අර්ජුනගෙන් පැන විසඳුම්

රන්මිණි මුතු චිත්‍රපටයට පාදක වූයේ කාගේ නව කතාවක්ද? එහි නළු නිළියන් කවුද?

ජයලත් - ගම්පහ

රන්මිණි මුතු චිත්‍රපටයට පාදක වූයේ, හිටපු ජනාධිපතිවරයකු වූ රණසිංහ ප්‍රේමදාස මහතා විසින් රචනා කරන ලද නවකතාවකි.

නළු නිළියන් වූයේ ජෝ අබේවික්‍රම, රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍රියාණි අමරසේන, ටියුඩර් කරුණාතිලක, විජය නන්දසිරි, සෝනියා දිසා, වින්සන්ට් වාස්, මර්වින් ජයතුංග, බී. එස්. පෙරේරා මහේෂ් ජයසිංහ ඇතුළු නළු නිළියන් රැසකි.


පැරැණි ජනප්‍රිය නිළියක වූ ක්ලැරිස් ද සිල්වා රඟපෑ මුල්ම චිත්‍රපටය කුමක්ද?

තිලකරත්න විල්වල – කෑගල්ල

ඇය මුල් වරට රඟපෑවේ ‘උමතු විශ්වාසය’ චිත්‍රපටයේය.


හින්දි සිනමාවේ ජනප්‍රිය නළු දිලිප් කුමාර් මුලින්ම රඟපෑ චිත්‍රපටය කුමක්ද?

එම්. එල්. තිලකසිරි ද සිල්වා - මීටියාගොඩ

‘ජ්වාර් භාටා’ චිත්‍රපටයේ.


පණ්ඩිත් අමරදේවයන් ගයන ‘සංසාර ගමනේ තන්හා ආශා’ යන ගීතය කුමන චිත්‍රපටයේද?

මැණිකේ විල්වල – කෑගල්ල

එය ඇතුලත් වන්නේ ‘සැනසුම කොතනද’ චිත්‍රපටයට.


හින්දි සිනමාවේ ‘කඳුළු බිංදුව’, මීනා කුමාරි ගැන යමක් සඳහන් කරන්න.

හිලරි සිරිලාල් ද අල්මේදා – මොරටුව, මොරටුවැල්ල

1932 අගෝස්තු පළමුවැනිදා ‘මජාබීන් භානු’ නමින් උපත ලද ඇය වසර 30 ක් පමණ මුළුල්ලේ එනම් ඇගේ ළමා වියේ සිට මරණය දක්වා කාලයේදී හින්දි සිනමාවේ නොමැකෙන නමක් තැබුව ද ඇය රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව 19 කි.

එහෙත් 1972 මාර්තු 31 වැනිදා ඇය මිය ගිය දවසේ සිට අද දක්වා ඇය පිළිබඳ ඕපාදූප හෝ කට කතාවල තවමත් නිමාවක් නැහැ. ඒ අතින් ඇය සම කළ හැක්කේ හොලිවුඩ් සිනමාවේ මැරලින් මොන්රෝට පමණි.

එකම වෙනස නම් මැරලින්ගේ මරණය අදට ද අභිරසක් වුව ද, මීනා මිය ගියේ අධික බීමත්කම නිසා සිරෝසීස් රෝගය වැළඳීමෙන්. උත්පත්තියෙන් මුස්ලිම් වූ මේ යුවතිය කෙතරම් දරිද්‍රතාවෙන් පෙළුන ද යත් ඇය උපදින විට වෛද්‍යවරයාට ගෙවිය යුතු ගාස්තු ද ඇගේ මාපියන්ට ගෙවන්නට නොහැකි වුණා.

ඇගේ පියා අලි භක්ෂි, පැරැණි පර්සි වේදිකා නළුවෙක්, සංගිතඥයෙක් සහ ගීත රචකයෙක්.

ඇය ඇගේ රඟපෑම ආරම්භ කළේ අවුරුදු හතේදී ‘ෆර්සන්ඩි ඊවතන්’ චිත්‍රපටයේ රඟපාමිනි. එය අධ්‍යක්ෂණය කළ විජය භාත්ම පසු කලෙක නිර්මාණය කළ ‘බව්ජි බව්රා’ චිත්‍රපටයෙන් මීනා ජනප්‍රියත්වයේ කිරුළ පැලැන්දා පමණක් නොව එම වසරේ හොඳම නිළිය ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මානය ද දිනා ගත්තා. පර්නීතා, දිල් අප්නා ප්‍රීති පරායේ, කොහිනූර්, දිල් එක් මන්දිර්, මිස් මේරි සහිබ් බිබි ඔර් බුලාම් වැනි චිත්‍රපට ඇයට සම්මාන මෙන්ම කීර්තිය ද ගෙන ආවා.

කෙසේ වෙතත් ඇයගේ නම සමඟ බොහෝ නළුවන්ගේ නම් පටලැවුණා. ඒත් ඇයගේ සැමියා වූ කමල් අම්රෝහී සමඟ අවුරුදු දහ හතරක් විවිධ හැල හැප්පීම් මත විවාහ ජීවිතය ගෙන යෑමට ද හැකි වුණා. ඇයගේ අවසාන චිත්‍රපටය වූ ‘පාකිෂා’ චිත්‍රපටය තිරගත කොට සති තුනකින් ඇයගේ මරණය සිදු වුණා.

උත්පත්තියේදී මෙන්ම මිය යන විටත් රෝහල් බිල් ගෙවන්නට තරම් වත්කමක් ඇයට තිබුණේ නැහැ.

ඇය සිවු වතාවක්ම ෆිල්ම ෆෙයාර් සම්මානය දිනාගත් අතර ඊට අමතරව අට වාතවක්ම හොඳම නිළිය ලෙස නිර්දේශයට පත් වුණා.


ජනප්‍රිය අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල අවසන් වරට ගීත ගායනා කළ චිත්‍රපටය කුමක්ද?

මිල්ටන් ප්‍රනානදු – උතුරු මූදුකටුව

ඔහු ගීත ගැයූ චිත්‍රපට රාශියක් ඔහුගේ මරණින් පසු ද තිරගත වුණා. ඔහු අවසන් වරට ගීතය ගැයූ චිත්‍රපටය එනමින් කිසි දිනක තිරගත වූයේ නැහැ. ‘සිතු දේ නොම වෙයි, නොසිතුª දෙයක් වේ’ නම් එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නට සැරසුණේ දිනේෂ් ප්‍රියසාද්ය. නිෂ්පාදනය කළේ අනුර අබේසේකරයි. එම චිත්‍රපටයේ ගීත පසු කලෙක වෙනත් චිත්‍රපටයකට ඇතුළත් වුණා. කෙසේ වෙතත් ජෝතිපාලයන් අවසාන වතාවට චිත්‍රපටයකට ගැයූ ගීතය සංගීතවත් කළේ සෝමපාල රත්නායකයි. හඬ පටිගත කළේ එවකට ලංකා චිත්‍රාගාර භූමියේ පැවැති ‘තරීටා’ ශබ්දාගාරයේදී මර්වින් බෙන්ස් අතින්. වර්තමාන සරසවිය කතුවර අරුණ ගුණරත්න ආධුනික පුවත්පත් කලාවේදියකු ලෙස මුල් වරට එම චිත්‍රාගාරයට ගොඩ වැදී තිබුණේ ද මේ අවස්ථාවේදියි.


බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි’ චිත්‍රපටයට ගාමිණී ෆොන්සේකාගේ ඇති සම්බන්ධතාව කුමක්ද?

ගිල්බට් පෙරේරා - තලවතුගොඩ

‘බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ ගයි ඔගස්ටින්ගේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළා.


නව කතාවක් හා චිත්‍රපටයක් ලෙසට පාඨක හා රසික හද බැඳගත් ගොළු හදවතට’ පුංචි තිරයේදී කළ අවමානය, සිනමා ලොව විකසිත කළ ‘පරසතු මල්’ වලටත් කරන්න යනවා නේද?

ලක්ෂ්මන් රණසිංහ - හේකිත්ත – වත්තල

ඔය සම්බන්ධයෙන් මගේ අදහස නම් වදන්නට කලින් කේන්දර බලන්න බැරි බවයි. සමහර අවස්ථාවලදී ලෝකය පුරාම අති ශ්‍රේෂ්ඨ චිත්‍රපට ඇසුරින් ටෙලි නාට්‍ය නිර්මාණය කෙරුණත් මේ කිසිවක් එම චිත්‍රපටයේ තිබූ විශිෂ්ටත්වය ඉක්මවා ගොස් නැහැ. හැබැයි පුදුමය නම් ටෙලි නාට්‍ය ඇසුරින් අතිශය ජනප්‍රිය චිත්‍රපට හදන්නට හැකිවීමයි.


මල්දෙණියේ සිමියොන් චිත්‍රපටය නැවත නැරැඹිය හැකිද?

ලක්ෂ්මන් ලියනගේ- මතුගම

බැරිකමක් නැහැ.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු