ජැකලින් සමඟ හවුස්ෆුල්

සනී ෂර්මා (අක්ෂේ කුමාර්), මැක්ස් මහද්කර් (ජෝන් ඒබ්‍රහම්), ජායි බෝස් (ස්‍රෙයාස් තල්පාඩේ), ජ්වාලා චෞද්රි (රිතිෂ් දේශ්මුක්) මේ සිව්දෙනාට ඔවුනොවුන්ගෙන් තොර ලෝකයක් නැත.

එහෙත් ඇතැම් විට පිල් බෙදෙන ඔවුන් දබර කර ගන්නේ මිතුරුකම සතුරුකමක් බවට පත් කර ගනිමිනි. මේ සිවුදෙනාම හෙනා (අසීන්), බොබී (ජැකලයින්), පාරුල් (ෂසාන්) සහ ජේඑල්ඕ (සරීන්) සමඟ විවාහ වන්නේ ජීවිතයේ සතුට ළඟා කර ගැනීමටය.

එහෙත් තම දියණියන් විවාහ වී සිටින්නේ ධනවත්ම පිරිමියා සමඟ කියා සිටින මාමාවරුන් නිසා හා තමන් විවාහ වී සිටින්නේ ධනවත්ම සැමියා සමඟ කියා සිතන බිරින්දෑවරුන් නිසා ඔවුන්ට ඒ සතුට ලැබෙනවාද?

සතුට සොයන ඔවුන් පඹ ගාලක පැටලෙද්දී එදෙස බලා සිටින ප්‍රෙක්ෂක මුවෙහි මැවෙන්නේ සිනහ ගඟුලකි. බොලිවුඩ් සිනමාවේ වසරේ සිනහ සාගරය ‘හවුස්ෆුල් 2’ අප්‍රේල් 6 වැනිදාට තිරගතවීමට නියමිතය.

‘හවුස්ෆුල් 2’, 2010 දී ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වූ ‘හවුස්ෆුල්’ සිනමාපටයේ දෙවැන්නයි.

පළමු සිනමා පටයේ අක්ෂේ කුමාර්, රිතිෂ් දේශ්මුක් රඟපෑවේය. සිනමාපටය රස ලෝකයක් කිරීමට මිතුන් චක්‍රබෝර්ති, රන්ධීර් කපූර්, රිෂි කපූර් සහ බෝමන් අයිරානි යන ප්‍රවීන නළුවන්ගෙන් ලැබෙන සහය ද හරිම අපූරුය.

විනෝදයෙන් පිරි ‘හවුස්ෆුල් 2’ සරාගී බවින් වර්ණවත් කරන්නිය මලෙයිකා - අරෝරා ඛාන්ය. මෙවර ඇය ප්‍රේක්ෂකයන් කුල්මත් කරන්නේ ‘අනර්කලී ඩිස්කො චලි’ ගීයෙනි.

‘හවුස්ෆුල්’ සිනමාපට මාලාවක් කිරීමට අදහසක් ඇති බව, නිෂ්පාදක සජීඩ් නදියද්වාලා ප්‍රේක්ෂකයන්ට ස්ථිර කළේ 2010 සැප්තැම්බර් 30 වැනි දිනයි. 2011 ජූනි මාසයේදී ලන්ඩනයේදී රූගත කිරීම් අරඹන ලදී. අක්ෂේ කුමාර්ගේ චරිතය සඳහා හොලිවුඩයේ සටන් දර්ශන තල යොදා ගෙන තිබේ.

චිත්‍රපටයේ අධ්‍යක්ෂ සජීඩ් ඛාන් සහ නිෂ්පාදක සජීඩ් නදියද්වාලා ‘හවුස්ෆුල් 3’ සිනමාපටයක් පිළිබඳව ද සිතක් ඇති කරගෙන තිබෙන බවට ද කසු කුසුවක් පවතී.

පවුලේ කතාවක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කිරීමට කවදත් කැමැති සජීඩ්ලාගේ නවතම තිළිණය, රසිකයන්ට රසම රස තිළිණයක් වනවාද කියා බැලීමට නම් ආදායම් වාර්තා ලැබෙන තුරු ඉවසීමට ඔවුන්ට සිදු වෙයි.

2012 වසර සැලකෙන්නේ බොලිවුඩයේ මාලා චිත්‍රපට වැඩි වශයෙන්ම තිරගත වන වසර ලෙසයි. සිනමාපටවල සාර්ථකත්වය මත ලබන වසරේදී යළි ඒ සිනමාපටවල නවතම නිර්මාණය ද ප්‍රේක්ෂකයන්ට දක්නට ලැබෙනු ඇත.

ක්‍රිෂ් 2, දාබන්ග් 2, රේස් 2, රාස් 3, ග්යාරාහ් චාලිස් කි ලාස්ට් මෙට්රෝ, ක්්‍යා සුපර් කූල් හයි හම්, වන්ස් අපෝන් අ ටයිම් ඉන් මූම්බායි 2, රොක් ඔන් 2, ජානත් 2, තනූ වෙඩ්ස් මනූ සීසන් 2, දේ ඉෂ්කියා, 1920 – එවිල් රිටර්න්ස්, ගයාල් රිටර්න්ස්, 2012 දී රසිකයන්ට තිළිණ වන සිනමා නාමාවලියයි.

මාලා සිනමාපට විලාසිතාවට බොලිවුඩය මුල පිරුවේ 1986 දී නිළි රැජනක වූ ශ්‍රී දේවි රැඟූ ‘නාගීනා’ චිත්‍රපටයෙනි.

එහි දෙවැන්න ‘නිගාහේන්’ නමින් 1989 දී තිරගත විය. 1999 දී සංජේ දත් රැගූ ‘වාස්තව්’ හි දෙවැන්න තෙවසරකට පසු ‘හත්යාර්’ නමින් තිරගත විය.

හේරා පේරි (2000), ෆිර් හේරා පේරි (2006), ගෝල්මාල්, ගෝල්මාල් රිටර්න්ස්, හයිද්‍රාබාද් බ්ලූස් (1998), හයිද්‍රාබාද් බ්ලූස් 2 (2004), ‘මුන්නාබායි එම් බී බී එස් (2003), ලේජ් රහෝ මුන්නාබායි (2006), ඩූම් (2004), ඩූම් 2 (2006) බොලිවුඩයට මාලා සිනමාපටවල රසය නොඅඩුව ලබා දුන් නිර්මාණයි.

එක් සිනමාපටයක් සාර්ථක වූ පසු සිතට දැනෙන විශ්වාසය, දෙවැන්නකට, තෙවැන්නකට අධ්‍යක්ෂවරුන්ගේ සිත පොළඹවන රහස බව බොලිවුඩයේ බොහෝ දෙනකුගේ අදහසයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු