වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




පද මැවුණා, තනු වැටුණා සරස්වතී හඩ නැගුණා

පද මැවුණා, තනු වැටුණා සරස්වතී හඩ නැගුණා

සරස්වතී අභිනන්දන ගීතය

ජගන් මෝහිනී - මධුර භාෂිණී

චාරු දේහිනී - කමල වාසිනී

සරස්වතී දේවි - නමස්තේ - සරස්වතී දේවී

අමර භූෂිණි - මන්ද හාසිනී

විජය රංජනී - ශාස්ත්‍ර ධාරිනී

සරස්වතී දේවී - නමස්තේ - සරස්වතී දේවි

කම්පිත කංචන මාලා කූජිත කිංකිණි නූපුර ජාලා

පාද සරෝජේ කටී තටාකේ චංචල නර්තන ලීලා

ජගන් මෝහිනී - මධුරභාෂිණි

චාරු දේහිනී - කමල වාසිනි

සරස්වතී දේවි - නමස්තේ - සරස්වතී දේවි

මීන මකර පංකජ රූපාකුල අංකිත කුංකුම රේඛා

පූර්ණ කුම්භමිව පීන පයෝධර පූරිතාමෘත ධාරා

භාග්‍ය සාධන පුණ්‍ය මූර්තිධර සුරකුල අභිරූපා

දේහි දේහි වරදායක හස්තේ ශුභ මංගල මුද්‍රා

ජගන් මෝහිනී - මධුර භාෂිණී

චාරු දේහිනී - කමල වාසිනී

සරස්වතී දේවී - නමස්තේ - සරස්වතී දේවී

සරස්වතී සම්මාන සදාදර අභිනන්දන පූජා

සාධය පුරය කරුණා මෘත ජල කලාකාමී ගංගා

ගේය පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

සංගීතය හා ගායනය - පණ්ඩිත් අමරදේව

ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයේ සරසවිය, සරස්වතී යන වචනය අර්ථ ගන්වා ඇත්තේ වචනය, බ්‍රහ්මයාගේ ප්‍රියාව (භාර්යාව) ලෙස සැලකෙන වචනාධිපති දෙවඟන ලෙසය. ඩේවිඩ් කරුණාරත්නයන්ගේ සිංහල සාහිත්‍ය විශ්වකෝෂයේ සරස්වතී පහළ වෙන්ට! යන වචනය වාක් ශක්ත්‍රිය, ව්‍යක්ත බව - පහළ වේවායි පැතූ සැටිය. ලෙස දක්වා ඇති අතර සරස්වතීගේ බැලුම් මාත්‍රයකින් කවියකු වෙන්ට පුළුවන් ලු නම් ආප්තෝපදේශය හඳුන්වා ඇත. සරස්වතීගේ යසස තෙද උසස් කොට දැක් වූ සැටිය ලෙස අර්ථ ගන්වා ඇත. ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග සංස්කරණය කළ ගුණසේන මහා ශබ්ද කෝෂයේ ද මීට සමාන අර්ථ දක්වයි.

1963 ඇරඹි “සරසවිය” පුවත්පතට ඒ නම තබා ඇත්තේ කැලණිය විශ්ව විද්‍යාලයේ බුද්ධාගම පිළිබඳ පීඨාධිපති ධුරය දැරු මහාචාර්ය සිරි සීවලී හිමියන්ය. හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්න කවියා එවකට “සරසවිය” පුවත්පතේ ප්‍රධාන කර්තෘ වූ විමලසිරි පෙරේරා මහතාගේ බොරලැස්ගමුවේ ගෙදර මිදුලේ දෙල්ගහ යට අලුතෙන් ලේක්හවුසියෙන් නිකුත් කිරීමට සැලසුම් කර සිටි කලා පත්‍රයට සුදුසු යයි හැඟෙන නම් ලැයිස්තුවක් ලියාගෙන ඒ ගැන කතා කරමින් සිටියේලු. ඒ නාමලේඛනයේ තිබූ “සරසවිය” නම හැම අතින්ම සුදුසු යැයි යෝජනා කර ඇත්තේ බඹරැන්දේ සීවලී හිමියන් බව 1990. 04. 26 පත්‍රයට ලිපියක් ලියූ විමලසිරි පෙරේරා මහතා පවසා තිබුණි.

1964 පවත්වන ලද ප්‍රථම සරසවිය සම්මාන උලෙළ කොළඹ අසෝක සිනමාහලේ පවත්වන විට ඒ සඳහා සරස්වතී අභිනන්දන ගීතයක් තිබීමේ වැදගත්කම සරසවිය සම්මාන උලෙළේ සංවිධායක මණ්ඩලයට අදහසක් පහළ විණ. සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා එම පත්‍රයේම කලා සංස්කාරක නිමල් පෙරේරා අභයවර්ධන, සහකාර කර්තෘ ඩයස් ගුණරත්න (අද සම්මානිත මහාචාර්ය ආර්. ඩී. ගුණරත්න), දිනමිණ පුවත්පතේ කර්තෘ ධර්මපාල වෙත්තසිංහ, ‘සිළුමිණ’ කර්තෘ ඇස්. සුබසිංහ, ජනතා කර්තෘ ඩී. ඇෆ්. කාරියකරවන එම සංවිධායක මණ්ඩලයේ සෙසු සාමාජිකයෝ වූහ.

මේ අනුව විමලසිරි පෙරේරා හා ආර්. ඩී. ගුණරත්න බොරලැස්ගමුවේ ‘වාපීමේඛලා’ නිවසට ගොස් මානවසිංහයන් ගීතය ලිවීමට කතාබහ කළ ආකාරය හා ගීතය ලියැවුණු ආකාරය මහචාර්ය ආර්. ඩී. ගුණරත්නයන් පවසා සිටියේ මේ අයුරිනි.

මානවසිංහයන් සොයා දිනක් මමත් විමලසිරි පෙරේරාත් එතුමන්ගේ නිවසට ගියෙමු. ඒ යන දවස වන විට මානවසිංහයන් සිටියේ අසනීප තත්ත්වයෙනි. විමලසිරි පෙරේරාගේ ඉල්ලීම අහක දැමීමට සිත් නොදුන් මානවසිංහයන් පැය දෙක තුනක් අප සමඟ කතා කළේ අසනීප තත්ත්වය ද නොතකාය. ඒ කතාබහේදීම කොළයක් අතට ගෙන ගී පද වැලක් එක හුස්මට මානවසිංහයන් ලියාගෙන ගියේය. ඒ වන විටත් බොහෝ රෑ බෝ වී තිබුණි. ඒ ගැන වගක්වත් සිතට නොගත් අපි මානවසිංහයන් අතින් ලියැවෙන ගීතය කුමක්ද යන්න කුතුහලයෙන් යුතුව බලා සිටියෙමු.

ටික වේලාවකින් ඔහු විමලසිරි පෙරේරා මහතා අත කොල කැබැල්ල තැබුවේ, විමලසිරි මෙන්න පද ටික කියමිනි.

එහිදී මානවසිංහයන් විමලසිරි පෙරේරාගෙන් අපූරු ඉල්ලීමක් ද කෙරිණි. මේ පද ටිකට තනුව දාගන්නත් කියව ගන්න ඕනෑ අමරදේවගෙන්. උඹේ ඉල්ලීම මම කරල දුන්නා. දැන් මේක අරන් ගිහින් මගේ ඉල්ලීම ඉටු කරපන්. ඒ මානවසිංහයන්ගේ ඉල්ලීම විය.

සරස්වතී අභිනන්දන ගීතයට තනුව නිර්මාණය කළ සැටි මම වරක් විශාරද අමරදේවයන්ගෙන් ඇසුවෙමි. ඒ 80 දශකයේය. එතෙක් වසර 6 ක් අඛණ්ඩව පවත්වාගෙන ආ සරසවිය සම්මාන උලෙළ 1970 පසු නවතා 1980 වසරේ නැවත ආරම්භ කළ අවස්ථාවේය. 80 දශකයේ ලේක්හවුසියේ සභාපති වූ එදා මුල්ම සරසවිය සම්මාන උලෙළේ සංවිධායක හා ‘ඔබ්සවර්’ පත්‍රයේ දැන්වීම් කළමනාකරුව සිටි රණපාල බෝධිනාගොඩ මහතා යළි සම්මාන උලෙළ ආරම්භ කළ අවස්ථාවේ ඒ මහතා අමරදේවයන් ලවා මේ අභිනන්දන ගීතය ගයන්නයි යෝජනා කළේය. මම විශාරද අමරදේවයන් හමු වී සභාපතිතුමා හමු වී පවසා ඒ ඓතිහාසික හා අභිමානවත් ගීතයේ උපත ගැන කරුණු විමසීමි. ඔහු අතීතයට යොමු වෙමින් මෙසේ කීය.

“සරසවි දේවිය අභිනන්දනය කිරීම භාරතීය කලාකරුවාගේ ආවේණික අංගයක්. සෑම දෙසැම්බර් මාසයේම සරස්වතී පූජාවට කැප වී ඔවුන් කැප වෙනවා. භාරතයේ මා සංගීත අධ්‍යයනය කළ අවදිය මේ අවස්ථාවේ මතකයට එනවා. එවකට භාත්ඛන්ඩේ සංගීත විද්‍යාලයාධිපති ශ්‍රී ක්‍රිෂ්ණ නාරායන් රත්න ජංකර්තුමා දිල්ලි නගරයේ සරස්වතී පූජා උලෙළ වෙනුවෙන් සරස්වතී පූජා උලෙළ වෙනුවෙන් අඛිල භාරතීය ගුවන් විදුලියෙන් ගැයු සරසවි ගීතයකදී මම එතුමාට සහාය වුණා. මේ ගීතය ගැයීමේදී තෝරා ගත් එකම සිංහල සිසුවා මමයි’ (ඔහු ගයා පෙන්වයි).

“හංස රූඪ වසඟ යුතා

ශාරද බ්‍රහ්ම පුත්‍රී

විද්‍යා ඛ්‍යාතා සුර මුණි වාගීස්වරී

භාරතීය නාගා ශක්තා

ස්වර ලය නටති

භද්ධ භාවා ප්‍රසන්නා

සාහිත සංගීත සිද්ධා

මේ ගීතයේ රචනයත්, ගායනයත් රත්න ජංකර්.

“භවානි දයානි මහ වාග්වනී

සුර නර මුණි ජන මානී

සකළ බුධග්යානි

ජග ජගති ජග ජානි මනිසා සුරම රුනී

ශ්වාලා මුඛී වට්සි

අමර පද ගානි”

මේ තවත් සරස්වතී පූජා ගීතයක්. මේ ආකාරයෙන් සරසවි දේවියට පූජා පවත්වන බැති ගීත රැසක් මගේ මතකයට එනවා. මේ ගීත ගයන විට කලාකරුවන් වශයෙන් අපේ හදවත් නිවී පහන් වෙනවා. භාරතයේදී සරස්වතී දේවියගේ මූර්තිය ඉදිරියේ සිට විවිධ සංගීත භාණ්ඩ හා මුසු වූ සංගීත ස්වර රටාවකින් ගීත ගයන විට අමුතු සිතිවිලි සමුදායක් ඇති වෙනවා. භාරතයේ විවිධ ශෛලියේ සරස්වතී ගීත ගැයෙනවා” අමරදේවයන් කිවේය. භාරතයේ දෙසැම්බර් මාසය වන විට විවිධ කලාකරුවන් සරසවිය දේවියට පුද පූජා පවත්වන බවත්, චිත්‍ර ශිල්පීන්, නෘත්‍යකරුවන් ආදී සෙසු කලාකරුවන් වුව ද එක්ව මේ පූජාවට සහභාගි වන බව අමරදේවයන් පැවැසීය

 මුළු නගරයම අලංකාර කොට කලාකරුවන් හිස් සෝදා නා, මල් රැගෙන සරසවිය ඉදිරියේ බැති ගී ගායනා කරන බව ඔහු අපට විස්තර කළේ අපේ සිත් තුළ චිත්ත රූප මවමිනි.

“සරස්වතී අභිනන්දනය සූ සැට කලාවන්ට පොදුයි. භාරතයේ විවිධ සරස්වතී පුද ගීත අසා, ගයා තිබූ මා ඒ හැම ගීයකටම වඩා රසාස්වාදයක් ලැබුවේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියූ “ජගන් මෝහිණී” ගීතයෙන්. මේ ගීතයට හින්දි හා වංග මිශ්‍ර පද සංයෝග වී තිබෙනවා. ජයදේවගේ “ගීත ගෝවින්දය” කියවීමෙන් ලත් රස වින්දනයම මානවසිංහයන්ගේ මේ ගීතයේ ගැබ්ව තිබෙනවා. ස්වර ඥානය ගැන අවබෝධයකින් මේ ගීතය රචනා කර තිබීම විශේෂයි. මානවසිංහයන්ගේ ගේය පද රචනාව තුළින් මගේ සංගීත දිවිය පෝෂණය වුණා කීවොත් නිවැරැදියි. මහ බෝ වන්නම මේ ගීත අතර විශේෂයි.”

ගේය පද රචකයා තුළ සංගීතය ගැන ඇති අවබෝධය අනුව ගේය පද රචනය ද උසස් බවට සාධකය මානවසිංහ බව අමරදේව පැවසුවේය.

“ඔහු (මානවසිංහ) හා මා ළඟින් ඇසුරු කිරීමෙන් ලත් අත්දැකීම් ඔස්සේ ගීත රැසක් ලියැවුණා. “රන්මුතු දූවේ” ගීත එහි ප්‍රතිඵලයක්. සරසවිය චිත්‍රපට උලෙළ සඳහා ලියූ විශේෂ ගීතයක් වූ “ජගන් මෝහිිනි” ගීතය සඳහා 1964 දී තනුව නිර්මාණය කළ දිනය මට අද වගේ මතකයි. ඒ වන විට මා පදිංචිව සිටියේ බත්තරමුල්ලේ නිවසක. අප දෙදෙනා එළිමහනට වී සඳ බලාගෙන කතා කරමින් සිටියා. සරස්වතී දේවි තනුව දැමුණේ එදින රාත්‍රියේයි.

“සරසවිය” ගැන ලියැවුණු උසස්ම ගීතයට අවශ්‍ය තනුව නිර්මාණය වී ස්වරප්‍රස්තාර මා අතින් ලියවුණා. මම ඔහුගේ මුහුණ දිහා බැලුවා. නිර්ව්‍යාජ සිනා රැල්ලක් ඔහුගේ මුවෙහි මොනවට ඇදී තිබුණා.”

අමරදේවයන් එදා කී ආකාරයට සරසවිය ගැන ලියූ හොඳම ගීතය ඔහු තොල් මතුරන විට හැඟී ගොස් ඇත්තේ සරස්වතී දේවිය ගැන මීට වඩා හොඳ ගේය පද රචනයක් කිසිවෙකුට නොලිය හැකි බවය.

“ජයදේවගේ ගීත ගෝවින්දයෙන් ලත් පරිසමාප්ත රසය මම මානවසිංහයන්ගේ මේ ගේය පද රචනයෙන් ලැබුවා. සනාතන වටිනාකමකින් යුත් සම්භාව්‍ය ගණයේ ගීතයක් වූ මේ දුර්ලභ ගීතය මගේ සංගීත දිවියේ එක් මං සලකුණක් සනිටුහන් කළ නිර්මාණයක් ලෙස සැලකිය හැකියි.”

අමරදේවයන් කී ආකාරයට මේ සරස්වතී අභිනන්දන ගීතය අමුතු අවේශයකින් නිර්මාණය කළ ආශ්චර්යමත් ගීතයක් ලෙස තමා සලකන බව ද කීවේය. මේ ගීතයේ සංගීත නිර්මාණය කිරීමේ දී තමා තාම්පුරාව, වයලීනය, බටනලාව, සිතාරය, තාලම්පොට සහ මෘදාංගය භාවිත කළ බවත්, ඒ කිිසිදු වාද්‍ය භාණ්ඩයක් නැති වුව ද හඬ වාද්‍ය භාණ්ඩයක් ලෙස යොද ගෙන ඕනෑම කෙනෙකුට ගායනා කළ හැකි බවත් පැවසුවේය. මුලින්ම මේ ගීතය ගායනා කළ දිනයේ මානවසිංහයන් අමරදේවයන් වැළඳ ගත් බව ද හිටපු සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතා අපට කියා තිබුණි. “මානවසිංහයන් එදා මා වැලඳගෙන විනාඩි කිහිපයක් හිටියා මට මතකයි. අපි දෙදෙනා එකිනෙකා දෙස මොහොතක් බලා සිටියා.

“අමරේ අපි අප්‍රමාණ මිනිස්සු නොවේදැයි” සිනාසෙමින් මානවසිංහයන් මට කීවා.

“අපි දෙදෙනා එදා රෑ සංගීිතය ගැනත්, කලාව ගැනත් බොහෝ වේලා කතා කළා. රැයක් පහන් වනතුරු අපි දොඩමළු වුණා.

“අමරේ මම වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ. මට ඒක දැනෙනවා. ඒත් මාව අමරෙට මතක් වෙන්න මේ සරස්වතී ගීතයම ඇති” මානවසිංහයන් මට කීවා. “මානවේ මූසල කතා කියන්න එපා. අපි තව ටික කලක් ජීවත් වෙන්න ඕනෑ” මම ඔහු අස්වසමින් කීවා.

“සරස්වතී දේවි නමස්තේ සරස්වතී දේවි” කොටසේ අමරදේවයන් “සරස්වතී දේවි වන්දේ සරස්වතී දේවි” යයි වෙනස් කරමුදැයි ඇසූ විට මානවසිංහයන් නොපැකිළව එය අනුමත කළ බව ද අමරදේවයන් පවසා සිටිනු ලැබීය.

එදා අමරදේවයන් සරස්වතී ගීයේ ස්වර ලිපි ද මට ලබා දුන්නේ එය පත්‍රයේ පළ කරන ලෙස ඉල්ලමිනි. ගීතයේ දෙවන අන්තරා කොටස් ද ස්වර ලිපි අනුවම ගැයෙන බව කියමිනි. ඔහු ඒ ගීතයේ ස්වර ලිපි මා මෙහි ඉදිරිපත් කරන්නේ මෙරට සංගීතය හදාරණ සිසුන් මෙන්ම රසිකයන්ගේ ඉල්ලීම් ඉටු කරන බව කියමිනි.

ප්‍රථම සරසවිය සම්මාන උලෙළ පැවැත් වූයේ 1964 මැයි 09 වෙනිදාය. එදින මානවසිංහයන්ගේ සරසවි අභිනන්දන ගීතය අමරදේවයන් ගයනු දෑස් දල්වා බලා සිටියේය. මේ උලෙළේදී මානසිංහයන් හොඳම ගීත රචකයා ලෙස ද, නාරද දිසාසේකර හා නන්දා මාලිනී හොඳම ගායකයා හා ගායිකාව ලෙස ද සරසවිය සම්මාන ලැබුවේ මානවසිංහයන් රන්මුතු දූවට ලියූ ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය වෙනුවෙනි. එදින අමරදේවයන් ද හොඳම සංගීත අධ්‍යක්ෂවරයා ලෙස ගම්පෙරළිය වෙනුවෙන් සම්මාන ලැබුවේය.