වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




ලාලිත්‍ය මුසු වූ සුකොමල මූර්තිය

ලාලිත්‍ය මුසු වූ සුකොමල මූර්තිය

1964 මැයි මස 9 වැනිදා කොළඹ අශෝක සිනමාහලේදී ප්‍රථම සරසවිය සම්මාන උලෙළ ඇරැඹීමත් සමඟ එදා මෙදාතුර සරසවිය සම්මාන උලෙළ 33 ක් පවත්වා ඇත. 33 වතාවක් සුවිශාලා කලාකරුවන් රැසක් සරසවිය සම්මානයෙන් මේ වන විටත් පුද ලබා ඇති අතර මෙවර තිස් හතර වන සරසවිය සම්මාන උලෙළේදී ද මෙම මහත් අභිමානීය සරසවිය සම්මානයෙන් බොහෝ කලාකරුවන් පුදනු ලබයි. සිනමාව හා බැඳුණු කලා මාධ්‍යයන්හි නියැළුණු කලාකරුවන්ට සිය ජීවිත කාලය තුළ දී ශ්‍රී ලංකාවේදී ලැබිය හැකි ඉහළම සම්මානය වනුයේ සරසවිය සම්මානයයි.

එදා මෙදාතුර මහත් ආඩම්බරයෙන් සරසවිය සම්මානය දෝතට ගත් කලාකරුවන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වූ ලලනාවකගේ වෙස්ගත් මේ සම්මානයේ නිමැවුම්කරුවා ද මේ තිස් හතර වන සරසවිය සම්මාන උලෙළේදී සිහිපත් නොකරම බැරිය. ඔහු ආචාර්ය තිස්ස රණසිංහයන්ය.

1925 මැයි 09 වැනිදා උපත ලද තිස්ස රණසිංහ 1948 දී රජයේ කාර්මික විද්‍යාලයට ඇතුළත් විය. ඊට පෙර ඔහු රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රැකියාවක නිරතව සිටියේය. මූර්ති ශිල්පයට තිස්ස රණසිංහ මුලින්ම අවතීර්ණ වූයේ චිත්‍ර ශිල්පියෙකු ලෙසය. ඉන්දියාවෙන් මූර්ති ශිල්පීන් ගෙන්වාගෙන ලෝහ පිළිම නෙළමින් සිටි අවධියක ඔවුන් අබිබවා යෑමේ කුසලතාවයන්ගෙන් පිරි දේශීය මූර්ති ශිල්පීන් අතරට තිස්ස රණසිංහ ශිල්පියා ද අයත් විය.

ජේ. ඩී. ඒ. පෙරේරා හා රතී ධනපාල තිස්සගේ මූර්ති ශිල්ප කලාවේ අත්පොත තැබූ ගුරුවරුන් වූහ.

බ්‍රිතාන්‍ය, අමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය වැනි රටවල ද තිස්ස තම නිර්මාණ ප්‍රදර්ශන පැවැත්වීය. ඒවා ඉහළ ඇගැයීමට පවා පාත්‍ර විය. ඔහු කලක් රජයේ ලලිත කලා අංශයේ අධිපති ධුරය ද දැරීය.

තිස්සගේ අතින් නිර්මාණය වූ ලෝකඩ පිළිමයන්හි විශේෂ ලක්ෂණ කීපයක් කැපී පෙනිණ. පෙරදිග සංස්කෘතික ලක්ෂණ හා ලාංකේය ආගමික හා සංස්කෘතික ආභාසය ඔහුගේ නිර්මාණයන්හි කැපී පෙනුණි. 2500 බුද්ධ ජයන්ති වර්ෂය වෙනුවෙන් ආසියාතික සංගමය ඉන්දියාව, පාකිස්තානය හා ශ්‍රී ලංකාවේ පැවැත් වූ ප්‍රදර්ශන සඳහා නිර්මාණ ඉදිරිපත් කළ එකම ජීවමාන මූර්ති ශිල්පියා ද ඔහුය. කලාකරුවන්, දේශපාලනඥයන් රැසකගේ මූර්ති ද හින්දු හා බෞද්ධ සංස්කෘතික ලක්ෂණ රැගත් නිර්මාණ ද ඔහු විසින් නිර්මාණය කළ විශිෂ්ට ගණයේ නිර්මාණ අතර වෙති.

සරසවිය සම්මාන උලෙළේ නිර්මාතෘවරයා වූ එවක ලේක්හවුස් සභාපතිවරයාව සිටි රංජිත් විජයවර්ධනයන් ඉන්දියාවේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේ සේ අපේ නළු නිළියන් ද සම්මානයෙන් ඇගැයීමේ කටයුත්තට මුල පිරීමට උත්සුක විය. ඒ වන විට අපේ සිංහල සිනමාවේ ද විශාල පිබිදීමක් ඇති වී තිබූ අවදියක් වූ නිසාවෙන් දක්ෂතා අගයමින් ඔවුන් දිරිමත් කොට සිංහල සිනමා කර්මාන්තයේ පුනර්ජීවනයකට ශක්තියක් එක් කරලන්නට සම්මානය නිර්මාණය කිරීමේ භාරධූර කාර්යයට එවක සිටි ප්‍රධාන පෙළේ නියමුවකු වූ තිස්ස රණසිංහයන්, රංජිත් විජයවර්ධනයන් විසින් තෝරා ගනු ලැබිණි.

ඒ අනුව මුල්ම සරසවිය සම්මානයේ ලෝහමය පිළිරුව නිර්මාණය කිරීමේ භාරධූර කටයුත්ත තිස්ස වෙත පැවරිණි. එය කෙසේ නිර්මාණය විය යුතු ද යන්න ඔහු මුහුණ පෑ ප්‍රධාන ගැටලුව විය. මේ සඳහා ලාලිත්‍යය, සෞන්දර්ය මුසු වූ කාන්තාවක් තිස්ස විසින් නිර්මාණය කරනු ලැබීය.

කාන්තා රූපයෙන් සියලු කලාවන්ට අධිපති සරස්වතී දේවිය සංකේතවත් වන ආකාරයට සරසවිය සම්මානය සංගීතය, නර්තනය වැනි කලාවන් මනාව පිළිබිඹු වන ආකාරයට තිස්ස රණසිංහ සරසවිය සම්මානය නිර්මාණය කළේය. එය කිලෝ ග්‍රෑම් 4 ග්‍රෑම් 900 ක බරකින් හා අඟල් 15 ක උසකින් සමන්විත විය.

1954 දී තිස්ස රණසිංහ ලන්ඩන් නුවර චෙලිසියා කලායතනයට බැඳුණි. එහිදී කීර්තිධර මූර්ති ශිල්පීන් වූ විලී සොකොප් හා බර්නාඩ් මෙඩෝ යටතේ මූර්ති ශිල්පය ප්‍රගුණ කළේය. චෙලිසියා ආයතනයේ අධ්‍යාපනය ලබන වකවානුවේ පිට පිටම දක්ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය හිමි කර ගැනීමට තිස්ස රණසිංහ සමත් විය.

එංගලන්තයේ ගත කළ කාල වකාවානුවේ බොහෝ ප්‍රදර්ශන හා අන්තර් ජාතික තරඟ සඳහා තිස්ස තම නිර්මාණ ඉදිරිපත් කරමින් විචාරක ඇගැයීමකට පවා ලක් විය. රාජ්‍ය කලා සංගම් ප්‍රදර්ශන හා පොදු රාජ්‍ය මණ්ඩල කලා ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කළ තිස්සගේ බොහෝ නිර්මාණ ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී.

1963 බ්‍රසීලයේ පැවැත් වූ ජාත්‍යන්තර මූර්ති කලා ප්‍රදර්ශනයේදී තිස්ස නිර්මාණය කළ ‘පෙනුන්සි’ නැමැති නිර්මාණයට විශිෂ්ට කෘතිය ලෙස සම්මාන ලැබීය. එය ශ්‍රී ලාංකික මූර්ති ශිල්පියෙකුට මෙතෙක් හිමි වී ඇති ඉහළම සම්මානය වේ.

තිස්ස අතින් නිර්මිත කලා කෘතින් ලන්ඩන් නුවර ටෙක්ස් ගැලරි කෞතුකාගාරයේ ද එරට රජය විසින් තැම්පත් කර ඇත. එංගලන්තයේ පදිංචියට ගිය තිස්ස තම මූර්ති කලා නිර්මාණයන්ගෙන් දේශීය අනන්‍යතාවය ලෝකයට ප්‍රකට කරනු ලැබුවේ දේශයට ලෝකයා හමුවේ කීර්ති නාමයන් රැසක් එක් කරලමිනි.

දැඩි ලෝහ ගුළියක් තිස්ස රණසිංහ නම් වූ මේ අපූරු මූර්ති ශිල්පියාගේ දෑතට හසුවීමෙන් සරසවිය සම්මානය නම් වූ ඒ ලාලිත්‍ය මුසු වූ අංගනාව බිහි විය. ඒ සුකොමල මූර්තිය අද ද විරාජමානව සරසවිය සම්මාන උලෙළේ වේදිකාවේ දසත බැබලෙමින් කලාකරුවන්ගේ සුරතේ ගෞරව බුහුමනට ලක්වේ.