වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 12 වැනිදා බ්‍රහස්පතින්දා




කුතුහලය සහ උත්ප්‍රාසය

කුතුහලය සහ උත්ප්‍රාසය

උත්ප්‍රාසය යනු කුමක්දැයි හඳුනා ගන්නට අපි ගියවර උත්සාහ කළෙමු. උත්ප්‍රාසය යන නාට්‍ය යෝගය ඉතාම සරලව හඳුනා ගතහොත ප්‍රේක්ෂකයන් දන්නා දෙයක් පාත්‍රයින් (චරිත) නො දැන සිටීම නිසා ඇති වන ඝට්ටනය නාට්‍යමය උත්ප්‍රාසය යැයි කිව හැක.

මේ ඝට්ටනය නිසා හට ගන්නේ හාස්‍යය රසය පමණක් නො වන වග හඳුනා ගන්නට අද අපි උත්සාහ කරමු. නාට්‍යයක තිබිය යුතු අනිවාර්ය අංගයකි ඝට්ටනය. ගැටුම, විගැටුම හා ප්‍රති ගැටුම මගින් නාට්‍යයක සන්දර්භයේ තීව්‍රතාව හට ගනී. ගැටුමෙන් තොර සිද්ධි දාමයක නාට්‍යයකට වඩා ළං වන්නේ වාර්තාවකටය. එසේම කිසිදු ඝට්ටනයකින් තොර සිද්ධි දාමයක් පවා සූර නාට්‍යකරුවකුට ගැටුමෙන් යුතු නාටකයක් බවට පත් කළ හැක.

අද අපේ අරමුණ ගැටුම ගැන කියාදිම නොවෙයි. නාටකීය ගැටුම ඇති කරවන උත්ප්‍රාසය (Irony) පිළිබඳ සොයා යාමයි. ප්‍රේක්ෂකයන් දන්නා දෙයක් පාත්‍රයින් නො දැනගත් කල එය ගැටුමට නිමිත්තක් වෙයි. ගැටුම විසින් ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගැනේ. ප්‍රේක්ෂක ආකර්ශනයක් නොමැති තැන නාට්‍යයක් නැත.

ප්‍රේක්ෂකයන් ආකර්ශනය කර ගත හැකි තවත් හොඳ නාට්‍ය යෝගයකි කුතුහලය (Suspense) ඊළඟ තත්පරයේ කුමකින් කුමක් සිදුවේදැයි ඇතිවන කුතුහලය ප්‍රේක්ෂකයන්ව නාට්‍යය හා බැඳ තබයි.

චිත්‍රපට ලෝකයේ ඇති රහස් පරීක්ෂක කථා කෙරහි පේ‍්‍රක්ෂකයන් බැඳී සිටින්නේ මේ කුතුහලය නිසාය. කුතුහලයෙන් ප්‍රයෝජන ගත් ලෝකයේ මහා නිර්මාණකරුවා වූයේ ඇල්ෆ‍්‍රඩ් හිච්කොක් යැයි කීම වැරැදි නැත. ඔහු කුතුහලය සඳහා වැඩිපුරම භාවිත කළේ රූපයයි. කළු සුදු රූප භාවිතයේ ඇති එළිය අඳුර දෙපාර්ශවය හිච්කොක්ගේ ‘කුතුහල සිනමාවේ’ ප්‍රධාන ද්වීපාර්ශවයන්ය. රූපය, එළිය, අඳුර සහ චරිතය කියන දත්තයන් නිවැරැදිව සංකලනය කොට ඇල්ෆ‍්‍රඩ් හිච්කොක් තමන්ගේ ‘කුතුහල සිනමාව’ පූරණය කළ තරම් නිර්මාණාවේශයක් ඊට පසු මේ සිනමා වර්ගයට (කුතුහල සිනමාව) හිමි වූවේ නැත යැයි විචාරකයෝ පවසති.

කුමකින් කුමක් සිදුවේද යන කුතුහලය සමහර විට ප්‍රේක්ෂකයා වෙහෙසට පත්කළා පමණි. කුතුහලය සඳහා යොදා ගන්නේ සැකය නමැති අධ්‍යාත්මභාවයයි. සැකයේ පීඩාවෙන් යුක්තව කථා ප්‍රවෘත්තිය තුළ කුතුහලය වඩා ගන්නා ප්‍රේක්ෂකයා සමහර විට අවසානයේ දැනගන්නේ ඉතා කුඩා සංසිද්ධියකි. එවිට ඔහු අතෘප්තිකර විය හැකිය.

මා තරුණ අවදියේ ඉතාම කුතුහයෙන් යුතුව නැරැඹූ එක්තරා රහස් පරීක්ෂක බටහිර චිත්‍රපටයක් තුළ මිනීමරුවා කවුද යන කුතුහලය මා වෙහෙසට පවා පත් කළේය. මම විවිධ ප්‍රධාන පාත්‍රයින් සැක කළෙමි. චිත්‍රපටය අවසානයේ බැලූ කල මේ සියලුු මිනීමැරුම් පිටුපස සිට ඇත්තේ චිත්‍රපටයේ සුළු චරිතයක් සේ පෙන්නුූ මනෝ ව්‍යාධික මෙහෙකරුවාය. එවිට මා චිත්‍රපටය පුරා ගොඩනඟා ගෙන ආ කුතුහලය පීඩාකාරී වෙහෙසක් බවට පත්වෙයි. එවිට අවසානය ‘පුස්ස බින්ඳා’ වැනි වේ.

කුතුහලයේ එබඳු දුර්ගුණ තිබුණ ද නාට්‍යමය උත්ප්‍රාසය ඊට වඩා භාවාත්මකය. උත්ප්‍රාසයෙන් ජනනය වන හාස්‍යයට වඩා උත්ප්‍රාසයෙන් ගොඩනඟන කුතුහලය ලොමු දැහැගන්වන සුළුය.

අප යළිත් උත්ප්‍රාසය සරලව හඳුනාගෙන සිටිමු. උත්ප්‍රාසය යනු ප්‍රේක්ෂකයන් දන්නා දෙයක් පාත්‍රයින් නොදැන සිටීමේ දෙගිඩියාවයි. යසලාලකතිස්ස රජු යැයි රැවටී මහලු පුරෝහිත සුබ නම් දොරටුපාලයාට භක්තියෙන් යුක්තව වන්දනා කරන විට ප්‍රේක්ෂකයෝ සිනාසුනේ ඔවුන් සත්‍යය දන්නා නිසාය. එලෙසින්ම සිදුවන්නට යන මහා විපත්තියක් ප්‍රේක්ෂකයන් දනිතත් පාත්‍රයින් නොදැන සිටීමෙන් ඇතිවන තීව්‍ර විමතිය ද උත්ප්‍රාස රස භාවයකි. මම ආචාර්ය සාලමන් ෆොන්සේකාගේ ‘අහිමි ජීවිත’ නාට්‍යයෙන් උපරිම උත්ප්‍රාස කුතුහලයක් විඳ ඇත්තෙමි. සාලමන් ෆොන්සේකා නම් අති ශූර රංගධරයා ‘ලෙනී’ නම් අහිංසක මිනිසා ලෙස රඟපෑවේය. තරුණ මහේන්ද්‍ර පෙරේරා ‘ජෝ නමින් හැඳින් වූ ලෙනීගේ හිතෛශිවන්තයා ලෙස අමතක නොවන රංගනයක යෙදුණි. කිසිවකුත් නොසිතු පරිදි ජෝ විසින් මේ ලෙනී නම් අහිංසකයාව ඝාතනය කරමින් නාටකය අවසන් වේ.

ඉදිරි වේදිකාවේ ලෙනී ඉතා අහිංසක ලෙස සිටී. ප්‍රේක්ෂකයන්ගේ ඇස් පනාපිට ජෝ කිනිස්සක් ගෙන ලෙනී පිටුපසින් ඔහුව ඝාතනය කිරීමට පැමිණෙයි. ප්‍රෙක්ෂකයන් සියල්ල බලා සිටී. ලෙනී කිසිවක් නොදනියි. ලෙනී ඉතා ආදරය කළ ජෝ ඝාතකයා වී ඔහුට නොදැනෙන්න ලෙනීට කිට්ටු වෙත් වෙත් ම ප්‍රේක්ෂකයන්ගේ කුතුහලය උග්‍රවෙයි. ‘ලෙනී අයින් වෙයන්, ඔන්න ජෝ උඹව මරන්න එනවා’ යැයි හඬ ගා කීමට ප්‍රෙක්ෂකයන්ට සිතුන ද නාට්‍යයේ එවැන්නක් නැත. අවසානයේ අප ඇස් පනාපිට තම මිත්‍ර සේවකයා විසින් ලෙනීව ඝාතනය කරනු ලබයි.

මේ අවස්ථාව වනාහිකුªතුහලය නොවෙයි. කුතුහලය යනු කුමකින් කුමක් සිදුවේදැයි ඇති තැති ගැන්මයි. මේ අවස්ථාව වනාහි Dramatic Irony නොහොත් නාට්‍යමය උත්ප්‍රාසයයි. එනම් ප්‍රේක්ෂකයන් දන්නා දේ පාත්‍රයින් විසින් නොදැන සිටීමේ හේතුවෙන් උද්ගත වන භ්‍රාන්තියයි. උත්ප්‍රාසය භාවිත වන්නේ හාස්‍ය සහ අවස්ථා තීව්‍ර භ්‍රාන්තිය සඳහා පමණක් නොවේ. එය ඊටත් වඩා තියුණු ස්වභාවික රස භාව වින්දනයක් වෙනුවෙන් ද භාවිත කළ හැකිය.

ගුණසේන ගලප්පත්ති ශූරීන්ගේ ‘මුදු පුත්තු’ නාටකය ඊට හොඳම නිදසුනකි. තේගිරිස්ගේ බිරිඳ වූ සරා සමඟ තේගිරිස්ගේ සහෝදරයා (දියෝනිස්) රහස් ප්‍රේමයක වෙලී සිටින වග ප්‍රෙක්ෂකයන් දනිතත් ඒ පිළිබඳ තේගිරිස් දන්නේ නැත. එහෙත් මේ ලසෝ ගිනි කඳ ක්‍රමයෙන් ඇවිලෙන වග දෑසින් දකින ප්‍රේක්ෂකයන් තීව්‍ර භාව කම්පනයක් භුක්ති විඳිති. සමහර නාට්‍යකරුවන් ප්‍රේක්ෂකයන්ව හුදු නරඹන්නන් පමණක් බවට පත් නොකොට ඔවුන්ව විනිශ්චයකරුවන් හෝ තීන්දු දෙන්නන් බවට පත් කරති. එහෙත් ප්‍රේක්ෂකයන් ගන්නා තීන්දුවට පටහැනි තීන්දුවක් පාත්‍රයින් ගත්කළ ප්‍රේක්ෂකයන්ගේ ආවේග තීව්‍ර වේ. නාට්‍යවල ඇති ආත්ම භාෂණ (Monologue) අසා සිටින්නේ ප්‍රේක්ෂකයන් පමණි. එහෙයින් ප්‍රේක්ෂකයෝ චරිතවල චිත්තාභ්‍යන්තරය හඳුනති. එහෙත් සෙසු පාත්‍රයින් එය නොහඳුනයි. ස්වභාවධර්මය උත්ප්‍රාසාත්මකව නැරැඹිය හැකි ක්‍රමවේදය නාට්‍ය ශාස්ත්‍රය විසින් සොයා ගැනුණේ අද ඊයේ නොවෙයි. උත්ප්‍රාසයේ හාස්‍යය මෙන්ම උත්ප්‍රාසයේ භ්‍රාන්තිය ද, උත්ප්‍රාසයේ තීක්ෂණය ද ප්‍රේක්ෂකයන් ලබන උත්තම නාටකීය ගුණ යෝගයන්ය.

එහෙයින් එන්න,

මහ පොළොවට වඩා

අඩි තුන හතරක් උස

වේදිකාවට නැග ගත් කල

ජීවිතය හොඳීන් පෙනේ