දශක දෙකකට පසුව පුන්සිරිගෙන් ස්වතන්ත්‍ර ගී එකතුවක්

ප්‍රවීණ ගායන ශිල්පී පුන්සිරි සොයිසාගේ නවතම ගීත එකතුවේ පටිගත කිරීම් මේ දිනවල බොරලැස්ගමුව ‘සිතුමිණ’ ශබ්දාගාරයේදී සිදු කෙරේ. තවමත් නමක් තබා නොමැති මෙම ගීත එකතුව වසර විසි ගණනකට පසුව පුන්සිරි ගයන ස්වතන්ත්‍ර ගීත 16 කින් සමන්විත වීම විශේෂත්වයකි.

ප්‍රවීණ සංගීතවේදී අශෝක පීරිස් සංගීතය මෙහෙය වන මෙහි තනු නිර්මාණයෙන් ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු, නවරත්න ගමගේ සහ අශෝක පීරිස් දායක වන අතර රත්න ශ්‍රීී විජේසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, චන්ද්‍රදාස ප්‍රනාන්දු, තු. ව. කුසුම්පාල, ගාමිණී එස්. ප්‍රනාන්දු, ආනන්ද පද්මසිරි, හෙක්ටර් විජයසිරි සහ චන්ද්‍රසේන රංගේ ගී පද රචනයෙන් දායක වෙති.

කීර්ති ඇහැලේපොළ මෙහි නිෂ්පාදකවරයායි.

මේ එහි ගීතයක් පටිගත කෙරුණු අවස්ථාවකි. පුන්සිරිගේ දකුණු පසින් සංගීතවේදී අශෝක පීරිස් සහ ගී පද රචක චන්ද්‍රදාස ප්‍රනාන්දුත් වම් පසින් ගී පද රචක ගාමිණී එස්. ප්‍රනාන්දු සහ නිෂ්පාදක කීර්ති ඇහැලේපොළත් ඡායාරූපයේ වෙති.


ගායකයකු වීමට සිහින දකින පානදුරේ තරිඳු මධුසංඛ

ගායනයට මෙන්ම වාදනයටත් එකසේ දස්කම් පාන ඩී. එම්. තරිඳු මධුසංඛ දිසානායක පානදුර ශ්‍රීී සුමංගල විදුහලේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දීප්තිමත් ශිෂ්‍යයෙකි.

කලා කටයුතුවලට මෙන්ම අධ්‍යාපන කටයුතුවලටද බෙහෙවින් උනන්දුවක් දක්වන තරිඳු මධුසංඛ මේ වන විට සංගීත විශාරද ස්වර්ණලතා කවීශ්වර හා විශාරද සමන්ත පෙරේරා යටතේ ගායනය හා වාදනය හදාරමින් සිටී.

කුඩා කල සිටම ගුවන් විදුලියට සවන් දීමෙන් ගායන හැකියාව වර්ධනය කර ගත් ඔහුට සිය මවුපියන්ගෙන් ඊට විශාල සහයෝගයක් ලැබිණි.

ගම් ප්‍රදේශයේ පවත්වන සංගීත සංදර්ශන, අවුරුදු උත්සව, මංගල අවස්ථාවලට නැතිවම බැරි ගායකයකු ලෙස නමක් දිනාගෙන සිටින තරිඳුගේ එකම ආශාව ගායනයෙන් හැකි තරම් ඉදිරියට යෑමයි. මේ සඳහා තම බාල සහෝදරයා වන පසිඳු කාවින්දගෙන් ලැබෙන සහයෝගය ඔහු ඉතා අගේ කොට සලකයි.

අංක 33/ඒ, ගැමුණු මාවත, කෙසෙල්වත්ත, පානදුර.

දුරකතනය – 038-4921428


අර්නස්ට් වඩුගේ සම්මානයට පාත්‍ර වෙයි

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී අර්නස්ට් වඩුගේ මහතා ‘ගුණදාස ලියනගේ’ ප්‍රසාද සමරු සම්මනයෙන් පිදුම් ලැබීය. ඒ නාට්‍යවේදී ලීල් ආනන්ද ගජනායකගේ මූලිකත්වයෙන් සරසවි නිර්මාණ රංග පීඨය මඟින් සංවිධානය කළ 28 වැනි සරසවි නිර්මාණ සම්මාන ප්‍රදානෝත්සවයේදීය.

සේයාරුවෙන් දැක්වෙනුයේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අතින් ඔහු සම්මානය ලබාගත් මොහොතයි.


ප්‍රථම වසන්තය දොරට වඩී

‘රන් සමනල්ලු’, ‘රාජ කුමාරි’, ‘පෙම් පැතුම්’ ආදී නවකතා ලියූ ලක්ෂ්මන් මල්ලවආරච්චිගේ අලුත්ම නවකතාව වූ ‘ප්‍රථම වසන්තය’ පසුගියදා දොරට වැඩිණ. ඒ වගේම කතුවරයා තවත් අලුත් කර්තව්‍යයක් සඳහා මුල පුරා සිටියි. ඒ 80 දශකයේ ජනප්‍රිය වූ ‘දසුන’ චිත්‍ර කතා පුවත්පතේ පළ වූ ‘සඳරේඛා’ චිත්‍ර කතාව ඇසුරින් ටෙලි නාට්‍යයක තිර පිටපතක් ලිවීමයි .

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු