසුරෙන් 1963 වසරේදී සර්ජියෝ ලියෝනි අධ්‍යක්ෂණය කිරීමට නියමිත වූ බටහිර ගොපලු චිත්‍රපටය ‘අ ෆිස්ට් ෆුල් ඔෆ් ඩොලර්ස්’ හි ප්‍රධාන චරිතයට පළමුව තෝරා ගැනුණේ එවකට බටහිර ගොපලු චිත්‍රපටවල රඟමින් ඉතා ඉහළ ජනප්‍රියත්වයක් ලබා සිටි චාල්ස් බ්‍රොන්සන්වය. තිර නාටකය කියවා බැලූ ඔහු වැඩි කතා බහක් නැති නමක් නැති මිනිසාගේ චරිතයේ රඟපෑමට දෙයක් නැතැයි පවසමින් එහි රඟපෑම ප්‍රතික්ෂේප කළේය. ඉන් පසු එම චරිතයට ආරාධනා කෙරුණේ සමකාලිනව හොලිවුඩයේ ජනප්‍රිය නළුවන් වූ ස්ටීව් රීව්ස්, රිචඩ් හැරිසන්, ෆ‍්‍රෑන්ක් වුල්ෆ්, හෙන්රි ෆොන්ඩා, ජේම්ස් කෝබන් සහ ටයි හාඩින් යන අයටය. ඒ සියලු දෙනා නමක් නැති මිනිසාගේ චරිතය රඟපෑම ප්‍රතික්ෂේප කළහ. කෙසේ වෙතත් රිචඩ් හැරිසන්, අධ්‍යක්ෂ සර්ජියෝ ලියෝනිට චරිතය රඟපෑම ප්‍රතික්ෂේප කරමින් යෝජනා කළේ එම චරිතයට ‘රව්ඩි’ මාලා ටෙලි නාටකයේ රඟන ක්ලින්ට් ඊස්ට්වුඩ් සුදුසුය කියාය.

චාල්ස් බ්‍රොන්සන් ඇතුළු හොලිවුඩයේ දැවැන්තයන් පසෙකට වීසි කළ අඩක් මුහුණ වැසෙන්නට පලඳින හිස් වැස්ම ක්ලින්ට්ගේ හිසට වැටුණේ ඒ අන්දමිනි. ඔහු එම හිස් වැස්ම පැලඳ, දිග සුරුට්ටුවක් මුව රඳවා ගෙන වැඩි කතා බහක් නැති නමක් නැති මිනිසාට පණ දුන්නේය. ‘අ ෆිස්ට් ෆූල් ඔෆ් ඩොලර්ස්’ චිත්‍රපටය 1964 දී තිරගතවීමත් සමඟම ක්ලින්ට් ඊස්ට්වුඩ් එක් රැයින් අතිශය ජනප්‍රිය නළුවෙක් වූයේය. සිනමා ඉතිහාසයේ තද කළු අකුරින් සටහන්ව ඇති සර්ජියෝ ලියෝනිගේ ‘අ ෆිස්ට ෆුල් ඔෆ් ඩොලර්ස්’ (1964), ‘ෆෝ අ ෆිව් ඩොලර්ස් මෝ’ (1965) සහ ‘ද ගුඩ්, ද බෑඩ් ඇන්ඩ් දි අග්ලි’ (1966) යන ඩොලර් චිත්‍රපට ත්‍රිත්වයේ සාර්ථකත්වයට ක්ලින්ට්ගේ රංගන විලාසයන් ද ප්‍රබලව බලපෑ බව අප පිළිගත යුතුය.

නැවත 1970 – 80 දශකයේ ඔහු වඩාත් ජනප්‍රිය වූයේ ඩර්ටි හැරී (1971) චිත්‍රපට පෙළේ හැරී කැලහැන් නමැති නාහෙට නාහන රහස් පරික්ෂකවරයාගේ චරිතයට පණ පොවමිනි. ‘මැග්නම් ෆෝස්’ (1973) ‘දි එන්ෆෝසර්’ (1976) හා ‘සඩින් ඉම්පැක්ට්’ (1984) ඩර්ටි හැරී චිත්‍රපට පෙළේ අනෙක් චිත්‍රපට තුන වූ අතර හැරී කැලහැන් චරිතය තරමටම එම චරිතය චිත්‍රපටයේ උච්චතම අවස්ථාවේ තෙපළන ‘Go Ahead Make My Day’  යන දෙබස් ඛණ්ඩය බොන්ඩ් චිත්‍රපට පෙළේ  I’m Bond James Bond  යන දෙබස් ඛණ්ඩය තරමටම ජනප්‍රිය වූයේය. ‘ඩර්ටි හැරී’ චිත්‍රපට පෙළේ සිවුවැන්න ‘සඩ්න් ඉම්පැක්ට්’ අධ්‍යක්ෂණය කළේ ද ක්ලින්ට්මය.

1970 දශකයේ මුල් භාගයේදී එතෙක් ජේම්ස් බොන්ඩ් චිත්‍රපට පෙළේ බොන්ඩ් චරිතයට සාර්ථකව පණ දෙමින් සිටි ෂෝන් කොනරි තීරණය කළේ බොන්ඩ් චරිතය රඟපෑමෙන් ඉවත් වන්නටය. ඒ සමඟම එම චරිතය පිරිනැමුණේ ක්ලින්ට් වෙතය.

‘මම හිතන්නේ එම චරිතය රඟපෑමට සුදුසු වන්නේ බ්‍රිතාන්‍ය ජාතික නළුවෙක්. ඊට මා සුදුසු නැහැ’ යැයි පවසමින් ක්ලින්ට් එම චරිතය රඟපෑම ප්‍රතික්ෂේප කළේය.

අමෙරිකානුවකුගේ පෙනුම සහිත ක්ලින්ට් ගත් නිවැරදිම තීරණවලින් එකක් ලෙස අදත් විචාරකයෝ එය හඳුන්වති. 1973 වසරේදී ‘හයි ප්ලේන්ස් ඩ්‍රිෆ්ටර්’ චිත්‍රපටය නිර්මාණය කරමින් ක්ලින්ට් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසියේය. චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු 1992 වසරේදී ‘අන්ෆොගිවන්’ චිත්‍රපටය සඳහාත්, 2004 වසරේදී ‘මිලියන් ඩොලර් බේබි’ චිත්‍රපටය සඳහාත් හොඳම අධ්‍යක්ෂවරයා සඳහා වූ ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබුවේය. ඒ හැර ‘මිස්ටික් රිවර්’ (2003) හා ‘ලෙටර්ස් ෆෙ‍්‍රාම් අයිවෝ ජීමා’ (2006) චිත්‍රපට සඳහා ද ඇකඩමි සම්මාන නාම යෝජනා ලැබුවේය. අන්ෆොගිවන් හා මිලියන් ඩොලර් බේබි යන චිත්‍රපට දෙකේ රඟපෑම් සඳහා ඔහු හොඳම නළුවා වෙත පිදෙන සම්මාන සඳහා නාම යෝජනා ලැබූ නමුත් ක්ලින්ට් එම සම්මාන දිනා ගන්නට සමත් වූයේ නැත.

නියම අමෙරිකානුවාගේ ප්‍රතිරූපය හොලිවුඩ් සිනමාවේ මැවු නළුවා ලෙස ප්‍රකට ක්ලින්ට් ඊස්ට්වුඩ් සිය මුළු ජීවිත කාලය පුරාම ආදරය සොයා ගිය අයකු සේ පෙනෙයි. දෙවතාවක් නීත්‍යානුකූලව විවාහ වූ ඔහු දරුවන් සත් දෙනකු ලැබුවේ කාන්තාවන් පස් දෙනකුගෙනි. 1953 දී මැගී ජොන්සන් හා විවාහ වූ නමුත් එම විවාහය වැඩිකල් පවත්වාගෙන යාමට ක්ලින්ට්ට හැකි වූයේ නැත. එතැන් පටන් නර්තන ශිල්පිනී රොක්සානේ ටියුනිස්, කැතරීන් ඩෙෆයුව්, පෙගී ලිප්ටන්, ජීන් පෙබර්ග්, ජෙමී රෝස්, ඉන්ගර් ස්ටීවන්ස්, ජෝ ඇන් හැරිස්, ජිල් බැනර්, මේගන් රෝස්, පිහිනුම් ශූරියක වූ අනීටා ලිනොයිස් හා චිත්‍රපට නිළියන් වූ ෆ‍්‍රැන්සෙස් ෆිෂර්, සොන්ඩ්‍රා ලොකේ වැනි අයට ඔහු පෙම් කළේය.

1993 දී ඔහු ඩීනා රුයිස් හා විවාහ වූයේය. ඩීනා ඔහුට වඩා වසර 35 කින් බාලා තැනැත්තියක වූ අතර ඒ ඔහුගේ දෙවැනි නීත්‍යානුකූල විවාහය වෙයි. එම විවාහය තවමත් පවතී. සමහර අය පවසන්නේ ක්ලින්ට් ‘ගැහැනු සොඬකු’ බවය. එහෙත් ක්ලින්ට් පවසන්නේ තමා ජීවිතය පුරා ප්‍රේමය සොයමින් ගිය බවය. අදින් ඇරඹෙන මෙම ලිපි පෙළින් විවරණය කෙරෙන්නේ ක්ලින්ට්ගේ ආදරය සොයා ගිය ගමන් පිළිබඳය. යොවුන් ක්ලින්ට්ගේ ප්‍රථම ප්‍රේමය පිරිනැමුණේ කා වෙතද?

ලබන සතියේ අපි ඒ පිළිබඳ කියවමු.