වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




මධුර සුපිරිසිදු රම්‍යා වූ පෙම් 1977-1986

ප්‍රේමය වූ කලී මානව චිත්ත සන්තානයේ පවත්නා උදාරතර හැඟුම් සමුදායකි. මානව ප්‍රේමය මිනිස් ජීවිතයක නෙමැති කල්හී එය හිස්ය, ශුෂ්කය. වන්ධ්‍යය. සන්නිවේදනයෙහි ඇරඹුම කෙරෙහි ද භාෂාවෙහි ඇරඹුම කෙරෙහි ද සකල කලාවෙහි ඇරඹුම කෙරෙහි ද ප්‍රේමය මුල්වූවාට සැක නැත. ලාංකේය කථානාද සිනමාවේ චතුර්ථ දශකය එළඹෙන විට ද (1977) ජනප්‍රිය වේවා කලාත්මක වේවා ප්‍රේමය සිනමාවේ ප්‍රධාන හෝ අප්‍රධාන ප්‍රස්තුතයක් මැ විය. ජනප්‍රිය සිනමා ධාරාවෙහි නම් එය අනිවාර්ය වට්ටෝරුගත අංගයකි. තුන් කොන් ප්‍රේමය ද මෙහි එක් ප්‍රභේදයක් සේ නොයෙක් ලෙසින් දිස් වේ. නීලා (1977 - 1 - 28) ඊට නිදසුන් වේ. මෙහි තිස්ස විජේසුරේන්ද්‍රට මාලිනී ෆොන්සේකාත් සුමනා අමරසිංහත් පෙම් බැන්ඳහ. එච්. ආර්. ජෝතිපාලයන් සහ සුජාතා අත්තනායක ගැයූ "ආරාධනා සංසාරයේ" ගීතයෙන් මේ පෙම් ලොව තවත් අමරණීය කළේය.

ලාංකේය සිනමාවේ එදත් අදත් අමරණීය පෙම් යුවළ වූ විජය කුමාරතුංග හා මාලිනී ෆොන්සේකාගේ සලරූ ආදර අන්දර මේ දශකයේත් සියල්ලටම ඉහළින් කැපී පෙනිණ. සකුන්තලා (1977 - 1 - 28) හි "සීතල රටේ මීඳුම් නැඟෙද්දී" ඔවුහු හමු වූහ. එහෙත් ඔවුන්ට "පෙම්බර මධූ" හිදී (1977 - 4 - 22) එක් අවසානයක සම්ප්‍රයෝග වීමටත් තවත් අවසානයකදී විප්‍රයෝග වීමටත් සිදු විය. ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ "පෙම්බර මධූ මගේ" තවමත් දනන් තුඩ රැව් දේ. ආදර කිතියෙන් හද සැලුණු "හිතුවොත් හිතුවාමයි" (1977 - 4 - 26) හිදී අවසානයේ විජය මාලිනී එක් වුයේ නැත. ලස්සන නොපෙනුණු ඉස්සර සුවඳ දැනුණු "විස්මය" (1978 - 3 17) අවසානයේදී විජය - මාලිනී යුවළට මුහුණපෑමට සිදු වූයේ විස්මයක්මැයි. එපමණකුදු නොව "මොනරතැන්න" (1979 - 7 - 14) හිදී ඔවුහු "ඔහුට ඇය හිමි වුණාවේ" යැයි පැතුවෝය. "බඹරු ඇවිත්" (1978 - 8 - 11) හිදී "හඳුනා ගත්තොත් ඔබ මා" කී ලෙසින්ම බේබි මහත්තයාව (විජය) නිවැරදිව තේරුම් ගැනිමට හෙලන්ට (මාලිනී) නොහැකි විය. "සඳවට රන් තරු" හිදී ජෝතිගේ හඬින් විජය "තරහදෝ තරහවීදෝ" යැයි ඇසුවත් අවසානයේ මාලිනී තරහ නොවූවාය. "බැද්දේගම" (1981 - 1 - 20) හිදී මැණිකා (මාලිනී) බබුන්ට (විජය) පිටු නොපෑවත් අවසානයේ ඇය හුදෙකලා විය. "ආශාවේ සිතුවම් මැකී ගිය" "ගීතිකා" (1981 - 9 - 9) යළිත් මේ යුවළ එක් කළහ. "සරා සඳේ සිනා සේලේ" සැබැවින්ම "මිහිඳුම් සිහින" (1982 - 9 - 3) හිදී ගිලිහී ගියේය. ඒ වතු අධිකාරී පෙරියදොරේ (විජය) අහිගුණ්ඨික වීණාට (මාලිනී) අවසානයේ පිටුපෑ හෙයිනි. එයට ජෝති සරසවිය සම්මානයද දිනාගත්තේය. එහෙත් ඔවුහු "නැවත හමුවෙමු" (1982 - 11 - 12) හිදී වෙන් වී "සෙනෙහස පාමින් යළි හමු වූහ". "දෙව්දුව" (1986 - 7 - 11) අවසානයේ මාලිනී කන්‍යා සොයුරියක වූයේ විජය හදිසි අනතුරකින් මරණයට පත් වූ බැවිනි.

තිස්ස විජේසුරේන්ද්‍ර බොහෝ චිත්‍රපටවල සුමනා අමරසිංහට පෙම් කළේය. "සුදු පරෙවියෝ" (1977 - 2 - 18) හිද එසේමය. "ගිම්හානේ සඳ නිවුණා" (ජෝති - ඇන්ජි) යැයි ගයමින් ඔවුන් බයිසිකලයේ නැඟී පෙම් කළ බව කාටත් මතකය.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ෆරිනාලායිට පෙම් බැඳීම ද මෙකල කැපී පෙනිණ. "චිං චිං නෝනා" (1977 - 6 - 24) හා "මල් කැකුළු" (1980 - 1 - 14) ඊට දෙස් දේ.

භවයෙන් භවයට හමු වූ පෙම් යුවළක් සේ "යළි ඉපිදේ" (1977 - 7 - 8) සේනාධීර රූපසිංහ හා ශ්‍රියානි අමරසේන එක් කළහ. ගාමිණී ෆොන්සේකා ගීතා කුමාරසිංහට පළමුවෙන්ම පෙම් බැන්ඳේ "චණ්ඩි පුතා" (1977 - 8 - 19) චිත්‍රපටයෙනි.

රවීන්ද්‍ර රන්දෙණිය හා මාලිනී ෆොන්සේකා චිත්‍රපට රාශියකම පෙම්වතුන් වූහ. "සිරිපාල හා රන්මැණිකා" (1977 - 9 - 16), "හිඟන කොල්ලා" (1977 - 4 - 14) චිත්‍රපට යුගලෙහිම ඔවුන්ගේ ප්‍රේමයට විරහව එක් විය. "දේදුන්නෙන් එන සමනළුන්" සේ පෙම් බැන්දත් "වසන්තේ දවසක්" (1979 - 6 - 29) චිත්‍රපටයෙහි ද අවසානය එසේම විය. මේ විරහව කෙතෙක් බලවත් වීද යත් වරෙක රවීන්ද්‍ර මාලිනිය නොලැබීමේ සොවින් "එක්ටැම් ගේ" හී (1980 - 3 - 22) තනි වූයේය. "ඉන්දුට මල් මිටක්" (1981 - 10 - 16) හිදී ද ඔවුනගේ ඉරණම ශෝකජනක විය. උපාලි අත්තනායකගේ විප්‍රලම්භ ශෘංගාරය මීට හේතු විය. "ආරාධනා" (1981 - 11 - 3) හිදී රවී - මාලිනී හමු වී වෙන් වී යළි හමු වූහ. "සීත අරණේ සුපුල් නාමල්" පිපුණේ එහෙයිනි.

විජය කුමාරතුංග හා ගීතා කුමාරසිංහ ලාංකේය ජනප්‍රිය සිනමාවේ ජනප්‍රිය පෙම් යුවළකි. "මරුවා සමඟ වාසේ" (1977 - 5 - 30) හිදී සත්‍ය සිදුවීම සේම ඔවුහු අවසානයේ වෙන් වූහ. "කරුමක්කාරයෝ" (1980 - - 8) හිදී ඔවුහු අසම්මත පෙමක පැටළුණහ. අවසානයේ ඉතිරි වූයේ ශෝකය හා කලකිරීම පමණි. "වාලම්පූරී" (1981 - 1 - 4) හිදී "සුදු මුතු මාල පලඳා" එක් වූවත් "අංජානා" (1981 - 10 - 2) හිදී ස්්වර්ණා මල්ලවාරච්චි සමඟ තුන්කොන් සටනෙන් ජය ගන්නට ඔවුන්ට සිදු විය. "ජය සිකුරුයි" (1984 - 11 - 30) කිවේ බොරුවට නොවේ. "නන්දන උයනේ මියුරස තවරා" අවසානයේ විජය - ගීතා ප්‍රේමය සිකුරටම ජය ගත්හ. ඉක්බිතිව "දුහුල් මීඳුමේ සිහිල් මාරුතේ නදී නිම්නයේ" පෙම් කරමින් "ජය අපටයි" (1986 - 7 - 25) කීවෝය.

රෝයි ද සිල්වා හා සුමනා අමරසිංහ සැබෑ ජීවිතයේ මෙන්ම චිත්‍රපට රැසක පෙම් කළහ. රෝයි අධ්‍යක්ෂවරයකු ලෙස දොරට වැඩි "ටොම් පචයා" (1977 - 11 - 11) චිත්‍රපටයේත් එසේමය.

"යකඩයා" (1977 - 12 - 9) හී පෙම්වතුන් වූයේ ගාමිණී ෆොන්සේකා හා ජෙනිටා සමරවීරත් රවීන්ද්‍ර රන්දෙණිය හා අනුලා කරුණාතිලකත්ය.

"ලොකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ. ලොකේ ලස්සන වන්නට දෙදෙනකු ඕනෑ වේ" යැයි කියමින් පෙම් කළ ජයන්තදාස් පෙරේරා හා ගෝතමී පතිරාජ ගැටවර වියේ ප්‍රේමය සිනමාවට ගෙන ආහ. ඒ "ජනක සහ මංජු" (1978 - 1 - 27) චිත්‍රපටයෙනි.

"ගැහැනු ළමයි" (1978 - 3 - 17) හි නිමල් (අජිත් ජිනදාස) හා කුසුම් (වසන්ති චතුරාණි) අවසානයේ එක් නොවූවත් ඒ ප්‍රේමය අමරණීය විය. "මධුවන්ති" (1978 - 4 - 7) චිත්‍රපටය ටෝනි රණසිංහ හා ගීතා කුමාරසිංහ පෙම්වතුන් බවට පත් කළේය.

ගාමිණී ෆොන්සේකා හා ශ්‍රියාණි අමරසේනට "අනංග රන් හීයේ මල්සරය වැදුණේ" "ආශා දෑසින්" චිත්‍රපටයෙනි (1978 - 4 - 28).

"ටිකිරා" (1978 - 8 - 4) චිත්‍රපටය බැප්ටිස්ට් ප්‍රනාන්දු හා ජෙනිටා සමරවීර ජනප්‍රිය පෙම් යුවළක් කළේය.

"සඳ මෝදු වෙලා නැඟෙද්දී" ගාමිණී ෆොන්සේකා සහ වීණා ජයකොඩි "අප්සරා" (1978 - 9 - 1) පෙම්වතුන් වූහ. "මිනිසුන් අතර මිනිසෙක්" (1978 - 2 - 3) හී ඔවුන්ගේ පෙම් රැඟුම් "මගේ මතකයේ ඔබේ රුව ඇඳී" තිබේ.

"සීතා දේවි" හි (1978 - 10 - 20) දක්නට ලැබුණේ තුන්කොන් ප්‍රේම අරගලයකි. (රාවණා - ගාමිණී ෆොන්සේකා, සීතා - මම්තා ශන්කර්, රාම - උස්මාන් පියර්සාද්) ඔවුහු ප්‍රේමයේ "නිම් හිම් සසරේ සෙවූහ".

"අපේක්ෂා" (1978 - 11 - 3) හී පෙම්වතුන් වූවෝ අමරසිරි කලන්සූරිය හා මාලිනී ෆොන්සේකාත් රොබින් ප්‍රනාන්දු හා ගීතා කුමාරසිංහත්ය. කලක් ඇවෑමෙන් ඔවුන්ගේ ප්‍රේමය නමැති සොඳුරු ලොවට මල් වැස්සේය.

"අහසින් පොළොවට" (1978 - 12 - 15) හී ටෝනි රණසිංහට "උපුල් නුවන් විදහා" පෙම් කළ ශ්‍රියානි අමරසේන අහිමි වුණත් අවසාන වසන්ති චතුරාණි ළං වූවාය.

රෝයි ද සිල්වා "සමන්මලී" (1979 - 1 - 19) හිදී "හදවතෙන් තටු සලමින්" ගීතා කුමාරසිංහට පෙම් කළේය.

"අමල් බිසෝ" (1979 - 4 - 9) හිදී වසන්ති චතුරාණිට කවුරු නොසිටියත් බයිසා (ගාමිණි ෆොන්සේකා) සිටියේය.

ධර්මසිරි බණ්ඩාරනායක දම්මි ෆොන්සේකා පෙම්වතුන් වුයේ "පළඟැටියෝ" (1979 - 4 - 27) නිසාය. ධර්මසිරි, ස්වර්ණා මල්ලවාරච්චි හා එක්ව "හංස විලක්" (1980 - 10 - 24) කැලඹූ නමුත් "බඹා කෙටූ හැටි" (1981 - 3 - 21) හිදී සුගත් වී දම්මි (මාලිනී ෆොන්සේකා) අමතක කළේය.

" චූඩා මාණික්‍යය" (1979 - 8 - 24) හී ආනන්ද වික්‍රමගේ වසන්ති චතුරාණිට පෙම් කළේ "මල් ලියකම් ඇඳි පෙම් සිතුවම්" අතරය. රවීන්ද්‍ර රන්දෙණිය අග්‍රා සජිවනී හට පෙම් කළේ " සුගන්ධි" චිත්‍රපටයෙනි (1979 - 9 - 14).

"කොහේ සිට හෝ පැමිණ" රවීන්ද්‍ර රන්දෙණිය ගීතා කුමාරසිංහට පෙම් කළේ "පොඩි මල්ලි" (1979 - 11 - 2) චිත්‍රපටයෙනි. " නුවන් රේණු" (1979 - 11 - 23) හී "නුවන්" වූයේ ටෝනි රණසිංහය. "රේණු" මාලිනී ෆොන්සේකාය. "ටක් ටික් ටුක්" (1980 - 2 - 1) පෙම්වතුන් වූයේ විජය කුමාරතුංග හා සෝනියා දිසානායකය. "ආදර රත්නේ" (1980 - 4 - 11) හීි පෙම් හබයට මැදි වූවෝ උපාලි අත්තනායක, රෝයි ද සිල්වා හා සෝනියා දිසානායකය. "ගඟ අද්දර" (1980 - 8 - 1) සනත් ගුණතිලක හා වසන්ති චතුරාණි මුල්වරට පෙම් කළහ. එය "දිනුම" (1986 - 11 - 7) දක්වා ගියේය. "මුවන් පැලැස්ස - 2" (1980 - 8 - 22) "නිල් වන ලන්දේ" රොබින් ප්‍රනාන්දු ශ්‍රියානි අමරසේනට පෙම් කළේය.

විජය කුමාරතුංග හා ඉන්දිරා ජොන්ක්ලාස් "පාර දිගේ" (1980 - 10 - 24) පෙම් කළහ. සබීතා පෙරේරා, ජගත් රොහාන් මුල්වරට සිනමාවට පිවිසෙමින් පෙම් කළේ "සබීතා" (1980 - 11 - 22) චිත්‍රපටයෙනි.

ගාමිණී ෆොන්සේකා, වීණා ජයකොඩි හා ටෝනි රණසිංහ "නැතිවුණු ආදරයක් වෙනුවෙන්" පෙම් කළහ. ඒ "මයුරිගේ කතාව" (1980 - 12 - 19) චිත්‍රපටයෙනි.

"සත්වැනි දවස" (1981 - 2 - 20) "සිටු කුමරියෝ" (1981 - 5 - 2) " සසර චේතනා" (1984 - 6 - 30) "මල් වරුසා" (1986 - 2 - 2) මාලිනී ෆොන්සේකා හා සනත් ගුණතිලක ආදර අන්දරයේ මංසලකුණුය.

අමරසිරි කලංසුරිය නදීකා ගුණසේකරට පෙම් කළේ "දෙනෝ දාහක් නුවන් අතරේ"ය. ඒ "වජිරා" (1981 - 6 - 26) චිත්‍රපටයෙනි. විජය කුමාරතුංග හා නීටා ප්‍රනාන්දු දිගුකලකට පසුව පෙම්වතුන් වූයේ "සූරිය කාන්ත" (1981 - 7 - 3) චිත්‍රපටයෙනි. "අම්මේ මට සමාවෙන්න" (1981 - 7 - 10) සනත් ගුණතිලක හා අනුෂ්කා මැදිවක ප්‍රේම වෘත්තාන්තයේ මතක සටහනකි.

"බංගලි වළලු" චිත්‍රපටයේ (1981 - 11 - 27) ජයන්තදාස් පෙරේරා හා සබීතා පෙරේරා පෙම් කරද්දී "රහසක් නැති රහසක්" (1982 - 6 - 18) හිදී විජය කුමාරතුංග ශ්‍රියානි අමරසේනටත් විජය "කඩවනු පොරොන්දුව" හිදී (1982 - 11 - 12) සුමනා අමරසිංහටත් පෙම් කළහ.

ජෝ අබේවික්‍රම ශ්‍රියානි අමරසේනට පෙම් බැන්දේ "නිළියකට පෙම් කළෙමි" (1983 - 3 - 18) ඔස්සේය. "ඈතින් ඈතට" (1983 - 5 - 6) චිත්‍රපටයේ රසාදරී ෆොන්සේකාව "රන් මල් මාලා දාලා කැන්දාගෙන යන්නට" වෙර දැරුවෝ කරුණාරත්න හඟවත්ත, හරිස් ජයරත්න හා විමල් කුමාර ද කොස්තාය. සනත් ගුණතිලක හා සබීතා පෙරේරා යුගය "නැවත හමුවෙමු" ඔස්සේ ඇරැඹී (1982 - 11 - 12) "දෙවැනි ගමන" (1984 - 3 - 2) හරහා ඉදිරියට ගියේ "චාමර සැලෙද්දීය".

මේ අතර සබීතා පෙරේරා "හස්ති වියරුව" (1983 - 6 17) ඔස්සේ රොබින් ප්‍රනාන්දුටත් "ආදර ගීතය" (1984 - 2 - 24) හරහා ඩග්ලස් රණසිංහටත් "රෝසි" (1985 - 7 - 26) නිසා අජිත් ජිනදාසටත් "දුෂ්‍යන්ති" වෙනුවෙන් (1986 - 5 - 16) නිහාල් ගමගේටත් පෙම් කළාය. "මලට නොඑන බඹරු"හිදී (1982 - 10 - 29) ජෝ අබේවික්‍රම හා අජිත් ජිනදාස සමරිසි පෙමක පැටළුණහ.

"සති පූජා" හිදී (1984 - 11 - 19) සනත් ගුණතිලකට සිදු වූයේ මවටත් (සුවිනීතා වීරසිංහ) දියණියටත් (චාන්දනී සෙනෙවිරත්න) පෙම් කිරීමටය. "අරලිය මල්" හිදී (1985 - 3 15) ඔහු අක්කාටත් (අනෝජා වීරසිංහ) නංගීටත් (සබීතා පෙරේරා) පෙම් කළේය.

"ආදර කතාව"හිදී (1985 - 1 - 25) දිලීපන් සෙල්වරාජ් හා මැණික් කුරුකුලසූරිය තම ප්‍රේමය වෙනුවෙන් දිවි පිදූහ.

"චන්නයි කෙල්ලෝ දෙන්නයි" (1985 - 4 26) හිදී රවීන්ද්‍ර රන්දෙණියගේ සැබෑ පෙම්වතිය වූයේ අනෝජා වීරසිංහ නොව සබීතා පෙරේරාය.

"සඳ මෝරා උඩු ගුවනට එන කලට" තිස්ස අබේසේකර නදීකා ගුණසේකරට පෙම් කළේය. "ඔබට දිවුරා කියන්නම්" (1985 - 7 - 25) කියමින් ශෂී විජේන්ද්‍ර මුල්වරට පෙම් කළේ අනෝජා වීරසිංහටය. "යළි හමුවන්නයි" හිදී (1986 - 2 - 7) ගාමිණී ෆොන්සේකා ශ්‍රියානි අමරසේනටත් හරිස් ජයරත්න සබීතා පෙරේරාටත් පෙම් කළහ.

සනත් ගුණතිලක හා රෝසි සේනානායක එක් කළේ "ප්‍රාර්ථනා" (1986 - 3 - 7) චිත්‍රපටයෙනි. රවීන්ද්‍ර රන්දෙණිය වසන්ති චතුරාණි දිනා ගත්තේ "ආදර හසුන" (1986 - 12 - 5) නිසාය.

විජය කුමාරතුංග ඉන්දියානු නිළි තනුජා මුඛර්ජිට පෙම් කළේ "පෙළිකාරයෝ" (1986 - 4 - 25) චිත්‍රපටයෙනි. "ජය මංගලම් සුබ මංගලම්" (ජෝති) මේ යුවළ වෙනුවෙන්ම ගැයුණු ගීතයකි.