|
චන්දන වික්‍රමසිංහ සමඟ සොඳුරු කතාබහක් අබා සිට පබා දක්වා නටපු නැටුමක්හාන්සි පුටුවෙහි සුව පහසුවෙන් දිගා වී සිටින ඔහුගේ කිසිදු හැල හොල්මනක් නොවේ. දෙනෙත පියැවී ගොසිනි. හාන්සි පුටුවෙහි ඇන්ද මත ඇති එක් අතක ඇඟිලි පමණක් තාලයට සෙලවේ.නිවසෙහි හාත්පස පැතිර ඇති නිහැඬියාව බිඳීමින් ගලා යන්නේ මියුරු සංගීතයකි.
සංගීතය මුසුව ගැයෙනා මියුරු ස්වරය කාගේ වුව ද හදවතට රැගෙන එන්නේ අපූරු රසයකි. ඒ රසයෙන් අපි ද මත් වී සිටිමු. ‘මධු චන්ද්‍රයා මේ මෝදු වේ උන්මාදනීය රාත්‍රියේ අනංග දෙවොලේ දල්වා දීපාවලී මධු චන්ද්‍රයා මේ මෝදුවේ’ මේ දිනවල තිරගත වන කුස - පබා චිත්‍රපටය නැරැඹූයේ නම් මේ සුමියුරු ගීතය ඔබට ආගන්තුක නොවේ. ගීතය වාදනය වී අවසාන වුව ද ඔහුගේ හදවත තවමත් ගීතයෙහි රසයෙන් මත් වී ඇති සැටියෙකි. හදිසිියේ යමක් සිහිපත් වූවකු මෙන් ඔහු දැස් හැර බලයි. ‘මෑත කාලයේදී මගේ නිර්මාණ ශක්තිය සම්පූර්ණයෙන්ම යෙදුව අපූරු නර්තනයන්ගෙන් එකක්.’ චන්දන වික්‍රමසිංහ නම් ඒ සොඳුරු නර්තන ශිල්පියාගේ නර්තනයේ දස්කම් විදහාපාන චිත්‍රපට නර්තනයන් පිළිබඳ ඔහු සිය හඬ අවදි කරයි. ‘මහාචාර්ය සුනිල් ආරියරත්න, රේණුකා බාලසූරිය, සෝමරත්න දිසානායක කියන ත්‍රිමූර්තිය දවසක් මාව මුණ ගැහෙනවා. ඒ ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් කිරීමට යන චිත්‍රපටයකට නර්තනය අධ්‍යක්ෂණය කරන්නට මාව තෝරා ගත් බව කියන්නයි. නර්තනය අධ්‍යක්ෂණය කරන කාර්යය මට අමුතුª අත්දැකීමක් නෙමෙයි. මම එහෙම කියන්නේ ඒ වන විටත් මම ජැක්සන්ගේ ‘අබා’ චිත්‍රපටයේ නැටුම් අධ්‍යක්ෂණය කරලා තිබුණ නිසයි. ඒ වගේ දැවැන්ත කාර්යයක් පිළිබඳ මේ ත්‍රිමූර්තිය පවසද්දී මගේ සිතට දැනුණේ සතුටක්. මොකද ‘අබා’ වගේම කුස - පබා චිත්‍රපටය වැනි දැවැන්ත කාර්යයකට මට නර්තන අධ්‍යක්ෂණයෙන් සහාය වන්නට අවස්ථාව ලැබීමයි. ඒ විතරක් නෙමෙයි, අපූරු නිර්මාණකරුවන් තිදෙනෙක් සමඟ කටයුතු කිරීමට අවස්ථාව හිමිවීමත් මට ලැබෙන හොඳ අත්දැකීමක් වීමයි.’ කුස - පබා ජාතක කතාව ආශ්‍රයෙන් නිර්මාණය වුණු කුස - පබා චිත්‍රපටය විචිත්‍රවත්ය. විචිත්‍රවත් බව මුළු චිත්‍රපටය පුරාවටම රැක ගැනීමේලා නර්තනයන් ද හේතුª වී ඇති බව නොරහසකි. චිත්‍රපටයට සිනමා රසිකයන් ආශක්ත කර ගන්නා නර්තන නිර්මාණයන්ගෙන් අපූරු බවක් හැඟෙන ‘මධු චන්ද්‍රයා මේ’ ගීතය ඊට හොඳ උදාහරණයකි. ‘මේ ගීතය කොපමණ සුන්දරත්වයෙන් යුක්ත ද කිව්වොත් ඔයාලා පැමිණෙන අවස්ථාවේ මම ගීතය රස විඳිමින් සිටියා වගේම මට ගීතය ලැබුණු මුල්ම අවස්ථාවෙත් මම මේ විදිහටම ගීතය රස වින්ඳා. මුලින්ම රස වින්ඳේ සංගීතය. ඊළඟට ගායනය. ඊටත් පස්සේ පද මාලාව. ඒ හේතුවෙන් ගීතයේ රසය මා හඳුනා ගත්තා. රසයට ගැළපෙන අයුරින් අධ්‍යක්ෂවරයාගේ අදහස් පරිදි, ගීතයේ පද අර්ථවත් වන අයුරින් ‘මධු චන්ද්‍රයා මේ’ ගීතයට නර්තනය නිර්මාණය වුණා. මෙහි තිබෙන අපූර්වත්වය වෙන්නේ මාලිගයේ පබා හා කුස ගේ මධුසමය අර්ථවත් වන්නේ මේ ගීිතයෙන් වීමයි. ඒ අවස්ථාව සම්පූර්ණයෙන්ම ව්‍යංගාර්ථයෙන් මවා පාන්නට නර්තන අධ්‍යක්ෂවරයා වුණු මට බාර වුණුු කාර්යයක්. ඒ කාර්යය කරන්නට සහාය වුණු මගේ නර්තන ශිල්පිනිය හා ශිල්පියා පිළිබඳ මතකයට නැඟිය යුතුමයි. මෙම නර්තනයෙන් ශුංගාරය ඔප් නැංවෙන්න ඕන. ඔවුන්ගේ නර්තන ද ඊට උචිත අයුරින් සැකසීමටත්, ගීතයේ අර්ථය උද්දීපනය කිරීමට හැකි අයුරින් මම නර්තනය අධ්‍යක්ෂණය කළා. වැවක් මැද මණ්ඩපයක රාත්‍රියෙහි රූපගත කිරීමට සියල්ල සූදානම්. නර්තනය පුරුදු පුහුණු කිරීමේදී නැ¼ගුණු භාවයන්ට වඩා වෙනස්ම වූ සුන්දර ශුංගාරාත්මක නර්තන භාවයන් ඉන් මතු වුණා. මේ ගීත නිර්මාණය සඳහා පුරුදු නර්තනයෙන් ඔබ්බට අප ගමන් කළා. නර්තනයේදී ශිල්පීන් ස්පර්ශයෙන් ඈත් වුණත් මෙහිදී සමහර අවස්ථාවලදී ඔවුන් දෙදෙනාගේ ස්පර්ශයන් දැකිය හැකියි. එවැනි අවස්ථාවන් සඳහා ශිල්පීන් මඳක් අකැමැති වුවත් ඔවුන්ට තේරුම් කරලා දුන්නට පස්සේ ඔවුන් ඊට එකඟ වුණා. සමහර අවස්ථාවන් හා එහිදී ඇති විය යුතු භාවයන් පිළිබඳ මට නිරූපණය කර පෙන්වීමට පවා සිදු වුණා. අවසානයේ මට දැනෙන්නේ වෙහෙස කර කාර්යය ජය ගත්ත බවක්.’ ඊළඟට ඔහුට පැවරුණු වෙහෙසකර කාර්යයට මුහුණ පෑමට සිදු වූයේ පබා ඇතුළු පරිවාර කාන්තාවන් දිය නෑමේ දර්ශනයේදීය. මන්ද පූජා ඇතුළු පිරිස ‘ජල දහරාවේ’ ගීතයට පෙර පුහුණුවීම්වල යෙදී තිබුණ නමුදු ඒ ස්ථානයට ගිය කළ මුහුණ පාන්නට සිදු වූයේ නොසිතූ විරූ අකරතැබ්බයකටය. ‘දිය නෑමට තෝරා ගත් ස්ථානය ලිස්සන සුළුයි. මේ නිසා සියලු ශිල්පීන්ට යම් අවධානමක් ගන්නට සිදු වුණා. එපමණක් නෙවෙයි, නැටුමේ සියලු පද වෙනස් කරමින් එතැනට උචිත අයුරින් නැටුම නැවත නිර්මාණය කර ගැනීමටත් සිදු වුණා. සීතල ජලයට තෙමී සිටි පූජා ඇතුළු යුවතියන්ට ඒ සඳහා දවසෙන් වැඩි කාලයක්ම ගත කිරීමට සිදු වුණේ ජලයේයි. සීතලත්, තරමක් වෙහෙසකාරී බව පිරුණු අප සැමගේ මුහුණු නව ප්‍රබෝධයකින් තබන්නට පූජා ගත් මහන්සියත්, කළ කැප කිරීමත් බොහොම විශිෂ්ටයි. ඒ වගේම කැමරා අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්මික ශිල්පීන්ගෙන් ඒ සඳහා ලැබුණු සහයෝගයත් මතක් කළ යුතුමයි.’ චිත්‍රපටයේදී සෑම දෙනාගේම සිත යොමු වුණු අනෙක් නර්තන අංගය වූයේ කුස රජු නටන කතකලි නර්තනයයි. ‘ලංකාවේ ඉහළ පංතිය සඳහා පමණක් සීමා වුණු කතකලී නර්තනය කුසගේ නර්තනය ඔස්සේ සාමාන්‍ය ජනතාව අතරට අරගෙන පැමිණෙන්නට මට ලැබුණු හැකියාව මා අදත් පුදුමයට පත් කරනවා. ඒ අපූරු නර්තනය නිවැරැදිව ඉදිරිපත් කරන්නට ජැක්සන් ඇන්තනී කියන රංග ශිල්පියා කළ කැප කිරීම වගේම ඔහු ඒ සඳහා දැක් වූ දක්ෂතාවය ඔහුටම ආවේනික වුවක්. මෑත කාලයේදී මා දැක්ක ඒ තරම්ම දක්ෂ නළුවෙක් තවත් නැති තරම්. මෙම නැටුම සඳහා මා මහා පුරුෂලක්ෂණ සහිත තාණ්ඩව නර්තන අංගයන් යොදා ගත්තා. ඒ නර්තනයෙන් එක් වරෙක කරුණා රසයත්, තවත් වරෙක ශාන්ත රසයත්, ඊටත් පස්සේ රෞද්‍ර රසයත් ඉස්මතු වෙන අයුරින් අපූරුවට නර්තනයෙහි නියැලීම පහසු කාර්යයක් නොවෙයි. නමුත් ඒ අපහසු කාර්යය ජැක්සන් ජය ගත්තේ මගේ අදහස මුදුන්පත් කරමින්.’ කාලයක් චන්දන වික්‍රමසිංහ සිටියේ ඉන්දියාවේ ශාන්ති නිකේතනයේය. එහිදී ඔහු කීප වරක්ම හෝලි උත්සවයට සහභාගි වී තිබිණ. ඒ විඳ ගැනීමට ලැබුණු අත්දැකීම් ඔස්සේ නිර්මාණය වුණු ‘මධුර වසන්තේ’ ගීතයෙහි නර්තනය අපට හෝලි සිහි ගන්වයි. ‘හෝලි උත්සවයේදී ජනතාව වගේම රජ මාලිගයේ සිටින අයත් හෝලි සමරනවා. එවන් නර්තනයක් නිර්මාණය කිරීමේදී මාලිගයේදී පබා කුමරිය ඇතුළු පිරිසගේ නර්තනය ජනතාව නටන නර්තනයෙන් වෙනස් වෙන්න ඕන. චිත්‍රපටය ඔබ හොඳීන් නැරැඹුවොත් ඔබට ඒ වෙනස පෙනේවි. මේ කිසිම නැටුමක් සඳහා මා අපට ආවේනික වූ නර්තනයන් භාවිත නොකළේ මේක ඉන්දියාවේ කතාවක් නිසයි. ඒ පසුබිම සංගීත අධ්‍යක්ෂවරයා හොඳින් අවබෝධ කරගෙන තිබුණා. ඔහුගේ සංගීතයට නර්තනයන් නිර්මාණය කිරීමට යෑමේදී අපූරු පිටුබලයක් වුණා. නිර්මාණාත්මක නර්තනයන් චිත්‍රපටයේ නර්තන අංග පුරාම විහිදෙනවා. චිත්‍රපටයේ නර්තනයන්හි තිබුණු විශේෂත්වය වන්නේ එයයි. මෙතෙක් චිත්‍රපටවල නර්තනයන්ට විශේෂත්වයක් හිමි නොවුණු බව සත්‍යයක්. ඒත් මේ චිත්‍රපටයන් ඔස්සේ චිත්‍රපටයක නර්තන අධ්‍යක්ෂවරයෙකුගේ භූමිකාවේ වැදගත්කම පිළිබඳ අන් අයට යමක් සිතන්නට, ඉගැන්වීමට මට අවස්ථාව ලැබීමම වැදගත් කාරණයක්. මතුවට බිහිවන චිත්‍රපටයකදී නර්තන අධ්‍යක්ෂවරයාගේ කාර්යය පිළිබඳ හා වැදගත්කම පිළිබඳ අවධානය යොමු වනු ඇතැයි මා සිතනවා’. එනමුදු මෙතෙක් තිබුණු චිත්‍රපට සම්මාන උළෙලයන්හිදී නර්තන අධ්‍යක්ෂවරයාව ඇගයීමට ලක් නොවුණු බව නම් සැබෑය. ඔවුන්ව එසේ ඇගයීමට ලක් වන්නේ නම් කොපමණ සුබදායකදැයි මේ සොඳුරු නර්තන ශිල්පියාගෙන් සමුගන්නා මොහොතේ මට සිතිණ. |