ජීවන්ගේ ඉල්ලීමට අධ්‍යක්ෂක කුරුසියේ

සිනමාවේ සුපිරි තරු පාස්කු රංගනයට

ජීවන් ක්‍රිස්තුස් වහන්සේ ලෙස සනත් පිලාත් ලෙස

මෙ රට සිනමාවේ අතිශය ජනප්‍රිය නළු නිළියන් රැසක් එකට එක් වී සංවිධානය කරන පාස්කු නාට්‍යයක්. මෙම මස 07, 08 දෙදින තුළ සවස 7.00 ට මේ ඓතිහාසික තඹකන්ද දේවස්ථානයේදී පැවැත්වේ. පීටර් වෙල්අඹගේ අධ්‍යක්ෂණය කරන එහි දර්ශන තලයට පසුගියදා අපි ගොඩ වැදිමු.

අපි පුංචි රෝමය හෙවත් මීගමුව පුරවරය පසු කළෙමු. අනතුරුව හමුවන දංකොටුව නගරයෙන් දකුණට හැරී පන්නල සඳලංකාවට ආවෙමු. මිනිත්තු ගණනකට පසු එතැනින් යෝගියාන ග්‍රාමයේ තඹකනන්ද දේවස්ථානයේ පිවිසුම් ද්වාරය ළඟ නතර වුණෙමු.

කවුරුවත් පේන්න නෑ වගේ.

අංශක එකසිය අසූවක කෝණයකට නෙත් යොමා මාත් සමඟ පැමිණි ඡායාරූප ශිල්පී අමිත් එස්. සේනාරත්න එසේ කීවේය.

යමුකො ඇතුළට.

අවසරයකින් තොරවම අපි පුද භූමියට පියවර එස වූවෙමු. එය අක්කර පහළොවක ප්‍රදේශයක් වසා පැතිරුණු භූමියකි. පලදාවෙන් පිරි නෙරළු තුරු මේ පොළවෙහි සාරවත් බව කියා පෑවේය. අනාරාධිත නල රැල්ලක් පැමිණ අප වෙතින් සමු ගත්තේ කය පුරා පැතිර තිබූ විඩාබර ගතිය ද රැගෙනය.

භූමියෙහි මධ්‍යස්ථව ගාම්භීරව අප දෙස බලා සිටින්නේ තඹ කන්ද දේවස්ථානයයි. වසර සියයක පමණ එපිට ඉතිහාසයක් ඇති තඹකන්ද දේවස්ථානය කතෝලික බැතිමතුන්ගේ කල්වාරි මධ්‍යස්ථානයකි.

කල්වාරි මධ්‍යස්ථානයක් යනු කතෝලිකයන් චතාරික සමයේ හෙවත් ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කරන දින හතළිහ තුළදී එය සිහි කරමින් විශේෂිත යාඥා මෙහෙයවල් සිදු කරන්නට පැමිණෙන දේවස්ථානයන්ය. හිනිදුම, මග්ගොන, හොරණ මෙවන් දේවස්ථාන පිහිටා ඇත.

අප මෙතැනට පැමිණියේ ඒ හා සැබැඳි සුවිශේෂී කාර්යයක මාධ්‍ය ආවරණය උදෙසාය. ඊට සාක්ෂි සපයන පුද්ගලයින් මේ අවට සිටීදැයි අප වඩාත් විමසිල්ලෙන් විපරම් කෙරුවෙමු.

අන්න ඉන්නවා මෑන්. ප්‍රවීන රංගනවේදී ක්ලීටස් මෙන්ඩිස් දුටු තැන මට කිය වුණේ ඉබේටමය.

යං අනෙක් පැත්තේ කට්ටිය ඉන්නවා.

ඔහු අපව කැඳවාගෙන ගියේ දේවස්ථානයේ රංග ශාලාවටය. එතැන නම් පිරිස අඩු නැත. ජීවන් කුමාරතුංග, රෝයි ද සිල්වා, සනත් ගුණතිලක, මොරින් චාරුනී, සුමනා අමරසිංහ, මහේෂ් ජයසිංහ, රිචඩ් වීරක්කොඩි, රොනී ලීච් ඇතුළු ලංකාවේ නමගිය ජනකාන්ත තරු රැසක්ම පායා සිටිති.

මෙහි සංවිධානය සහ ශිල්පී සම්බන්ධීකරණය ක්ලීටස් විසින් සිදු කරයි.

තඹකන්ද දේවස්ථානයෙහි පූජක ගරු ස්ටැන්ලි පීරිස් පියතුමාගේ ආශිර්වාදයෙන් පසු පුහුණුවීම් පටන් ගත්හ.

පළාතම දෙවනත් කරමින් යක්ෂ ආත්මයක් ආරූඪ වූ මිනිසෙකු පැමිණෙයි. ජේසුස් වහන්සේගේ ප්‍රාතිහාර්ය බලයෙන් ඔහු පියවි තත්ත්වයට පත් වෙයි.

තඹකන්ද පාස්කුව හි ජේසුස් වහන්සේ ලෙස රඟනුයේ ජීවන් කුමාරණතුංගයි.

පුහුණුවීම් කෙරෙන අතරතුරදී මම ක්ලීටස් සමඟ නාට්‍යහි වැඩි විස්තර විමසන්නට සූදානම් වූවා පමණි. සනත් ගුණතිලක අප ළඟට ආවේය.

කවුද මේ අය?

මේ අය සරසවිය පත්තරෙන්. අපේ නාට්‍යය ගැන ලියන්න ඇවිත් තියෙන්නේ.

ක්ලීටස්, සනත්ට පිළිතුරු බැන්දේය.

අනේ වැඩක් නැහැ ක්ලීටා, මං ගැන ඉතින් සරසවියේ යන්නේ නැහැනේ.

අමිත් ඔහු සිටින සේයාරුවක් ගන්නට තැත් කරද්දී ද සනත් අයියාගේ අදහස නොවෙනස්ව පැවතිණ.

මේ අතරතුර ම’නෙත ඉබේම යොමු වූයේ පුහුණුවීම් දෙසටයි.

ජේසුස් වහන්සේට සිය ගෝලයන් පිළිවලින් පැමිණ පඬුරු පුදන දර්ශනයක් පුහුණු වෙති.

මගෙන් තිත්ත කඳුරු. ඒ ජාකොබ්ට රඟන නොම්බර 17, නැව ගිලුනත් බෑං චූං ආදී චිත්‍රපටයන්හි විකටයා වූ මහේෂ් ජයසිංහයි.

ඒ දෙබස අවසන් වූ තැන සියල්ලෝ සිනහ වෙන්න පටන් ගත්තේ එක සීරුවටය.

මහේෂ් ඔයා රඟපාන්නේ ජෝකර් කෙනෙක් හැටියට නෙවේ. කොයි ;වලාවෙත් අපිව හිනස්සන්නමයි හදන්නේ. තිත්ත කදුරු නෙවෙයි, ‘තිත්ත පලා’ එහෙමයි එතන දෙබස.

ආගන්තුක සත්කාරයට ළැදි ගම්වාසීහු සුලු ආහාර වේලක් සකසලාය. විවේකයක් ගෙන පිිරිස තැන තැන විසිරී සිටිති.

මෙන්න තියනවා පරිප්පු සැන්විච්. සැන්ඩිවිච් පෙති මැදට පරිප්පු දමා සැකසූ මේ ආහාරයට නම තැබුවේ ක්ලීටස්ය. නළු නිළියන් හිතේ හැටියට පරිප්පු සැන්ඩිවිච් කා බඩ පුරවා ගත්හ. එක තැනක රස කතා මැවෙති. තවත් තැනක පරණ මඩ කතාවක අසිරිය මතක් කෙරේ. මේවා ගැන ගණනක් නැතිව සුරේෂ් ගමගේ පුටුවකට බර වී නිදිය. ස්වල්ප වේලාවකින් යළිත් පුහුණුවීම් පටන් ගැනිණ. දැන් ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසන දර්ශනයයි. අදට අධ්‍යක්ෂතුමා කුරුසියේ තියලා මේ සීන් එක රිහසල් කරමු. මං නාට්‍යයේ වැඩ කරන්නම්. ජීවන්ගේ ඉල්ලීම මත අධ්‍යක්ෂ පීටර් වෙල්අඹගේ කුරුසියේ සිර කර වීය.

නාට්‍යය හරියට කෙරුවෙ නැතිනම් මෙයාට ඇත්තටම කුරුසියේ ඇන ගහන්න තමා වෙන්නෙ.

කවුදෝ එලෙස කියනු මට ඇසිණ.

අපට කතාබහ කරන්නට බැරි වූ තැන සිට ක්ලීටස්ගෙන් තොරතුරු යළිත් මා විමසුවේ මේ වෙලාවේය.

මෙවැනි නාට්‍යක් රඟ දක්වන්න ප්‍රධාන හේතුව වන්නේ අපි කතෝලිකයන් වීම.

දෙවියන් වහන්සේ අපට දී තිබුණු තලෙන්තුවලින් තමයි අපි මේ වනතෙක් සල්ලි හම්බ කළේ. එවැනි දායාදයක් අපට ලබා දීම වෙනුවෙන් ප්‍රශංසාවක් පිදීමක් මෙමඟින් වේවි යැයි අපේ බලාපොරොත්තුවයි.

මෙහි රඟපාන නළු නිළියන් වර්තමාන ක්ෂේත්‍රයේ සිටින අතිශය කාර්යයබහුලම අය. ක්‍රිස්තු චරිතය කරනවාටත් වඩා මේක කරන්න අමාරු වුණා. කෙහොම හරි මම මේ අයව එකතු කරගන්න පුළුවන් වීමෙන්ම තේරෙනවා දෙවියන් වහන්සේ මීට ආශිර්වාදය කරන බව.

මෙම නාට්‍යයෙන් ලැබෙන අරමුදල් අප තඹකන්දේ දේවස්ථානයට ලබා දෙන්නයි බලාපොරොත්තුව.

තඹකන්ද පාස්කුව 2012 හි නළු නිළි පිරිවර
ජේසුස් වහන්සේ - ජීවන් කුමාරතුංග
පිලාත් - සනත් ගුණතිලක
ස්නාවක ජුවාම් –සුනිල් කොස්තා,
මරියතුමිය - මොරීන් චාරුනි
ක්ලෝඩියා - සුමනා අමරසිංහ
නූතන මරියා - නීටා ප්‍රනාන්දු
මරිය මද්දලේනා - කාංචනා මෙන්ඩිස්
වෙරෝනිකා – ක්‍රිෂ්ටිනා ප්‍රනාන්දු
පේදුරු - ක්ලීටස් මෙන්ඩිස්
තෝමස් - රෝයි ද සිල්වා
ජුදාස් - රිචඩ් වීරක්කොඩි
ජුවාමි - සුරේෂ් ගමගේ
ජාකොබ් – මහේෂ් ජයසිංහ
බර්තලමියුස් - වසන්ත අඹගහලන්ද
සීමොන් – රාජසිංහ ලෝලුවාගොඩ
තදේවුස් - ඇලෙක්ස් අධිකාරි
පිලිප් - නුවන් ලියනගේ
මතේව් - ෂෙල්ටන් මුතුනමගේ
ඇන්ඩෲ - රිචඩ් මානමුදලි
මතෙව් 02- ටෙනිසන් කුරේ
බුද්ධික රඹුක්වැල්ල
අන්නාස් – නිරෝෂන් විජේසිංහ
කයිපාස් - අර්ඩ්ලි වෙදමුනි
අටුවාචාරී පූජක – ඥානාංග ගුණවර්ධන
පූජක තියෝනිස් - බොනිපස් ප්‍රනාන්දු
ලේව තෝබියෝ - සුනිල් ලියනආරච්චි
නිකදේමුස් – කිංස්ලි ලෝව්
පූජක සෙස්රාස් - කිංස්ලි ගොඩ්ප්‍රි
බරබ්බාස් - ශ්‍රි ලාල් ගුණසේකර
මරියතුමී සහායිකාවන් - සමන්ති ලැනරෝල්, රෙබෙකා නිර්මලී, හයිසින්ත් විජේරත්න

නිෂ්පාදන කණ්ඩායම:
උපදේශකත්වය – ගරු ස්ටැන්ලි පීරිස් පියතුමා
(තඹකන්ද පුදබිම පාලක)
රචනය – ජයන්ත මෝදරගේ
සහය අධ්‍යක්ෂණය - ජූඩ් සිසිර පෙරේරා
සංගීතය – දිනේෂ් සුබසිංහ
පසන් පුහුණුව - ක්‍රිස්ටි මිහිඳුකුල,
කෞශල්‍යා ජයරත්න
අංග රචනය – වසන්ත විට්ටච්චි, කුමාර
ගලහිටියාව
ආලෝකකරණය - ගාමිනී හේමචන්ද්‍ර
ශබ්ද පරිපාලනය – උෂාන්ත ද සිල්වා,
රංජිත් පෙරේරා
පසුතල සැලසුම් – මලින්ද ගමගේ,
ආනන්ද ඇරැව්ගොඩ
ඇඳුම් නිර්මාණය - ප්‍රේම් ප්‍රනාන්දු
සහය - සම්පත් රොඩ්රිගු, ශ්‍රියානි,
නයනා සුදර්ශනී
කලා අධ්‍යක්ෂණ සහ වේදිකා පරිපාලනය -
සනත් ජානක හේරත්
නිෂ්පාදනය – ප්‍රේම් ප්‍රනාන්දු
අධ්‍යක්ෂණය – පීටර් වෙල්අඹගේ

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු