|
අසම්මත ප්‍රේමයක මිය ගිය සෙවනැල්ල 3-Iron
තරුණයා විදුලි අශ්වයකු පිට නැග වීදි පුරා සරන්නේ අවන්හලක ආහාර සහිත දැන්වීම්පත් සමූහයක් කුඩා බෑගයක රුවාගෙනය. බැලූ බැල්මට ඔහු භාරදූර කාර්යයක නිරත වනවාක් මෙනි. විදුලි අශ්වයා සුවිසල් නිවසක් ඉදිරිපිට නවත්වා ඔහු තම රාජකාරියේය.
පටු මංමාවත්වල මෙන්ම විසල් මාර්ගවල තනා ඇති නිවාසවල ඉදිරි දෙරෙහි ඇලවුම් පටි ආධාරයෙන් අලවන මේ කුඩා වර්ණවත් දැන්වීමේ ඇත්තේ නූඩ්ල්ස් වැනි ප්‍රණීත ආහාරයක සේයාරුවකි.
මේ ඔහුගේ භාරදූර රාජකාරියයි. ගෙහිමියන් නැති විට ඒ නිවෙස්වලට ඇතුළු වී සැප පහසුවට කාලය ගත කිරීම ඔහුගේ රාජකාරියයි. නමුත් ඔහු හෙරකම් නොකරයි. හෙතෙම අවංක ගෙවල් බිඳින්නෙකි. පළමුව නිවසේ දුරකතනයේ් පටිගත කිරීමේ යන්ත්‍රයට සවන් දෙන ඔහු නිවැසියන්ගේ ගමන් බිමන් සහ තොරතුරු දැන ගන්නේ ඒ අසුරිනි. පළමුව ඔහු ස්නානයට සැරසෙයි. නැවුම් ඇඳුම් ඇඟලා ආහාර ගනී. රූපවාහිනිය නරඹයි. නිවැසියන්ගේ කිළිටි ඇඳුම් පැළඳුම් තිබුණොත් සෝදා දමයි. කැඩුණු බිඳුණු බඩු භාණ්ඩ අලුත්වැඩියා කරයි. මේ ඔහුගේ දිනපතා චර්යාවයි. සියල්ල වෙනස් වන්නේ නිවැසියන් කිසිත් නැතැයි සිතා ගෙහිමි කාන්තාවක් සිටි නිවසකට ඔහු ඇතුළු වූ දිනයේදීය. තරුණයා සුපුරුදු රාජකාරියේය. ගීතයක් මුමුණමින් හෙතෙම ආහාර සැකසීමේ නිරත වෙයි. කිළිටි ඇඳුම් පැළඳුම් සේදීමේ නිරත වෙයි. ඉන් පසුව මල් පැළවලට, කුඩා පැළෑටිවලට වතුර දමයි. මේ සියල්ල තවත් අයෙකුගේ විමසුම් ඇසට හමු වූ බව නොදන්නා තරුණාය සංයමයකින් වැඩ. එහෙත් සියල්ල නොපිට හැරවෙන්නේ ගෙහිමි කාන්තාවට ඇගේ ස්වාමි පුරුෂයාගෙන් දුරකතන ඇමතුමක් ඒමත් සමඟය.
දෙබස් කෙරෙහි වැඩි විශ්වාසයක් තබාගෙන සිටින සිනමා ප්‍රේක්ෂකයාව ඊට එහා තැනක රඳවා තබන්නට අධ්‍යක්ෂවරයා සමත් වී ඇති සැටියකි. සෙයුන්ග් යිඕන් ලී රඟන්නේ සුන් හ්වා හෙවත් ගෙහිමි කාන්තාවගේ චරිතයයි. තරුණයාගේ චරිතය රඟන්නේ හුවාන් ක්යෝන් ලී ය. ගෙහිමි කාන්තාවගේ සැමියා ලෙස රඟන හියුක් හෝ ක්වාන් ද තම වගකීම හොඳින් ඉටු කරන සැටියකි. විශේෂයෙන්ම කොරියානු සමාජයේ ප්‍රේමය යන සාධකය මත මිනිසුන්, ගැහැනුන් සූදු කෙළින ආකාරය දෙස පැහැදිලි ඇසකින් බැලීමට අපට ඉඩ සලසා ඇත. රූපය යන සාධකයට සිනමාපටයක ඉටු කළ හැකි වගකීමත්, ඇස් බැන්දුමත් කොයි තරම් විශාලදැයි සිනමාපටය පුරාම යළි යළිත් සිහිපත් කර දෙන ‘3 අයන්’ තිරගත වී ඇත්තේ 2004 ඔක්තෝබරයේදීය. ඩොලර් 1,000,000 ක ඇස්තමේන්තුවක් අනුව නිපද වූ මේ සිනමාපටය පළමු සතිය ඇතුළත ඉතාලියේ දී පමණක් උපයා ගෙන ඇති ආදායම පවුම් 59,35 කි. සිනමාපටය මුලුමනින් උපයා ඇති ආදායම ඩොලර් 238,507 කි. තවත් වැදගත් කරුණු කිහිපයකි. එනම් ‘3 අයන්’ සඳහා එහි තිර රචකයා තම තිර නාටකය ලිවීමට ගත කර ඇත්තේ මාසයක් තරම් කෙටි කාලයක් පමණකි. සිනමාපටය රූගත කිරීම සඳහා ගත කර ඇත්තේ දින 16 ක් පමණි. සංස්කරණය සඳහා දින 10 කි.
අවසන ගෙහිමි කාන්තාව සමඟ මිත්‍රවීමට බල කරන වටපිටාවත් සමඟම තරුණයා ගොල්ෆ් පිත්තකින් ගොල්ෆ් බෝලයකට පහර දීමෙන් සටන පටන් ගනී. මින් ග්යු එනම් ගෙහිමි පුරුෂයාට මේ නම් ආදර සටනකි. ගෙහිමි කාන්තාව එනම් සන් හ්වා හට මෙය ප්‍රහර්ෂයකි. පෙම්වත් බැල්මකුදු නොලබා ඈ සමඟ වෙසෙන ස්වාමි පුරුෂයා හැර දමා යන්නට තරම් තරුණයාගේ නිහඬකම බලවත් වේ. එහි අවසාන ප්‍රතිඵලය ඈ තම ස්වාමියා හැරදා තරුණයා සමඟ විදුලි අශ්වයාගේ නැගී නිවසින් පිටමන් වීමයි. ඉනික්බිතිව ආගන්තුකයන් මෙන් හැසිරෙන අහඹු පෙම් යුවළ කිසිසේත්ම කතා නොකරයි. ඔහු ඇගෙන් වචනයකුදු නොඅසයි. ඈ ඔහුගෙන් වචනයකුදු නොපතයි. වචන එතරම් බලවත් නැති බව ඔවුන් දෙදෙනාටම ඒත්තු ගොස් ඇති සැටියකි. අවසන ඉතාමත් අවාසනාවන්ත ලෙස තරුණයා සිරගත වෙයි. ස්වාමියා සමඟ යහන්ගත වීම බිරිය ප්‍රතික්ෂේප කරයි. මින් ග්යු පොලීසියේ ආධාර ඇතිව තරුණයාට පහර දෙයි. තරුණයා සිර කූඩුව ඇතුළත සෙවනැල්ලක් සේ කටයුතු කිරීමට උගනී. මිනිසුන්ගේ සෙවනැල්ල වැටෙන දිශාව අනුව ඔහු ඇවිදින්නට උගනී. එනම් ඔහු සෙවනැල්ලක් බවට පරිවර්තනය වෙයි. සිනමාපටයේ අවසානය සමඟ ප්‍රේක්ෂකයා අතීරණාත්මක තීන්දුවක හිර වෙයි. තරුණයා මිය ගොසින්දැයි සිතෙයි. ඔහු අන් අය නොපෙනී දිවි ගෙවන බව තවත් විටෙක සිතෙයි. මේ ගැටුම සුන්දර බව යළිත් කිව යුතුය. තුන් කොන් ප්‍රේමයක අසම්මත ගැටුමක අපව හිර කර දමන ‘3 අයන්’ නැරැඹීමෙන් ඔබට පිළිතුරක් සොයා ගත හැකිය. නමුත් පිළිතුරක් සොයා ගැනීමට සිනමාපටයක් නැරඹීම කෙතරම් යුක්ති සහගතද? |