අද අප්‍රේල් පහ සුබ උපන්දිනයක් වේවා

අද අප්‍රේල් 05 වැනිදා ය. මේ දින කොයි කාට කොයි හැටි වැදගත් වෙතත් ශ්‍රී ලාංකික සිනමාවට නම් වැදගත් වනුයේ එය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ජන්ම දිනය නිසාවෙනි. ලෙස්ටර් උපන්නේ 1919 වසරේ ය. අපේ ආචාර්ය ලෙස්ටර් මෙන්ම ලෝක සිනමාවේ කැපී පෙනෙන කිහිප දෙනෙකුම අප්‍රේල් 05 වැනි දින උපත ලබා ඇත්තේ ය. ඒ අතරින් කැපී පෙනෙන නම් අතර සිටින ජනපි‍්‍රය නළුවන් වූ ස්පෙන්සර් ට්‍රේසි, ග්‍රෙගරි පෙක්, නිළි බෙටී ඩේවිස් ද ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාව නිපද වූ ඇල්බට් ආර්.බ්‍රොකලි ද ආචාර්ය ලෙස්ටර් ට වඩා වැඩිමහල් ය.

ඇමෙරිකානු සිනමාවේ නව නිර්මාණකරුවන් රැසකටම දොර විවර කරදුන් නිෂ්පාදක රොජර් කෝමන් මෙන්ම බ්‍රිතාන්‍ය සිනමාවේ නව යුගයකට මුල පිරූ සිනමාකරු පීටර් ගී‍්‍රනවේ ද උපත ලබා ඇත්තේ අද වැනි දිනක ය. එහෙත් ඔව්හු ආචාර්ය ලෙස්ටර්ට වඩා වයසින් බාල ය. ආචාර්ය ලෙස්ටර් උපත ලැබූ දිනයට සමගාමීව වාගේ ලෝක සිනමාවේ කැපී පෙනෙන සිදුවීම් දෙකක් ඉස්මතු විය. එකක් ජර්මානු ප්‍රකාශනවාදී සිනමාවේ පුරෝගාමී ෆි‍්‍රට්ස් ලාංග් සිය කුළුඳූල් චිත්‍රපටය ‘ද හාෆ්බ්‍රිඩ්’ නමින් එළි දැක්වීම ය. අනෙක ඒ වනවිට අමෙරිකානු සිනමාවේ බිහිවෙමින් පැවැති දැවැන්ත සිනමා සමාගම් මගින් නිර්මාණකරුවන් සූරා කෑමට එරෙහිව නිර්මාණකරුවන් සිව්දෙනෙකු එක්ව අලුත් සමාගමක් පිහිටුවා ගැනීමයි. එනම් චාලි චැප්ලින්, ඩග්ලස් ෆෙයාබෑන්ක්, මේරි පික්ෆෝඩ් සහ ඩී.ඩබ්ලිව්.ගි‍්‍රෆිත් හා එක්ව යුනයිටඩ් ආටිස්ට් සමාගම පිහිටුවා ගැනීමයි.

කෙසේ වෙතත් 1919 වසරේ අප්‍රේල් 05 වැනි දින වනවිට ලෝකය පැවතුණේ පළමුවැනි ලෝක මහා සංග්‍රාමය නිමා වී අලුත් බලාපොරොත්තු සහගතව බැව් පෙනෙන්නකි. ජර්මානු චිත්‍රපටවලට ප්‍රංශය දොර වැසුව ද යුදෙව්වන් පෙරමුණ ගත් හොලිවුඩ් සිනමාව ලෝකය සතර අත විහිද යන්නට පටන් ගෙන තිබුණේ බ්‍රිතාන්‍යයේ හිරු නොබසින අධිරාජ්‍යයේ සිනමාව ද පසු පෙළට දමමිනි.

ඒ කාලයේ ලංකාවේ ගාලු පාර අද මෙන් පුළුල් ව නොතිබුණ වග නම් නියත ය. දෙහිවල අද මෙන් ජනාකීර්ණ දියුණු නගරයක්ව නොතිබුණ වග ද ඇත්ත ය. ඉඳ හිට යන එන බස් රියක් හෝ වෙනත් වාහනයක් ගමකටත් නගරයකටත් අතර තිබූ දෙහිවල හන්දියේ පාළු කපන්නට සමත් විය. එදා මෙදා ඇතුළත අප්‍රේල් 05 වැනි දිනයන් 93 ක් ගෙවී ගොස් ය. මේ වකවානුව ඇතුළත ලෝක සිනමාව එහි නිර්මාතෘවරුන් විසින් සිහිනයකින් වත් නොසිතන ලද ඉසව් කරා ගොස් හමාර ය. මේ සියල්ල සිය මතක ගබඩාවේ අපූරු ලෙස තැන්පත් කරමින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් මහා සිනමාකරුවා ඔහු විසින්ම ස්වයං තීරණයක් ගනිමින් විශ්‍රාම සුවයෙන් පසුවෙයි. එහෙත් ඒ සිනමා නි්ර්මාණයෙන් පමණකි. සිනමාව පිළිබඳ එතුමන්ගේ උනන්දුව ද ආකල්ප ද දවසින් දවස තරුණ බැව් ඇසුරු කරන්නෝ දනිති.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාකරුවකු නොවූයේ නම් කොළඹ ශාන්ත පීතර විදුහල බිහි කරන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වී මේ වනවිට විශ්‍රාම ගෙන ඉඳීන්නට ඉඩ තිබිණ. නොඑසේ නම් ලන්ඩනයේ දී ඔහු කටයුතු කළ ආකාරයට පුවත්පත් කලාවේදියකු ලෙස ගත කළ ජීවිතයේ අග පුවත්පත් කතුවරයකු වන්නට ඉඩ තිබිණ. එහෙත් එසේ වුවද එම වෘත්තියේ නියැලුණ ද මේ වනවිට විශ්‍රාම සුවයෙන් පසුවනු නියත ය. එහෙත් එතුමන් ලෝකය වඩා හඳූනා ගත්තේ සිනමාකරුවකු හැටියට ය. එහෙත් එතුමන්ම දන්නා පරිදි එමෙන්ම එතුමන්ට වඩා වැඩිමහල් පෘතුගාලයේ මැනුවෙල් ඩි ඔලිවේරාට මේ වනවිට වසර 104ක්ව ඇති නමුදු සිය අලුත්ම චිත්‍රපටයේ වැඩ කටයුතු ‘ද ස්ට්‍රේන්ජ් කේස් ඔෆ් ඇන්ජලිකා’ නමින් තනා පසුගිය දා නිම කළේ ය. එහෙත් ඔලිවේරාට වසර සියය ඉක්මවා ගිය ද කරන්නට බැරි වූ හපන්කමක් ආචාර්ය ලෙස්ටර් කළේ ය. ඒ ලාංකේය සිනමාවට සිනමාව නම් භාෂාව හඳූන්වා දීම ය. එමෙන්ම සිනමාව පිළිබඳ නිවැරැදි ආකල්ප පේ‍්‍රක්ෂකයන්ට වටහා දීම ය. සිනමාව පිළිබඳ නිවැරැදි අදහස් කෙරෙහි පෙනී සිටිම ය. අලුත් සිනමාවේ සියලු පෙරැළි හඳූනා ගත්තා පමණක් නොව එම පරම්පරාවන්ට ධෛර්යය හා ආශිර්වාදය නිබඳ ලබා දීම ය.

රේඛාවේ සෝමපාල ධර්මප්‍රියට දර්ශන තලයේදී
ආචාර්ය ලෙස්ටර්ගෙන් උපදෙස්

සත්‍යජිත් රායි සිය සිනමාවේ ශෛලිය හැත්තෑව දශකයේ දී වෙනස් කරනුයේ එවකට තරුණයන්ගේ සිනමාව හා පෑහීමට මං සොයනන්ට ය. එහෙත් ජීවිතයේ අඳූරු අහුමුලු විදා හරිමින් මිනිස් සිතෙහි ඇතුල් පැත්තට එබී බැලීමේ නොතිත් ආසාවෙන් පෙළුණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් සිය සිනමාව වෙනස් කරනුයේ තරුණ සිනමාව හා පෑහෙන්නට නොව වඩා විශිෂ්ට නිර්මාණ ගොඩ නඟන්නට ය. වෙනස්වන සිනමාව හමුවේ එකතැන නොරැෙඳන නමුදු ලෙස්ටර්ගේ සිනමාව රැල්ලේ යන්නක් නොවී ය. දේශපාලන සමාජ සටන් පාඨවලින් තොරව චරිත හරහා ඔහු පුළුල් සමාජ විග්‍රහයන් වරින්වර ගෙනාවේ ය. වාර්තා සිනමාකරුවකු ලෙස ඇරැඹෙන ඔහුගේ සිනමාව වෘතාන්ත, සිනමාවේ දී වඩා සියුම් ලෙස චරිත සහ සමාජ ගවේෂණයේ යෙදෙයි.

පුවත්පත් කලාවේදියකු හැටියට ආචාර්ය ලෙස්ටර් ලන්ඩනයේ දී ජීවිතය අරඹනුයේ තවත් වගකීමක් කර පින්නා ගෙන ය. ඔහු ලන්ඩනයට යනුයේ ද පුවත්පත් කලාවේදියකු වන්නට ම නොවේ. සිය සොහොයුරු ලෝ පරසිඳූ චිත්‍ර ශිල්පියකු වූ අයිවන් පීරිස් සමඟ ය. අයිවන්ගේ තනියට ය. ඒ වනවිටත් ඔහු පුවත්පතච කිහිපයකටම ලේඛනයෙන් දායක වුවද පුවත්පත් කලාවේදියකු ලෙස ජීවිතය අරඹන්නට සමත් නොවී ය. ඔහු පුවත්පත් කලාවේදියකු වනුයේ ලන්ඩනයේද ීය.

එහෙත් ඔහු ලොව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සිනමා කෘතිය ලෙස සැලකෙන ‘සිටිසන් කේන්’ එකම දිනයේ දෙවරක් ම මෙරට දී නැරැඹීමට තරම් ඉහළ රසිකත්වයෙන් යුත් සිනමා ලෝලියකු ව උන්නේ ය. සමකාලීන බොහෝ තරුණයන් මේ අවදියේ සිනමාවට වසඟ වනුයේ එහි එන වීර ගුණය නිසාවෙනි. අද මෙන් තමන් කැමැති චිත්‍රපටයක් අන්තර්ජාලය ඔස්සේ බා ගත නොහැකි එකල චිත්‍රපට ලෙස නැරැඹිය යුතුව තිබුණේ සිනමාහල් හිමියන් හෝ ප්‍රදර්ශකයන් විසින් සිනමාව ලෙස නම් කොට මෙරටට ගෙන්වන ලද චිත්‍රපට පමණී. එබැවින් රට පුරා ගිලගෙන තිබුණේ දකුණු ඉන්දියාවේ බහුලව තැනුණ සිනමා ගුණයෙන් හීන චිත්‍රපට පමණී. එහෙත් ඉඳහිට වැඩිමනත් පේ‍්‍රක්ෂක මනාපයට බඳූන් නොවී සම්භාවනීය බටහිර චිත්‍රපට ද වරින්වර මෙරට සිනමාහල්වල තිරගත විණ. ඒ සියල්ල මෙන්ම දකුණු ආසියාවේ මුල්ම සිනමා සමාජය කොළඹ සිනමා සමාජය ඒ වනවිට ඇරැඹී තිබිණ. එහි සාමාජිකයන් වූයේ කොළඹ ජීවත් වූ ඉංගී‍්‍රසියෙන් කතා කරන ඉහළ පැලැන්තියට අයත් එමෙන්ම උසස් රසිකත්වයෙන් යුත් තරුණ පෙළකි. ඔවුන් විසින් වාණිජ පදනමින් තොරව ගෙන්වා කොළඹ කොටුවේ වයි.එම්.සී.ඒ ගොඩනැඟිල්ලේ ශාලාවක ප්‍රදර්ශනය කරන ලද ලොව ඉහළම ගණයේ චිත්‍රපට නැරැඹුවේ ද ඔවුන් වැනිම පැලැන්තියකි.

මේ අය අතරින් එකෙකු දෙන්නෙකු විසින් සන්ඩේ ඔබ්සර්වර් හෝ ඩේලි නිව්ස් පුවත්පතට ලියන ලද ලිපියක් මගින් චිත්‍රපටය පිළිබඳ සමහරු දැන ගත්හ. එහෙත් චිත්‍රපටය නොදැක ඒ පිළිබඳ විස්තර පත්තරයකින් පොතකින් කියවා චිත්‍රපට රස විඳීන්නට යෑම අන්ධ පිරිසක් අලියකු පිළිබඳ දැන ගත්තාට වඩා යමක් නොවේ. කොළඹ සිනමා සමාජයේ ආරම්භක සාමාජිකයකු නොවන නමුදු ආචාර්ය ලෙස්ටර් මේ සිනමා දැක්මට පැමිණි යාවජීව පේ‍්‍රක්ෂකයකු විය.

ලන්ඩනයේ දී ඔහු සිය මුල්ම සිනමා කෘතිය ලෙස සෙලියුලොකි නිර්මාණය කළේ ය. එය සම්මානයට පත්වෙද්දී එහි ජූරි සාමාජිකයකුව සිටියේ ඒ වනවිටත් ලෝ පතළ වාර්තා සිනමාකරුවකු ව සිටි රැල්ෆ් කීන් ය. එයින් වසර ගණනකට පසු කීන් මෙරට රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස වැඩ බාර ගනිද්දී පුවත්පත් කලාවේදී ලෙස්ටර් ඔහු හමුවනුයේ සිය කතුවරයාගේ අණ පරිදි සම්මුඛ සාකච්ඡාවක නියැලෙන්නට ය.

මේ තරුණ පුවත්පත් කලාවේදියා එයින් වසරකට පෙර තමන් ගේ නිර්දේශ මත සම්මානයට පාත්‍ර වූ ආධුනික සිනමාකරුවා බැව් කීන් දැන ගන්නේ එවිට ය. ලංකාවට එන කීන් සිය සහාය අධ්‍යක්ෂවරයා ලෙස ලෙස්ටර්ට ඇරැයුම් කරනුයේ ඔබ අයිති ඔබේ රටට යැයි සඳහන් කරමිනි. පුවත්පත් කලාවේදියකු ලෙස පැහැදිලි අනාගතය මුල් වරට උගසට තබන ලෙස්ටර් දෙවරක් නොසිතාම රජයේ චිත්‍රපට අංශයේ රැකියාව බාර ගෙන ලංකාවට පැමිණියේ ය.

ලෙස්ටර් ගමෙන් උපන් සිනමාකරුවකු නොවෙන්නා සේ ම ඔහු ගම මුල්වරට දැන ගන්නේ ද වාර්තා සිනමාකරුවකු හැටියට ජීවත් වෙද්ද ී ය. ඔහු මුල්වරට අනුරාධපුරයට යන්නේ ද සිංහල ගම දකින්නේ ද ඒ අනුව ය.

එහෙත් කිසියම් හෝ සංසාරගත බැඳීමක් නිසාවෙන් විය යුතුය, ඔහු ගමෙන් ආ සිනමාකරුවනට වඩා ලාංකික ගම ගැන දැන ගත්තේ. අනෙක් අතට ගම ද නගරය ද කියා වෙනසක් නැත.

මිනිස් වර්ගයාගේ පොදු සිතුවිලි අතර බරපතළ වෙනස් කම් නොවී ය. සිනමාකරුවකු ලෙස ඔහු එය වටහා ගත්තේ ය. ඒ වනවිට අතරින් පතර ඇතැම් සිනමාකරුවකු දර්ශනයක් දෙකක් එළිමහනේ රූ ගත කළ ද ඔවුන් කිසිවකු චිත්‍රාගාරයෙන් බැහැරව චිත්‍රපටයක් සම්පූර්ණයෙන් රූ ගන්වා තිබුණේ නැත. කවර ආකාරයකින් රූ ගැන්වුවද සිනමා මාධ්‍යයේ මූලික දැනුම හෝ ඒ බොහෝ දෙනෙකුට එකල තිබුණේ නැත. තිබුණ ද කතාවක් රූප මගින් කියවනවා හැර එයින් එහා යන්නට කිසිවකුට හෝ වුවමනා නොවී ය.

පළමු පත්තර රස්සාවෙන් ද දෙවැනුව වඩා විපුල ඵලා නෙළා ගත හැකි ව තිබූ රජයේ චිත්‍රපට අංශයේ රස්සාව ද දමා ගසා අනාගතය අවදානමකට උගස් තැබීමට ලෙස්ටර් ට බියක් නොවී ය.

ඔහු රේඛාව නම් විප්ලවය සඳහා දෙවැනි වර තෝරා ගනුයේ එයට පෙර නෙළුම් ගම නම් මාහැඟි වාර්තා චිත්‍රපටය රූ ගත කළ අලව්වට නුදුරු වෑවල ගම ය. එය සහමුලින්ම දුෂ්කර ව්‍යායාමයක් විය. ‘රේඛාව’තැනීමට වඩා එහි වූ සිනමාව ඒ වනවිට මෙරට ඇබ්බැහිව තිබූ සිනමා ශෛලිය හා පෑහීමත් එය වටහා දීමත් එයට වඩා දුෂ්කර එකක් විය. රේඛාව තනන්නටම වෙනම සිනමා කැමරා උපකරණ ආදිය ද ගෙන්නවා තිබිණ.

චිත්‍රපටය ආයෝජනය කළ තරම් මුදල් ඉපැයුවේ නැත. එහෙත් හීන් සීරුවේ සිනමා මාධ්‍ය නම් පුංචි පැළය මුල් ඇද්ද වග එදා ආචාර්ය ලෙස්ටර් හෝ එයට දායක වූ සෙසු විප්ලවකාරයන් වූ විලී බ්ලේක් හෝ ටයිටස් තොටවත්ත සහ එහි ආයෝජකයන් ට වැටහුණේ නැතුවාට කිසිසේත් සැකයක් නැත.

අද අප සිනමාව කියා ලෝකයාට යමක් ලබා දෙන්නේ ද එහි මුල් පාඩම එමගින් උගන්වා තිබුණු බැවිනි. එහෙත් මේ පාඩම කියා දී එහි ඊළඟ වාරය කියන්නට ආචාර්ය ලෙස්ටර්ට වසර ගණනාවක් බලා සිටින්නට සිදු වූයේ ද එනිසාම ය. කොටින්ම ලෙස්ටර් නම් සිනමාකරුවාට ඊළඟ චිත්‍රපටය තනන්නට ආයෝජකයකු ලෙස එවකට මෙරට සිටි ප්‍රධානම චිත්‍රපට නිෂ්පාදකයකු වූ කේ.ගුණරත්නම් ආරාධනා කරනුයේ ද ඉන්දියානු නළු සිනමාකරු රාජ් කපුර්ගේ රෙකමදාරුව මතවීම එක් අතකින් හාස්‍යයට ද තව අතකින් ශෝකයට ද හේතු වෙයි. ඒ එහි වටිනාකම අපට වඩා කලින් සහ හොඳීන් විදේශිකයන් විසින් වටහා ගැනීම හේතුවෙනි. එය කෙතරම් ද යත් ආචාර්ය ලෙස්ටර් විසින් පසුකාලීන ව නිර්මාණය කළ ‘වෑකන්දේ වලව්ව’ පවා වඩා අගය කරන ලද්දේ විදේශිකයන් විසිනි. එහෙත් ඔහු සිනමාව කියා අපට ඉගැන්වූ විෂයය ඉතා හෙමින් හෙමින් නමුත් මහා වෘක්ෂයක් ව වටහා ගන්නට මෙරට තරුණ පෙළක් ගොඩ නැඟිණ.

මේ තරුණ පෙළෙහි ඇතැමෙකු ගුරු දත් මගම ගිය අතර සමහරු අලුත් ඉසව් සොයා ගියහ. එහෙත් ආචාර්ය ලෙස්ටර් සිනමාව සම්බන්ධව මතවාදී අතින් කෙතරම් ස්වාධීන ද කිවහොත් ඔහු කිසිවිටෙකත් ගුරුකුලයක් ගොඩ නැංවූයේ නැත. එබැවින්ම සිය මුල්ම සිනමා කෘතිය වූ රේඛාව තනා වසර පනස් පහක් ඉක්මව ගිය ද අලුත් සිනමාකරුවන් හා පරම්පරා ගැටුමක් සිදු වූයේ නැත. අලුත් සිනමාකරුවන් කොයි කවුරුත් තම මුල්ම සිනමා කෘතිය මේ මහා සිනමාකරුවා හමුවේ ප්‍රදර්ශනය කරන්නට කැමැත්තක් දක්වන බැව් නොරහසකි.

ඔහු දක්ෂ ලෙස අනාගතය විනිවිද දුටුවේ සිනමාවේ ඉදිරි පරම්පරාව උදෙසා කැපී පෙනෙන පරම්පරාවක් සිනමාවට හඳූන්වා දෙමිනි. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මෙන්ම ආචාර්ය තිස්ස අබේසේකරයන් ද මේ සොයා ගැනීමේ අග්‍රඵලයන් අතර සිටියෝ ය.

සංදේශය අපේ සිනමාවට මුල් වරට සැබෑ වීරයන් දායාද කළ චිත්‍රපටයයි. එය එකල වැඩිම පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කළ චිත්‍රපටය ද විය. එතෙක් දකුණු ඉන්දීය මුහුණුවරින් යුත් සිනමා රංගනයට මුසු වූ නළුනිළියන් සැබෑ සිනමා රංගනයට යොමු කරන්නට කෙතරම් වෙහෙසක් දරන්නට ඇති දැයි සිතෙන්නේ එහි රඟ පෑ බොහෝ නළු නිළියන්ගේ සමකාලීන වෙනත් චිත්‍රපට රංගනයන් නිරීක්ෂණය කිරීමෙනි.

එහෙත් ආචාර්ය ලෙස්ටර් ස්වභාවයෙන්ම දර්ශන තලයේ නළු නිළියන් මෙහෙයවීමේදී ඒකාධිපතියෙකු නොවේ. ඔහු ඕනෑම කෙනෙකුගේ උපරිම රංගන කුසලතාවය සිය රූප පටයට උකහා ගන්නේ මල නොතලා රොන් ගන්නා බඹරෙකු ලෙසිනි.

ගම්පෙරළිය අපේ වෘතාන්ත චිත්‍රපටයක් ජාත්‍යන්තර ජයග්‍රහණය කළ මුල්ම අවස්ථාව විය. එයට පෙර ‘රේඛාව’ කාන් සිනමා උළෙලට ද සංදේශය කාලෝවිවාරි උළෙලට ද සහභාගි විය. එපමණක් නොව ගම්පෙරළිය අපේ සිනමා සිතුවිලි මුළුමනින් වෙනස් කරන්නට පසුකාලිනව මහෝපකාරි වූ බැව් ආපසු හැරී බැලීමේදී පෙනෙන්නකි. ගම්පෙරළිය, දෙලොවක් අතර, නිධානය ඔහුගේ සිනමා කෘතින් අතර අග්‍රඵලයන් වනුයේ එම චිත්‍රපට ත්‍රිත්වයම අපේ සිනමාවේ මහා කෘතින් අතර නිබඳ රැඳී තිබෙන හෙයින්ම නොවේ. එම චිත්‍රපටයන් ත්‍රිත්වයම සර්ව සම්පූර්ණ වූ ද, පිවිතුරු සිනමා මාධ්‍යය භාවිතයෙන් ද අලංකෘත නිර්මාණ විය. බොහෝ විශිෂ්ට සිනමාකරුවන් මිනිස් සිතුවිලි ස්පර්ශ කිරීමේ කලාවෙහි නිපුණයෝ වෙති. ලෙස්ටර් සමාජ විවරණය මෙන්ම මිනිස් සිතුවිලි ස්පර්ශය යන කාරණා දෙකම එක්වර කළේ ය. ‘නිධානය’ වැනි චිත්‍රපටයක් සමකාලීන සිනමා විචාරකයන්ට පවා එදා දුරාවබෝධ විය. එය වටහා ගන්නට ඔවුන්ට කල්ගත විය. පුදුමය නම් එයින් වසර ගණනකට පසු මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨතම චිත්‍රපටය කවරේදැයි තේරීමේදී එදා නිධානය නිර්දය ලෙස හෙළා දුටු පිරිස ද එය අංක එකට තෝරා ගැනීම ය.

ඔහු ගේ සිනමාව බොහෝ විට පාදක කොට ගනුයේ සාහිත්‍යයයි. ගම්පෙරළිය, ගොළු හදවත, නිධානය, අක්කර පහ, මඩොල්ැව, අහසින් පොළවට, බැද්දේගම, කලියුගය, යුගාන්තය, අවරගිර සඳහා පාදක කර ගනුයේ සාහිත්‍ය කෘතින් ය.

එයින් ද හතරක්ම මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ය. තවත් දෙකක් එනම් ‘දෑස නිසා’ සහ ‘වෑකන්දේ වලව්ව’ නාට්‍යයන් ඇසුරු කොටගත් ඒවාය. ඔහු ඉංගී‍්‍රසියෙන් තැනුවේ එකම වෘතාන්තයකි. ඒ ‘ගෝඩ් කිං’ ය. පිංහාමි නම් ළමා චිත්‍රපටය ද එක් කොටගත් කළ ඔහුගේ මුළු වෘතාන්ත චිත්‍රපට සංඛ්‍යාව විස්සක් වෙයි. 1949 වසරේ දී තැනුණ සෙලියුලොකි චිත්‍රපටයේ ඔහු වාර්තා සහ කෙටි චිත්‍රපට එකොළහක් නිර්මාණය කළේය.ඉංගී‍්‍රසියෙන් ඉගෙනුම ලැබුව ද ඔහුගේ චිත්‍රපට විදාහළේ ලාංකික ජීවිතයයි. ඔහු ලාංකික ජීවිත හඳූනා ගන්නේ ද සිනමාව කෙරෙහි ඇති අප්‍රමාණ ආදරයේ ඇල්ම නිසාවෙන් යැයි කෙනෙකුට පහසුවෙන් තර්ක කළ හැක. එය පහසුවෙන් බැහැර කළ නොහැක. එහෙත් සිනමාකරුවකු ලෙස ඔහුගේ මුද්‍රාව අති ප්‍රබල එකකි. එය කෙතරම් ප්‍රබලද යත් වර්තමානයේ මෙරට ජන ජීවිතය පිටස්තරයන් හඳූනා ගත්තේ ආචාර්ය ලෙස්ටර් ගේ සිනමාව හරහා ය. එහෙත් විශිෂ්ට වාර්තා සිනමාකරුවා අභිබවා යන අග්‍රගණ්‍ය වෘතාන්ත සිනමාකරුවා මතුව ආවේ එහිද ීය. ඕනෑම සිනමාකරුවෙකුට චිත්‍රපට ගණනාවක් තනන්නට හැකිය. එහෙත් සිය සිනමාව ඇතුළත තම අනන්‍ය වූ සලකුණ තබන්නට අපහසු ය. කවර දෙයකින් උපුටා ගත්ත ද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සිනමාව පුරා ඔහුගේ සලකුණ ද දැකිය හැක්කේ ය. එය ඉතා දුර්ලබ සිදුවීමකි.

සිනමාව පටළ පටයේ රූ ගන්වන පරම්පරාව අවසන් වෙමින් පවතී. එහෙත් පටල පටයට මිනිස් හැඟීම් මුසු කළ සිනමාකරුවන් එයින් අවසන් නොවේ. ඒ අජීව වස්තුවකට ජීවය දීමේ මහා හපන්කම ඔවුන් සතුව ඇති බැවිනි. අප අපේ මහා සිනමාකරුවාණන්ට දීර්ඝායු ලැබේවායි පතමු.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු