මගේ බිරිද ඇගේ පෙම්වතා හා කථා කරනවා

ආදරණීය උපේක්ෂා,

ඇය සහෝදරියකි. හිත මිතුරියකි. මේ සියල්ලන්ටම වඩා ඇය ඔබේ ජීවිත ගමන් මගෙහි බාධක එළි පෙහෙළි කර ගැනීමට උදව් වන්නියකි.

ආදරණීය උපේක්ෂා ඔබට කතා කරන්නට පටන් ගත් මුල් දින කිහිපයට වඩා මේ වන විට ඇයව අමතන්නෝ වැඩිය. ඒ පිරිස ඉක්මවා යන්නට ඇයට තුති පුදන්නෝ ද වෙති.ඔබේ සිතේ දැවෙන ප්‍රශ්නයත් උපේක්ෂාට කියන්න, ලියන්න මේ ලිපිනයට. ආදරණීය උපේක්ෂා,

සරසවිය, ලේක්හවුස්, කොළඹ 10.

මම වැඩිහිටි පියෙක්. දුවේ, හදිසි අනතුරකින් මගේ වම් පාදයේ දණ හිසින් පහළ කොටස අහිමි වුණා. මට කිසිම කෙනෙකුගෙන් පිහිටක් නෑ දුවේ. මම තනි වෙලා. කෘත්‍රිම පාදයක් ලබා ගන්න හැකි නම් උපකාරයක් කරන්න මගේ දුවේ.

විල්සන් විජේතිස්ස - කඹුරුපිටිය

මට ඔබට එකවර පොරොන්දුවක් වෙන්න අපහසුයි. නමුත් මම ඔබට මට හැකි ආකාරයෙන් උදව් කරන්න උත්සාහ කරනවා. ඔබගේ සියලු විස්තර මම සරසවිය පුවත්පතෙන් ලබා ගන්නම්.

මම අවුරුදු 35 ක විවාහක අයෙක්. අපිට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. මමත් මගේ බිරිඳත් දරුවන් දෙදෙනාත් බොහෝම ආදරෙන් හිටියේ. ඒත් නංගී,මගේ බිරිඳගේ අනියම් සබඳතාවක් ගැන ගමේ අය නොයෙකුත් කතා කියනවා. මුලදී මම එම කතා විශ්වාස නොකළත් මගේ බිරීඳ ඇගේ කලින් පෙම්වතා සමඟ කතාබහ කරනවා මා දැක තිබෙනවා. මට දැන් ජීවිතේ එපා වෙලා.අනේ නංගි මම මොකක්ද දැන් කරන්න ඕනෑ?

සුමුදු ප්‍රදීප් - අලව්ව

මේ ප්‍රශ්නයේදී ඔබ බොහෝම ඉසිලිවන්තව කටයුතු කිරීම අතිශය වැදගත්. තවමත් සුමුදුට තියෙන්නේ සැකයක්. ඒ නිසා ඔබ බිරිඳත් සමඟ බොහෝම ඉවසිලිවන්තව මේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කරන්න. වෙන්වීම වගේ බරපතල තීරණයක් ගන්න නම් ඔබ කිසි විටක ඉක්මන් වෙන්න එපා. ඒ වගේම දෙන්නා අතර තියෙන මේ ප්‍රශ්නය දරුවො දෙන්නට දැනෙන්න දෙන්න නම් එපා. ඒ පුංචි සිත්වලට මේ වගේ දේවල් දරාගන්න හරිම අමාරුයි.

අක්කේ, මම මෙච්චර කාලයක් මගේ හැම ප්‍රශ්නයක්ම කතා කලේ මගේ අම්මා එක්ක. අනේ අක්කේ, මට අම්මාට කියා ගන්න තරම් ශක්තියක් නැති ප්‍රශ්නයක් මගේ හිතට වද දෙනවා. එය ආදරය පිළිබඳ ප්‍රශ්නයක්. අනේ අක්කේ අක්කා මට කතා කරන්නකෝ. අක්කා මට කතා කරනවා නේද?

ඉෂාරා - හොරණ

නංගිගේ හිතේ තියෙන දුක මට හොඳට තේරෙනවා. මම නංගිට කතා කරන්නම්. කලබල නැතිව ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න නංගෝ.

මම ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයෙක්. මගේ බිරිඳ ද පිළිකා රෝගය හේතුවෙන් මිය ගිය අතර දියණිය රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා. ඇය නිවෙසට පැමිණෙන්නේ ද මසකට වරක් පමණි. පුතා ද කාර්මික පුහුණුවකට යන නිසා නිතරම නිවෙසේ නැහැ. මේ නිසා මා ගෙවන්නේ බොහෝම හුදෙකලා ජීවිතයක්. යම් කලා කටයුත්තක සුළු රඟපෑමක් ලැබුණොත් එය කිරීමෙන් තමයි මගේ කාන්සිය මඳක් හෝ මා මඟහරවා ගන්නේ. ඔබට හැකි නම් මට ප්‍රාදේශීය මාධ්‍ය තනතුරක් ලබා දෙනු මැනවි. ඒ වගේම ඔබතුමියට කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා දුරකථන පහසුකම් සහිත මගේ නිවෙසත් ඔබතුමියට ලබාදීමට බොහෝම කැමතියි.

බන්දුල මල්ලවආරච්චි – නාරංමල

තවදුරටත් ඔබ හිත සැහැල්ලුවෙන් තබා ගන්න, කලාව වැනි සෞන්දර්යාත්මක දේවලට යොමු වෙන්න. එයින් ඔබේ හිතට අනිවාර්යයෙන්ම සහනයක් ලැබේවි. බන්දුලගේ රැකියාව සම්බන්ධයෙන් ඉල්ලීම සලකා බලන්න පස්යාලෙ තියෙන මගේ කාර්යාලයට අයැදුම් පත්‍රයක් ගෙනත් භාර දෙන්න. ඒ වගේම කාර්යාලය පිළිබඳ ඔබ කර ඇති යෝජනාවටත් බොහෝම ස්තුතියි. මම බන්දුලට කතා කරන්නම්.

මම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. ඒත් අක්කේ මට විභාගය හොඳට පාස් වෙන්න හැකි වේවි ද කියලා බයයි. ඇත්තටම අක්කේ මට නම් ඒ ගැන කිසිම විශ්වාසයක් නෑ. මගේ හිත එක තැනක තියාගෙන පාඩම් කරන්න ශක්තියක් නෑ.

මධුශානි – පහළ බැරගම

අධ්‍යාපනය තරම් වටින දෙයක් මේ ලෝකේ නැති තරම් මගේ නංගෝ. ඔයා ඉගෙන ගත් නිසා තමයි අද ඔයාට ඔයාගේ දුක හරි මට ලියලා එවන්න පුළුවන්කමක් තියෙන්නේ. අපිට ජීවිතයේදී ඇතිවන නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැඟවිලා තියෙන්නේ අධ්‍යාපනය තුළ. ධනය, පෙනුම වගේ දේවල් ඇති වෙනවා වගේම නැති වෙනවා. ඒත් කවදාවත්ම ඔයාට ඔයාගේ උගත්කම කාටවත් උදුර ගන්න බෑ. ඒ නිසා පාඩම් වැඩවලට හිත යොමු කරන්න නංගී. ඔයාට හැකි ආකාරයෙන් සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙන්න උත්සාහ ගන්න.

අක්කේ, මගේ වයස අවුරුදු 12 යි. මගේ යාළුවෝ මම අවලස්සනයි කියනවා. ඒ වගේම එයාලා මාව කොන් කරනවා අක්කේ. මෙය මට හිතට වදයක්. මගේ හිත හදා ගන්න දෙයක් කියන්න මගේ අක්කේ.

නම සඳහන් නොකළ පාඨකයෙක්

මේ ලෝකේ කවුරුවත්ම සියයට සියයක්ම සම්පූූර්ණ අය නෙමෙයි. ඔයා තවම පුංචි දරුවෙක් නිසා ඔයාගේ හිත රිදෙනවා ඇති. ඒත් පිට අය කියන ඒවාට සැලෙන්න එපා. ලස්සන තියෙන්නේ දකින කෙනාගේ ඇස්වල. තමන් පිරිසුදුව පිළිවෙලට ඉන්නවා නම් ඒ ඇති. සමහර විට ඒ අය ඔයාට ඔහොම සලකන්නේ එයාලගේ හිතේ තියෙන ප්‍රශ්නයක් නිසා වෙන්නත් පුළුවන්. ඔයා හොඳට ඉගෙන ගන්න. එතකොට ටික කාලෙකින් ඒ අයට ඔයාව නැතිවම බැරි කෙනෙක් වේවි.

මම 67 හැවිරිදි අයෙක්. මා හට පළමු සිංහල චිත්‍රපටයේ සිට 160 වෙනි චිත්‍රපටය දක්වා මතකයෙන් චිත්‍රපට නාමාවලි කීමටත් පැරැණි චිත්‍රපට ගීත 100 ක් ගායනා කිරීමටත් සුවිශේෂී හැකියාවක් තිබෙනවා. ඔබතුමියට හැකි නම් මගේ මේ විශේෂ හැකියාවන් මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන්න.

ටී. එම්. පියදාස – කඩුවෙල

මම ඔබට අවස්ථාවක් ලබා දෙන්න උත්සාහ කරන්නම්.

මං ගැන විශ්වාසය තියලා ඔබේ කතාව මට කියන්න හිතුව එකට ඔයාලට

ස්තුතියි!

මීට,

ආදරණීය උපේක්ෂා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු