අඩු වැයකින් වැඩි විනෝදයක්
අනාගතයේ ඩිස්ටෝපියානු (යුටෝපියාවේ (රාම රාජ්‍යයේ) අනික් පැත්ත) ඒකාධිපති දේශයක්
වන පැනම් දිස්ත්‍රික්ක 12 කට බෙදා කැපිටල් යන කොටසෙන් රාජ්‍ය පරිපාලනය කරගෙන යනවා.
වසරකට වරක් සෑම දිස්ත්‍රික්කයකින්ම යොවුන් ගැහැනු දරුවකු සහ පිරිමි දරුවකු
ලොතරැයියක් මාර්ගයෙන් තෝරා ගෙන (දිස්ත්‍රික්ක 12 න් 24 ක්) ඔවුන්ව හන්ගර් ගේම්ස්
සඳහා ඉදිරිපත් කරනවා.
පැනම් හි ඒකාධිපති රාජ්‍ය බලධාරීන් විසින් මේ තරගය වාර්ෂිකව පවත්වනු ලබන්නේ විනෝදය
සඳහාත් ඒ වගේම මේ දිස්ත්‍රික්ක අතීතයේ තම ස්වාධිපත්‍යය සඳහා කැරලි ගැසූ බැවින් එයට
කෲර ප්‍රතිවිපාකයක් වශයෙනුත්ය.
මෙම තරගයේදී මේ තරගකරුවන් 24 දෙනා එකිනෙකා මරාගෙන
අවසන් වශයෙන් එක් කෙනෙක් ඉතිරිවීම දක්වා සටන් කළ යුතු අතර එලෙස නොමැරී ඉතිරිවන එකම
ඔහු හෝ ඇය තරගයේ ජයග්‍රාහකයා ලෙස තෝරා ගන්නවා.
රූපගත කරන මේ තරගය පැනම් හි
දේශවාසීන් වෙත සජීවීව රූපවාහිනී මාර්ගයෙන් විකාශය කරන්නේ ඔවුන්ට උපරිම රියැලිටි
ටීවී රසාස්වාදයක් ලබා ගැනීම සඳහායි. මෙම කෲර ම්ලේච්ඡ දාමරික තරගය නැරැඹීම ඔවුන්ට
අනිවාර්ය වෙනවා.
ගල් අගුරු කර්මාන්තකරුවන් වෙසෙන 12 වන දිස්ත්‍රික්කයේ කුඩා ප්‍රිම්රෝස් මෙම තරගයට
එම දිස්ත්‍රික්කයෙන් සහභාගිවන ගැහැනු දරුවා ලෙස තේරුණු විට ඇගේ 16 හැවිරිදි නිර්භීත
සොහොයුරිය වන කැට්නිස් ඇය වෙනුවෙන් තරගය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නේ තම කුඩා
සොහායුරියගේ දිවි බේරා දීම සඳහායි.
ඇයට අමතරව තවත් පිරිමි දරුවකු වන ජිටා ද ඔවුන්ගේ
දිස්ත්‍රික්කය නියෝජනය කරන පිරිමි තරගකරුවා ලෙස ලොතරැයියෙන් තෝරා පත්කර ගන්නවා.
ඔවුන්ට මේ තරගයේ සටන් කරන්නට සිදු වන්නේ, තම මුළු ජීවිත කාලයම මේ තරගය සඳහා සූදානම්
වෙමින් ගත කළ ඔවුන්ට වඩා විශාල ශක්තිමත් පිළිමළුන් විසි දෙදෙනකු සමඟයි.
මෙම හන්ගර් ගේම්ස් පැවැත්වෙන්නේ කැපිටල් හී ඒකාධිපතිවාදීන් විසින් තෝරා ගත්
සංග්‍රාම භූමියකයි. එහි සෑම තැනම වාගේ සැඟවුණු කැමරා සවි කර ඇත්තේ මේ තරගකරුවන්ගේ
හැම මොහොතක්ම රූගත කිරීමට හැකි වන ආකාරයටයි.
බොහෝ විද්‍යා ප්‍රබන්ධ කතා මෙන් මෙහිත් පිළිබිඹූ වෙන අනාගතය අප කිසි දිනෙක
බලාපොරොත්තු නොවන එහෙත් බොහෝ දුරට විය හැකි අඳුරු අනාගතයකි.
මානවයාගේ පැවැත්ම
ඒකාධිපති මණ්ඩලයකින් තීරණය කිරීමේ හැකියාව (යම් දුරකට අද මෙන්න) මෙහි පෙන්වන
අනාගතයේ ප්‍රධාන ලක්ෂණය වේ.
උතුරු ඇමරිකාවේ රාජ්‍යයන් මහත් විනාශයකින් නැති භංග වූ
පසු පැනම් නම් ශිෂ්ටාචාරයක් එහි අළු මතින් නැඟී සිටිනවා. එය පාලනය කරන්නේ කැපිටල්
නම් ඉතා ධනවත් පරිපාලන අධිකාරියකින් වන අතර කිසිදු බලයක් නැති දිස්ත්‍රික්ක 12 ක්
අන්තර්ගත වෙනවා.
මෙම මාරාන්තික තරගය මෙම දිස්ත්‍රික්ක 12 ජනතාව ඇද බැඳ තබා ගන්නා සංත්‍රාසජනක
වැඩසටහනක් (අද දින අප නර්ඹන රියැලිටි ටීවී වැඩසටහන් මෙන්ම). පුරාණ රෝමයේ එක්
අධිරාජයෙක් කියා සිටියේ, උන්ට (ජනතාවට) පාන් සහ සර්කස් දීපල්ලා. එවිට උන් නිවී
සැනසී පාඩුවේ සිටීවි යන්නයි. හන්ගර් ගේම්ස් එම මාරාන්තික සර්කස් එක එක් අන්තයකටම
ගිය තැනයි.
මෙම තරගයේ ස්වරූපය කිනම්ද? කවුරුන් මෙහි ජයග්‍රාහකයා වේවිද? නිර්භීත කැට්නිස් ගේ
ඉරණම කුමක් වේවිද? ඩොලර් මිලියන 80 ක් වියදම් කරමින් සෑදුන මෙම චිත්‍රපටය පැය 2 ක
කාලයක් තුළ නරඹා ඔබට දැනගත හැකියි.
තිරගත වූ පළවෙනි සති අන්තයේදීම මෙය අමෙරිකාව තුළ
පමණක් ඩොලර් මිලියන 153 ක ආදායමක් ලබන්නට සමත් වුණා. එය දෙවැනි වන්නේ හැරී පොටර්
ඇන්ඩ් ඩෙත්ලි හැලෝව්ස් පාට් 2 (169 මිලියන) සහ ද ඩාර්ක් නයිට් (158 මිලියන)
චිත්‍රපට දෙකට පමණයි.
ඊට අමතරව එය ඉතාමත් ජනප්‍රිය ට්වයිලයිට් චිත්‍රපටවලටත් වඩා
ඉහළ ආදායමක් පළවෙනි සති අන්තය තුළ ලබා ගත්තා. දෙවන හෝ තෙවන කොටසක් නොව චිත්‍රපට
අතරින් දැනට වැඩිම පළවෙනි සති අන්ත ආදායම ලබා තිබෙන්නේත් මේ හන්ගර් ගේම්ස්මයි.
අධ්‍යක්ෂ ගැරී රෝස් මීට පෙර 2003 දී ඔස්කාර් සම්මාන කිහිපයකටම නිර්දේශ වුණු
සීබිස්කට් නිමවා තිබුණා. මෙම හන්ගර් ගේම්ස් සූසන් කොලින්ස් විසින් රචිත ඉතා
ජනප්‍රිය යොවුන් නවකතාවක අනුවර්තනයක්. මෙහි ප්‍රධාන නිළිය ජෙනිෆර් ලෝරන්ස්
(කැට්නිස්) යනු නැඟී එන දක්ෂ නිළි තාරකාවකි.
ඇය මීට පෙර ඩෙබ්‍රා ග්‍රැනික් විසින්
අධ්‍යක්ෂණය කළ ස්වාධීන චිත්‍රපටයක් වූ ද වින්ටර්ස් බෝන් හී රංගනය සඳහා හොඳම නිළිය
ලෙස ඔස්කාර් නිර්දේශයක් පවා ලබා ගත්තා. ඉන් පසු ඇයට හොලිවුඩ්හි විශාල බජට් චිත්‍රපට
සඳහා ආරාධනා ගලා ආවා. එක්ස් මෙන් ෆස්ට් ක්ලාස් එයින් එකක්.
හන්ගර් ගේම්ස් විනෝදාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක්. සාපේක්ෂව අඩු බජට් එකකින් සාර්ථක
බොක්ස් ඔෆිස් හිට් එකක් නිර්මාණය කරන්නට හොලිවුඩ් සමත් වී තිබෙනවා. ජෙනිෆර් ලෝරන්ස්
ප්‍රධාන චරිතය මැනවින් ප්‍රබල ලෙස රඟ දක්වනවා.
මෙහි සමාජ විමර්ශනය මීට වඩා ගැඹුරු ලෙස තවදුරටත් කළ හැකිව තිබුණත් එය එසේ සිදු
වන්නේ නැහැ. විශේෂයෙන් අපට බලාපොරොත්තු විය හැකි එම අඳුරු අනාගතය සහ එවිටත් නොනැසී
පවතින එකම දේ ද අපගේ සදාදරණීය රියැලිටි ටීවී ගැන මීට වඩා ගැඹුරු ලෙස විචාරමත්
දැක්මක් ඉදිරිපත් කිරීමට මෙම චිත්‍රපටයේ කතා වස්තුවට ඇති තරම් ඉඩ තිබුණා.
අද අපව
සනහන රියැලිටි ෂෝ මෙන්ම මෙම චිත්‍රපටයත් දිග වැඩියි. නමුත් කවුද ඒ ගැන චෝදනා
නඟන්නේ?
වින්දන ආරියවංශ
|