FEEDBACK

නික්ම ගිය සකිසඳ

සිත කීරි ගැසිනි

නිහඬය වේදිකාවම

අඳුරුය සකිසඳ මඬල

එනු මැන යළි

ආයුබෝවන් කියා

ඔල්වරසං ලබන්නට

ශාන්ත කුමාර අපොන්සු


කලා ලොව වර්ණවත් කළ ඔබ අප අතරින් සදහටම වෙන්ව යාම අදටත් සිහිනයකි.

ප්‍රිය ‘සබඳ’ ඔබ නැතිව කලා ලොව හිස් වූ තැන සදාකාලිකවම එලෙස තියේවි. සමිඳානන් දුන් ඔබ සමිඳානන්ම යළි ගත් සේක.

විරාජ් දුෂ්මන්ත ප්‍රනාන්දු

බණ්ඩරහේන පාර,

ආරච්චිකට්ටුව.


අපේ ජනවහරේ කතාවක් තියෙනවා සුවඳැති කුසුම් ඉක්මනටම පරවෙනවා කියා. දශක දෙකකට ආසන්න කාලයක්, කලාවේ භාෂාවෙන් කියනවා නම් හොඳ කට්ටක් කමින් වේදිකාවේ සැරිසරා පුංචි තිරයේ, ප්‍රසංග වේදිකාවේ, සිනමාවේ හොඳ ජනප්‍රිය නළුවකු ලෙස කිරුළු පලන් ඒ වගේම කලාකරුවන් අතරින් රසික රසිකාවන් අතර හොඳ හිත දිනාගත් ඇන්ටන් ජූඩ්, ඔබ සත්‍ය වශයෙන්ම සුවඳැති කුසුමකි.

වත්තල, හේකිත්තේ

ලක්ෂ්මන් රණසිංහ, අයිරාංගනී, දයානි, තාරුකා, හිරුනිකා, සසී, සංජය, සඳරුවන්, සවිඳු.


කවදත් සුපුරුදු සිනහව අද දවසේ නම් අපට අහිමි විය. ලොව තුළ පවතින ධර්මතාවයට අවනත වන්නට ඔහුට සිදු විය.

අජිත් ලක්මාල්- මීගමුව.


ජීවිතය ගැන කලකිරීමක් ඇති වෙයි. 2012. 3. 14 වැනි බදාදා සරසවිය තරු මිහිරට සහභාගී වී අප සමඟ ඉතාම සුහදව හෝරා කිහිපයක් ගත කළ ඒ ඉතාම නිහතමානී කලාකරුවා සතියක් ගතවීමට මත්තෙන් අප සියලු දෙනා හැරදා අදහාගත නොහැකි ආකාරයට ජීවිතයෙන් සමු ගැනීම ඉතාම සෝචනීය සිදුවීමකි. ඔහු ගයනා ගීතයක් තුළ හිස් අතින්ම එන්නේ හිස් අතින්ම යනවා කිව්වාට ජූඩ් හිස් අතින් ගියේ නැත.

අයිලීන් සෝවිස් රාගම.


සොලවා ඉණ සමඟ දෑත්

ඔබේ අපූරු නරතනයන්

සිතේ මැවෙනවා

ජයනාත් ඉන්ද්‍රජිත්

දෙහිවල.


අප හිතාදර මිත්‍රයා, රංගන ශිල්පියා, සහෘදයා දැන් අප අතර නැත. ඔබ අප අතැර ගොස් ඇති බව සිතන්නට ද අසීරුය. එහෙත් ඔබ සිනහමුසු මුහුණින් අප දෙස බලා සිටින බව නම් සැබෑවකි.

ලක්ෂ්මන් ප්‍රනාන්දු

මාලිනී ජයසිංහ

ගැටහැත්ත

ඩබ්ලිව්. ඒ. චන්දන

පිළියන්දල


කෙටි කලක් තුළදී ඔබගෙන් කලාවට සිදු වූ සේවය කිසිදා අප මතකයෙන් ඈත් නොවනු ඇත.

ඔබ ගිය ගමන සුභ ගමනක් වේවා.

කැලණිය මූණමල්ගහ වත්තේ

දයාරත්න ගනේගොඩ


‘සරසවිය’ ‘තරු මිහිර’ ඊළඟ තරුව ලෙස ඔහුගේ නම සඳහන් කර තිබූ දවසේම ඔහු හමු වී කතා කිරීමේ නොතිත් ආසාවක් මා තුළ වුවත් කොළඹින් දුර බැහැර සිටින මට ඒ සඳහා සහභාගී වීමට නොහැකි විය.

දෛවයේ හාස්කමකට මෙන් සරසවිය කතු මඬුල්ලේ ඇරැයුම මත රසික අප වෙනුවෙන්ම ඔහු වියෝවීමට සතියකට පෙර සරසවියට ගොඩවීම ද අරුමයකි.

කලා ලොවයට ඔබ වැන්නවුන් අවැසි මොහොතක අකල් වියෝවකින් අපේ දෑස් අග කඳුළු රැන්ඳූ ප්‍රිය සහෘදයාණෙනි, මතු ඉපදෙන භවයක මෙවන් අකල් වියෝවක් සිදු නොවී දිගු ආයුෂ ලබා කලා ලොව එළිය කිරීමට හේතු වාසනා වේවා යැයි පතමි.

මාතලේ - ධර්මා ඒකනායක


පසුගිය 14 වැනිදා ලේක්හවුස් සරසවිය කාර්යාලයේදී ඇන්ටන් ජූඩ් නමැති අව්‍යාජ කලාකරුවා හමු වී පැය කිහිපයක් හෝ සුහදව කතාබස් කරන්නට සිදුවීම මගේ ජීවිතයේ නොමැකෙන සිහිවටනයකි. අප ඉදිරියේදී ඔබ ගැයූ ගීත තවමත් දෙසවනේ දෝංකාර දෙයි.

චන්ද්‍රසිරි මානවඩු- අම්බලංගොඩ.


අයිශ් අම්මා ගුණ්ඩු කියා නැටුවා ලස්සනට

සැමගේ සිත් සතුටින් පුරවා බෝම

සිනහ මැවෙයි දුටු පමණින් රංගනය

පාලුයි අනේ පාලුයි මුලු කලාලොව

සෝමා එච්. පතිරණ - කහවත්ත.


ඔබ ජය ගත්තේ වේදිකාව, පුංචි තිරය, රිදී තිරය පමණක් නොව අපේ හදවත්ද සීරුවෙන් ඔබ සොරා ගත්තේය.

ගිල්බට් පෙරේරා

කමලා සෙනෙවිරත්න

හෝකන්දර දකුණ.


ඇන්ටන් ජූඩ් ප්‍රහසනයේ දකුණු අත යැයි කීම සාවද්‍ය නොවේ.

උදයන්ත සිරිසේන

රුවන්වැල්ල.


ඔබ මෙතරම් ජනප්‍රිය වුණේ ඉක්මනින් අපෙන් ඈත්වෙන්න හිතාගෙනද ඉතින්.

කෑගල්ල, තටාකය පාරේ

තිලකරත්න විල්වල


ඇන්ටන් ජූඩ් මිනිස්කමේ ප්‍රබලතම සංකේතයකි. ඔබට මොන දෙයක්ද වුණේ කියා සිතෙන වාර අනන්තයි.

මිල්ටන් ප්‍රනාන්දු

මිනෙරෝ,උතුරු මූදුකටුව.


ඔබට සැම අතින්ම ගෞරවය, උපහාරය ලැබේවා.

නිමල් කුලසේකර

අඟුලාන.


ඔහු හාස්‍ය උත්පාදක උල්පතකි. ඔබට අපගේ ආචාරය.

මීගමුව, කටුවාපිටිය වතුයායේ

ක්ලෝඩ් ද ලිවේරා සහ නාලිනී ද ලිවේරා

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු