වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ සිනමාවේ පෙම් කතා සහ පෙම් ගී

අපේ සිනමාවේ පෙම් කතා සහ පෙම් ගී

දේශිය සිනමාවට ඇත්තටම බැලුවොත් වයස අවුරුදු අනූ තුනයි.ඒ රාජකීය වික්‍රමය නිසාය.එහි මුල්ම පෙම් යුවල ලෙස ඉතිහාස ගතවන්නට තිබුනේ පසුකලක කීර්තිමත් දේශපාලකයකු වූ ආචාර්ය එන්.එම්.පෙරේරා සහ සිබි ෆිමිල් නම් බර්ගර් ජාතික තරුණිය වුවත් චිත්‍රපටය මෙරට තිර ගත නොවුණ නිසා එම දෛවෝපගත කීර්තිය ලබා ගැනීම එහෙම පිටින්ම වෙනස් විය.එසේ වී නම් සමහර විට අපේ චිත්‍රපට කතාව මෙයට වඩා වෙනස් මුහුණු වරක් ගන්නටත් පුළුවන.

ඒ සියල්ල එසේ තිබියදී අප කඩවුණු පොරොන්දුවෙන් නැත්නම් 1947 වසරෙන් මේ කතාව ආරම්භ කරනුයේ එය අපේ කතානාද සිනමාවේ ආරම්භය නිසාය. කඩවුණු පොරොන්දුව තිර ගත වන විටත් මෙරට සිනමා ලෝලින් දන්නා හඳුනන කාරණයක් වුණේ එහි රඟපාන ගීත කෝකිලාව සහ විකට රජු එකිනෙකට පෙම් බැද ඇත්ත ජීවිතේ ජය ගත්ත විත්තියයි.පුදුමය නම් මේ විකට රජු එඩී ජයමාන්න සහ ගීත කෝකිලා රුක්මණි දේවි කිසි කලක සිනමා තිරයේ එකිනෙකට පෙම් නොකිරීමයි.ඒ පෙම් කතාව තිබුනේ තිරයෙන් පසුපසයි.ඔවුන් අඹු සැමියන් ලෙස සිනමාවේ රඟපාන්නට එන විට ඔවුන්ගේ තරුණ දිවිය ගෙවි ගොසිනි.මේ නිසා මුල්ම කතානාද සිනමාවේ ගීත කෝකිලාව නිළි රුජන රුක්මණි දේවිය මාගේ ප්‍රේමය නමැති මුද්‍රික පාණය යනුවෙන් දෙබස් කියමින් කඩවුණු පොරොන්දුවේ ආදරය පෑවේ සැබෑ ජීවිතයේ එඩී ගේ වැඩිමහල් සොහොයුරු බී.ඒ.ඩබ්ලිවි ජයමාන්නටයි.

සිංහල සිනමාවේ මුල්ම පෙම් ගීතය ඇසුණේ මෙහෙමයි.

සන්ධ්‍යාව ශ්‍රීය රම්‍ය ලෙස පේනා
අද අහසේ දිලිසේ ස්වර්ණ වර්ණ පා
රශ්මී ධාරා
ඈත උසට කදු පර්වත සැම අතින් පෙනෙන්නා
නෙත් පිනන්නා

රංජනී නැතහොත් රුක්මණි දේවි සමග සිනමා තිරයේ බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න පෙම් රැගුම් රඟද්දී එයට පසුබිම් ගීත ගායනා කරන ලද්දේ ස්ටැන්ලි මල්ලවාරච්චියි.එහෙත් එය තැටියට නැගැණේ හියුගෝප්‍රනාන්දු ගේහඬින්ය.එහිම එඩී ජයමාන්න සිය හඬින් ගයමින් සිනමාවේ මනප්පුවාගේ චරිතය රැඟුවේය.

‘මගේ සක බඹරේ දැන්කැරකේ මාව සිසාරා මාව සිසරා

එඩී මනප්පු ලෙස ගයද්දී ජොසීබබා නැතහොත් මනප්පුගේ පෙම්වතිය ගායනා කළේ මෙහෙමයි.

‘කුසුම මමයි ඔබ මා වට කැරකෙන බඹරා

ගීය ගයමින් ජොසි බබා වුණේ ජෙමිනි කාන්තායි.මේ අපේ ලංකාවේ මුල්ම විකට පෙම් යුවළයි.

කඩවුණු පොරොන්දුවේ නළු නිළියන් එතරම් ජනප්‍රිය වද්දී එතරම් නමක් නොදිනූ කන්ඩායමක් සමග සිලෝන් තියටර්ස් සමාගම අශෝකමාලා නමින් ලංකාවේ දෙවැනි කතානාද චිත්‍රපටය තනද්දී එයට එක්වූ ගීතාවලිය නම් අමරණිය ගීතාවලියක් වූයේය.ඒ එයට ඇතුළත් වූ මොහමඩ් ගවුස් හෙවත් ගවුස් මාස්ටර්ගේ සංගීතය නිසාය.එහි ඩී.ටී ප්‍රනාන්දු ගේ රචනයකට අනුව ලියැවුණ මේ පෙම් ගීතය ගායනා කරන ලද්දේ මොහිදින් බෙග් සමග භාග්‍යරතී නම් ගායිකාවයි.සිංහල නොවන ගායක ගායිකාවන් ගී ගැයූ අශෝකමාලාවේ සිංහල ගායකයෙකුට ගැයුවේ එහි සහාය සංගීත අධ්‍යක්ෂ වූ ඩබ්ලිව්.ඩී.ඇල්බට් පෙරේරා පමණයි.ඔහු එහි ගයමින් චරිතයක් ද නිරුපණය කළේය.පසුකලක ලංකික සංගීතයේ අමරදේවයන් වනුයේ ඔහුය.ඉතිහාසයේ අමරණීය සාලිය අශෝකමාලා පෙම් පුවත සිනමාවට නැගෙද්දී ගැයුණු පෙම් ගීය එකක් මෙපරිද්දෙනි'. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ශාන්ති කුමාර් සෛනවිරත්න සාලිය කුමරු ලෙස රඟපෑ අතර අශෝක මාලා වූයේ එමලින් දිඹුලානයි.

හෝ ප්‍රේමේ බැබලේ-මා ඔබේ
තී මාගේ-මාගේ ශ්‍රියාවි මාගේ ශ්‍රියාවි

.රුක්මණි දේවියට හිතින් පෙම් බැඳී සිනමා රසිකයන් එකල එමටය.එහෙත් ඇයට සිනමාවේ පෙම් කරන්නට ලැබුණු කිහිප දෙනෙක් වෙත්.ඒ අතරින් ක්‍රිස්ටි ද මැල් ඇයට පෙම් බදින්නේ වැරදුණ කුරුමානම චිත්‍රපටයෙනි.එහි දී ක්‍රිස්ටි සමග රුක්මණි මෙලෙස ගයති.පබැදුම පී.ඇල්.ජේ.හෙවත් ජීවන් ලාල් නන්දන කීර්ති ගෙනි.

ශාන්ත වේ ප්‍රේමේ- ප්‍රේම ගං තීරේ
මාල ගිරා ගයනා ගී නාදේ-පාවේ ගං ඉවුරේ
ප්‍රේම ගං තීරේ

රුක්මණි ට පෙම් බැදි තවත් තරුණයෙකි.අරුණ ශාන්ති.ඒ පෙරළෙන ඉරණම චිත්‍රපටයටය.පී.එල්.ජේ.නන්දන කීර්ති එහි ගීත රචකයාය.සිංහල ජාතිකයකු මුල් වරට චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය කරන ලදේ මෙහිය.ඒ බී.එස්.පෙරේරාය

හද ආදර ප්‍රේම් මන්දිරේ.
මගේ ප්‍රේම රජා මගේ ප්‍රේම රජා

එපමණක් නොව තවත් වරක ඔවුන් මෙලෙස ගැයූහ.

ඕලු මලේහි සුදෝ සුදු
මාගේ සුදාගේ මුහුණෙ දෝ
ප්‍රේමනී ආලේ රාත්‍රියේ
ප්‍රීති ජලාසේ පීනමු

අරුණ ශාන්ති සහ අයේෂා වීරකෝන් එකිනෙකාට පෙම් බැන්දේ ප්‍රේම තරගයේය.එයි නවජීවනම් චිත්‍රපටයේ අනුකරණයක් විය.එහි පේ‍්‍රමය සිනමා තරුවලට පමණක් නොව ගී තරු වලට ද දැනිණ.චිත්‍රපටයේ දොරට වැඩි ධර්මදාස වල් පොල නම් ගායකයාණො අරුණ ශාන්ති වෙනුවෙන් මෙලස ගැයුවේය.

‘බොහෝ ප්‍රේම පුෂ්ප වියලේ
මව් පියගේ ප්‍රේමෙ සුදිලේ

අයේෂා වෙනුවෙන් ගී ගැයුවේ රීටා ජෙනව්වි ප්‍රනාන්දුය.එහෙත් ඒ වන විට ඉන්දියාවේ නැගී ආ ගායිකාවක වූ ලතා ගේ නම ද ඇයට යොදා තිබිණ.ඒ ලතා ප්‍රනාන්දු යනුවෙනි.ධර්මදාස ගේ හඬ ට ඇය ගැයුවේ මෙපරිද්දෙනි.මේ වචන අපේ මුල්ම චිත්‍රපට ගීත රචකයා වූ හියුගෝ ප්‍රනාන්දුගෙනි.එමෙන්ම මෙහි සංගීතය මෙහෙය වූ ආර්.මුත්තුසාමිට ඉන්දියානු පත්‍ර කලාවේදින්ගේ සංගමයේ සම්මානයක් ලැබිණ.එය මෙරට ශිල්පියකු ලද මුල්ම විදෙස් සම්මානයයි.මෙන්න ලතා ගැයූ වචන.

ලොව සැමට සාන්ති සදනා
මධුර සුපිරිසුදු රම්‍යා වූ පෙම්

එබැවින් ධර්මදාස හා ගී ගැයූ ලතා ප්‍රනාන්දු වෙනුවට වල්පොල නම යොදා ගත්තාය.ඔවුන් දෙදෙනා ප්‍රේම තරගයට ගීය මුල පිරුවේ මෙහෙමයි

හොඳ හොදම වේය ලොව කිසිම තැනක නැහැ
නොහොඳ නරක දිනුවේ

මුල් දශකයේ ප්‍රෙම කතා ගැන ලියද්දි රුක්මමණි ගැන වරින් වර ලියන්නට සිදුවෙයි.කැලෑ හඳ සිනමා කෘතියට ලංකාවේ සිනමාවට නැගුණ මුල්ම නවකතාවයි.එපමණක් නොව එහි රුක්මනියට අලුත් පෙම්වතෙක් ද සොයා දුන්නේය.ඒ ස්ටැන්ලි පෙරේරාය.පසුකලක රුක්මණි හා සිනමාවේ පෙමින් බැදෙන හර්බට් එම්.සෙනෙවිරත්න කැලෑ හඳ ඔපවත් කරන්නට ගී රචනා කළේය.ඒ ගැයුවේ රුක්මණි සමග මොහිදින් බෙග්ය.කතාවේ හැටියට ජෝන් ජයපාල සහ මාලිනිටය.

අන්න සුදෝ අර පාට වලා
සැන්දෑවේ විනෝදේ
ප්‍රිති කෙරේ-ප්‍රිති කෙරේ.
නැළවේවි ආදර සුළග වැදී
යස ඕලු පිපිලා නීල ජලේ
හාහා නීල ජලේ

කොහොම උනත් ස්ටැන්ලි ඇත්තටම පෙම් බැන්දේ ගල්කිස්සේ සිට පැමිණි ගර්ලි ගුණවර්ධනටය.දුප්පතාගේ දුක චිත්‍රපටයේ ස්ටැන්ලි හා ගර්ලි ඇත්තටම පෙම බැද විවාහ වී දූවරුන් තිදෙනෙක් ලදහ.සබීතා පෙරේරා නම් ප්‍රතිභාපූර්ණ රංගන වේදිනිය ස්ටැන්ලි ගර්ලි විවාහයේ ප්‍රතිඵලයකි.

අපේ සිනමාවේ ජනප්‍රිය සළකුනේ හැරවුම් සළකුණ සුජාතාය.ටී.ආර්.සුන්දරම් අධ්‍යක්ෂණය කරන ලද කේ.ගුණරත්නම් නිපද වූ සුජාතා අපේ සිනමාවට තාරකා සම්ප්‍රදාය ගෙනාවේය. ප්‍රේම් ජයන්ත් හා ෆ්ලෝරිඩා ජයලත් සිනමාවේ මුල්ම සුපිරි තරු යුවල බවට පත් විය.සුජාතා කෙතරම් ජනප්‍රිය වීද යත් ඒ නමින් දරුවන්ට නම් තැබිණ.මාළ වළලු,සාරි ආදිය ද වෙළද පොළට පැමිණියහ.1953 වසරේ ගාල්ලේ ඉපැදුන එක් දෙමළ දැරියකට නම ලැබුණේ සුජාතා නමිනි.ඇය පසු කලක දෙමළ සිනමාවේ ජනකාන්ත නිළියක වූවාය.හොලිවුඩ් සිනමාවේ අර්වින් තැල්බර්ග් මෙන් ලාංකික සිනමාවට තරුසංකල්පය ගෙනාවේ සුජාතා පසුපස සිටි ටී.ආර්.සෝමසේකරන්ය.සුජාතා සහ නිහාල් පෙම් කළේ මෙහමයි.

ගැයුම කේරාණි සහ මොහිදින් බෙග්ය.රචනා ක‍ළේ ඩී.ටී.පුනාන්දුය.

ප්‍රේම ගඟේ මැණික් වගේ
අපි දෙන්නා හිතේ තිබූ ආදරේ
වැටී වැටී ඔප දීප්ති වේවි එළි වුණේ අදයි ප්‍රේමාදරේ

සුජාත්ාගේ නැගණිය ප්‍රේමා සිංහල සිනමාවට පිවිසෙන්නේ මුල්වරට නාන ඇදුමෙන් සැරසෙමිනි.ඇගේ පෙම්වතා විකී ය.ඔවුන් දෙදෙනා නැතහොත් ශාන්ති ලේඛා සහ ඩොමී ජයවර්ධන සිරිසේන විමලවීර ලියූ වචන අනුව පෙම් කළේ මෙහෙමය.ඒ ධර්මදාස වල්පොල සහ කේ.රාණිය.

පෙම් රැල්ල නගී ගල්තැල්ලෙ වදී
සුන්දර සන්ධ්‍යාවේ
පෙම් දියෙන් තෙමී ගල ඔපය වැටී
පෙන්වයි ආලේ මහිමේ

ප්‍රේම් ජයන්ත් සහ ෆ්ලොරිඩා එක්ව ඇත්තටම ආලය කර විවාහ වනු ඇතැයි එදා රසිකයන් සිතූහ.එහෙත් ඇත්තටම එය සිදු නොවීය.ප්‍රේම් විවාහ වූයේ ඔහු සමග පුදුම ලේලි චිත්‍රපටයේ රගපෑ නන්දා ලීලානායක සමගය.ප්‍රේම් හා ෆ්ලොරිඩා එක් කර තවත් චිත්‍රපටයක් සෝමසේකරන් විසින් නිර්මාණය කරන ලදී.ඒ සැඩ සුළංය.ආනන්ද සමරකෝන් ඒ සදහා ලියන ලද ගීය ගැයුවේ.ඒ.එම්.රාජා සහ ජමුනා රාණිය.

ජීවන මේ ගමන සංසාරේ-යාවේ නම් අන්ධකාරේ.
ගෙනම් තිර ආලේ
දිවි ඇති තෙක් මෙ සංසාරේ.

මේ ආල කතන්දර අතර තවත් ආල කතන්දරයක් මුල් දශකයේ හමුවෙයි.ඒ දේශිය සිනමාවක් උදෙසා මුළු ජීවිතයම කැප කළ සිරිසේන විමලවීර නිර්මාණය කළ අශෝකා චිත්‍රපටයෙනි.පෙම් කළෝ සුමිත් බිබිලේ සහ පුෂ්පා ජෙනට්ය.එහි ගී රචනා කළේ කරුණාරත්න අබේසේකරයන්ය.ධර්මදාස වල්පොල සමග එහි ගී ගැයුවේ චිත්‍රා සෝමපාලය.

‘පෙම් සුවදයි මංගල සිරිදෙයි
සිරිබර පෙම් මල් උයනේ
සැළලිහිණි ගිරා කැළ ප්‍රේම කතාවෙන්
නැළවෙති තුරු සෙවනේ

විමලවීරයන්ගේ විශිෂ්ටතම චිත්‍රපටය පොඩිපුතා ලෙස සැළකෙයි.එහි එන අලුත් පෙම් යුවළ ආනන්ද වීරකෝන් සහ පුෂ්පා ජෙනට්ය.අශෝකා චිත්‍රපටයේ ආනන්ද සුමිත් බිබිලේ හා පුෂ්පා ට පෙම් කරන්නට ඉඩ නොදුන් දුෂ්ටයාය.

ආනන්ද හා පුෂ්පා වෙනුවෙන් මේ යුග ගීය ගැයුවේ හරුන් ලන්ත්‍රා ය.සහ ජී.එස්.බී.රානි පෙරේරාය.

කිරි මුහුද කැලැම්බිලා-පාවි එනවා ප්‍රෙමාවතේ
හද පත්ල කැලැත්තිලා-පාවි එනවා ප්‍රේමේ රසේ
රචනා කරන ලද්දේ සිරිසේන විමලවීරය.

මේ අවදියේ සිංහල සිනමාවට එක් වුන මාතලන් තිර ගත කළ දෙවාරයේම දින සියය සම්පූර්ණ කළ එකම සිංහල චිත්‍රපටය ලෙස තිර ගත වෙයි.මෙහි ශේෂා පලිහක්කාර ද්විත්ව චරිත නිරූපණය කළේය.ඒ චිත්‍රාරම්භ කුමරු නැතහොත් පියා ලෙසත් මාතලන් නම් පුතා ලෙසත්ය.රජුගේ පියම්භිකාව චිත්‍රවල්ලිය.ඈ ක්ලැරිස් ද සිල්වාය.මාතලන්ට පෙම් බදින රත්නා කුමාරි ය.එහි පෙම් ගීය ඇත්තේ මාතලන් සහ කුමාරිකාව අතරය.දකුණු ඉන්දිය ජනකතාව ක් ඇසුරෙන් තැණුනු එරට සිනමාකරුවකු වන ඒ.පී.නාගරාජන් තැනූ ඉන්දියානු ඇදුම් පැළදුම් වලින් සුසැදි මාතලන් චිත්‍රපටයට මුත්තුසාමි මාස්ටර් තැනූ එක් ගීයක් හැර අන් ගී ස්වයං නිර්මාණයනය.එහි ගී ගැයුවේ ද ධර්මදාස සහ ලතා වල්පොලය.මේදෙදෙනාගේ පෙම් ගීය ඩබ්ලිව්.බෙනඩික්ට් ප්‍රනාන්දු මාස්ටර් විසින් රචනා කරන ලද්දේ මෙපරිද්දෙනි

පෙම් මාලා ගොතා ගෙලේ
පළදන්නම් ප්‍රේමේ
හාහා ප්‍රේම සුදෝ

පියදාස සිරිසේන ශූරින්ගේ ඩිංගිරි මැනිකා චිත්‍රපටය සිනමාවට නැගුණේ එස් ද එස්.සෝමරත්න නිෂ්පාදනයක් ලෙසය.ලංකාවේ චිත්‍රපට ලංකාවේ හැදිය යුතයැයි හඩනැගූ සෙනෙට් මන්ත්‍රිවරයකු වන සෝමරත්න මහතා ඩිංගිරි මැණිකා චිත්‍රපටය අධ්‍යක්ෂණයේ ලා තෝරා ගත්තේ කොටහේන ශාන්ත බෙනඩික්ටි විදුහලේ ඉගෙනුම ලැබ පසුව කොළඹ විශ්විද්‍යාලයෙන් හා මදුරාසි විශ්ව ද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ එහිම කතිකාචාර්යවරයෙක් වූ ඒ.එස්.ඒ.සාමි. ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් වෙනුවෙන් ප්‍රචාරකවාදි චිත්‍රපට තැනූ සිනමාකරුවෙකු ඔහු තැනූ ඩිංගරි මැණිකා චිත්‍රපටයට මේ ගැයුම එන්නේ චිත්‍රපටයේ අවසානයේ කොටින්ම පෙම් යුවල එකතුවූවායින් පසවය.ධර්මදාස හා ලතා ගැයූ මේ ගීතයට රගපැවේ තේජා සෙනෙවිරත්න සහ විමලා වැනිෂියාය

පෙම් රාජ්‍යයේ මංගලයෝගයේ
ආශිර්වාදයේ කෝකිල ගී රාවේ

රුක්මණි දේවි සමග බැදුණු ආදර කතන්දර අතර හර්බට් එම්.සෙනෙවිරත්නට ඇත්තේ ඉහළ තැනකි.රුක්මණි සමග චිත්‍රපට කිහිපයකම පෙම්වතා ලෙස රගපෑ කඩවසම් හර්බට් එම්.ඇය වෙනුවෙන් ගීත රැසක් ද රචනා කළේය.දෙස්තර චිත්‍රපටයේ ඇයගේ පෙම්වතා වන හර්බට් ඇය වෙනුවෙන් රචනා කළ මේ යුග ගීයේ රගපෑවේද ඔවුන් දෙදෙනාම ය.දොස්තර චිත්‍රපටය අධ්‍යක්ෂනය කරණ ලද්දේ සුප්‍රකට දකුණු ඉන්දියානු සිනමාකරු කේ.ශංකර්ය.නිෂ්පාදනය මදුරාසියේ සුප්‍රකට ඒ.වී.එම් සමාගමයි.එහි දී ගැයුණු යුග ගීය ගායනා කළේ රුක්මණි දේවි සමග ධර්මදාස වල්පොලයි.

වාසනාවන්ත කළ ලබා ජීවිතේ ආදරෙන් පිරි ගියා
දුක්නිවාලා ශාන්ති පාලා හර්දයේ ආදරෙන් විනෝද වී ගියා

සුරතලී නමින් ඉන්දියානු සිනමාකරු කේ.වෙම්බු අධ්‍යක්ෂණය කළේ රාජ් කපූර්ගේ බර්සාත් චිත්‍රපටයේ අනුකරයක්.එහි සිංහල දෙබස් රචනා කළේත් සිරිල් පී.අබේරත්නයි.එමෙන්ම සිනමාවේ ආරම්භක සමාගමක වූ සිලෝන් එන්ටර්ටේන්ට්මන්ට්ස් සමාගම නිපද වන මුල්ම චිත්‍රපටයත් එයයි.අපේ සිනමාවේ ගීත කෝකිලයා ජෝතිපාල දොරට වඩින්නේත් සුරතලී චිත්‍රපටයෙනි.ඔහු එහි ආනන්ද ජයරත්න නම් ප්‍රතිභාපූර්ණ රංගවේදියානන් සිය පෙම්වතිය සොයා යද්දී සිරියාමේ සාරා නැගේවි හද මෝරා ගීය ගායකනා කළේය.එහෙත් සිනමාවේ තවත් පෙම් කතාවක් ඇත්තටම එළි දුටුවේත් සුරතලී හරහාය.ඒ රවීන්ද්‍ර රූපසේන සහ ලීනා ද සිල්වා ගේ ඇත්ත පෙම් කතාවත් ඒ අතර ඉටු වූ නිසාය.එහි ධර්මදාස වල්පොල ගී ගැයුවේ ජී.එස්.බී.රානි පෙරේරා සමගය.එහෙත් මේ චිත්‍රපටයේ එ න්නේ විරහ ගීතයකි.

ප්‍රේමේ මෝරණ කාලේ මේ සිදු වූ දේ

දේ වේදනාකතානාද සිනමාවේ මුල් දශකය නිමා වනුයේ ලංකික සිනමාවේ ඊළග දශකය පිළිබද අපූරු අත්දැකීමක් සනිටුහන් කරමිනි.එහි ප්‍රේම කතාවක් තිබුණ ද දෙදෙනා අතර යුග ගීයක් නොවිණ.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණය කළ රේඛාවේ සුනිල් ශාන්තයන්ගේ ගී තනු එතෙක් අප අසා සිටි ගී වලට වඩා වෙනස්ය.එහි දී මර්සලිනු ජයකොඩි පියතුමන්ගේ ගී පද සදහා සිසිර සේනාරත්නයන් ගී ගැයුවේ මෙහෙමය.ඒ ආනන්ද වීරකෝන්ටය.

ඕළු නෙළුම් නෙරිය රගා ලා
කිකිණි හඩන වයලා නගාලා
නගුල් තොටිල්ලේ -මල් ඇතිරිල්ලේ
මගේ කුඩා ඹරුව හබල් ගා

එහි යුග ගී නොතිබුනත් සිනමා කෘතියේ ගී ගයන්නට ගිය තරුණ ගායකයා හා ගායිකාව අතර ඇති වුන ප්‍රේම කතාව නම් මල් පල දැරුවේය.ඒ එහි ගී ගැයූ ඉන්ද්‍රානි වජයබන්ඩාර සහ සිසිර සේනාරත්න අතර ඇති වන ඇත්තම ඇත්ත ප්‍රේම කතාව නිසාය