මං ඒව ගානට බැලන්ස් කරනවා

මැණික් පෙරේරා

නම මොකක්ද?

නෙළුම් මැණික් පෙරේරා.

නෙළුම් කියනවටද කැමැති, මැණික් කියනවටද?

ම්ම්ම් . . . මැණික් හොඳයි.

ඔයා මැණිකක් කියලද හිතාගෙන ඉන්නේ?

අනේ මං දන් නැහැ.

කලාවට ගොඩක් ආසද?

අපොයි ඔව්. රඟපාන්න තමයි වැඩිපුර හිත.

මොනවද දායක වූ නිර්මාණ?

වැස්ස නුඹ වාගේ, කප් සුවහසක් කල්, ස්ටාර් ශ්‍රී ලංකා, සිහින පියාපත්.

ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද?

අවුරුදු එකහමාරයි.

කොහොමද රංගනයට ප්‍රවේශය ලැබුණේ?

ගමනක් යමින් සිටියදී නුගේගොඩදී හමු වූ පුද්ගලයෙක් මගෙන් ඇහැව්වා රඟපාන්න කැමැති ද කියලා. ඔහු තමයි අංග රචනා ශිල්පී විශ්වනාත් විජේසූරිය. මම ගත් කටටම හා කිව්වා. ඔහු මට වැස්ස නුඹ වගේ අධ්‍යක්ෂ ජනක චමින්දට මාව හඳුන්වා දුන්නා. එතැනින් තමයි මගේ රංගන චාරිකාව ඇරැඹෙන්නේ. මේ වෙලාවේ එහි සහාය අධ්‍යක්ෂ මංගල කොඩිතුවක්කුවත් මතක් කළ යුතුයි.

රංගනය නම් වූ නුහුරු අත්දැකීම මුලින්ම විඳ ගත්තේ මොන විදිහටද?

කැමරාව ඉස්සරහ රඟපාන්න ගොඩක් ලැජ්ජා හිතුණා.

මැණික්ගේ ගම කොහෙද?

වත්තල.

ඉගෙන ගත්තේ?

ආනන්ද බාලිකාවේ .

උපන් දිනය කිව්වොත්?

නොවැම්බර් 21.

අවුරුද්ද නොකීවේ වයස අහුවෙන නිසාද?

ඔව්.

ලග්නය?

තුලා.

උස?

අඩි 5.2 විතර ඇති.

විවාහකයි නේද?

ඔව්. මගේ සැමියා ව්‍යාපාරිකයෙක්. අපිට චූටි දෝණියක් ඉන්නවා.

දුවව කවදා හරි කලාවට යොමු කරන්න අදහසක් තියෙනවාද?

අපෝ නැහැ.

ඒ මොකෝ?

ක්ෂේත්‍රයේ වෙන දේවල් දැක්කම එවන්න පුළුවන්යැ.

කැමැතිම නළුවා?

රොෂාන් රවීන්ද්‍ර.

නිළිය?

ගීතා කුමාරසිංහ.

රංගනය ගැන හදාරන්න හිතක් නැද්ද?

ආසයි. ඒත් කෝ තැනක්.

ක්ෂේත්‍රයේ කරදරකාරයින්ගෙන් බේරෙන්න මොකද කරන්නේ?

ෂේප් න්‍යාය භාවිත කරනවා.

රඟපාන්න ගිහින් ගෙදර දොරේ වැඩ කටයුතු අතපසු වෙන්නේ නැතිද?

මං ඒවා ගානට බැලන්ස් කරනවා.

මොනවද ඉදිරි නිර්මාණ?

ප්‍රවේගය චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වුණා.

මැණික් මොන වගේ කෙනෙක්ද?

අහිංසක, නිවිච්ච චරිතයක්.

ලිපිනය සඳහන් කළොත්?

31, නාහේන ජාතික නිවාස ක්‍රමය,

හුණුපිටිය, වත්තල.


‘සුපිරිවීර’ ට මාතරදී තව පොඩ්ඩෙන් බැණුමක්

මහින්ද ශ්‍රී උපුල් ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීප වුණේ ඇන්ඩ් කොම්පැනි හි සුපිරිවීර නිසයි. ප්‍රකට දේශපාලන චරිතයක් අනුකරණය කරමින් ඔහු රඟපාන අන්දම කොයි කාගෙත් පැසසුමට ලක් වුණා.

මෑතකදී ජනප්‍රිය වුණත් මම ක්ෂේත්‍රයට පිවිසුණේ 1987. පළමුවරට දායක වන්නට අවස්ථාව ලැබුණේ කෝපි කඩේ නාට්‍යයට. ඉන් පසුව වේදිකා සහ කෙටි නාට්‍ය ගණනාවකට සහභාගීවන්න අවස්ථාව ලැබුණ. අම්මාවරුනේ, කිරට හඬන දරුවෝ, ලිපිකරුවකුගේ මරණය ඒ අතරින් කිහිපයක්.

ජයන්ත චන්ද්‍රසිරි මහත්මාගේ වෙද හාමිනේ නාට්‍යය හි මට කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කරන්න ලැබුණා. ඒ රංගනයට අමතරව සහය කලා අධ්‍යක්ෂණයට සම්බන්ධ වෙමින්. මැණික් කැටයම ටෙලි සිතුවමේ ද රංගනයට අමතරව කලා අධ්‍යක්ෂණයට සහය වුණා.

ඊළඟට මහින්ද කතා කළේ ඇන්ඩ් කම්පැනි ගැන.

ඇන්ඩ් කම්පැනි නිසා මං නැවත ඉපදුනා යැයි මට කියන්න පුළුවන්. මන්ද යත් මගේ ජනප්‍රියත්වය ඉහළ ගියේ ඇන්ඩ් කම්පැනි හින්දා. ඇත්තටම මං රඟපාන ඒ දේශපාලන චරිතයට මේවෙනකම් කාගෙන්වත් කිසිදු බලපෑමක් එල්ල වුණේ නැහැ.

එහෙත් නාට්‍ය විකාශය වෙලා ඉවර වුණු ගමන් මට එන දුරකතන ඇමතුම් නම් නිමක් නැහැ. දිනක් මං මාතර බස් නැවතුම්පළක ඉන්න කොට මැදි වියේ පුද්ගලයකු මට රැව්වා. ක්‍රමයෙන් ඔහු මගේ ළඟට ආවේ මට බනින්න වගේ. ඔහු මගේ වටේ කිහිප පාරක්ම කරකුණා.

මං හිතුවෙම මට බනින්න හදනවා කියලා. පස්සෙ හොයලා බලද්දී ඔහු මා රඟපාන දේශපාලඥයත් එක්ක තරහක් තියනවලු. එයා හිතලා තියෙන්නේ මං ඔහුගේ මල්ලි කෙනෙක් කියලා.

කළුවර එළිය, හීනලන්තය, කැපිල්ල, බාගෙට නෑයෝ, අළු පාට හීන, කප්සුවහස්කල්, සිකුරු වසන්තය මං රඟපෑ නාට්‍ය කිහිපයක්. ඉන් සිකුරු වසන්තයෙහි ගිරිබාව මං හරිම ආසාවෙන් නිරූපණය කළ චරිතයක්.

මං සිටින ඇන්කොන්ඩා වේදිකා නාට්‍යය මේ දිනවල වේදිකා ගත වනවා. එහි මං රඟපාන්නේ මාක් නම් වූ චරිතයකි.

වසන්ත මොරගොඩ, ලීල් ආනන්ද ගජනායක, ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සුදන්ත තිලක්සිිරි, අශෝක සෙනරත් මුදලිගේ යන අය මට නිතර උපදෙස් දෙනවා. සැබවින්ම ඔවුන් මහත්මා ගතිගුණ ඇති අය. ඔවුනට මාගේ ස්තුතිය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු