වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




මධුර සුපිරිසුදු රම්‍යා වූ පෙම් 1967-1976

මධුර සුපිරිසුදු රම්‍යා වූ පෙම් 1967-1976

අපේ සිනමාවේ නිළි රැජණ ලෙස බුහුමනට පත් වන මාලිනී ෆොන්සේකා සිනමාවට පිවිසෙනුයේ පුංචි බබා චිත්‍රපටයෙනි.ඇය සිනමාවට හදුන්වා දෙමින් ඇයගේ මුල්ම පෙම්වතා වනුයේ අග්‍රගණ්‍ය රංගවේදි ජෝ අබේවික්‍රමය.පුංචි බබා චිත්‍රපටයේ ඇය සිසිර සේනාරත්නගෙ සංගීතයට ඉන්ද්‍රාණි විජය බණ්ඩාර ගේ හඬට පෙම් මදිරා රස ජීවිතේ ගීතය ට මුල් වරට කැමරාව ඉදිරියේ පෙනී සිටින මාලිනි සිනමාවේ දිග් විජය ලැබීමේ ගමන ඇරඹුවාය.

සිංහල සිනමාවේ තුන් වන දශකය නැතහොත් 1967 -76 දක්වා කාලය ලාංකික සිනමාවේ ස්වර්ණමය යුගයේ කූටප්‍රාප්තිය ලෙස හැඳීන්වීම නිවැරදිය.විශ්වවිද්‍යාල, පාසල් මට්ටමින් මෙන්ම කාර්යාල මට්ටමින් පවා සිනමා සංගම් බිහිවිම මේ දශකයේ ආරම්භයේ දැකිය හැකියි.පුරෝගාමි ඉන්දියානු සිනමාකරුවන් වෙනුවට සමස්ත සිනමා කර්මාන්තයම දේශිය කර්මාන්තයක් වනුයේ මේ දශකයේයි.එහෙත් එයින් ඉන්දියානු සිනමා හැව නම් ගලවා දැමෙන්නේ නැත.එහෙත් නව සිනමා පරම්පරාවක් වගේම හොඳට හෝ නරකට සිනමාවට සෘජු රාජ්‍ය අත පෙවීමත් සිදුවන්නේ මේ දශකයේයි.

1967 වසර ආරම්භයේ ම සිනමාවට එක්වන සත් සමුදුර මහාචාර්ය සිරි ගුණසිංහ නිර්මාණය කළ වැදගත් චිත්‍රපටයක්.එහි එන මේ විරහ ගීතය පසුබිමේ පෙනි සිටියේ සිරිල් වික්‍රමගේ එය සිරිල් වික්‍රමගේ ගේ මුල්ම ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටයයි.මහාචාර්ය ගුණසිංහ විසින්ම රචනා කළ සෝමදාස ඇල්විටිගල සංගීතවත් කළ මේ ගීතයේ ගැයුම අමරදේවයන් ගෙන්

පිපුණු කුසුම පරවුණා

බඹර කිකිණි ගොළුවුනා

මුතු කැට සුද සැඟවුණා

හසරැලි ගොළු වී ගියා

එම වසරේ තිර ගත වූ මනමාලයෝ චිත්‍රපටයේ ටෝනි රණසිංහ,ශිරානි කුරුකුලසූරිය පෙම්වතුන් බවට පරිවර්තනය වද්දී ඇසුණේ මේ අපූරු ගීතයකි.ඒ නාරද දිසාසේකරගේ හඩිනි

ආදර නිල් දෑසේ ආදර නිල් දෑසේ ගීතය ගැයුණේ එමගිනි.එයින් පසු පුණ්‍යා හීන්දෙනියට හමුවන පෙම්වතෙකු වනුයේ සුප්‍රකට නාට්‍යවේදි දයානන්ද ගුණවර්ධනයි.ඒ රන්සළු චිත්‍රපටයෙනි.

අශෝක පොන්නම්පෙරුම ලීනා ද සිල්වා එක් වුණේ රන්රස චිත්‍රපටයෙනි.හරුන් ලන්ත්‍රා හා සුජාතා අත්තනායක එහිදී මේ ආදරය ගොඩ නැගුවේ සාගරේ සිහිලැල් පාවෙන රසුදැල් යනුවෙන් ගයමිනි.එමෙන්ම හද මල් පඳුරේ පිපෙනා සිතුවිලි මාලා යනුවෙන් මේ යුවළ ගී ගැයූ අයුරුත් අපට මතකය.කෙසේ වෙත්ත ලීනා ද සිල්වා මේ චිත්‍රපටයෙන් පසු යළි පෙම්වතිය ගේ චරිතයට දායක වූයේ නැත.

ගාමිණි ෆොන්සේකා මුල් වරට විජිතා මල්ලිකා හා පෙමින් බැඳුණු ධර්ම ශ්‍රී කල්දේරා ගේ රූන ගිරව් චිත්‍රපටය මහත් ජනප්‍රියත්වයට පාත්‍ර වූ චිත්‍රපටයකි.එහි එන ධර්මසිරි ගමගේ රචනා කළ මේ ප්‍රේම ගීතය සිංහල සිනමාවේ කවදත් ජනප්‍රිය ගීයකි.ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගිතයට මේ ගීය ගායනා කළේ පණ්ඩිත් අමරදේව සහ ආචාර්ය නන්දා මාලිනි විසිනි.

රූන ගිරා ජෝඩුවයි හාද වෙලා ආදරෙයි

රෑන ගිරා ජෝඩුවයි.

වනන්තරේ වෙනසක් නැහැ පෙම් සිතුවිලි පෑදේ

හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ

අපේ සිනමාවේ නිළි රැජණ ලෙස බුහුමනට පත් වන මාලිනී ෆොන්සේකා සිනමාවට පිවිසෙනුයේ පුංචි බබා චිත්‍රපටයෙනි.ඇය සිනමාවට හදුන්වා දෙමින් ඇයගේ මුල්ම පෙම්වතා වනුයේ අග්‍රගණ්‍ය රංගවේදි ජෝ අබේවික්‍රමය.පුංචි බබා චිත්‍රපටයේ ඇය සිසිර සේනාරත්නගේ සංගීතයට ඉන්ද්‍රාණි විජයබණ්ඩාර ගේ හඬට පෙම් මදිරා රස ජීවිතේ ගීතය ට මුල් වරට කැමරාව ඉදිරියේ පෙනී සිටිමින් මාලිනි සිනමාවේ දිග් විජය ලැබීමේ ගමන ඇරඹුවාය.

කෙසේ වෙතත් එදා මෙදා කාලයේ සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම ආදර කතාව ලෙස විචාරක අවධානයට පත්‍ර වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ගොළු හදවත තිර ගත වනුයේ 1968 වසරේ දීය.සීමාසහිත සිලෝන් තියටර්ස් වෙනුවෙන් සිලෝන් ස්ටුඩියෝස් නිපද වූ ගොළු හදවත අති විශාල ආදායමක් ඉපැයීමට සමත් වින.එහි පෙම් යුවළ නැතහොත් සුගත් සහ දමයන්ති ලෙස රඟපෑවේ වික්‍රම බෝගොඩ සහ අනුලා කරුණාතිලකයි.එම චිත්‍රපටය වසරේ හොඳම චිත්‍රපටය ලෙස සරසවිය සම්මානය දිනා ගත් අතර අනුලා හොඳම නිළිය ලෙස අභිසෙස් ලැබීය.ප්‍රේමසිරි කේමදාසයන් ගොළු හදවතට නිර්මාණය කළ විශිෂ්ට සංගීතය අදටත් සිනමාවේ අපූරු නිර්මාණයකි.ලාංකික සිනමාවේ ප්‍රේමය කියන්නට ගීතය අවශ්‍ය වුවත් එය අත්‍යවශ්‍ය නොවන බව පෙන්වා දුන්නේ ගොළු හදවතයි.ගීතයක් බදු චිත්‍රපටයකට ගීතයක් කුමටද?

ස්ටැන්ලි පෙරේරා හා සන්ධ්‍යා කුමාරි එකිනෙකා පෙම් කරන්නට පටන් ගත්තේ අක්ක නගෝ චිත්‍රපටයෙනි.හැංගි හොරා චිත්‍රපටයේ සන්ධ්‍යාට පෙම් බැන්දේ ටෝනි රණසිංහයි.හරූන් ලන්ත්‍රා සමග සුජාතා ගැයූ හංස රාණි ආදරෙන් මදාරා පරසතු විලේ යනුවෙන් ගායනා කරමිනි.

දහසක් සිතුවිලි චිත්‍රපටයට එක් වූ පෙම් යුවළ හෙන්රි ජයසේන සහ නිලන්ති විජේසිංහයි.තවත් අපුරු ගීතයක් සමග අලුත් පෙම් යුවලක් අපට දැක ගත හැකි වනුයේ වහල් දූපත චිත්‍රපටයෙනි.පෙම් යුවළ ශාන්ති අබේසේකර සහ චන්ද්‍රකලාය.ගායනය දයා හේමන්තා අබේසේකර සහ සරත් සන්දනායකයි.ගීතය

මද සීත නළ රැල්ල දැඟලිල්ල පා

රචනා කරන ලද්දේ මානෙල් පෙරේරාය.

සෙනහස චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ හර්බට් එම්.සෙනෙවිරත්නයි.ඔහු එහි ප්‍රධාන නළුවා නිළිය ජීවරාණි කුරුකුලසූරියයි.

කවුද හරි චිත්‍රපටයේ මාලිනි ෆොන්සේකා හා පෙම් බඳීන අලුත් පෙම්තෙක් වෙයි.ඇය ඔහුට පෙම් කළ එකම චිත්‍රපටයත් එයයි.

එහෙත් සිසිර සේනාරත්නගේ සංගීතයට සිසිර හා ඉන්ද්‍රාණි යුවළ එ සදහා අපූරු පෙම් ගීතයක් ගැයුහ.

රිදී කුමාරි සීතල ඇල්ලයි

කන්ද උඩින් ආවේ-කන්ද උඩින් ආවේ

බිනරමලී චිත්‍රපටය 1970 වසරේ හොදම චිත්‍රපටයට හිමි සරසවිය සම්මානය දිනා දුන්නා පමණක් නොවෙයි.එයින් හදුන්වා දුන් ස්වර්ණා කහවිටට හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූවාය.මාලිනි ෆොන්සේකා හා ටෝනි රණසංහ හා මුල්වරට පෙම් බදින ප්‍රවේශම් වන්න අපූරු චිත්‍රපටයකි.එහි ආදරේ සිහිනයකි කීවේ කවුද එදා කවුද ප්‍රියේ යනුවෙන් එච්.ආර්.ජෝතිපාල හා සුජාතා අත්තනායක ගයන ගීතය සිනමා කෘතියට අලුත් ආලෝකයක් ගෙන දුන්නේය.

රෝමියෝ ජුලියට් කතාවක් අලුත් නළු නිලි යුවලක් සිංහල සිනමාවට හදුන්වා දුන්නේය.ඒ ප්‍රතිභාපූර්ණ නළු ඩග්ලස් රණසිංහ සහ මාජි මන්ත්‍රිනායකයි

ඒ සමග තිරයට ආ සුගතපාල සෙනරත් යාපා ගේ හන්තානේ කතාව ඊළඟ දශකයේ සිංහල සිනමාවේ දිශානිතිය වෙනස් කරන සිනමා පරම්පරාව තිරයට ගෙනා චිත්‍රපටයයි.එහි ස්වර්ණා මල්ලවාරච්චි මෙන්ම ටෝනි රණසිංහත් පෙම්වතුන් වූහ.විජය කුමාරතුංගයන් සිනමාවට එක්වනුයේ මේ සමගය.ටෝනි හා ස්වර්ණා ගේ ආදරය ඇසුණේ මෙහෙමයි.නන්දා මාලිනි ය හා වික්ටර් රත්නායක එහි පසුබිම් ගී ගැයූහ.

සරා සොඳුරු මල් පැටලී නිමා නොවන ආදරයයි

සංගීතමය හාස්‍යය මුසු ආදර කතාවක් බක් මහ දීගේ සම්පූර්ණයෙන් වෙනස් අත්දැකීමකි.එය දයානන්ද ගුණවර්ධනගේ නිර්මාණයකි.එහි ඩැනියෙල් මුතමාල අයිරාංගනී සේරසිංහ, මෙන්ම අනුලා කරුණාතිලක හා එල්සන් දිවිතුරුගමත් පෙම කළ අතර ධර්මසිරි බණ්ඩාරනායකත් එයට එක් ව පෙම් කතාව සම්පූර්ණ කළේය.

දැන් මතකද චිත්‍රපටය නීල් රූපසිංහ ගේ මුල්ම චිත්‍රපටයයි.එහි පෙම් යුවල ආනන්ද ජයරත්න සහ මාලිනි ෆොන්සේකායි. මාලිනී සහ ආනන්ද පෙම් කළ එකම චිත්‍රපටය එයයි.

මේ සීත සුවදෙන රැයේ පිපුණු සවඳ මලේ

ගාමිණි ෆෆාන්සේකාට අලුත්ම පෙම්වතියක් මුණ ගැසෙන්නේ ඔහොම හොඳද චිත්‍රපටයෙනි.ඒ සෝනියා දිසා ය.කියන්නම් කතාවක් පාන ද සිනාවක් හිතේ නෑ නිදහසක් යනුවෙන් ජෝති හා සුජාතා ගයන්නේ ඔහොම හොඳද චිත්‍රපටයෙනි.ඒ ගාමිණී හා සෝනියා ගේ ප්‍රේමයට රුකුලක් දෙමිනි

දැවෙන පිපාසය සිනමාවට එක් කළ අලුත් පෙම් යුවළ රොබින් ප්‍රනාන්දු සහ නිලන්ති විජේසිංහය.එය තිමති වීරරත්නගේ අධ්‍යක්ෂණයක්.

විජය කුමාරතුංග මාලිනී ෆොන්සේකා තරම් සිංහල සිනමාවේ වඩාත් ආදරණීය පෙම් යුවළක් තවත් නැති තරම්ය.මේ පෙම් කතාව ආරම්භ වනුයේ හතර දෙනාම සූරයෝ චිත්‍රපටයෙනි.අහ අහ ආදරණීය සිනා ඔබේ යනුවෙන් විජය මාලිනි වෙනුවෙන් එච්.ආර්.ජොතිපාලයන් සහ ඇන්ජලින් ගුණතිලක ගයන ගීතය මේ පෙම් කතාවේ මුල්ම ගීතයයි.එතැන් පටන් මධු සමය චිත්‍රපටය දක්වා විජය මාලිනි ආදර කතා දැක ගන්නට සිනමාහල් වටා දහස් ගණන් ප්‍රේක්ෂකයන් රොක් වූහ.ඔවුන් සිනමාවේ ගැයූ ගී එමටය.විජය මාලිනි ප්‍රේමාභිෂේකය ලැබුවේ යසපාලිත නානායක්කාර ගේ තුෂාරා චිත්‍රපටය සමගය.මරදානේ එල්ෆින්ස්ටන් සිනමාහලේ දින සියයකට වඩා තිර ගත වූ තුෂාරා විජය මාලිනි යුවළ සිනමාවේ සදාකාලික ආදර යුවළ බවට පත් කළහ.සුසී,සංගීතා,වාසනා,ගංගා,ප්‍රදීපේ මා වේවා,උන්නත් දාහයි මලත් දාහයි,නැවත හමුවෙමු,ආදරෙයි මං ආදරෙයි,හිතුවොත් හිතුවාමයි, වැනි චිත්‍රපට රාශියක් විජය මාලිනි සිනමාවේ අපට මුණ ගැසෙයි

විජය සිනමාවේ ආදරවන්ත සිහින කුමරා ගේ තවත් පෙම්වතියක් වන නීටා ප්‍රනාන්දු මුල් වරට මුණ ගැසෙන්නේ කේසර සිංහයෝ චිතපටයෙනි.

සන්සුන් රුවන් හද මන්දිරයේ

ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ

යනුවෙන් මිල්ටන් පෙරේරා හා ශ්‍රීමතී තිලකරත්න ගායනා කරනුයේ මේ යුවළ වෙනුවෙනි

විජය මාලිනි යුගය මෙන්ම ගාමිණි මාලිනි යුගයක් ද සිංහල සිනමාවේ විය.අතිශය ජනප්‍රිය චිත්‍රපට රාශියක් සළකුණු කළ ගාමිණි මාලිනි යුගය ආරම්භ වනුයේ ලාංකික සිනමාවේ ශ්‍රේෂඨතම චිත්‍රපටය ලෙස විචාරකයන් විසින් සළකුණු කරනු ලබන නිධානය සමගය.සිලෝන් තියටර්ස් අනුබද්ධිත සිලෝන් ස්ටුඩියෝස් නිපද වූ නිධානයේ ගාමිණි හා මාලිනි ගේ චරිතංග නිරූපණය සිනමා රංගනයේ අත් පොතක් වැන්න.එතැන් පටන් සහනය,එදත් සූරයා අදත් සූරයා,ආදරේ හිතෙනව දැක්කම.කවුද රජා,හොඳට හොඳයි,හොඳයි නරකයි,හොදම වෙලාව,දෙවියනි ඔබ කොහිද?කස්තුරි සුවඳ සැණකෙළිය ඇතුළු චිත්‍රපට රාශියක ගාමිණී මාලිනි එක් වූහ.ගාමිණී ගේ අවසන් රංගනය වූ අන්තිම රැය තෙක් මේ යුවල එකට රඟනු දැක රසිකයන් තුටු වූහ.

මේ දැස කුමටද විජය මාලිනි මෙන්ම තවත් පෙම් යුවළක් සිනමාවට ගෙනාවේය.ඒ රෝයි ද සිල්වා සහ සුමනා අමරසිංහ යුවළයි.තිරයේ මෙන්ම සැබෑ ජීවිතයේ ද පෙම් ලොව කිරුළ දැරූ රෝයි සුමනා අපේ සිනමාවේ සැබෑ ආදරවන්තයන් වූහ.සුනේත්‍රා,ඔබයි මමයි,සූකිරි කෙල්ල වැනි චිත්‍රපට රාශියක රෝයි සුමනා යුවළ තිරයේ ආරය කළහ.නුපුරුදු හැඟුමකි ගෙන එන්නේ,මන මෝහන රුව සාදන වැනි ජෝති සුජාතා ගැයූ අපූරු පෙම් ගීත රාශියක් මේ දෙදෙනා තිරයේ සිත්තම් කළහ.

සුජීවා සමග සිනමාවට එක් කළ පෙම් යුවළ රෝයි ද සිල්වා සමග කාන්ති ලංකාය.එච්.ආර්.ජෝතිපාලයන් ගේ ගීතාවලියේ අතිශය ජනප්‍රිය ගීතයක් වන චන්දන ඇල්ලෙන් නාලා යනුවෙන් ගයනුයේ සුජීවා ටය.ගලගෙදර එම්.එම්.එම්.ඒ.හක් විසින් සංගීතවත් කළ ස්වතන්ත්‍ර ගී රැසක් එයට ඇතුළතය.

අපරාධය සහ දඩුවම චිත්‍රපටය නිර්මාණය කළේ කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා ය

මේ දශකයේ බිහි වූ තවත් කඩවසම් සිනමා තාරකාවක් වන ඔස්වල්ඩ් ජයසිංහ එහි බයිසිකලකය නැගී සිය පෙම්වතිය සොයා යයි.නිකම්ම නොවේ ගියක් ගයමිනි.

මිහිරෙන් මා දිනූ බාල ළඳුන්

කෝමල ඔබ මාවෙතට හෙළුම්

අමල් බිසෝ මගේ අමල් බිසෝ

මේ පෙම්වතිය ශ්‍රියාණි අමරසේනය.

සදහටම ඔබ මගේ ගාමිණි මාලිනි යුවළ එක් කළ චිත්‍රපටයකි.හින්දි අනුකාරක තනු අපේ සිනමාවෙන් විසි කළ සරත් දසනායක ගේ ස්වතන්ත්‍ර ගී රැසක් එහි ඇතුළත්ය.ගීත රචනය කරුණාරත්න අබේසේකරයගැයුම ජෝතා සහ ඇන්ජිය.

අමර පෙම් ලතාවේ

රන් මලක් උදාවේ

සිනාවයි ඉනාවයි චිත්‍රපටයේ එන අපූරු ගීතයකි මේ

සමුදුරයි රළයි වාගේ

මේ ගීතය සමග තවත් අලුත් පෙම් යුවළක් සිනමාවට එක් විය.ඒ තිස්ස විජේසුරේන්ද්‍ර සහ සුමනා අමරසිංහ ය.තිස්ස සහ සුමනා ද හැත්තෑව දශකයේ රසිකයන් ආදරයෙන් වැළඳ ගත් චිත්‍රපට රැසකටම දායක විය.බියුලා ඩයස් කරුණාරත්න සිනමාවේ නමක් දිනා ගත්තේ දුලීකා නමිනි. දුලීකා කෙතරම් ජනප්‍රිය වී ද යත් 1973 වසරේ උපන් බොහෝ දැරියන් දුලීකා නම ලද්දාහ.දුලීකා නමින් කිසියම් යුවතියක් ඇත්තේ නම් ඒ සියල්ල 1973 වසරේ උපන්නියන් බව සහතිකය.බියුලා දුලීකා ලෙස බියුලා පෙම් බැන්දේ විජයටය.

සංගීත් නිපුන් සනත් නන්දසිරි ආදර මල් පවනේ ඈ යන මේ ගමනේ යනුවෙන් ගැයුවේත් එච්.ආර්.ජෝතිපාලයන් ආදර මල් පවනේ ඈ යන මේ ගමනේ ගීතය ගැයුවේත් දුලීකාටය.එය කේ.ඒ.ඩබ්ලිව්.පෙරොරා ගේ නිර්මාණයකි.

දිනුම් කනුව ටෝනිට අලුත් පෙම්වතියක් ගෙනාවාය.ඈ මාජි මන්තිනායකය.ඉන්ද්‍රාණි පෙරේරා ඉරට අකීකරු අකීකරු සඳට අකීකරු රෝස කැලේ රත් කැකුලි ලෙස ගී ගැයුවේ දිනුම් කනුවටය.එහි වික්ටර් රත්නායකයන් ටෝනිට ගී ගැයුවේය.ඔහු මියුරු කල්පනා නෙතග දැල්වුණා යැයි පැවසුවේය.

සුරේඛා සිංහල සිනමාවට අලුත් තාරකාවක් පෑයූ චිත්‍රපටයකි එහි තිස්ස විජේසුරේන්ද්‍ර ගේ අලුත් පෙම්වතිය වූයේ ජෙනීටා සමරවීරය.තිස්ස ජෙනීටා සමග සුරේඛා දින සියය ඉක්ම විය. රොබින් තම්පෝ අධ්‍යක්ෂණය කළ අවසන් චිත්‍රපටය වන එහි අනාගත තොරතුරු අතීතෙට ඇදුණලු ,ආදර මවන රේඛා සුරේඛා යනුවෙන් සිනමාහලෙන් එපිට පවා රසිකයන් ගැයූහ.

ජෝතිපාලයන් හා ඇන්ජලින් ගයන පහන්තිරේ ඇවිලෙන්නේ පැතුම ඔබේ නෑ සුන් වන්නේ ආදර ගීතයකි.ඒ පෙම් යුවල ගාමිණි ෆොන්සේකා සහ ස්වර්ණා කහවිටය.චිත්‍රපටය ලෙනින් මොරායස් ගේ ඔන්න බබෝ බිල්ලෝ එනවාය.

දිගු කලක් දුෂ්ටයාට සින්න ව සිටි බැප්ටිස්ට් ප්‍රනාන්ද්‍ර පෙම්වතෙකු විය.ඒ දුප්පතාගේ හිතවතාය. බැප්ට්ස්ට් ගේ පෙම්වතිය වූයේ පසුකලක අන්තර්ජාතික කීර්තියට පත් නීටා ප්‍රනාන්දුය.

හැත්තෑවේ අපූරු පෙම්වතා තිස්ස විජේසුරේන්ද්‍රට තවත් පෙම්වතියක් මුණ ගැසෙන්නේ ළසඳා හරහාය.ඒ ශිරාණි කුරුකුලසූරියයි.

ආදර තරංගාවලියේ සිට ඔබ සොයා එන පබාවතිය ලෙස සිනමා දැන්වීමක් පළ වූයේ ඒ වන විට සිනමාවේ අලුත් ගමනක් අරඹමින් සිටි සිනමා තරු යුවලක් හඳුන්වා දෙමිනි.චිත්‍රපටය විමල් වෛද්‍යෙස්කරගේ තරංගාය.පෙම් යුවළ රවීන්ද්‍ර රන්දෙණිය හා මානෙල් වානගුරුය.දේවානන්ද වෛද්‍යෙස්කර සහ ඉන්ද්‍රානි පෙරේරා ඔවුන් වෙනුවෙන් මෙලෙස ගැයූහ.

පවන් සුසුම් දැලින් වෙලී

ශෘංගාර රාවේ නොසංගා

නුවන් කොණින් සුපෙම් හැඟුම්

නින්නාද නැංවූ තරංගා

සිනමාවට ලස්සන කෙල්ලක් ලෙස දොරට වැඩිය ගීතා කුමාරසිංහ අප දකින්නේ නීල් රූපසිංහගේ ලස්සන කෙල්ල චිත්‍රපටය සමගය.මා ලස්සන කෙල්ලක් යනුවෙන් මිල්ටන් මල්ලවාරච්චි ගැයුවේ ද ඒ නිසාමය.එහි අලුත් පෙම් යුවළ තිස්ස විජේසුරේන්ද්‍ර හා ගීතා කුමාරසිංහය

ගාමිණි නීටා ප්‍රනාන්දු මුල් වරට පෙම් කළේ රත්ත්‍රන් අම්මා චිත්‍රපටයටය.රත්ත්‍රන් අම්මා චිත්‍රපටයේ ගාමිණි පිය පුතු ලෙස ද්විත්ව චරිත නිරූපණය කළේය.පියා පෙම් කළේ ශ්‍රියාණි අමරසේනටය.හද සල් ගසේ එතෙනා මල මෙසේ ලියලාදෝ යනුවෙන් ගාමිණි ශි‍්‍රයානි වෙනුවෙන් ජෝති සමග සුජාතා ගි ගැයුවේය.

සිනමාවේ අපූරුම පෙම් කතාවක් නම් එච්.ඩී.ප්‍රේමරත්න ගේ කුළුදුල් චිත්‍රපටය වන සිකුරු ලියා ට ඇතුළත් විය.පෙම්වතා බන්දුල ගලගෙදරයි.පෙම්වතිය සුවිනිතා වීරසිංහය.එහෙත් ඇයගේ සැබෑ පෙම්වතා අනිකෙකි.බන්දුල ඇය විවාහ කර ගනී.ඇය ඔහු හැර යද්දී මිල්ටන් පෙරේරා බන්දුල වෙනුවෙන් ගැයුවේ මෙහෙමයි

සිකුරු ලියා

බොළඳ ලියා

මාව දමා යන්න ගියා

කළු දිය දහර අපූරු සිනමා අත්දැකීමකි.එහි සිනමාවට හඳුන්වා දුන් රවීන්ද්‍ර රන්දෙණියගේ පෙම්වතිය වනුයේ ඉංග්‍රිසි වේදිකාවේ ප්‍රවීණ නිළියකි.නමින් ඇය ඉන්දිරා ජොන්ක්ලාස්ය.

ඒ දවස්වලම තවත් අපූරු පෙම් කතාවක් සිනමාවට ගෙන එන්නට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමත් විය.ඒ දෑස නිසාය.ජෝ අබේවික්‍රම නිරුදක නම් විරූපි මිනිසකු ලෙස මෙහි අපූරු පෙම්වතෙක් විය.ඔහුගේ සිත දිනා ගත් අන්ධ යුවතිය වූයේ ශ්‍රියාණි අමරසේනය.එහි අපූරු ගීත ඛණ්ඩයක් විය.

ලා හිරු දහසක්

ලා සඳු දහසක්

එකවර පායා පියුම් පිපේ

නීලා වික්‍රමසිංහ විසින් ගායනා කරන ලද මේ ගි ඛණ්ඩය රචනා කරන ලද්දේ එවකට තරුණ ගී රචකයකු වන මහාචාර්ය සුනිල් ආරියරත්නය.කෙසේ වෙතත් පසු කලක සරළ ගීයක් ලෙස ඇසෙන සුනිල් එදිරිසිංහ විසින් ගයනු ලබන සීතල දිය පිරි සුනිල විලයි ගීතය මුලින් රචනා වූයේ දෑස නිසා චිත්‍රපටයට බව පැවසේ.

කරුණාරත්න හඟවත්ත තිලක ලෙසත් සහ වජිරා නිර්මලී තිලකා ලෙසත් එක් කොට අමරනාත් ජයතිලක තිලක සහ තිලකා නිර්මාණය කළේය.එයට පාදක වනුයේ ටී.බී.ඉලංගරත්නයන් රචනා කරන ලද විලම්බීත.තිලක ,තිලක සහ තිලකා යන තුන් ඈදුතු නවකතාවයි.

හරිම බඩු තුනක් ආනන්ද හේවගේ නිර්මාණය කරන ලද මුල්ම චිත්‍රපටයයි.එහි පෙම්වතා චිත්‍රපටයේ නිෂ්පාදක සේනාධීර රූපසිංහයි. පෙම්වතිය ස්වර්ණා කහවිටයි.

ඔබගේ රුව මාගේමයි,කතරේ මල් පීදේමයි

නොවිදපු සුව සෑදේමයි

එම්.එස්.ප්‍රනාන්දු සහ රංජනී පෙරේරා මෙහි යුග ගී ගායනා කරන ලදී.

සිනමාවට නැගුණ මුල්ම චිත්‍රකතාව වානරයෝය.ඒ සඳහා පාදක වූයේ දයා රාජපක්ෂගේ සිළුමිණ පුවත්තේ පළ වූ කතාවකි.සරත්චන්ද්‍ර හේරත් අධ්‍යක්ෂණය කරන ලද එහි ප්‍රධාන චරිත රඟපෑවේ රත්නා ද සිල්වා සහ රංජිත් පෙරේරාය.සරත් දසනායකගේ සංගීතයට ජෝතිපාල යන් මේ ගීය ගැයුවේ එහිය.

පායන දේදුණු කුමටද සළුපිළි ඇහි බැම ඇත ඔබ වටේ

එතෙක් පැවැති සිනමා පෙම් කතා උඩු යටිකුරු කරමින් තහනම් ආදරයක් අපේ සිනමාවට නැගුණේ දුහුළු මලක් නමිනි.විජය ධර්ම ශ්‍රී ගේ මුල්ම සිනමා කෘතිය වන එහි පෙම් යුවළ රවීන්ද්‍ර රන්දෙණිය සහ නීටා ප්‍රනාන්දුය.නීටා එහි රඟපෑවේ නිලුපා නම් විවාහක ළඳකගේ චරිතයකි.අයගේ සැමියා ලෙස රඟපෑවේ ටෝනි රණසිංහය.පෙම් යුවළ ආචාර්ය අජන්තා රණසිංහගේ පද මාලාවකට ගැයුවේ මේ ගීතයයි.හඩ අබේවර්ධන බාලසූරිය සහ සුජාතා අත්තනායක ගෙනි.සංගීතය සරත් දසනායකගෙනි.

බොඳ මීදුම් කදුරැල්ලේ

සුරංගනා රජ දහනේ

ඔබේ සිනා කඳුළු බිඳක් හෙටත් වාසනා

එබදුම ආදර කතාවක් වූයේ හුලවාලි ය.ඩබ්ලිව්.ඒ බී ද සිල්වා අධ්‍යක්ෂණය කළ එහි ගාමිණි ෆොන්සේකා, සුවිනිතා වීරසිංහ සහ ටෝනි රණසිංහ ප්‍රධාන චරිත මැවූහ.ආදර පුවතක තුන් වන පැත්ත එහි තේමාවයි.ධර්මසිරි ගමගේ වික්ටර් රත්නායකගේ සංගීතයට සුනිල් එදිරිසංහ ගායනය මේ චිත්‍රපටයට සම්මාදම් වුණේ මෙහෙමය.

කුඩා ගමේ මද්දහනේ

අව් රස්නේ නිවා

හුරී කදුපෙතේ දඩ මං

දිගේ ගියා මෙමා

අපූරු ගීතා වලියක් සමග සරත් දසනායක සංගීතවත් කළ තවත් චිත්‍රපටයක් වනුයේ සේන සමරසිංහ අධ්‍යකෂණය කළ නිල්ල සොයාය.ගාමිණී ෆොන්සේකා එහි අලුත් පෙම්වතියක් සිනමාවට ගෙනාවාය.ඒ මානෙල් වානගුරුය.මානෙල් එහි චරිත තුනක් නිරූපණය කළාය.මිල්ටන් මල්ලාවාරච්චි සමග ඇන්ජලින් ගුණතිලක එහි ගී ගායනා කළහ.

යෞවන උයනේ පියුම් තටාකේ බිගුවල් පෑහේ.මාඔබ පෑහේ

සිංහල සිනමාවේ තුන් වන දශකය නිමවද්දී තිස්ස විජේසුරේන්ද්‍ර සෝනියා දිසා ට පෙම් කළාය.ඒ නෑදෑයෝ චිත්‍රපටය සඳහාය.කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා අධ්‍යක්ෂණය කළ එහි ජනප්‍රිය පෙම් ගීතය මෙහෙමය.

ඒ රන් කඳ පෙම් කඳ ගුම් දිදී