කරළිය

අප්‍රේල් 05 වැනිදා

* දයානන්ද ගුණවර්ධනගේ ‘නරිබෑනා’ කුලියාපිටිය නගර ශාලාවේ.

* රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’ ටවර් රඟහලේ.

* කීර්ති කේ. රත්නායකගේ ‘වීරයා නැතුව බෑ’ ටවර් රඟහලේ.

07 වැනිදා

* ජයලත් මමෝරත්නගේ ‘බූරුවා මහත්තයා’ වත්තේගම නගර ශාලාවේ.

* ‘නරිබෑනා සමඟ ජසයා හා ලෙන්චිනා’ ශාන්ත තෝමස් විද්‍යාලයීීය රංග ශාලාවේ.

08 වැනිදා

* නාලක ස්වර්ණතිලකගේ ‘දඟමල්ල සහ අමුතු ඉස්කෝලේ’ කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ.

* ඩී. කුමාරගේ ‘රූකඩ රාජ්ජේ’ කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේ.


‘නින්නාද 2012’ ගී දැහැන ලුම්බිණියේදී

සවන රැඳි ගීත රසික සංසදය ඉදිරිපත් කරන ‘නින්නාද 2012’ සුභාවිත ගී දැහැන මෙම මස 08 වැනිදා පෙරවරු 9.00 ට ලුම්බිණි රඟහලේදී පැවැත්වෙන බව පවසන්නේ එම සංසදයේ ප්‍රධාන සම්බන්ධීකාරක නිමල් ද සොයිසායි.

මෙම ගීත ප්‍රසංගයේ ගී ගයන ශිල්පීන් අතර පසුගියදා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය මෙහෙය වූ සම්බුද්ධ ජයන්ති උපහාර ගීත තරගයේ ප්‍රථම ස්ථානය දිනූ අනු කුමාර් අමරසිංහ, විශාරද සිසිර කුමාර මාරසිංහ, සංගීත ශාස්ත්‍රපති සන්ධ්‍යා ඉලේපෙරුම යන ශිල්පීන් ද වේ. නොමිලේ පැවැත්වෙන මෙම ප්‍රසංගය සඳහා සහභාගි වෙන්න යැයි ආරාධනා කරන්නේ කමිටු ලේකම් ශාලිකා පියදාස හා විධායක කමිටු සාමාජික සුමතිපාල සෝලංග ආරච්චිය.


සුදු සහ කලු සංයුක්ත තැටිය ජනපති අතට

ඉරිදා ‘රිවිර’ පුවත්පතට ලේඛිකා ප්‍රියංකා අමරතුංග ලියූ කුමාරිහාමි 1, 2 කෘතීන් සහ ලොව ප්‍රථම සංයුක්ත තැටිගත සිංහල නවකතාව ‘සුදු සහ කලු’ සංයුක්ත තැටියේ පිටපතක් පසුගියදා ලේඛිකාව විසින් අරලියගහ මන්දිරයේදී ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන් වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. ප්‍රවීණ ග්‍රැෆික් චිත්‍ර ශිල්පී මහනුවර ලලිත් බණ්ඩාර සමරකෝන් ද පසෙකින් සිටියි.


‘මාගම රාජධානිය’

දොරට වැඩුම දහවැනිදා

පුරා විද්‍යා චක්‍රවර්ති, පුරා විද්‍යා පර්යේෂණ ශූරී එල්ලාවල මේධානන්ද හිමියෝ කියන්නේ ලංකාවාසී අපට ආගන්තුක හිමි නමක් නම් නොවෙයි.

පුරා විද්‍යා විෂයයට බොහොම ළැදිකමක් දක්වන උන් වහන්සේ පිළිබඳ නැවතත් අපට කතාබහ කරන්නට අවස්ථාවක් උදා වෙලා.

උන්වහන්සේගේ මුල්ම පර්යේෂණ කෘතිය වුණු ‘මාගම රාජධානිය’ කෘතිය 1970 වසරේ මුල් වරට එළි දැක් වුණත් නැවතත් එහි නව මුද්‍රණයකින් එළි දැක්වීමට සියලු කටයුතු සූදානම්.

ඒ මෙම මාසයේ 10 වැනිදා උදේ 10.00 ට මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී.


කලා භූෂණ සම්මාන ප්‍රදානයට අයැදුම්පත් භාර ගැනේ

සංස්කෘතිත හා කලා කටයුතු අමාත්‍යංශය මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් මෙහෙය වන කලා භූෂණ සම්මාන ප්‍රදානය සඳහා අයැදුම්පත් භාර ගැනේ.

කලා භූෂණ සම්මානය සඳහා ලේඛකයින්, පාරම්පරික චිත්‍ර, මූර්ති, කැටයම්, ලාක්ෂා, වියමන්, රූකඩ, නාට්‍ය, නර්තන, බෙර වාදන, සංගීත ශිල්පීන් හා ජන කලාකරුවන් ආදී සියලුම කලාකරුවන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් තෝරා ගැනීමට නියමිතය. මෙම වසරෙහි දෙසැම්බර් මස 15 වැනි දිනට වයස අවුරුදු 60 ක් ඉක්ම වූ සුදුසුකම් ලත් කලාකරුවන්ට පමණක් මෙම සම්මානය සඳහා ඉල්ලුම් කළ හැක.

අවශ්‍ය අයැදුම්පත් දිස්ත්‍රික්ක හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් දැන් ලබා ගත හැකිය. අයැදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය මැයි මස 30 වැනිදා වේ.


නෙත් අඳ බිසව්

නව මුහුණුවරකින්

හැත්තෑව දශකයේ දී විචාරක සම්මාන දිනුව ‘නෙත් අඳ බිසව්’ සංගීතමය හාස්‍ය ඛේදාන්ත නාට්‍යය නව නිර්මාණයක් විදියට මේ මාසයේ 08 වැනිදා ලුම්බිණියේදී වේදිකාවට ගොඩ වදින බව අපට කිව්වා. ඒ අප කවුරුත් දන්නා හඳුනන ආනන්ද එස්. විජයසිරි.

ඒ කාලේ ඔහුට ‘බැද්දේ ගෝරනාඩුව’, ‘දෙව්ලෝ යනකං’, ‘ජුලියස් සීසර්’ කියන නාට්‍ය නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයාගේ හද බැඳ ගන්නට හැකි වුණා. කාලයකට පස්සේ වේදිකා ගත වෙන මේ නෙත් අඳ බිසව් නව නිෂ්පාදනය සඳහා රංගනයට ඔහු දායක කර ගත්තේ ආරියසේන ගමගේ, ගංගු රොෂානා, රෙක්ස් හැමිල්ටන්, මෛත්‍රී ගුරුසිංහ, මාලි ලියනගේ කියන ජනප්‍රිය ශිල්පීන් වගේම ශිල්පිනියන්ය. මේ නාට්‍යය වේදිකාවට ගේන්න අංග රචනයෙන් උදව් වෙන්නේ තරංග රුක්මල්වල. රංග භූමි පාලනයෙන් වගේම සංවිධායකත්වයෙන් ලක්ෂ්මන් වීරිසිරි සහාය වෙනකොට ඇඳුම් නිර්මාණය කළේ ධනුජා. පසුතල නිරමාණය ශාන්ත ප්‍රනාන්දුගේ. මෙහි එන නර්තනයන්ට පණ දුන්නේ නයෝමි ගමගේ කියන නර්තන උපදේශිකාව. ‘නෙත් අඳ බිසව්’ කියන්නේ සංගීතමය නාට්‍යයක් නිසා මෙහි ගීත කිහිපයකුත් එදාට ඔබට අසන්නට ලැබේවි. ඒ අද අප අතර නැති වුණත් ඔබ ආදරය කරන මාලිනී බුලත්සිංහලගේ මියුරු ස්වරයෙන්. ඒ වගේම ටයිටස් සී. පෙරේරා, ප්‍රියාණි ජයසිංහත් ගැයූ ගීත මෙහි අන්තර්ගතයි. රංග රසාංග පදනම වෙනුවෙන් නෙත් අඳ බිසව් ඔබට ඉදිරිපත් කරන්නේ නිව්ටන් විදාන පතිරණයි.


රූපා ගී සරණිය

කැස්බෑව නගර ශාලාවේ

පැණි කුරුල්ලන්ට ගී කියන ගී කිරිල්ලී පනස් වසරක මතකයන් අරගෙන මෙවර ඉගිල්ලෙන්නේ තමන්ගේ ගම් ප්‍රදේශයටයි. ඒ මේ මාසයේ 07 වැනිදා පස්වරු 6.00 ට කැස්බෑව නගර සභා ශාලාවේදීයි.

‘රූපා ගී සරණිය’

රූපා ඉන්දුමතී කියන ආදරණීය ගායිකාවගේ මේ ගී සරණිය ඔස්සේ ලැබුණු ප්‍රතිචාර කොහොමද කියලා අපි ඇහුවේ ඈ සරසවියට ගොඩ වැදුණු මොහොතකයි.

‘මගේ’රූපා ගී සරණියට’ ලැබුණු ප්‍රතිචාර මාව වඩාත් ධෛර්යමත් කළා. ඒ ප්‍රසංගයේදී මගේ රසිකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර තමයි නැවත ප්‍රසංගයක් කරන්න මා පෙලඹෙව්වේ. මගේ ගම් පළාතේ සිදු කෙරෙනා මේ ගී ප්‍රසංගය මගේ ජීවිතයේ සංදිස්ථානයක්. ඒ මගේ ගම් පළාතේ කෙරෙන ගී ප්‍රසංගය නිසාමයි. මේ ප්‍රසංගය කෙරෙන්නේ කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ වගේම ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා ඇතුළු කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලු කලාකරුවන්ගේ සහභාගිත්වයෙන්.

සහාය ගායනයෙන් මට සුපුරුදු විදියට ලක්ෂ්මන් රොද්‍රිගෝ, වගේම නුවන්, අකිල, රුවන්, ජයතිස්ස හෙට්ටිආරච්චි කියන මගේ හිතවතාත් සහාය වෙනවා. සංගීත අධ්‍යක්ෂණයෙන් නිලන්ත සිරි පතිරණ, නර්තනයෙන් චන්දන වික්‍රමසිංහත්, වේදිකා පසුතල නිර්මාණය හා ආලෝකරණයෙන් නිමල් බුලත්සිංහලත්, කථනයෙන් සේනක ඔබේසිංහත් ප්‍රසංගයට ආලෝකයක්. මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලයයි.’


විජය කලායතනයේ

‘ගිගිරි ගී නද’ 7 වැනිදා

කැලණිය විජය කලායතනයේ සිසු දරු දැරියන්ගේ දක්ෂතා කලඑළි නංවන ‘ගිගිරි ගී නද’ වාර්ෂික විවිධ ප්‍රසංගය මෙම මස 07 වැනිදා පස්වරු 6.30 ට කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වේ.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු