වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




මධුර සුපිරිසිදු රම්‍යා වූ පෙම් 1957-1966

කථා නාද සිනමාවේ පළමුවැනි දශකය එසේ සිනමා පට තිස් නවයක් තනමින් ගෙවී ගියද 1957න් ඇරැඹී 1966න් නිමාවන දෙවැනි දශකය මිලිමීටර තිස්පහෙන් පමණක් තැනුණු වෘත්තාන්ත චිත්‍රපට 105කට හිමිකම් කීවේය. එතරම් ආකර්ෂණයක් ප්‍රේක්ෂකයෝ මේ නව මාධ්‍යයට දැක්වූහ. බොහෝ විට චිත්‍රපට පරම්පරා කීපයක හදවත් තුළ රැඳෙන්නේ එහි නළු නිළියන් සහ ගීත නිසාය. ඇතැම් පසු පරම්පරා චිත්‍රපට හඳුනා ගන්නේ ශිල්පීන්ටත් වඩා ගීතවලිනි. මොහිදීන් බෙග් සහ ජික්කී ජීවිත සටනට ගැයූ, පෙම් සිහිනේ... පෙම් සිහිනේ මාලිගයේ ආලෝක දේ මේ ජීවිතේ එවැනි ගීයකි. ශූරයා චිත්‍රපටයේ දොස්තර සහ ලලිතා වෙනුවෙන් ජමුනා රාණී සමඟ බෙග් ගයන හෝ... දුටුදා ඉඳලා ලුහු බැන්දා, දන්නවාද මම පෙම්බැන්දා ගීතය අද පරපුරේ මුවගද නිති රැව්දෙයි.

දෙවැනි දශකයේ තැනුණු මුල් බයස්කෝප් අතරින් රුක්මණී සහ හර්බට් එම්. සෙනෙවිරත්නගේ මධුර ආදර රංගනය දුටුවේ 57 ජූනි 27 තිරගත වූ සිරියලතා චිත්‍රපටයෙනි. 'ඇසේ ගීතේ මධුර ජීවේ උදා වේ ආදරේ හර්දේ' යැයි ධර්මදාස වල්පොල සමඟ ගැයූවද රුක්මනීගේ පෙම්බර දෑස් නම් යොමු වූයේ හර්බට් ගේ දෑසටමය.

රීටා රත්නායක ආනන්ද වීරකෝන් සමඟ ප්‍රේමණීය රංගනයක යෙදෙමින් සැන්දෑ මිහිර විඳීන අපූරුව සුකුමලී චිත්‍රපටය ගෙනාවේ ඔක්තෝබර් 14 වැනිදාය. එදා තරුණ තරුණියන් කුල්මත් වූයේ ජමුනා රාණී සමඟ ඒ. ඇම්. රාජා ගයන 'සිහිල් සුළං වැද සැන්දෑ වෙලාවේ මේ ලෝ දනා සුව පානා' ගීතයෙනි. එහි ලීලා ලෙස රඟන රීටා 'ප්‍රේම නගරේ මහ පාරේ' යැයි ගයන විට වගකීමක් ඇති පෙම්වතකු වන විජය ලෙස ආනන්ද වීරකෝන් ගයන්නේ 'යන්නකෝ ප්‍රවේසමෙන් මේ...' යනුවෙනි. එය එක්තරා ඔවදනක් සමාජයේ සෑම පෙම්වතියකටම සපයන්නා සේය.

නොවැම්බර් 29 තිරගත වූ සරදම් චිත්‍රපටයේ ප්‍රකට වූ පෙම් යුවළ ස්ටැන්ලි පෙරේරා සහ ෆ්ලොරීඩා ජයලත්ය. 'ප්‍රීතියෙන් සතුටින් ඉමු ඉන්න ඩිංග දැන්' ගීතය ඒ. ඇම් රාජා සමඟ ජමුනා රාණි ගේ හඬින් ගැයූ ගීය ඔවුන් දෙදෙනා වෙනුවෙන් නොවූවත් ජනපි‍්‍රය විය. මෙරට සිනමා ඉතිහාසයට මේ චිත්‍රපටය වැදගත් වන තවත් හේතුවක් වන්නේ ජෝ අබේවික්‍රම හඳුන්වා දෙන නළුවා ලෙසින් රිදී තිරයට එක් වන්නේ සරදම් මඟින් බැවිනි.

හර්බි සෙනෙවිරත්න සමඟ කාන්ති ගුණතුංග සූරසේන සිනමා පටයේ මහත් සතුටින් පෙමින් වෙළෙන්නේ 'ආනන්ද ශ්‍රීය වෑහෙයි සෝබා දහම් සිනාසෙයි - රූපා ඉතා සුරම්‍යයි මේ මෝසම් සුළං කියා යයි...' කියමිනි. ධර්මදාස - ලතා යුවළගේ හඬ හර්බි කාන්ති රංගනය වඩාත් උත්කර්ශවත් කරයි. තම ළබැඳීය පිළිබඳ ගීතයෙන් කියා ගත යුතු වර්ණනාව කෙතරම් දිගු වීද යත් ගීතය කොටස් දෙකක්ම විය. ඒ

'මෝසම් සුළං පිස යාය සැරෙන්

මේ පියකරු උදෑසනේ

මෝසම් සුළං ඔව් හමාය වේගෙන් ඔබ ලස්සන බැව් කියා ගෙනේ...' ලෙසිනි.

රැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී.

ප්‍රේම අමා පානේ මුව බේරේවී ලෝකෙම මා පාමුල මෙන් තේරේවී

ජී. එස්. බී රාණි සමඟ මොහිදින් බෙග් හඬ මුසු කළද අනන්ත වූ ආලය හමුවේ ලෝකයම තමන් සතු වූවා යැයි හැඟෙන බව සිය පෙම්වතා වන සේනාධීර කුරුප්පුට පවසන්නේ පුණ්‍යා හීන්දෙණියයි. ඒ පනස් අටේ මැයි එක්වැනිදා දෙයියන්ගේ රටේදීය.

මේ අතර සටැන්ලි පෙරේරා රාත්‍රී නැඟෙන පූර්ණ චන්ද්‍රයා දෙස බලා ළතැවෙමින් සිය පෙම්වතිය දැන් දැන් ඒ දෝ සිතමින් සිටියි. ධර්මදාස වල්පොල ඔහු වෙනුවෙන් ගයන්නේ

මේ සෞම්‍ය රාත්‍රීය ගෙවිලා යතී

කිම තාම නාවේ මගේ ශ්‍රීමතී... කියමිනි.

සේපාලි එනම් ෆ්ලොරීඩා ජයලත් තවමත් නැත. මෙය ඒකල ගායනයක් වුවද එහි ළයාන්විත බව නිසා අදටත් එහි විරහවට වඩා දැනෙන්නේ ප්‍රේමණිය බවකි. සේපාලි තිරගත වූයේ ඔක්තෝබර් 31වැනිදාය.

ධර්මදාස- ලතා ඉමිහිරි හඬින් 'දෑතට දෑත තියාලා ඔබ මාගේ කියා පවසා...' යයි ගයද්දී කොට ගවුමකින් සැරසී ගස් දෙබලක් මත නැඟී අත්තක එල්ලී සිටින කාන්ති ගුණතුංගගේ කාන්තිමත් නාරි දේහයත් ඇගේ අතින් අල්ලාගෙන සිටින හර්බි සෙනෙවිරත්නගේ පෙම්බර සිනාවත් එකල යෞවන යෞවනියන් ඇසි පිය නොහෙළා රිදී තිරය වෙත බැඳ තබා ගැනීමට සමත් විය. එසේම පිපෙන පියුමන් පියකරු මනරම් ගීතය ද, ජෝති සහ කේ රාණි ගැයූ කොළ කඩ කඩ බොරුවට දෙනවා..ගීයද වන මෝහිනී මතකයේ රඳවන්නට සමත් විය. ඒ පනස් අටේ උදුවප් මස දොළොස් වැනිදා සිටය.

හද ගිලෙයි අම මිහිරේ පෙම් සුවේ රස ඉතිරේ

මල් පැණි මදිරා මී පැණි ගංගා පෙම් සයුරට මුසු වේ... ගැයෙද්දී අදටත් දැනෙන්නේ පෙම් ඕවිල්ලක නැළැවෙන්නාක් මෙනි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් පළමුවරට චිත්‍රපට ගීත රචනයට අවතීර්ණ වන්නේ 1959 වසරේ බක් මස 18 වැනිදා ප්‍රදර්ශනය වූ දෛවයෝගයට මේ පදවැල් සපයමිනි. රුක්මනී සමඟ සේනාධීර කුරුප්පු මේ ගීයට රඟද්දී සේනාධීරට ගී හඬ මුසු කරන්නේ මොහිදීන් බෙග්ය. මෙයට බෙග් ගේ ආදරියේ රුචිරාණනියේ, රුක්මනී ගැයූ අදරයයි කරුණාවයි මෙන්ම බෙග් සමඟ සිරිමතී රසාදරී ගැයූ හාස්‍යෝත්පාදක පෙම් ගීයක් වූ හෙන්රි ධර්මසේන ලියූ උඹෙ නාඹර තැඹිලි පාට රූපය මට ලැබුණූ දාට වැනි ගීතද ඇතුළත් විය. ඩබ්ලිව් ඒ සිල්වාගේ දෛවයෝගය නව කතාවේ නමින්ම එය සිනමා පටයට නැඟුණි.

පුරුෂ රත්නය ප්‍රේම් ජයන්ත් ක්ලැරිස් ද සිල්වා පෙම් යුවළගෙන් හැඩ වී රිදී තිරයේ දිස්වන්නේ වෙසක් මස 09 වැනිදාය. ක්ලැරිස් ද රුක්මනී මෙන්ම තම රුවට තම හඬ මුසු කරන්නට සමත් වූවාය. ප්‍රේම් ජයන්ත්ට ගැළපුණේ මාක් ඇන්තනිගේ හඬයි. සිහින ලොවේ දී හමු වන කුසුමාගේ රුව පිළිබඳ විජය ගයන්නේ 'ගජ මුතු හර පරදා සිනාසේ' යනුවෙනි. විජය පිළිබඳ කුසුමාට ඇත්තේ සිතූ පැතූ දේ ලබා දිය හැකි පෙම්වතෙකුය යන හැඟීමය. එය ඇය පවසන්නේ 'සුර තුර වැනි සුහදා සිනාසේ' ලෙසනි. ඒ සොඳුරු ප්‍රේම සිහිනය අතර අරුමසේන හා ටාසන් විකට ප්‍රේම වියෝගීයක් වන 'ප්‍රේමාලෝකය නිවී ගියා මට පත්තු කරන්නට බැරුව ගියා...' යැයි කියති.

අලුත්ම පෙම් යුවළක් වූ බොනිෆස් ප්‍රනාන්දු ප්‍රධාන නළු චරිතයක් රඟපෑමත්, සුජාතා විජේසේකර සිනමාවට පිවිසීමත් සිදුවන්නේ 1959 සැප්තැම්බර් 11 දින තිරගතවූ සිරිමලී චිත්‍රපටයෙනි. ලතා සහ ධර්මදාස මේ නව යුවළගේ පෙම් කතාව ගයන්නේ 'ආකාසේ ආවාසේ සූර්යයා නැඟී... අපේ ජීවිතේ යයි සැපේහී රැඳී' ලෙසිනි.

අරිසෙන් අහුබුදු වැනි හෙළ හවුලේ සාමාජිකයකුගෙන් පුර්තුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා වැනි පද රචනයක් ලියැවුණු අපූරු සිනමා කෘතියකි සංදේශය. එහි ආනන්ද - කාන්ති යුවළ පෙම් රාජ්ජේ රජ කරවූ 'රැජන මමයි අපේ රාජ්ජේ' ගීතය රිදී තිරයෙන් ගෙනෙන්නට ලතා -ධර්මදාස සමඟ මොහිදින් බෙග් ඇතුළු පිරිස එක් වූයේ 1960 මාර්තු 30 වැනිදාය.

ඉන් පසු පරම රමණිය වූ ඔවුන්ගේ ආලය පිළිබඳ ගැයුවේ රුක්මනී දේවී සමඟ මොහිදින් බෙග් නළගන සිනමා පටයටයි. බෙග් මාස්ටර්ගේ හඬ මුසු වූයේ රවීන්ද්‍ර රූපසේනගේ රුවටය.

ජීවරාණි කුරුකුලසූරිය පළමුවරට ප්‍රධාන චරිතයක් රඟපාන්නේ දෙසැම්බර් නවවැනිදා තිරගත වූ වීර විජය සිනමා පටයටයි. ඇගේ පෙම්වතා වූයේ හර්බි සෙනෙවිරත්නය. ලතා ධර්මදාස යුවළගේ මධුර හඬින් ගැයෙන 'ඉරණමට සැවොම ගැති වේවි රජ මැදුරෙ කුමරි සිත දිළිඳු යදිය වෙත පුදන පුදුම ඇති වේවි' ගීතයෙන් රාජා රාණී පෙම් යුවළගේ ඉරණමත් සිනමා පටයේ කතාවත් සාරාංශ ගත කළා හා සමානව කියැවෙයි.

පුණ්‍යා හීන්දෙනියට දයානන්ද ගුණවර්ධන මුල් වරට ආදරය කරන්නේත් ඔහු රංගන ශිල්පියකු ලෙස රිදී තිරයෙන් අප දකින්නේත් 1961 මාර්තු 29 තිරගත වූ කුරුලු බැද්දෙනි. ලතා ධර්මදාස ප්‍රේක්ෂකයන්ගේ සවන්පත් 'ඔය බැල්ම ඔය කැල්ම නිළුපුල් නෙතේ ' ගයමින් ප්‍රේමයෙන් මුසපත් කරද්දී සිය ප්‍රථම ප්‍රේමයෙන් ජය ගත් පුණ්‍යා දයානන්ද මංගල යුවළ තිරයේ රැඳී අප නෙත නළවති.

රුක්මනී දේවී සිසිර සේනාරත්න අපූරු ගායන සංයෝගය පළමුවරට ඇසෙන්නේ 1962 දී දස්කොන් පුරා වෘත්තය ඇසුරින් නිර්මාණය වුණු දස්කොන් චිත්‍රපටයෙන්ය. 'සොම්නස පෙම් රස එකතු වුණා- ඔබ සතු මගෙ හද ඔකඳ වුණා' යැයි පවසන රුක්මනී දේවියට දස්කොන් වූ කිත්සිරි පෙරේරා පවසන්නේ 'හ්ම්... ඔබ නැති තැන සැප නොමැත ප්‍රියේ එන්නෙමි මම ගණ අඳුරු රැයේ' කියාය.

බොනිෆස් ක්ලැරිස් අශෝක අතර තුන් කොන් ප්‍රේමයක කතාව කියන සුහද දිවි පිදුමේ පරාජිත පෙම්වතාගේ හදවතේ නැඟි කම්පනය ගෙනෙන එච් ආර් ජෝතිපාල 1962 මැයි නව වැනිදා ගැයූ ප්‍රේම විලාපය ලෙස 'මා පැතු ‍දේ කෝ පාලු වී ලෝකේ මං මුලා වන්නේ' ගැයෙනු දැන් ඉඳ හිට ඇසේ.

කළු සුදු පැහැයෙන් පමණක් වූ සිංහල සිනමාව වර්ණ ගැන්වූයේ 'රන්මුතු දූව'ය. ගාමිණි ජීවරාණි පෙම් යුගයක් නිර්මාණය කළේද 1962 අගෝස්තු 10 ප්‍රදර්ශනය කෙරුණු මේ සිනමා පටයයි. ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ මිහිර පතා ආදරේ ළපලු නටයි ගං තෙරේ... 1964 අශෝකා ග්‍රෑන්පාස් හිදී ආරම්භ වුණු පළමු වැනි සරසවිය සිනමා සම්මාන උලෙළේ නන්දා මාලනී, නාරද දිසාසේකර හොඳම ගායක යුවළ කළ මේ ගීතය එහි සංගීත අධ්‍යක්ෂණය කළ අමරදේවයන්ටද හොඳම සංගීතයට සම්මානය හිමි කර දුන්නේය. රන්මුතු දූවට මානවසිංහයන් ලියූ පාරමිතා බල පූරිත පූජිත, පිපී පිපී රේණු නටන ගීත ද අතිශය ජනප්‍රිය විය.

රන් මුතු දූවෙන් සිනමා සයුර කැලඹූ ජීවරාණි අදට වැඩිය හෙට හොඳයි කතාවේ පෙම්වතිය වන්නේ ගාමිණීට නොව ආනන්ද ජයරත්නටය. සන්ධ්‍යා කුමාරිගේ පෙම නිසා ගාමිණි ඒ ගැන සිතුවේ නැත. ඒ 1963 මාර්තු 26 වැනිදාය. කරුණාරත්න අබේසේකරයන් 'සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ' යැයි ලීවේ එදා යොවුන් ප්‍රේමයට දිය හැකි හොඳම උපමාව එය බැවිනි. ජේ.ඒ. මිල්ටන් පෙරේරා සහ මල්ලිකා ද සිල්වා (මල්ලිකා කහවිට) සමන් සඳුන් සුවඳ මුසු කළේ රසිකයන්ගේ නැහැයට නොව සවන් පත් අතරටය.

සුවිනීතා වීරසිංහගේ සුවිනීත රුව පළමුවරට රිදී තිරයේ දිස්වන්නේ බොනිෆස් ප්‍රනාන්දු සමඟ පෙම් බැඳී සුදු සඳේ කළු වලා සිනමා පටයේදීය. එහි ජෝතිපාලගේ හඬින් බොනිෆස් සුවිනීතාට කියන්නේ 'මා ළඟ සැනසී ඉන්නවා නම් ඔබ ප්‍රීතිය මාගෙයි සෑමදා කියාය. ඒ 63 වසරේ සැප්තැම්බර් 04 වැනිදාය.

ඒ මස 27 වැනිදා සිකුරු තරුව රිදී තිරයේ පායන්නේ පුණ්‍යා හීන්දෙණිය, ෂෙල්ටන් සිල්වා, නෙල්සන් කරුණාගම තරු වට කරගෙනය. ප්‍රේම ගීතවලට වඩා මානවසිංහ ජීවන දර්ශනය පදනම් කර ගෙනා නාරද දිසාසේකර ගයන'ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මංතලේ, අමරදේවයන් ගයන 'ඉර හඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැපදුක සමබරවේ' වැනි ගීතවලට එදා ලද ජනප්‍රසාදය අදටත් නොනැසී පවතී.

දීපශිකා සිනමා ගායනයට අලුත් හඬක් එක් කළ චිත්‍රපටයක් විය. පසුව ඇන්ජලීන් ගුණතිලක වූ ඇන්ජලීන් ද ලැනරෝල් ජෝතිපාල පෙම් ගී සමය ඇරැඹුණේ 'ප්‍රේමේ දීපශීකා හෝ කාන්ති කාන්ති නඟා' , මේ මෝසම් මද සුළඟ හමා- පවසා යන්නේ මෙයම තමා ඔබ මගේ මා ඔබෙ ප්‍රාණෙ සේ සංසාරේ එන්නට ඕනා' යැයි ගයමිනි. ඒ හා මුසු වුණු කිත්සිරි පෙරේරාගේ සහ සන්ධ්‍යා කුමාරිගේ රුව දෙසැම්බර් දොළොස්වැනිදා සිට රසිකයන් මන්මත් කරන්නට සමත් විය.

එදා පැවැති වට්ටෝරු සිනමා සම්ප්‍රදායෙන් මිදී වෙනස් මානයකට රිදී තිරය රැගෙන යන්නට 1963 උඳුවප් මස 12 වැනිදා තිරගත වූ ගම්පෙරළිය සමත් විය. එනිසාම 64 වසරේ පැවැති සරසවිය සිනමා සම්මාන ආරම්භක උලෙළේදීම සම්මාන රැසකට හිමිකම් කීවේය. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නව කතාවේ නමින්ම නිර්මාණය වූ මෙහි නන්දා, පියල් සහ ජිනදාස අතර ප්‍රේමය තත්කාලීන සමාජ දේශපාලනික පසුබිමෙහි හරස් කඩක් ලෙස කියවෙනවා මිස ගීතයෙන් එයට ආලෝකයක් ගෙන එන්නට ලෙස්ටර් ජේම්ස් පීරිස්ට උවමනා වුණේ නැත.

ගැටවර වියේ පසු වූ ශෝභනී අමරසිංහ රිදී තිරය ශෝභාවත් කළ පළමු සිනමා පටය ගැටවරයෝ ය. ගාමිණී ශෝභනී පෙම කෙබඳු වීද කියා වරෙක ලතා වල්පොළත් වරෙක පණ්ඩිත් අමරදේවයනුත් ගැයූ හීන හතක් මැද විමනක් තැනුනයි ගීතයෙන් ඉඟි කරයි. එහි අධ්‍යක්ෂවරුන් වන මයික් විල්සන් සහ තිස්ස ලියනසූරිය ගී පද වැල් ගොතන්නට තෝරා ගත්තේ සිනමා ගී රචනයට එතෙක් එක් නොවූ මඩවල එස් රත්නායක සහ මහගම සේකර දෙපළ ය. හීන හතක් මැද මෙන්ම ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් ලෙස මඩවල රත්නායකයන් ලියූ ගිත මෙන්ම මහගමසේකරයන් අතින් ලියැවුණු හාරිච්චි බෝරිච්චි ගීතය 1964 පෙබරවාරි 26 වැනිදා සිට අප්‍රමාණ ජනප්‍රසාදයට පත් වූ ගීත විය.

ජීවරාණි සහ ආනන්ද ජයරත්න යළි සුපෙම්වත් රැඟුමන් ගෙනාවේ කළ කළ දේ පල පල දේ චිත්‍රපටයෙනි. ඔවුන්ට පසුබිම් ගී ගැයූ ලතා සහ ධර්මදාස යුවළගේ ආනන්දයි ප්‍රේමණීයයි ප්‍රීතිසාර කාලේ අපගේ ගීතය මෙන්ම පසුව අත්තනායක වූ සුජාතා පෙරේරා සමඟ ජෝතිපාල ගැයූ විකට පෙම්වතුන්ගේ ගීතය

නෑනේ යන්නේ ඔයා දාලා මං

කතා කරන්නකො ගියා ඔන්න මං

ගීතයේ පසු කොටසින් ආලයේ ස්වභාවය පවසන්නේ ජෝති

කුමටද ආලෙට සල්ලි සොයන්නේ - හිත ඇති තැන පත කුඩා නොවන්නේ

යැයි අසන විට සුජාතා පිළිතුරු දෙන්නේ

දුප්පත්කම දොර ළගට ඇදෙනවා -දැක්කම ආලය පැනලා දුවනවා... කියමිනි. ඒ චිත්‍රානන්ද අබේසේකර හැට හතරේ බක් මාසේ තුන් දිනක් ගෙවෙද්දී ආලය ගැන සිතූ සැටියටය. දේශාභිමානය ඊට වඩා හොඳීන් ඔහුට දැනී තිබිණි. අමතක කරලමු පැරණි කතා බෙග් ගේ හඬින් ගැයුණේ එනිසාය.

ගාමිණි සන්ධ්‍යා ප්‍රේමය යළි දලුලෑවේ ධීවරයෝ සමඟිනි. ඒ සිංහල අවුරුද්දට ඔන්න මෙන්න තියා 10 වැනිදාය. ධර්මදාස ලතා යුවළ ඔවුන් වෙනුවෙන් ගැයූ නිලට නිලේ විහිදී යයි අඹර දසන්තේ පෙම් ගීය මෙන්ම ලතා බෙග් ක්‍රිස්ටි, මල්ලිකා ඇතුළු පිරිස ගැයූ ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා, වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා, සාමය සමගිය පතුරාලා ගීත ද ලතාගේ සතුට සෝකේ ජය පරාජේ, මිල්ටන් පෙරේරාගේ අගාධ සාගරයේ ඈත දියේ බිලි බෑමී, සුජාතාගේ මාලිගාවේ මහ රැජිනී මුහුද යහනවේ ගීත ඉමහත් ජනප්‍රිය විය.

ඩොමී ජයවර්ධන කෙසේ හෝ රුක්මනී දේවි සමඟ විවාහ වුවද ඔහුට ප්‍රතිකාර කරන්නට සිදු වන්නේ රුක්මනීගේ කලින් පෙම්වතාව සිට වෛද්‍යවරයකු වූ අශෝක පොන්නම්පෙරුමටය. එසේ කියන විට අපට නිතැතින්ම සිහි වන්නේ ප්‍රේමයේ විරහව දරාගෙන පිට ගිය පෙම්වතියට ආසිරි පතන ගීයකි. කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිගු කල් ජීවත් වෙන්නකෝ... ජෝතිපාල ගැයූ ඒකල පෙම් ගී අතර මහත් ජනාදරයට පත් ගීය රැගත් සැමියා බිරිඳගේ දෙවියාය තිරගත වූයේ අගෝස්තු හය වැනිදාය.

ස්ටැන්ලි පෙරේරා සහ විනිෆ්‍රිඩාගේ ආදර අන්දරය ගෙනා‍වේ චණ්ඩාලී ය. මැණිකක් රකිනා නා රජිඳකු සේ මම ඔබ නිරතුරු රකිමී යැයි මොහිදීන් බෙග් ජී ඇස් බී රාණීට ගැයුවේ ඒ ආදරයට හඬ මුසු කරමිනි. ඔවුන් දෙදෙනාගේ සඳෙහි සඳුන් වනේ - සීත සුවය දැනේ ගීයද අගෝස්තු 15 දා ඒ ආලය තවත් ඔපවත් කළේය.

1964 නොවැම්බර් 20 ප්‍රේම සැණකෙළියක් රිදී තිරයට ගෙනෙන ලද්දේ ප්‍රේම් - සන්ධ්‍යා සහ අශෝක -රිටා විසිනි. ඒ සිතක මහිම ඔස්සේය. ජෝතිපාල රාණී... යැයි අමතන විට ඇන්ජලීන් රාජා... යැයි පිළිතුරු දෙන්නේ නිල් වලා පෙත්තේ ගීතයෙන් ප්‍රේම් සන්ධ්‍යා යුවළගේ ආදරය පවසන්නටය. ඒ අතර සුජාතා පෙරේරා සමඟ ආර් මුත්තු සාමි මධුර යාමේ සුවදෙ සාමේ යැයි ගයන්නේ අශෝක් රීටා යුවළ ප්‍රේම නදියේ පිහින පිහිනා සිටින විටය.

 

රිදී තිරයට හඳපාන ගෙනා අලුත් තරු යුගල සිරිල් වික්‍රමගේ සහ දෙනවක හාමිනේය. ඒ 1965 පෙබරවාරි 03 වැනිදාය. එහෙත් ඒ පෙම්වතුන් ලෙස නම් නොවේ. ප්‍රේම කතාව ගෙතුණේ හර්බට් එම් සෙනෙවිරත්න සහ විජිත මල්ලිකා අතරය. ඉන්ද්‍රාණි වජේබණ්ඩාරත් සිසිර සේනාරත්නත් හඩ මුසු කෙළේ ඔවුන් වෙනුවෙන් 'ඈත අහසේ නැඟේ දිනිඳු පායා' පෙම් ගීය ගයන්නටය. ඒ වසරේ හොඳම සංගීතයට සරසවිය සම්මානය හිමි කර ගත්තේද සිසිර සේනාරත්න ය.

අනුලා ගාමිණී චණ්ඩියා චිත්‍රපටයේ පෙම්වතුන් වුවද ඔවුන්ට විශේෂ වූ ගීතයක් නොවීය. එහෙත් එහි වූ මඟ හිඟනකොටත් උණු උණු බත් කන්ට ලැබෙනවා, මංගලම් ජය මංගලම් වැනි ගීත බොහෝ ජනප්‍රිය විය.

ඒ් වසරේම අප්‍රේල් 28 තුන් කොන් ප්‍රේම වෘත්තාන්තයක් රැගත් කේයස් කවියාගේ සුදෝ සුදු එනමින්ම සිනමාවට නැඟිණි. සිංහල සිනමාවට නැඟුණු පළමු කවි කතාවත් සමඟම සෝමදාස ඇල්විටිගලගේ පළමු සිනමා සංගීතයද සුදෝ සුදුටම විය. එහි සුවිනීතාට පෙම් බැඳී මිතුරන් දෙදෙනා ගාමිණි සමඟ බොනිෆස් ප්‍රනාන්දුය. ලතා ධර්මදාස හඬින් ගැයුණු සිහින සැබෑ වේ අපගේ ජීවන රන් ගොයමේ එහි ආදර ගීතයයි. මෙහි බොහෝ දේ කියැවුණේ කවියෙනි.

ෂෙල්ටන් සිල්වා සහ ලියෝනි කොතලාවල ප්‍රධාන රංගනයක් ඉදිරිපත් කළ සාමා තිරගත වූයේ මැයි පස්වැනිදාය. දේවානන්ද වෛද්‍යසේකරගේ හඬින් ගැයෙන 'ආශා දෑසින් දකිනා සිහිනේ මිහිර මැකී යනවා' ගීතය පෙම් සටනින් පැරදුණු බොහෝ පෙම්වතුන්ගේ මුවඟ රැඳුණක් විය.

සිනමාවේ ස්වර්ණමය යුගයට මුල පුරන හැටේ දශකයේ මැද භාගය සැලකෙන්නේ බොහෝ සිනමා පට නිමැවුණු කාලයක් ලෙසය. ඉන් 65 වසරේ මැයි 13 තිරගත වූ ළාදලු යළිත් ගෙනාවේ ස්ටැන්ලි රුක්මනී යුගයයි. එහි 'සුවදෙන සිත සැනසුම් - අමමිහිරකි ලොව රස පෙම්' අමරදේව රුක්මනී දේවී හඬ මුසුවූ ප්‍රේමණීය ගීයකි. සෙනෙහස සොම්නස අතිනත ගත් විට ඉමිහිරි සුවය මැවේ. ඉඟියෙන් පවසන සේරුන් යුවළක් යති දුර ගගන ගැබේ යැයි මල්ලිකා කහවිටගේ හඬින් නැගෙන්නේද එහිමය.

මැයි 18 තිරගත වූ යටගිය දවස යළි ගාමිණි ජීවරාණි යුවළ එක් කළේය. ධර්මදාස ලතා ගැයූ ගඟ යන්නේ කොහෙද ගලා සාගරයේ ජලය බලා ඔවුන්ගේ ප්‍රේමය ඔපවත් කරයි.

'හඳපානේ මල් පිපුණා කිරි මුහුදේ රැල් නැඟුණා' හරුන්ලන්ත්‍රා සහ ඉන්ද්‍රාණි විජයබණ්ඩාරගේ පෙම් ගීයෙන් හර්බට් එම් සෙනෙවිරත්න සහ විජිත මල්ලිකා හිතට හිත යළි එක් කළේය. එහි සුජාතා සමඟ ජෝතිිපාල ගයන්නේ වන මලට ආසාවේ වනබඹරා ආවාසේ මම ප්‍රේමි ආවා සොයා යනුවෙනි.

ජෝ ක්ලැරිස් අල්ලපු ගෙදර අපූරු පෙම් යුවළයි. ඔවුන්ගේ පෙම් සටන නිසා ගී හබයක් ද ඇති වෙයි. සුජාතා පෙරේරාගේ සැතපෙන කල හිඳ නිදි සුවේ මෙන්ම මිල්ටන් පෙරේරාගේ මේ පිපාසිත ලෝතලේ, මහ ඝන වනන්තරේ අල්ලපු ගෙදර පෙමට රුකුල් දුන් ගීතය.

එම වසරේම ඔක්තෝබර් හත තිරගතවූ සතපනහ ගාමිණි- සන්ධ්‍යා ප්‍රේමය සිහිනයෙන් සැබෑ කළ ගීතය වුයේ සුජාතා සමඟ ජෝති ගැයූ චන්ද්‍රා මේ රෑ පායා ආවා ය. මල් සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා ශීලා එනම් සන්ධ්‍යා කුමාරි පෙමින් කුල්මත් වී රඟද්දී ගයන්නේ සුජාතාය.

ජීවරාණී සහ ගාමිනී යුවළ 'සැනසුම කොතැනද' කියා සොයා ගියේ 1966 පෙබරවාරි 25 වැනිදාය. හරුන් ලන්ත්‍රා සමඟ ඇන්ජලීන් ගයන සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී ඔවුන්ට ආදර ලෝකෙට පාර කියයි.

කොළඹ හාදයෝ ලයනල් දැරණියගලගෙත් ශිරාණි ගුණතිලකගේත් ආදර කතාව කීවේ පෙබරවාරි 25 වැනිදාය. ධර්මදාස ලතා ඔවුන්ට හඬ දුන්නේ සුහද ලීලාව සෝබාව පිපෙන නාමලේ දුටුවෙ සිහිනෙන්ද හැබැහින්ද නොදනිමි ප්‍රියේ යනුවෙන් ගයමිනි. වල්පොළ ගයන ජීවිතේ ප්‍රීති සංචාරෙකි ලොවේ වැනි පදවැල්වලට ආර් ඒ චන්ද්‍රසේනගේ ස්වතන්ත්‍ර තනු නිර්මාණයට ඉඩ දුන්නේ ද කොළඹ හාදයෝය.

ඇල්ෆ්‍රඩ් එදිරිමාන්නට 'මහ රෑ හමු වූ ස්ත්‍රිය' සන්ධ්‍යා කුමාරිය. ඔවුන්ගේ පෙම දලු ලා වැඩෙන බව මල්ලිකා කහවිට සහ මොහිදින් බෙග්ගේ හඬින් පසු බිමේ ගැයුණේ 'සිහින ගඟෙහි පීනා පීනා කිමිදී රිදී දියේ- සිනිඳු ළවැලි අතරේ සෙව්ව මැණික ඔබ ප්‍රියේ ලෙසිනි.

'තරුණ නෙත් ජය මංගලේ පරම සුව දෙයි පෙම්සුවේ' යැයි ජෝති පවසද්දී සුජාතාගේ හඬින් සන්ධ්‍යා කුමාරි කියන්නේ 'පෙමට පිදු මේ ජීවිතේ මිහිර ගෙන දෙයි මීවිතේ' කියාය. සන්ධ්‍යා ගස්ස පස්සාගෙන යන විට යළිත් ජෝති කියන්නේ හයි... හයි... හොයි... හොයි... ලැසි ගමනින් යන හනිකේ ඉක්මන් කොට නොවැ මැණිකේ කියාය. ඒ හැට හයේ මැයි පළමුවානිදා ඇතුල් වීම තහනම් චිත්‍රපටයේදීය.

මැයි දෙවෙනිදා ටෝනි සමඟ සන්ධ්‍යා පෙමින් වෙලෙන්නේ සුජාතාගේ හඬින් 'සුපුන් සඳක් නැඟීලා කිරි බැබලෙන පාරුවේ' යැයි පවසද්දී මිල්ටන් පෙරේරාගේ හඬින් 'රිදී ගඟක් ගලාලා පළිඟු පුලින තලාවේ' යැයි ගයමිනි. ඔවුන්ගේ පෙමට තවත් සාක්කියක් වන්නේ නාරද දිසාසේකර සහ සුජාතා ගයන 'පුෂ්ප මකරන්දය මාගේ භෘංග මදිරා රස ඕඝේ' ගීයයි.

ජීවරාණී හා ටෝනි අතර හෝ සුවිනිතා හා ටෝනි අතර ප්‍රේමය දෙලොවක් අතර අතරමං වුයේ මැයි 26 ප්‍රදර්ශනය වූ දෙලොවක් අතර සිනමා පටයෙනි. එහි නෙවිල් ප්‍රනාන්දු සමඟ ලොස් කැබලෙරොස් ගයන ගැයුම් නටන නැටුම් ගීය අමරදේවයන්ගේ සංගීත දිවියේ එක් කඩඉමකි

ජීවරාණි සමඟ ඔස්වල්ඩ් පෙම මෝරා එන්නේ කපටිකම සමඟිනි. ඔවුන්ට පසුබිම් ගායනය සපයන ධර්මදාස සමඟ ලතා ගයන්නේ 'මම් ඔබගේ පෙම් වදනේ හඬ වෙන්නම්- තොල් සඟලේ නෙත් යුවළේ හිනැහෙන්නම්' යනුවෙනි.

1966 සැප්තැම්බර් 26 රිදී තිරය සුවඳවත් කළේ පරසතු මල් ගෙනෙමිනි. බොනී මහත්තයා වූ ගාමිණී සමඟ පුණ්‍යා හීන්දෙණියගේ ආදරයත් අනුලා කරුණාතිලක සමඟ ටෝනි රණසිංහ අතර ප්‍රේමයත් පරවුණු මල්වල සුවඳ අතීතය සමඟ රසික හදවත් වෙනම තලයකට ගෙන ගියේ නිතැතිනි.

සුදු දුව සමඟ 1966 ඔක්තෝබර් 18 වැනිදා අපට දකින්නේ දශක හතක සිනමා ඉතිහාසයේ දෙවැනි දශකයේ හමුවන අවසන් ජනප්‍රිය පෙම්වතුන් යුවළ දෙකය. ඒ ස්ටැන්ලි ෆ්ලොරීඩා සහ රෝයි සන්ධ්‍යාය. ජෝති සමඟ ඇන්ජලින් ගයන ආවා සොයා ආදරේ ගීතයට මනරම් පෙම් රැඟුම් රඟන්නේ රෝයි සමඟ සන්ධ්‍යාය. ඒ අතර හරුන් ලන්ත්‍රාගේ හඬින් ස්ටැන්ලි 'ආනන්ද මේ රෑ හරී හැඩයිනේ කවුද පාවෙන මලක් වගෙයිනේ' කියා ෆ්ලොරීඩා වෙත ප්‍රේමණීය බැල්මක් යොමද්දී ඇය සුජාතා පෙරේරාගේ මියුරු හඬ සමඟ කැල්මක් පා 'හෝ... ලෝකේ ඔයා සතු ලොකු වස්තුවක් වෙයි මමනේ සුහදේ ඒ පෙම් කුමාරී' යැයි පවසමින් ඔහු වෙත ඇදේ.