ශබ්දය සිනමාවේ කන අපේ

සිනමාහල්වල ශබ්දය ගැන පාලිත පෙරේරා විග්‍රහ කරයි

කලකට ඉහතදී අපි සිනමාවේ අර්බුද ගැන කතා කළෙමු. රටේ පශ්චාත් අර්බුද සමය පසු කරන මෙවන් කාල රාමුවකදී සිනමාව තුළ තිබූ අර්බුද ක්‍රමයෙන් මැකී යන සැටියකි. අපගේ මේ සූදානම ක්‍රමයෙන් අර්බුද මැකී යන සිනමාවේ ප්‍රේක්ෂකයා එතරම් නොදකින පැතිකඩක් ගැන කථා කරන්නටය. ඒ තියටර් ක්‍රියාවලිය හෙවත් සිනමා ශාලා ප්‍රක්ෂේපණ හා ශබ්ද ක්‍රියාවලියයි.

පාලිත පෙරේරා මෙකී තියටර් ක්‍රියාවලියේ ශ්‍රී ලංකාව තුළ සිටින ප්‍රමුඛ පෙළේ ප්‍රවීණයෙකි. කොළඹ රාජකිීය විද්‍යාලයෙන් සිප් සතර හදාල පාලිත මහරගම තරුණ සේවා සභාවෙන් ඉලෙක්ට්‍රෝනික විද්‍යාව හදාල අයෙකි. ශ්‍රී ලංකාවේ සිනමා ශාලා ප්‍රක්ෂේපණ හා හඬ තාක්ෂණය පිළිබඳ ඉහළ ප්‍රාමාණිකයෙක් වන මොහු සිනෙ සවුන්ඩ්ස් සර්විසස් ලිමිටඩ් ආයතනයේ පාර්ශවකරුවෙකි. මෙරට නිම වුණු සාමාන්‍ය සිනමාහල් මෙන්ම සුපිරි සිනමාහල්වල ද සැකැස්ම ඇති වූයේ පාලිත අතිනි. මෙරට බිහි වූ පළමු ත්‍රිමාන (3ච්) සිනමාහල වූ ‘මැජෙස්ටික් සිනෙ ප්ලෙක්ස්’ හි සුපිරියර් 3ච් සිනමාහලද පාලිත පෙරේරාගේ සැකැස්මකි. එමෙන්ම කොල්ලුපිටියේ ‘ලිබර්ටි ලයිට්’ මිනි සිනමාහල ඔහුගේ හිමිකාරිත්වයේ පවතී. ඉතිං මේ අවස්ථාව මෙකී ක්ෂේත්‍රයේ ඉංජිනේරුමය පැතිකඩ ඔහුගෙන් විමසන්නටය.

* පාලිත, ඔබ මෙරට කීර්තිමත් සමාගමක් වන ‘සිනේ සවුන්ඩ්ස්’ ආයතනයේ පාර්ශවකරුවෙක්. මේ ආයතනය සිනමාව තුළ මොන වගේ භූමිකාවක් ද නිරූපණය කරන්නේ?

ඇත්තෙන්ම ‘සිනෙ සවුන්ඩ්ස්’ ආයතනය මීට බොහෝ කලකට පෙර තිබුණේ වෙස්ටෙ‍්‍රාක්ස් නමින්. ඒක ඇමරිකානු සමාගමක්. ඔවුන් සිදු කළේ මේ රටේ තිබෙන සෑම සිනමා ශාලාවකම ප්‍රක්ෂේපණ හා ශබ්ද උපකරණ ගෙන්වා සවි කිරීම හා නඩත්තු කටයුතුයි. පසු කලකදී එම ආයතනය ලාංකිකයන් මිල දී ගත්තායින් පස්සේ තමයි මේ ආයතනය ‘සිනෙ සවුන්ඩ්ස්’ වුණේ. එතකොට අද ලංකාවේ තිබෙන සෑම සිනමාහල් මණ්ඩලයකම ප්‍රක්ෂේපණයේ සිට කාර්මික කටයුත්තක්ම අපේ විෂයට අහු වෙනවා. ඒ වගේම නඩත්තු කටයුතු, ආදේශ කටයුතුª කරන අතරේ මේ සියළු සිනමාහල් ගැන චිත්‍රපට සංස්ථාවට තත්ව වාර්තාව සපයන වැඩේත් අපි සිද්ධ කරනවා.

* හොඳයි අපි එහෙනං වැදගත්ම අංශයට යොමු වෙමු. සිනමාහලකදී අපේ කන විවිධාකාරයෙන් ශබ්ද ග්‍රහණය කර ගන්නවා. යුගයෙන් යුගයට මේ ශබ්ද පද්ධති විවිධාකාර වුණා නේද?

ඔව් සිනමාවේ මුල්ම යුගය ගත්තොත් අපට ශබ්ද කියා දෙයක් හමු වන්නේ නැහැ. ඒවා නිහඬ සිනමාවටයි අහු වුණේ. ඔහොම කාලයක් යද්දී ‘ඒක පථ ප්‍රකාශ හඬ පට’ තාක්ෂණය (ඔප්ටිකල් මොනෝ ) සිනමාවට එන්න පටන් ගන්නවා. ඔප්ටිකල් මොනෝ තාක්ෂණය ක්‍රමයෙන් යල් පැනගෙන යන කොට ‘පථ හතරේ චුම්භක හඬ පට’ තාක්ෂණය (මැග්නටික් 4 ට්‍රැක්) සිනමාහල්වලට ආවා. ඔය හඬ පටය තවත් දියුණු කළා. පථ හයේ චුම්භක හඬ පටය (මැග්නටික් 6 ට්‍රැක්) ලෙසට. ඒ මි. මි. 70 හඬ පටයක් හැටියට. නමුත් ඒක වැඩි කල් යන්න කලින් අසාර්ථක වුණා. ඔය අතරෙදි තමයි ලෝකෙට අලුත්ම හඬ තාක්ෂණයක් ආවේ. ඒ ඔප්ටිකල් ස්ටීරියෝ නමින් (ද්වි පථ ප්‍රකාශ හඬ පටය) මේ ශබ්ද පථවල විශේෂත්වයක් තිබුණා. සාමාන්‍යයෙන් ස්ටීරියෝ තාක්ෂණයේදී ශබ්ද ආවේ මාර්ග 2 කින් විතරයි. නමුත් සිනමාවට ස්ටීරියෝ ආදේශ වුණාම හඬ මාර්ග 2 කට වඩා අපිට ග්‍රහණය කර ගන්න පුළුවන් වුණා.

* මේ ඔප්ටිකල් ස්ටීරියෝ (ද්වි පථ ප්‍රකාශ හඬ පටය) තාක්ෂණය ලංකාවේ එතුවක් කල් තිබුණු ශබ්ද තාක්ෂණයට අභියෝගයක් වුණා නේද?

අනිවාර්්‍යයෙන්ම. ඔය තත්ත්වය ඇති වුණේ ‘ජුරාසික් පාක්’ චිත්‍රපටය ලංකාවට පැමිණෙනවාත් එක්කම. මොකද ඒ චිත්‍රපටය ශබ්දය මුල් කර ගත් දියුණු චිත්‍රපටයක් වුණා. ඒ නිසාම ජාතික චිත්‍රපට සංස්ථාව ඒ දවස්වල නියෝගයක් කළා ‘ජුරාසික් පාක්’ පෙන්වනවා නම් ඔප්ටිකල් ස්ටීරියෝ හඬ පට අනිවාර්්‍යයයි කියලා. එතැනදි තමයි සිනමාහල් හිමියන් පෙළඹුණේ ඒ තාක්ෂණය ගේන්න. මුලින්ම අපේ සමාගම මැදිහත් වෙලා ඔප්ටිකල් ස්ටීරියෝ හඬ පටයක් දැම්මේ කොල්ලුපිටියේ ලිබර්ටි සිනමාහලට.

* නමුත් ඔය කතා කරන කාලය වෙන කොටත් ඔප්ටිකල් ස්ටීරියෝ තාක්ෂණය යල් පැන ගිහින් නේද?

ඔව්. ඔය තාක්ෂණය ලංකාවට එනකොටත් 90 දශකය මැද වගේ. නමුත් අද අපි පාවිච්චි කරන දියුණු හඬ තාක්ෂණයක් වෙච්ච ඩොල්බි තාක්ෂණය ඒ වෙන කොටත් ලෝකෙට ඇවිල්ලා. ඒ 80 දශකය විතර. එතකොට අද පාවිච්චි කරන ඩී ටී එස් තාක්ෂණයත් අවේ 90 දශකයේ.

* අද වන විට වෙළඳ ලකුණු 2 ක් වෙච්ච ‘ඩී ටී එස්’ හා ‘ඩොල්බි’ ශබ්ද තාක්ෂණයන්ගෙන් ඉදිරියටම ගිහින්. මේ තාක්ෂණයන් කොහොමද ප්‍රේක්ෂකයාගේ කනට ගෝචර වෙන්නේ?

අද ඒ තාක්ෂණය සැකසෙන්නේ ‘ඩොල්බි 7.1 ලෙස හා ඩී ටී එස් 5.1 ලෙස. ඩොල්බි ඒ දිනවල 5.1 ලෙස ආවත් අද 7.1 දක්වා දියුණු වෙලා.

ඩොල්බි 7.1 ගත්තොත් සිනමාහල තුල ශබ්ද උත්පාදක යන්ත්‍රවල පිහිටීම අනුව තමයි 7.1 සැකැස්ම එන්නේ. එහිදී ඉදිරිපස වම / මැද / දකුණ, ශාලාව මැදට වන්නට වම හා දකුණෙන් ශාලාව පසුපස වම හා දකුණින් ආදී වශයෙන් ශබ්ද උත්පාදක යන්ත්‍ර පිහිටන කොට ප්‍රධාන ‘සබ් වුෆරය’ පිටුපසින් පිහිටනවා. ඩී ටී ටී එස් 5.1 තාක්ෂණයත් ඔය වගේමයි. නමුත් මැද පිහිටි වම හා දකුණු උත්පාදක යන්ත්‍ර පිහිටන්නේ නැහැ. ලංකාවේ බොහෝ සිනමා ශාලා ඉහත ක්‍රම දෙකෙන්ම සකසා තිබෙනවා.

* නමුත් චිත්‍රපටයක හඬ පටය ‘ඩී ටී එස් 5.1’ වලින් පමණක් පටිගත කර තිබෙනවා නම් ඩොල්බි ශබ්ද තාක්ෂණය ඇති සිනමා ශාලාවලදී එය තිරගත කිරීම අපහසු වෙනවා නේද?

නැහැ. යම් කිසි හඬ පටයක් 7.1 ට පටිගත කරලා නැත්නම් එය 5.1 ඔස්සේ ශ්‍රවණය වෙනවා. 7.1 වලින් පටිගත කරලා නම් සම්පූර්ණ ඩොල්බි පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. 5.1 දී මඟ හැරෙන ශබ්ද සියල්ල ‘සබ් වුෆරය’ මඟින් විකාශය වෙනවා. එතකොට ඒ සියලු ශබ්ද මඟ හැරීමකින් තොරව සිනමාහලේදී ශ්‍රවණය වෙනවා.

* අද බොහෝ සිනමා ප්‍රවීණයින් මත පල කරනවා අනාගතයේදී අද පාවිච්චි කරන පටල පට තිරගත කිරීමේ තාක්ෂණය නැති වී ගිය විටක ඩිජිටල් සිනමාවට අවතීර්ණ වෙන්න ලංකාවට සිද්ධ වෙනවා කියලා. ඔය කියන විදිහට පටල පටයට ආදේශ වෙන්නේ මොකක්ද?

ඇත්තටම ඔය තත්ත්වය විග්‍රහ කළොත් අපිට පේනවා අද ලෝකය භාවිත කරන්නේ පටල පටයෙන් තොර සිනමාවක්.

එතකොට අපිට හමු වෙන්නේ සම්පූර්ණ චිත්‍රපටය ඇතුළත් කරන ලද දෘඪ උපාංගයක්. මේ උපාංගය තුළ ඇතුළත් කළ හැකි මුළු දත්ත ප්‍රමාණය අනුව ඩී සිනමාව හා ඊ සිනමාව යනුවෙන් 2 ක් ලෙස ලෝකය හඳුනාගෙන තිබෙනවා. අපි ඊ සිනමාව ගත්තොත් ඒ දෘඪ තැටියට ගිගා බයිට් (ට්ඕ) 80 ත් 100 ත් අතර චිත්‍රපටයක් තැන්පත් කළ හැකියි. නමුත් ඩී සිනමාවේදී ඒ ප්‍රමාණය ගිගා බයිට් 300 ත් 500 ත් අතර ප්‍රමාණයක්. මේ දේ සලකන කොට අපිට පේනවා සිනමා ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය වෙලා කියලා. චිත්‍රපටය ඇතුළත් ඒ දෘඪ උපාංග අපි ගෙන්නුවට පස්සේ අපිට කරන්න තියෙන්නේ මධ්‍යම පරිඝනකයට චිත්‍රපට ඇතුල් කරන්න විතරයි. එතකොට අනාගතයේ ප්‍රොජෙක්ටර් ක්‍රියාකරුවන්ගේ අවශ්‍යතාවත් අපට නැති වේවි. මොකද පුූර්ව ප්‍රචාරක පට, වෙළඳ දැන්වීම් චිත්‍රපටය හා විවේක කාලය හරියට පෙළ ගැස්සුවාට පස්සේ සිනමාහලේ කළමනාකාරවරයාටත් ඔය දේ ක්‍රියාත්මක කරන්න පුළුවන්.

* එතකොට ඔය ඩිජිටල්කරණය වුණ සිනමාව ලංකාවට ආදේශ කර ගැනීම හිතන තරම් ලෙහෙසි වේවිද? විශේෂයෙන්ම ඔය ඩී සිනමාව කියන කාරණය?

අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා ලංකාවට වඩාත් ගැළපෙන්නේ ඊ සිනමාවද ඩී සිනමාවද කියන එක ගැන. මගේ පෞද්ගලික මතය හැටියට නම් ඩී සිනමාව රූප ප්‍රමිතිය අතින් විශිෂ්්ඨ තැනක තිබෙනවා. නමුත් ඊ සිනමාව එතරම් දුරට නැහැ. නමුත් ලංකාවට ඩී සිනමාව දරන්න අමාරුයි. මොකද ඒ තත්ත්වයට සිනමාහලක් ගේන්න වියදම වැඩියි. සාමාන්‍ය යුරෝපය අමෙරිකාව එහෙම ඊ සිනමාව ගණන් ගන්නේ නැහැ. දකුණු ඉන්දියාව, අපි වගේ ස්වල්ප පිරිසක් තමයි ඊ සිනමාව සළකා බලන්නේ. මේ වෙන කොටත් ජාතික චිත්‍රපට සංස්ථාව මේ ගැන වාර්තාවක් සකසමිනුයි සිටින්නේ. දැනටත් සුපීරියර් 3 ඩී සිනමාහල පමණයි ඩිජිටල් සිනමාහලක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ.

* ඔබ ඔය කියන තත්ත්වය මත සිනමාහල් ගෙදර තියෙන තියටර් උපාංගවලිනුත් ක්‍රියා කරවන්න පුළුවන් වෙයි නේද?

අනිවාර්යයෙන්ම ඔතන අවදානමක් තිබෙනවා. ඒ නිසාම තමයි ජාතික චිත්‍රපට සංස්ථාව ඒ සඳහා ප්‍රතිපත්ති රාමුවක් හදන්නේ. එතැනදි සිනමාහල්වල සෑම සියලු උපාංගයක්ම නීතිගත වෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට ඩී වී ඩී යන්ත්‍ර, බ්ලූ රේ යන්ත්‍රවලිනුත් සිනමාහල් හිමියෝ චිත්‍රපට පෙන්වන්න පුළුවන්. ඒ දේ නැති කරලා අපට අවශ්‍ය ඊ සිනමාවේ ප්‍රමිතීන් නියම කර ගන්න ඔය ප්‍රතිපත්ති රාමුවට පුළුවන්. අනිත් කාරණය අපිට එවන චිත්‍රපටය නිශ්චිත කාලයකට අංකනය කරලයි ඒ සමාගම් එවන්නේ. එතකොට අපිට හිතූ හිතූ විදිහට චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න බැහැ

* අපිට ඔය දේ අනාගතය වුණාට ලෝකෙට ඔය දේ වර්තමානයනේ. එතකොට ලෝකයට අනාගතය මොකක්ද?

දැන් 3 ඩී තාක්ෂණයෙන් ඔබ්බට සිනමාව ගිහිල්ලා ඉවරයි. දැන් ක්‍රියාත්මක වෙන්නේ 4 ඩී හෙවත් සිව්මාන සිනමාව. එහිදී අපි දකින ත්‍රිමාණ දර්ශන හා ශබ්දවලට අමතරව හිසට ඉහළින් හා පයට යටින් ශබ්ද එකතු වෙනවා. ඒ වගේම චිත්‍රපටයේ දර්ශනයට අනුකූලව සිනමාහලේ තත්ත්වයත් වෙනස් වෙනවා. ඒ කියන්නේ වැසි වසින කොට සිනමාහලේ වතුර විදින ක්‍රියාත්මක වී ඇඟට වතුර වැටෙනවා. ශීත දර්ශනයකදී වායුසමීකරන ඉබේ වැඩිවී යනවා වගේ අත්දැකීමක්. අනික ලෝක සිනමාවෙදී අද බොහෝ දුරට චිත්‍රපටය ප්‍රක්ෂේපණය කරන්නේ චන්ද්‍රිකා තාක්ෂණයට සම්බන්ධ වෙලා.

* හොඳයි පාලිත, අපිට අවසාන වශයෙන් කියන්නකෝ අපි දියුණු වෙන්න අවශ්‍ය වෙන්නේ කොහොමද?

අපි ත්‍රිමාණ සංකල්පයට පිවිසිලා ඉවරයි. ඉදිරියේදී තව ත්‍රිමාණ සිනමා ශාලා ඉදි වේවි. ඒ වගේම හොඳ එකතුවක් තිබෙන නගරවල සිනමා ශාලා තව දියුණු කරන්න ඕනෑ. ඒවාට සරවුන්ඩ් ශබ්ද ගෙනත් හොඳ ආසන සවි කරලා පහසුකම් දෙන්න ඕනෑ. සමහර සිනමා ශාලා තිර ගන්න දෙයක් නැහැ. ඒවා දුවන්නේ ප්ලාස්ටර් කෑලි අලවලා. ඒවායින් අපි මිදිලා ආයෝජනය හරියට කරන්න ඕනෑ. එවිට අපිට සාර්ථක වෙන්න පුළුවන්.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු