වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය ඔබට ලියන වග නම්

ආදරණීය ඔබට ලියන වග නම්

මෙයට දශක කිහිපයකට පෙර මගේ ළමා වියේ දී සරසවිය සිනමා සතියක් නරඹන්නට කොළඹ රීගල් සිනමාහලට ගොඩ වූ අයුරු මට මතකය.එවර මා නරඹන්නට පැමිණි චිත්‍රපටය එයට පෙර තිර ගත වද්දී නරඹන්නට නොහැකි වූ චිත්‍රපටයකි. මා කියන ඒ දවස්වල චිත්‍රපට බලන්නට සිනමාහලටම පැමිණිය යුතු අතර චිත්‍රපටය ගලවන්නට කලින් බලන්නට නොහැකි වුවහොත් නැවත නරඹා හමාරය.

එමෙන්ම සිනමා නළු නිළියන් ඇතුළු කාර්මික ශිල්පින් දැක ගන්නට ලැබෙන්නේ මංගල දර්ශනයකදී ය.නැතහොත් සරසවිය සිනමා සතියේ දීය. ඒ දවස් වල රීගල් සිනමාහලේ තිබුණේ යකඩ දොරකි.

ජනගහනය කෙතරම් ද යත් මේ යකඩ දොර එහි පීල්ලෙන් ඉවතට පනින්ට වුවද බැරි නැත පොලිසිය කැඳවන්නේ සෙනග පාලනය කළ නොහැකි තැනය.ගාමිණී මාලිනි විජය ගීතා ශ¼ී‍්‍රයාණි ෆ්‍රෙඩි ආදි වූ සිනමා තරු සමග ඒවා හැදූ සිනමාකරුවෝ ද එමට සිටිති.සිනමා තාරු සිනමා රසික උන්මාදය විඳ ගන්නට කැමැතිය.සිනමා රසිකයෝ ද තාරකාවන් අතින් ඇල්ලීම කොයි හැටි වෙතත් නුවන'ග බැල්මකින් හෝ සැනසුමක් ලැබීමත් පිනකැයි සිතති.වසරේ දැක ගත නොහැකි වන චිත්‍රපටයක් හෝ නැවත නැරඹිය යුතුයැයි හැඟෙන චිත්‍රපටයක් හෝ දැක ගත හැකි වන එක් අවස්ථාවක් නම් සරසවිය සිනමා සතියයි.එය චමත්කාර ජනක තරු පිරි රැයක් වූයේ එහෙමය.

රීගල් සිනමාහලට චිත්‍රපට නරඹන්නට ගොඩ වදින විට එයින් එළියට බසින විට පෙනෙන්නේ කොළඹ කොටුවේ ඇති දීර්ඝතම ගොඩනැගිල්ල වන ලේක් හවුස් මන්දිරයයි.සරසවිය දොරට වඩින්නේ එහි සිටය.රීගල් සිනමාහල යනු අපේ සිනමාවේ මහ ගෙදරය.එයට යාබද ව ඇත්තේ සිලෝන් තියටර්ස් ගොඩනැගිල්ලයි.ලේක් හවුස් මන්දිරයේ සිට එළියට බසින්නෙක්ට මුණ ගැසෙන්නේ රීගල් සිනමාහලයි.ලේක් හවුස් මන්දිරය යනු පත්තර කලාවේ මහ ගෙදරයි.මහගෙදරක් යනු වෙන් පැවසෙන්නේ නිකම් කට කහනවට නොවේ.එය ඉතිහාසය ගොඩ නැඟු තැන්ය.දේශිය කැටයමින් ඔපමට්ටම් කළ ලේක් හවුස් මන්දිරයත් හොලිවුඩ් සිනමා මන්දිර ආකෘතිය අනුගමනය කළ රීගල් මන්දිරයත් එකිනෙකට මුහුණලා ඉදි වනුයේ එකම සමයකය.රීගල් ඇතුළු සිනමාහල්වල චිත්‍රපට එකක් නෑර නරඹා බයිස් කෝප් පිස්සෙකුවූ මගේ වෑයම වූයේ මා දන්නා බයිස් කෝප් ගැන ලිවීමටය.ඉදින් සරසවිය පුවත්පතට පැමිණ එදවස එහි කතු ධුරය දැරූ ඒ.ඩී.රංජිත් කුමාර මහතාණන් හුමවීමට මඟක් පෑදිණ.ලේක් හවුස් පඩි පෙළ නැග සරසවියට ගිය මට එයින් එළියට බසින විට පෙනෙන්නේ රීගල් සිනමාහලයි.එකම යුගයක කොළඹ ගොඩ නඟන අලුත් ව්‍යාපාරයන් දෙකකට මුහුණට මුහණු ලා පුරෝගාමි වනුයේ දෙදෙනෙකි.එක් අයෙක් ලේක් හවුස් ආයතනය ගොඩ නගන ඩී.ආර්.විජයවර්ධන මහතාණන්ය.අනෙක් තැනත්තා රීගල් සිනමාහල කේන්ද්‍ර කොට ගෙන සිලෝන් තියටර්ස් ගොඩ නංවන ශ්‍රීමත් චිත්තම්පලම් ඒ.ගාඩිනර්ය මහතාය.විජයවර්ධනයන් මෙරට පුවත්පත් කලාවේ මහගෙදර ගොඩ නැංවූයේය.ගාඩිනර් සිනමාවේ මහ ගෙදර ගොඩ නැංවූයේය.පසුගිය සියවසේ මුල භාගයේ ද ලෝකයේ ජනමතය සඳහා සිනමාව මෙන්ම පුවත්පත ද දැවැන්ත මෙහෙයක් ඉටු කළේය.කොට්න්ම කියනවා නම් ජනමත නිර්මාණය කිරිමෙහිලා එකී මාධ්‍යයන්ට කළ හැකිව තිබුණේ දැවැන්ත වපසරියකි.

වී.අයි.ලෙනින් මහත්මා ගාන්ධි වැන්නන් ගිය සියවසේ සිය දේශපාලන ව්‍යාපෘති උදෙසා මේ මාධ්‍ය දෙක ම විශිෂ්ට ලෙස භාවිත කළහ. එහෙත් රටක පත්තර මහ ගෙදර හා සිනමා මහ ගෙදර එක සමීපයේ මුහුණට මුහුණ ලා පිහිටි තැනක් ඇත් නම් ඒ ලංකාවේම පමණක් විය යුතුය.

එපමණක් නොව දුර දක්නා ඥානයකින් හා නවතාවයෙන් ලෝකය දෙස බැලූ එම මහ ගෙවල් නිර්මාණය කළ මහා පුරුෂයන් දෙදෙනා ම කීර්තිශේෂභාවෝපගතව ගිය ද ඔවුන් දෙදෙනා නමින් නම් කළ මාර්ගයන් දෙකක් එකම සන්ධියකින් ඇරඹි දෙආකාරයට ගමන් කරති.එයින් එකක් ලේක් හවුස් මන්දිරය ඉදිරිපිටින් ඇරඹෙන මරදාන දෙසට ඇදෙන ඩී.ආර්.විජයවර්ධන මාවතයි.අනෙක ඒ වටරවුමෙන් ම කොම්පඤ්ඤවීදියේ ඇරඹි රීගල් සිනමාහල ඉදිරිපිටින් ගමන් ගන්නා ශ්‍රීමත් චිත්තම්පලම් ඒ/ගාඩිනර් මාවතයි.පුදුමය නම් පොදු ජන වහරේ කොළඹ කොටුවේ ඇතැයි සැළකෙන මේ මන්දිර දෙකම මුහුණට මුහුණලා පිහිටිය ද ඇත්තේ කොළඹ කොටුවේ නොවීම විශේෂයකි.එකක් මරදානේය.අනික කොම්පඤ්ඤවීදියේය.මේ මාර්ග දෙකම ආරම්භ වනුයේ එකම වට රවුමකිනි.එබැවින් එයට සමහරු ලේක් හවුස් වටරවුම කීහ.සමහරු රීගල් වටරවුම කීහ.

සේදවත්තේ ප්‍රභූ පවුලක උපන් ඩී.ආර්.විජයවර්ධනයන් මෙන්ම යාපනයේ මනිපායි හි උපන් චිත්තම්පලම් ඒ.ගාඩිනර් ද පසුගිය සියවස මෙරට උපන් මිනිසුන්ගේ සිතිවිලි දහරාව වෙනස් කළ දෙදෙනෙක් වෙති.

ගාඩිනර් සිය සිනමා ව්‍යාපාරය රට පුරා ගෙන යමින් චිත්‍රපට නිෂ්පාදනයට එක් විය.ඒ අශෝකමාලා චිත්‍රපටය සමගය.අශෝකමාලා චිත්‍රපටය උදෙසා ලේක් හවුස් පුවත්පත් එකල පුළුල් ප්‍රචාරයක් ගෙන දුන්නේය.මෙරට මුල්ම කතානාද චිත්‍රපටය තනා කීර්තිය අත් පත් කර ගන්නවාට වඩා අංග සම්පුර්ණ චිත්‍රපටයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ අභිලාෂය වූ බව පැහැදිලිය.ඔවුන් සිය මුල්ම සිනමා කෘතිය අධ්‍යක්ෂණය සඳහා තෝරා ගනු ලබනුයේ ද ඒ වන විට සිනමාකරණයේ ප්‍රායෝගික වැඩි පළපුරුද්දක් නැති වුව ද එය හැදෑරු ශාන්ති කුමාර් සෙනෙවිරත්නයන් වීම විශේෂයකි.ඒ වන විට බිමල් රෝයි ගේ උදයාර් පාතේ චිත්‍රපටයේ ද කල්කටාවේ නිව් තියටර්ස් චිත්‍රාගාරයේ දී ද අත්දැකීම් බහුල තරුණයෙකු වූ ශාන්ති කුමාර් සෙනෙවිරත්න යොදා ගන්නේ ඒ වන විට සිනමාව සම්බන්ධව ඉන්දියාවේ විශාලතම චිත්‍රාගාර සමග සම්බන්ධකම් පවත්වා එරට ප්‍රධාන පෙළේ සිනමාකරුවන් දැන හදුනා සිටයදීය.එමෙන්ම අශෝකමාලා නිෂ්පාදන කටයුතු සදහා තෝරා ගනු ලබන්නේ ද එවකට මදුරාසි ප්‍රාන්තයේ කොයිම්බතූර් හි පිහිටි සෙන්ට්‍රල් චිත්‍රාගාරයේය.

සිලෝන්තියටර්ස් සමාගම ගාඩිනර් ගේ දුරදර්ශි දැක්මෙන් යුක්තව ගොඩ නගනු ලබන්නේ 1928 වසෙර්ය.එයට පෙර ගුරුවරයෙකු ලෙස වෘත්තිය ජීවිතය අරඹන ඔහු සිය ව්‍යාපාරිකයන් සමග සිනමා ව්‍යාපාරය අරඹනුයේ මරදානේ ඔලිම්පියා සිනමාහලේ චිත්‍රපට ප්‍රදර්ශනය කරමිනි.ඒ වන විට මෙරට ස්ථාවර චිත්‍රපට ප්‍රදර්ශනය අත් පත් කර තිබුණේ ඉන්දියාවේ එවකට පිහිටි දැවැන්තම සිනමා සමාගම වන මදාන් සමාගමයි. එහෙත් ගාඩිනර් ගේ ව්‍යාපාරික ඥානය සමග ඇරඹෙන සිලෝන් තියටර්ස් සමාගම 1937 වසර වන විට මදාන් සතු මෙරට පිහිටි සියලු සිනමා ව්‍යාපාර ජාලය අත් පත් කර ගනිති.මදාන් විසින් කල්කටාවේ සිය මුල්ම එල්ෆින්ස්ටන් සිනමාහලේ ආකෘතිය අනුව ගොඩ නගන ලද මරදානේ එල්ෆින්ස්ටන් සිනමා හල අබිබවමින් සිලෝන් තියටර්ස් රීගල් සිනමා හල ගොඩ නංවනුයේ හොලිවුඩ් පුරවරය විසින් සිනමාවට හදුන්වා දුන් සිනමා මාලිගා ස්වරූපය අනුවය.එය අද ද මෙරට සිනමා ශාලාවක් සතු අභිමානය කියා පාන්නකි.මදාන් විසින් ඉදි කරන ලද කොළඹ එල්ෆින්ස්ටන්,මැජස්ටික්,එම්පයර් (පබ්ලික් හෝල්), මෙන්ම මහනුවර,මීගමුව.නුවරඑළිය වැනි සිනමාහල් සියල්ල සිලෝන් තියටර්ස් සමාගම මගින් මිළයට ගැනිණ.

අශෝකමාලා චිත්‍රපටයෙන් පසු දේශිය චිත්‍රපට ප්‍රවර්ධනය උදෙසා මාහැඟි මෙහෙවරක් කළ සිලෝන් තියටර්ස් සමාගම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ලාංකික සිනමාවේ නව යුගයක් ගොඩ නංවමින් රේඛාව නිර්මාණය කිරීමේ දී එය නිපද වන ලද සමාගම වෙනුවෙන් හවුල් ව ආයෝජනය කරන ලද.ී ඒ බව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් සිය ජීවිත අත්දැකීම් අළලා ලියන ලද මවිසින් සංස්කරණය කළ ආවර්ජනා ග්‍රන්ථයෙහි පැහැදිලිව සඳහන් කොට ඇත්තේ කෘතවේදී හැඟිමෙනි.

චිත්‍රපට ප්‍රදර්ශනය බෙදාහැරීම හා නිෂ්පාදනය යන තුන් ඈදුතු කටයුත්තට අමතරව සිලෝන් තියටර්ස් සමාගම මෙරට චිත්‍රාගාරයක් ඉදි කරනුයේ 1957 වසෙර්ය.ඒ නාරාහේන්පිට කිරුළ පාරේ ගොඩ නැංවූ සිලෝන් ස්ටුඩියෝස් ආයතනයයි.සිලෝන් ස්ටුඩියෝස් ගොඩ නංවන ලද්දේ පැරණි පරාක්‍රම සිනමාහල වටාය.සිලෝන් ස්ටුඩියෝව මෙරට ඉදි කළ අංග සම්පූර්ණ චිත්‍රාගාරයක් විය.මේ වන විට මේ කීර්තිමත් ව්‍යාපාරයන්ගේ පුරෝගාමින් දෙදෙනා ම මෙලොව හැර ගොසිනි.ශ්‍රීමත් ගාඩිනර් වෙනුවට එහි මුල් පුටුවට පිවිසෙනුයේ ඇල්බට් රාසරත්නම් පේජ්ය.යාපනයේ මනිපායි ඉපිද කොළඹ ආනන්ද මහා විදුහලේ ඉගෙනුම ලැබුවෙකි.

1968 වසරේ දී සිලෝන් ස්ටුඩියොස් ආයතනය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙනුවෙන් මුල් වරට නිෂ්පාදනය කරන ලද්දේ ගොළු හදවත චිත්‍රපටයයි.ප්‍රේම වෘතාන්තයක් වුව ද එයට ගීත ඇතුළත් නොවිණ.චිත්‍රපටය වාණිජමය වශයෙන් අසාර්ථක වනු ඇතැයි බොහෝදෙනාගේ මතය විය.සිලෝන් ස්ටුඩියෝ ආයතනයට විශාල පාඩුවක් ගෙන දෙනු ඇතැයි ඇතැම්හු කැට කඩා අදහස් පළ කළහ.එහෙත් එම විශිෂ්ට චිත්‍රපටය සිලෝන් ස්ටුඩියෝ ආයතනයේ ඉහළම ආදායම ඉපැයූ චිත්‍රපටය ලෙස වාර්තාවක් තැබුවේය.එපමණක් නොව ආචාර්ය ලෙස්ටර් සිය ආවර්ජනා වේ සඳහන් කරන පරිද්දෙන් ඔහු වෙනුවෙන් චිත්‍රපට ත්‍රිත්වයක්ම නිපදවන්නට සිලෝන් තියටර්ස් වග බලා ගත්තේය.ලාංකික සිනමාවේ අති විශිෂ්ටතම සිනමාකෘතිය ලෙස සැළකෙන නිධානය බිහිවනුයේ එමගිනි. විජයවර්ධනයන් ගේ අභාවයෙන් පසු එහි මුල් පුටුවට පත් වන රංජිත් විජයවර්ධන මහතානන් සිය පාලනය සමයේ දී සරසවිය පුවත්පත අරඹන්නේ මෙරට යහපත් කලාවක් ගොඩ නැංවීමේ අරමුණිනි.

ඒ 1963 වසරේ මීමන ප්‍රේමතිලකයන් සරසවිය මුල් පුටුවට එක් කරමිනි.එහෙත් ඒ වන ව්ටත් එහි බර කරට ගත් විමලසිරි පෙරේරා ශූරින් සරසවිය බාර ගත්තේ මාසයක් ගත වන්නටත් පෙරාතුවය.එයින් පසු පිළිවෙලින් ධර්මදාස බොතේජු,ග්‍රැන්විල් සිල්වා,ඒ.ඩී.රංජිත් කුමාර,තිලකරත්න කුරුවිට බණ්ඩාර,සුසිල් ගුණරත්න,අනුර බණ්ඩාර රාජගුරු,දීප්ති ෆොන්සේකා,සුනිල් මිහිදුකුළ,ගාමිණී සමරසිංහ යන කතුවරුන් සරසවියට අභිමානවත් මෙහෙවරක් කළෝය.

තමන් රක්නා බිත්තර එකම මල්ලක ලා නොගන්නයි ප්‍රකට ව්‍යවසායකු වන වැරන් බුෆෝ පැවසුවේ මෑතකය.එහෙත් සිනමාවේ යස ඉසුරු සදන දින වල පවා ගාඩිනර් ගේ අනුප්‍රාප්තිකයා වන ඇල්බට් පේජ් එය දැන සිටි බවක් පළ වෙයි. ඒ සුද්දන් අත තිබූ දැවැන්ත වෙළෙඳ සන්නාමයක් වූ කාර්ගිල්ස් සමාගම වෙත අතපෙවීමත් සමගය.කාර්ගිල්ස් 1844 වසරේ දි මෙරට පිහිටුවනු ලද ව්‍යාපාරයකි.එයට තිබුණේ ගාමිභීර නාමයකි.ගැමියන් විසින් කාර්ගිල්ස් සාප්පුවෙන් දැයි අසන්නේ එහි අගය වටහා දෙන්නටය.බිංදුවෙන් අරඹා සිලෝන් තියටර්ස් මහා පුටුවට පැමිණි ඇල්බට් පේජ් සිනමාවේ ඇති වෙමින් තිබුණ අර්බුද සමග අලුත් ව්‍යාපාර සදහා යොමුවුණේ කාර්ගිල්ස් අත්පත් කර ගනිමිනි.ඇල්බට් පේජ් ගේ වැඩිමහල් පුතු ඇන්තනි කලක් සිලෝන් තියටර්ස් මහා පුටුව හෙබවූයේය.ඔහු වරක් සරසවිය සමග කියා සිටි අපූරු කතාවකින් පැවසුණේ ඔහුගේ නමට ඇති අශෝක් කුමාර් යන්න ලැබෙනුයේ ඔහු උපන් දිනවල තිර ගත වුණ සිලෝන් තියටර්ස් සමාගමේ අශෝකමාලා චිත්‍රපටයේ නම හා පෑහෙන්නටය.ඇල්බට් ගේ දරුවන් අට දෙනාගෙන් එක් අයෙක් වූ රංජිත් කාර්ගිල්ස් සමාගමට ගොඩ වැදුණේ එහි හැඩ රුව අලුත් කරන්නටය.එය ගාම්භීර මිනිසුන් ගෙන් වෙන්ව සාමාන්‍ය ගැමියා වැඩ කරන මිනිසා සොයා ගියේය.එහි විපුළ පල නෙලද්දී උරුමයෙන් ලද සිනමා ව්‍යාපාරය යළිත් පුබුදාලන්නට රංජිත් පේජ් ට වුවමනාව තිබිණ.ඔහු කාර්ගිල්ස් හරහා සිනමාවේ අලුත් යුගයක් අරඹන්නට පෙරුම් පිරුවේය.එහි මුල් පියවර වනුයේ සරසවිය සිනමා සම්මාන උලෙළය.අතීතයේ විජයවර්ධන - ගාඩිනර් සුදීහු මතුයම් දිනෙක තම ආයතන එක්ව සිනමා සම්මාන උලෙළක් පවත්වනු ඇතැයි කිසි වටෙකත් සිතන්නට නැත.මෙවර සිනමා උලෙළ ඒ සුසංයෝජනයේ කදිම ප්‍රතිඵලයකි.

සරසවිය මුල්ම උලෙළේ දී සම්මාන ලබා අනතුරුව නවදිල්ලියේ දී මුල් වරට ජාත්‍යන්තර සම්මාන දිනූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සිනමාව මේ ආයතන දෙක හවුල් වන්නට කදිම පොදු සාධකයක් විය.මෙම සුසංයෝගය ගොඩ නැගෙන විට සරසවිය කතුවරයා ලෙස කටයුතු කරන්නට ලැබීම මට වාසනාවක් ලෙස හැඟෙනුයේ රීගල් සිනමාහලේ ප්‍රේක්ෂකයකු ලෙස ලද මගේ සිනමා ප්‍රේමය තවමක් එලෙසම පවතින එහින් මේ සුංයෝගය සිහිනයක්යැයි මට සිතෙන්නේ එවිටය.ඒ සිහිනය සැබෑ කරන්නට උත්සුක වූ සියල්ලට මගේ ප්‍රණාමය හිමිවේ.සරසවිය සම්මාන උලෙළේ මෙවර තිරග වදින දෙවර්ෂයක සම්මාන ලාභින්ටත් එයට තරග වැදුණු සියල්ලටත් හිස නමා ආචාර කරමි.