හිතපුරා මල් පිපෙන වසන්තය ඇවිදින්

සුනිල් විමලවීර අලුත් වැඩකට අත ගසලා

‘ඔබෙගේ රුව මාගේමයි

සතුටේ මල් පීදේමයි

පෙර මඟ මුතු පෑදේමයි

රන් රස සේ පෑහේමයි . . .’

ලෙසින් රිදී තිරය වර්ණවත් කළ ‘හරිම බඩු තුනක්’ සිනමාපටයට එම්. එස්. ප්‍රනාන්දු සහ රංජනී පෙරේරා මියුරු ගී හඬ එදා එක් කළේ සුනිල් විමලවීරගේ පද රචනයටයි. ඔහුගේ ගී පද මාලාවන් සහෘද හදවත් ආලෙන් වෙලා ගත් බව කවුරුන් හෝ පවසයි නම් එය අසත්‍යයක් නොවේ. කාලයේ වැලිතලාවෙන් වැසී නොයන මේ සහෘදයා සමඟ අප පසුගිය දිනක පිළිසඳරක යෙදුණෙමු.

‘හිත පුරා මල් පිපෙන වසන්තය’ ඇවිදින්ද?

ඔව්, ඔව්, මගේ හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින් ගොඩාක් කල්. හැබැයි මගේ වසන්තය ආවට ආපසු ගියේ නෑ. ඒ නිසා මට හැමදාම වසන්තය.

ගීත වසන්තය ආවේ කොයි කාලේද?

මම මුලින්ම ගීතයක් ලිව්වේ දයාරත්න රණතුංගටයි , අමරා රණතුංගටයි. ඒක සරස්වතී අභිනන්දන ගීතයක්. ඒ ආශිර්්වාදය තමයි මගේ ජීවිතයේ සාර්ථකත්වයේ රහස. එදා වගේම අදත් හෙටත් මට සරස්වතී දේවියගේ ආශිර්වාදය තිබෙන බව මට හොඳටම විශ්වාසයි. මම වඩාත් කතා බහට ලක් වුණේ 1979 දී ‘හරිම බඩු තුනක්’ චිත්‍රපටයට ලියූ ‘ඔබගේ රුව මාගේමයි’ ගීතයෙන්.

ඔබ දැනට ගීත කීයක් පමණ ලියා තිබෙනවාද?

හ්ම් . . . කාලය දිගු වුණාට මම නම් දැනට ලියා තියෙන්නේ ගීත සියයක් පමණ. නිර්මාණයන් පිළිබඳ ප්‍රමාණාත්මකව බලනවාට වඩා මට වැදගත් වෙන්නේ එහි ගුණාත්මක බව. මගේ ගී පද තුළ ගුණාත්මක බව සහ ආකර්ෂණීය බව තිබුණු නිසා තමයි ‘ලේ කිරි කඳුළු’ චිත්‍රපටයට ලිව්ව ‘හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්’ ගීතයට 2003 දී ‘සරසවිය’ සම්මාන උළෙලේදී හොඳම ගී පද රචකයාට හිමි සම්මානය මට ලැබුණේ. ඒ වගේම රාජ්‍ය සේවයේ නියුතු අයගේ කලා නිර්මාණ තරගයේදී 2001 සහ 2002 යන අවුරුදු දෙක්දීම මගේ ගී පද රචනා හොඳම ගී පද රචනා ලෙස සම්මානයට පාත්‍ර වුණා. 2011 දී ජනප්‍රියම ගීතය වුණෙත් මම ලියූ ‘සමනල් හැඟුමන් අතරේ’ ගීතයයි. මම මේ ගීත ලියැවුණා කියලා යන්නේ විශේෂ හේතුවක් නිසා. ඇත්තටම සමහර ගීත ගැන නැවත හිතලා බලන කොට ඒවා මං ලිව්ව ඒවාද කියලා මටම හිතා ගන්න බෑ. මොකක්දෝ දිව්‍යමය ගතියක් නිසා මට පෑන අතට ගත්තාම අපූරු පදමාලා ලියැවෙනවා.

වත්මන් ගී පද රචකයින් සහ ගී පද රචනා ගැන මොකද හිතෙන්නේ?

අලුත් අයට අපි බනින්න හොඳ නෑ. අලුත් අය සියයක් මේ ක්ෂේත්‍රයට එක්වෙන කොට ඒ අතර තුන් හතර දෙනෙක් ඉන්නවා සැබවින්ම දක්ෂයින්. ගොඩක් අය කරන්නේ මොනවා හෝ වචන ටිකකට සංගීතයක් එකතු කරලා යම් කිසි තාලයකට කවුරු හරි ලවා කියවනවා. නමුත් ගීතයක් කියන්නේ ප්‍රශස්ත කලා නිර්මාණයක්. ආවට ගියාට අර්ථ පූර්ණ රස පූර්ණ ගීතයක් ලියන්න බෑ. ඒකට භාෂා දැනුමක් වගේම හොඳ පරිචයක් අනිවාර්යයෙන් තිබිය යුතුයි. විශේෂයෙන් ගී පද රචකයින් සාහිත්‍යය, ව්‍යංග්‍යාර්ථයන්, යවහන්, සදේශ කාව්‍යන් ආදිය පිළිබඳ යම් තරමක හෝ දැනුමක් ලබා තිබිය යුතුයි. වත්මන් පරපුරට වැරදුණේ එතන. ඔවුන් ඒවායින් පෝෂණය නොවීම නිසා ඔවුන්ට පෑන අතට ගත්තාම සුන්දර සිතුවිලි, අපූරු වදන් ගඟ ගලන්නා වගේ එන්නේ නැහැ . මම ඒකෙන් අදහස් කරන් නෑ ගීතයක් ලියන්න නම් උසස් අධ්‍යාපනය ලබන්න ඕන කියලා. හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා උසස් අධ්‍යාපනය හැදෑරුවෙක් නෙමෙයි. නමුත් එතුමන් භාෂාව පරිශීලනය කළා. නොයෙකුත් ගවේෂණ කරමින් තමාගේ ක්ෂේත්‍රය තුළ නව මාවත් විවර කර ගත්තා. අපි නිතරම ඇසුරු කරන්න ඕන අපට වඩා දැනුමෙන් වැඩි පුද්ගලයන්. මම ඒ වාසනාව ලද කෙනෙක්. මට අද වගේ මතකයි අපේ අයියා සරත් විමලවීර, මහගමසේකර, කරුණාරත්න අබේසේකර, එච්. එම්. කුඩලිගම අපේ ගෙදර ජෑම් ගහ යට හවසට සාකච්ඡාවක. මමත් ඉතින් හෙමිහිට එතනට කිට්ටු වෙනවා. ඒ අය කවදාවත් අනුන් ගැන කේලම්වත්, අනුන්ගේ වැරැදිවත් කතා කළේ නෑ. ඒ අය කතා කළේ ගීත ගැන, චිත්‍රපට ගැන හෝ මොකක් හරි කෘතියක් ගැන. කලාව ගැන නොවිධිමත් අධ්‍යාපනය ලැබූ මගේ පළමු තක්සලාව වුණේ එතන.

ගී පද රචකයා දැන් නවකතාකරුවෙක්?

හ්ම් . . . මෙහෙමයි, මම පොතක් ලිව්වා. හැබැයි ඒක මම හඳුන්වන්න කැමති නව නිර්මාණයක් ලෙස. මගේ ‘පරවම්භන’ කෘතියේ අන්තර්ගත වෙන්නේ මින් පෙර කිසිවකුª නොකිය වූ, නොදුටු කතාවක්. නව නිර්මාණයක් කියන්නේ පෙර නොවූ විරූ දෙයක්. ඒ පදනමේ ඉඳන් මට හිතෙන්නේ ‘පරවම්භන’ නව කතාවක් නෙවෙයි, නව නිර්මාණයක්.

හරි, ඔබේ නව නිර්මාණය පාඨකයාට නැවුම් අත්දැකීමක් වේවි කියලා ඔබ හිතනවාද?

’පරවම්භන’ සම්ප්‍රදායික ආදර කතාවක් තේමා කරගත් කෘතියක් නෙවෙයි. එහි ආදරය වගේම රජ කාලේ පටන් ඇරැඹුණු අදටත් ගැටලුවක් ලෙස පවතින එහෙත් වර්තමාන සමාජයේ එය ගැටලුවක් ලෙස පිළි නොගන්නා පුද්ගලයා හා බැඳුණු ගැටලුවක් සාකච්ඡා වෙනවා. දැන් මගේ කාර්යය අවසන්. දැන් තිබෙන්නේ පාඨකයන්ගේ අවස්ථාව. මගේ’ ‘පරවම්භන’ කෘතිය දැන් පාඨකයන් සතුයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු