වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




මධුර සුපිරිසුදු රම්‍යා වූ පෙම් 1987-1996

මධුර සුපිරිසුදු රම්‍යා වූ පෙම් 1987-1996

1988 වසර ආරම්භයත් සමඟ 'රස රහසක්' තිරගත වන්නේ පෙබරවාරි මස 5 වන දිනයි. ඒ සඳහා රංගනයෙන් සනත් ගුණතිලක සමඟ සබීතා පෙරේරා එක් වූහ. එලෙසම සනත් ගුණතිලක සමඟ මොරින් චාරුණි රංගනයෙන් දායක වූ 'චණ්ඩින්ගෙත් චණ්ඩියා' 1988 මාර්තු මස 26 දින තිරගත විය.

1987 වසරේ එළඹීමත් සමඟම "යුගයෙන් යුගයට" තිරයට නැඟෙන්නේ විජය කුමාරතුංග සහ නදීකා ගුණසේකර ප්‍රධාන චරිතයන්ට පණ පොවමිනි. ඒ 1987 ජනවාරි මස 23 වන දිනයි. එම මස අවසානයේදී එනම් 1987 ජනවාරි 30 වන දින 'හිත හොඳ චණ්ඩියා' තිරගත කිරීම ඇරඹිණි. ජීවන් කුමාරතුංග සමඟ සබීතා පෙරේරා ඊට රංගනයෙන් දායක වූහ. විජය කුමාරතුංග සමඟ ලතා වල්පොල ශූරීන් පසුබිම් ගායනයෙන් සිය හඬ මුසු කළ එම චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වූ 'නීල අහසේ දිලි තාරකාවෝ' එවකට ශ්‍රාවක ප්‍රේක්ෂක සිත් වැලඳ ගත් ගීතයකි.

'සත්‍යග්‍රහණය' එම වසරේදීම තිරගත වුණේ මාර්තු මාසයේදීය. ඒ 1987 මාර්තු මස 13 දිනදීය. රිචඩ් ද සොයිසා සමඟින් විණා ජයකොඩි ප්‍රධාන භූමිකා නිරූපණය කළ මෙම චිත්‍රපටයේ පසුබිම් සංගීතය වෙනස් මඟක යොමු වූවකි. ඒ සඳහා පසුබිම් ගායනයෙන් සහභාගි වූ ටී. එම්. ජයරත්න සමඟ නීලා වික්‍රමසිංහ ගැයූ 'අනන්ත විශ්වයේ සරා' ගීතය ශ්‍රාවක සිත් සතන් අමන්දානන්දයට පත් කරන්නට සමත් වූවකි.

මෙතෙක් පැවති සිනමාත්මක රිද්මය කිසියම් දිශානතියක් කරා යොමු කරමින් 'පොඩි විජේ' තිරගත වන්නේ 1987 අපේ‍්‍රල් මස 18 වන දින සිටයි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළේ සබීතා පෙරේරා සමඟ අමරසිරි කලංසූරියයි.

1987 ජූනි මස 12 වන දින සිට අනතුරුව 'යුක්තිය ද ශක්තිය ද' තිරගත වන්නේ නළු නිළි යුවල දෙකක් සමඟිනි. විජය කුමාරතුංග, ගීතා කුමාරසිංහ මෙහි එක් රංගන ශිල්පි යුගලක් වන අතර අජිත් ජිනදාස සමඟ දමයන්ති ෆොන්සේකා මෙහි රංගනයෙන් දායක වන සෙසු නළු නිළි යුවළ වෙති. මෙහි ගායනයෙන් එච්. ආර්. ජෝතිපාල සමඟ කලාශූරී ලතා වල්පොල දායක වන අතර ඔවුන් ගායනා කළ 'මන් මං තලාවේ මල් මන්ද හාසේ' යන ගීත අතිශය ජනාදරයට පාත්‍ර වූ ගීතයකි.

'කවුළුව' රිදී තිරයේ දිග හැරුණු සිනමා නිර්මාණයන් අතර තවත් සුවිශේෂි සංධිස්ථානයකි. 1987 ජූලි මස 24 දින සිට තිරගත වූ එම චිත්‍රපටයේ රංගනයෙන් විජය කුමාරතුංග, ස්වර්ණා මල්ලවආරච්චි සමඟ සබීතා පෙරේරා දායක වෙති. පසුබිම් ගායනයෙන් අමරසිරි පීරිස් සමඟ ලතා වල්පොල දායක වන අතර එහි ඔවුන් විසින් ගයන 'කුමර කුමරියන්' ගීතය ද සුවිශේෂී ගීයකි.

මෙම වකවානුවම වන විට සිනමා නිර්මාණ තුළ ඒ සඳහා අන්තර්ගත වූ ගීත ද බොහෝ ජනප්‍රියත්වයට පත් වී ඇත. 1987 සැප්තැම්බර් මස 11 වන දින තිරගත කළ 'රජ වැඩකාරයෝ' චිත්‍රපටය සඳහා එච්. ආර්. ජෝතිපාල සමඟ ලතා වල්පොල ශූරීන් ගායනා කළ 'මල්වර වසන්තේ චාමර සලා' ගීතය ඊට කදිම නිදසුනකි. මෙහිදී විජය කුමාරතුංග සමඟ ගීතා කුමාරසිංහ මෙන්ම සනත් ගුණතිලක සමඟ මැණික් කුරුකුලසූරිය රංගනයෙන් එක් වෙති.

එලෙසම 'ළං වෙන්නවදෝ - වෙන් වූයේ' යන ගීතය ද අතිශය ජනප්‍රියත්වයට පත් වූ ගීතයකි. එය 1987 ඔක්තෝබර් මස 2 වන දින සිට තිරගත වූ 'රන් දම්වැල්' චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වු ගීතයකි. ගායනයෙන් එච්. ආර්. ජෝතිපාලයන් සමඟ කලාශූරී ලතා වල්පොල එක්වන අතර රංගනය සඳහා සනත් ගුණතිලක සමඟ මැණික් කුරුකුලසුරිය දායක වෙති.

1987 වර්ෂය සිංහල සිනමාවේ තවත් එක්තරා සංධිස්ථානයකි නොවැම්බර් මස 6 දින තිරගත වූ 'විරාගය' චිත්‍රපටය. එහි රංගනය සඳහා සනත් ගුණතිලක සමඟ ශ්‍රියානි අමරසේන එක් වෙති. 'ඔබටයි ප්‍රියේ ආදරේ' තිරගත වූයේ 1987 වසරේ දෙසැම්බර් 17 වනදාය. විජය කුමාරතුංග සමඟ ගීතා කුමාරසිංහ රඟන මෙහි එච්. ආර්. ජෝතිපාල සමඟ කලා ශූරී ලතා වල්පොල පසුබිම් ගායනයෙන් එක් වූහ. ඔවුන් ගැයූ 'සාගර ලවැල්ලේ' ගීතය එවකට අතිශය ජනප්‍රියත්වයට පත් වූ ගීතයකි.

නිළි රැජින මාලිනී ෆොන්සේකා, ලකී ඩයස් සමඟ නදීකා ගුණසේකර රඟන 'අහිංසා' තිරගතවුයේ ද එම වසරේ දෙසැම්බර් මස 17 දිනයි.

1988 වසර ආරම්භයත් සමඟ 'රස රහසක්' තිරගත වන්නේ පෙබරවාරි මස 5 වන දිනයි. ඒ සඳහා රංගනයෙන් සනත් ගුණතිලක සමඟ සබීතා පෙරේරා එක් වූහ. එලෙසම සනත් ගුණතිලක සමඟ මොරින් චාරුණි රංගනයෙන් දායක වූ 'චණ්ඩින්ගෙත් චණ්ඩියා' 1988 මාර්තු මස 26 දින තිරගත විය.

රවීන්ද්‍ර රන්දෙනිය සමඟ නිළි රැජින මාලිනී ෆොන්සේකා රංගනයෙන් දායක වෙමින් 'සඳකඩ පහන' තිරගත වූයේ 1988 මැයි මස 6 දිනයි.

මෙම වකවානුවේ තිරගත වූ තවත් ජනප්‍රිය චිත්‍රපටයකි 'අම්මෙ ඔබ නිසා'. ඒ සඳහා රංගනයෙන් ශෂි විජේන්ද්‍ර සමඟ ගීතා කුමාරසිංහ එක් වූහ. පසුබිම් ගායනයෙන් එච්. ආර්. ජෝතිපාලයන් සමඟ කලා ශූරී ලතා වල්පොල එක් වූ අතර එම චිත්‍රපටය වෙනුවෙන් ඔවුන් ගැයූ 'රුවන් වලා විමානේ' ගීතය අතිශය ජනප්‍රිය වූවකි. චිත්‍රපටය තිරගත වූයේ 1988 වසරේ මැයි මස 21 වන දිනය.

1988 වසරේ ජූලි මස 22 වනදා තිරගත වූ තවත් ජනප්‍රිය චිත්‍රපටයකි 'නැව ගිලුනත් බෑන් චූන්'. එහි රංගනයෙන් ජීවන් කුමාරතුංග, මාලිනී ෆොන්සේකා සමඟ ලකී ඩයස් දායක වූහ. එලෙසම සනත් ගුණතිලක සමඟ වසන්ති චතුරාණි ප්‍රධාන චරිත නිරූපණය කළ 'සටන' චිත්‍රපටය තිරගත වුයේ 1988 වසරේ අගෝස්තු මස 27 වනදාය.

ඉන් අනතුරුව 1988 වසරේ දෙසැම්බබර් 24 වන දින 'නැවත අපි එක් වෙමු' තිරගත වන්නේ ජීවන් කුමාරතුංග සමඟ අනෝජා වීරසිංහගේ රංගන දායකත්වයෙනි. ඒ සමඟම ජීවන් - අනෝජා යුගයක් ආරම්භ වීම සිංහල සිනමාවේ තවත් එක් මං සළකුණකි.

1989 වසරේ තිරගත වූ තවත් ජනප්‍රිය චිත්‍රපටයකි 'මමයි රජා'. ඒ වසර ආරම්භයත් සමඟ ජනවාරි 6 වැනි දිනයි. මෙම චිත්‍රපටය සඳහා ජීවන් කුමාරතුංග, අමෝජා වීරසිංහ, විජය කුමාරතුංග සමඟ සබීතා පෙරේරා රංගනයෙන් එක් වූහ. එහි පසුබිම් ගායනයෙන් එච්. ආර්. ජෝතිපාලයන් සමඟ කලා ශූරී ලතා වල්පොල දායක වූ අතර ඔවුන් විසින් ගායනා කළ 'විල්ලුද පුංචි දෙපා' ගීතය එවකට අතිශය ජනප්‍රිය වූ ගීතයකි.

විජය කුමාරතුංග සමඟ ඇන්ජලින් ගුණතිලක ගායනා කළ ජනප්‍රිය ගීතයක් වන 'සීගිරි ලාලිත ළඳුනේ' ගීතය රැගත් තවත් අතිශය ජනාදරයට පත් චිත්‍රපටයක් වූ 'නොම්මර 17' තිරගත වුයේ 1989 ජුලි මස 21 වනදාය. ඒ සඳහා විජය කුමාරතුංග සමඟ සබීතා පෙරේරා රංගනයෙන් දායක වූහ.

ජීවන් කුමාරතුංග සමඟ අනෝජා වීරසිංහ රංගනයෙන් දායක වූ 'ඔබට රහසක් කියන්නම්' චිත්‍රපටය 1989 අගෝස්තු මස 11 වන දින ද 'සිනාසෙන්න රත්තරං' 1989 සැප්තැම්බර් මස 15 වන දින ද තිරගත විය.

වරදට දඬුවම' චිත්‍රපටය තිරගත වූයේ එම වසරේ දෙසැම්බර් 11 දිනයි. එහි රංගනය සඳහා විජය කුමාරතුංග සමඟ නිළි රැජින මාලිනී ෆොන්සේකා එක් වූහ.

989 දෙසැම්බර් 23 වන දින තිරගත වූ 'රන්දෙණිගල සිංහයා' චිත්‍රපටය සඳහා ජීවන් කුමාරතුංග සමඟ අනෝජා වීරසිංහ රංගනයෙන් දායක වූ අතර පසුබිම් ගායනයෙන් ග්‍රේෂන් ආනන්ද සමඟ චම්පා කල්හාරි ජයසේකර එක් වූහ. ගායන ශිල්පිනී චම්පා කල්හාරි චිත්‍රපට පසුබිම් ගායනය සඳහා ප්‍රවේශ වන්නේ ද මෙම චිත්‍රපටය සඳහා ගායනා කළ 'තරු මුතු යායේ' ගීතය ද සමඟින් වීම සුවිශේෂය.

1990 වසර ආරම්භයත් සමඟ පෙබරවාරි මස 11 වනදා තිරගත වූ තවත් ජනප්‍රිය චිත්‍රපටයකි 'දෑසේ මල් පිපිලා'. ඒ සඳහා රංගනයෙන් විජය කුමාරතුංග සමඟ ශ්‍රියානි අමරසේන දායක වූහ. එහි පසුබිම් ගායනයෙන් එච්. ආර්. ජෝතිපාල සමඟ කලා ශූරී ලතා වල්පොල දායක වූහ. චිත්‍රපටය සඳහා ඔවුන් ගැයූ 'හීන්සැරේ නුවන් පුරා' ගීතය වඩාත් ජනප්‍රියත්වයට පත් වූවකි.

1990 වසරේ අප්‍රේල් මස 6 දින තිරගත වූ තවත් ජනප්‍රිය චිත්‍රපටයකි 'යුක්තියට වැඩ'. ඒ සඳහා රංගනයෙන් ජීවන් කුමාරතුංග සමඟ අනෝජා වීරසිංහ දායක වී ඇත. එලෙසම අප්‍රේල් මස 14 දින 'දේදුන්නෙන් සමනළියක්' චිත්‍රපටය තිරගත වුයේ තවත් රංගන ශිල්පිනියක් වන දිල්හානි අශෝකමාලා ඒකනායක සිනමාවට හඳුන්වා දෙමිනි. එහි රංගනයෙන් දිල්හානි සමඟ අජිත් ජිනදාස එක් වී ඇත.

'සහරාවේ සිහිනය' තිරගත වුයේ 1990 ජුනි මස 22 වනදාය. ඒ සඳහා රංගනයෙන් රවීන්ද්‍ර රන්දෙණිය සමඟ වසන්ති චතුරාණි එක් වූ අතර පසුබිම් ගායනයෙන් චන්ද්‍රලේඛා පෙරේරා, විජය කුමාරතුංග සමඟ කීර්ති පැස්කුවල් එක් වූහ. එහි අන්තර්ගත 'මල් හසරැල් සැලෙන ලොවක්' එවකට ජනාදරයට පත්වූ ගීතයකි.

ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් සිය සිනමා පසුබිම් ගායන ප්‍රවිෂ්ටය සටහන් කරන්නේ ද මෙම චිත්‍රපටය තිරගතවීමත් සමඟ වීම සුවිශේෂී කරුණකි.

1990 අගෝස්තු මස 3 වන දින තිරගත වූ තවත් ජනප්‍රිය චිත්‍රපටයකි 'මධු සිහින'. ඒ සඳහා රංගනයෙන් ජීවන් කුමාරතුංග සමඟ වසන්ති චතුරාණි දායක වූහ. පසුබිම් ගායනයෙන් මිල්ටන් මල්ලවාරච්චි සමඟ විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන දායක වූ අතර 'ගුම් ගුම් ගුම් බිඟුන් දී මල් පාරේ' ගීතය ජනප්‍රියත්වයට පත් වූවකි.

මේ වනවිට එච්. ආර්. ජෝතිපාල විසින් සිනමා නිර්මාණයන්ට පරිබාහිරව ගායනා කළ සමහර ගීත සිනමා නිර්මාණ සඳහා යොදා ගැනීම නව ප්‍රවණතාවක් සිනමාව තුළ ඇතිවීම සිනිටුහන් කරමින් ඔහු විසින් ගායනා කළ 'ඔබේ පෙම් වදන් නෑ' ගීතය 1990 ඔක්තෝබර් මස 19 වන දින තිරගත වූ 'හොඳ හොඳ සෙල්ලම්' චිත්‍රපටය සඳහා යොදාගෙන තිබිණි. එහි රංගනයෙන් ජීවන් කුමාරතුංග, මාලිනී ෆොන්සේකා සමඟ ලකී ඩයස් දායක වූහ.

1991 ජනවාරි මස 25 වන දින තිරගත වූ තවත් ජනප්‍රිය චිත්‍රපටයකි 'පාරාදීසය'. එහි රංගනයෙන් ලකී ඩයස් සමඟ මාලිනී ෆොන්සේකා දායක වී ඇත.

'වැඩ බැරි නම් වැඩක් නෑ තිරගත වන්නේ 1991 පෙබරවාරි මස 15 වනදාය. එහි රංගනයෙන් ලාල් වීරසිංහ සමඟ දිල්හානි අශෝකමාලා දායක වූ අතර පසුබිම් ගායනයෙන් චම්පා කල්හාරි සමඟ නීල් වර්ණකුලසූරිය දායක වූහ. ඔවුන් ගැයූ 'සිත පියා සලාලා' ගීතය අතිශය ජනප්‍රිය විය.

1991 මාර්තු මස 1 වන දින 'දොළොස් මහේ පහන' තිරගත වන්නේ දමයන්ති ෆොන්සේකා සහ ගීතාල් පෙරේරාගේ රංගන දායකත්වය ඇතිවය. මෙහි පසුබිම් ගායනය සඳහා විජය කුමාරතුංග දායක වූ අතර ඔහු ගැයූ 'සරා ගුවන විදා' ගීතය සඳහා හොඳම චිත්‍රපට පසුබිම් ගායනය සඳහා වන සරසවිය සම්මානය හිමිකර ගැනීමට සමත් විය.

'ඔබට පමණයි ආදරේ' තිරගත වූයේ 1991 අප්‍රේල් මස 19 වන දිනයි. එහි රංගනයෙන් ශෂි විජේන්ද්‍ර සමඟ සබීතා පෙරේරා දායක වී ඇත. එලෙසම ජනප්‍රියත්වයට පත් තවත් චිත්‍රපටයකි 'මධුසමය'. එය තිරගත වූයේ 1991 ජූනි 25 දිනයි. ඒ සඳහා රංගනයෙන් විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා සමඟ ලකී ඩයස් දායක වූහ. මේ විජය මාලිනී අවසන් චිත්‍රපටයයි. පසුබිම් ගායනයෙන් විශාරද මාලිනී බුලත්සිංහල සහභාගි වූ අතර ඇය විසින් එම චිත්‍රපටය සඳහා ගැයූ 'මාද ඔබම විය' අතිශය ජනප්‍රිය ගීතයකි.

ජීවන් කුමාරතුංග සමඟ අනෝජා වීරසිංහ රංගනයෙන් දායක වූ 'ඇසළ සඳ' තිරගත වූයේ 1991 ජූලි මස 19 වන දිනය. එලෙසම ශෂි විජේන්ද්‍ර සමඟ ගීතා කුමාරසිංහ රංගනයෙන් දායක වූ 'සළඹක් හඬයි' 1991 අගෝස්තු 2 වනදා ද, ජීවන් කුමාරතුංග, නදීකා ගුණසේකර, රන්ජන් රාමනායක සමඟ අමෝජා වීරසිංහ රංගන දායකත්වය ලබා දුන් 'රන් හදවත' 1991 අගෝස්තු 16 වනදා තිරගත විය.

1991 ඔක්තෝබර් 11 වන දින තිරගත වූ 'චෙරියෝ ඩොක්ටර්' තවත් ජනප්‍රිය සිනමා නිර්මාණයකි. එහි රංගනයෙන් සනත් ගුණතිලක සමඟ සබීතා පෙරේරා දායක වූහ. පසුබිම් ගායනයෙන් ග්‍රේෂන් ආනන්ද සමඟ කලා ශූරී ලතා වල්පොල දායක වී ඇති අතර ඔවුන් විසින් ගායනා කළ 'ගී නාද පාවෙතේ' එහි ජනප්‍රිය ගීතයකි.

රොබින් ප්‍රනාන්දු සමඟ ෆරිනාලායි රංගනයෙන් දායක වූ 'අලිබබා සහ හොරු 40' තිරගත වූයේ 1991 ඔක්තෝබර් මස 12 වන දිනය. එලෙසම 1991 දෙසැම්බර් 6 දින ජීවන් කුමාරතුංග සමඟ සබීතා පෙරේරාගේ රංගනයෙන් 'බඹර කලාපේ' චිත්‍රපටයද තිරගත විය.

1992 මාර්තු මස 27 වන දින තිරගත වූ තවත් ජනප්‍රිය චිත්‍රපටයකි 'රජ දරුවෝ'. මෙහි සනත් ගුණතිලක සමඟ සබීතා පෙරේරා රංගනයෙන් දායක වූ අතර ග්‍රේෂන් ආනන්ද සමඟ කලා ශූරී ලතා වල්පොල පසුබිම් ගායනයෙන් ඒ සඳහා එක් වී ඇත. ඔවුන් ගැයූ 'ලා නීල ආකාසේ' එහි අන්තර්ගත ජනප්‍රිය ගීතයකි.

1992 ජූනි මස 12 වන දින තිරගත වූ තවත් ජනප්‍රිය චිත්‍රපටයකි 'මල්සර දෝණි'. එහි රංගනයෙන් සනත් ගුණතිලක සමඟ ගීතා කුමාරසිංහ දායක වී ඇත. මෙම චිත්‍රපටය සඳහා ජනප්‍රියත්වයට පත් වූ පැරැණි ගීත යොදාගෙන තිබීම විශේෂත්වයකි. එච්. ආර්. ජෝතිපාල විසින් ගායනා කළ'ඔබ නිදන්න - ඔබ නිදන්න' ගීතය ද මෙම චිත්‍රපටය සඳහා යොදාගෙන ඇත.

එලෙසම පැරැණි ගීත යොදාගත් චිත්‍රපටයක් ලෙස 1992 ජූනි මස 19 දින තිරගත වූ 'චණ්ඩි රැජින' නම් කළ හැකි වේ. ඒ සඳහා රංගනයෙන් රන්ජන් රාමනායක, සබීතා පෙරේරා, දමිත් ෆොන්සේකා සමඟ දිල්හානි ඒකනායක දායක වී තිබේ. එච්. ආර්. ජෝතිපාල විසින් ගායනා කළ 'වසන්තයේ මේ ආදරයේ දේදුනු පායා' ගීතය ද එම චිත්‍රපටය සඳහා යොදගෙන තිබේ.

'සිංහ රජා' චිත්‍රපටය තිරගත වූයේ 1992 වසරේ ජුලි මස 29 වන දිනය. එහි ශෂි විජේන්ද්‍රගේ පෙම්වතිය ලෙස වසන්ති චතුරාණි රංගනයෙන් දායක වී තිබේ.

1992 සැප්තැම්බර් මස 25 දින තිරගත වූ තවත් ජනප්‍රිය චිත්‍රපටයකි 'නීතියයි රූමතියයි'. එහි රංගන දායකත්වය සනත් ගුණතිලක සමඟ මාලිනී ෆොන්සේකාගෙනි. පසුබිම් ගායනයෙන් එච්. ආර්. ජෝතිපාලයන් සමඟ කලාශූරී ලතා වල්පොල දායක වී ඇත. ඔවුන් ගැයූ 'පායනාතුරා - හිරු සඳු ගිලී' ගීත ජනප්‍රිය සිනමා ගීතාවලිය නියෝජනය කිරීමට ද සමත් වී ඇත. 'චායා' තිරගත කෙරුණේ 1993 වසරේ ජනවාරි 4 වනදාය. එහි රංගනයෙන් සනත් ගුණතිලක, සබීතා පෙරේරා සමඟ නදිකා ගුණසේකර දායක වූහ.

1993 මාර්තු 05 වන දින තිරගත වූ තවත් ජනප්‍රිය චිත්‍රපටයකි 'ප්‍රතිඥා'. එහි රංගන දායකත්වය රජීව් නානායක්කාර සහ එකල සිනමාවට එක්වූ අලුත්ම පෙම්වතිය දිල්හානි අශෝකමාලා ඒකනායකයි. එච්. ආර්. ජෝතිපාල සමඟ කලාශූරී ලතා වල්පොල විසින් ගැයූ 'මල් සිඟිත්ත මාගේ ගීතය' මෙම චිත්‍රපටයේ අන්තර්ගත වූ ජනප්‍රිය ගීතයකි.

'මැවිලා පෙනේවි රූපේ හදේ' 1993 වසරේ මැයි 21 වන දින තිරගත වූ තවත් චිත්‍රපටයකි. එහි රන්ජන් රාමනායක සමඟ දිල්හානි අශෝකමාලා ඒකනායක රංගනයෙන් දායක වී ඇත. මෙය කැලෑ හඳ චිත්‍රපටයේ නව නිර්මාණය වේ.

'චායා මායා' තිරගත වූයේ 1993 ජූනි මස 25 දිනයි. ඒ සඳහා රංගනයෙන් දායක වූයේ රජීව් නානායක්කාර, දිල්හානි අශෝකමාලා ඒකනායක සමඟ අජිත් ජිනදාසය. 1993 ජූලි මස 16 වන දින තිරගත වූ තවත් අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වූයේ 'සප්ත කන්‍යා' චිත්‍රපටයයි. එහි රංගනයෙන් කමල් අද්දරආරච්චි සමඟ සංගීතා වීරරත්න දායක වූහ. පසුබිම් ගායනයෙන් ගායන ශිල්පිනී දමයන්ති ජයසූරිය සමඟ කමල් අද්දරආරච්චි දායක වූ අතර ඔවුන් ගායනා කළ 'උන්මාද වූ ප්‍රේමාදරේ' ගීතය අතිශය ජනප්‍රිය වූවකි. කමල් සංගීතා අනතුරුව චිත්‍රපට රැසකට දායක විය. 'ලස්සනයි බලන්න' 1993 ඔක්තෝබර් මස 05 වන දින තිරගත වූ තවත් ජනප්‍රිය චිත්‍රපටයකි. ඒ සඳහා රංගනයෙන් ජීවන් කුමාරතුංග සමඟ සංගීතා වීරරත්න දායක වී ඇත. එච්. ආර්. ජෝතිපාල සමඟ ඇන්ජලින් ගුණතිලක විසින් ගායනා කරන ලද 'මල් වැනි සීතල මල් වැස්සේ' ගීතය මෙම චිත්‍රපටය සඳහා යොදාගෙන තිබේ.

එලෙසට එච්. ආර්. ජෝතිපාල විසින් ගායනා කළ 'ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ' යන ගීතය සහ ජෝතිපාල සමඟ ඇන්ජලින් ගුණතිලක ගැයූ 'පහන් තිරය ඇවිලෙන්නේ' යන ගීත නැවත යොදා ගනිමින් 'ළඟින් ගියොත් ඇහැක් නෑ' 1993 නොවැම්බර් මස 12 වන දින තිරගත වන්නේ රන්ජන් රාමනායකගේ සහ ගීතා කුමාරසිංහගේ රංගන දායකත්වයෙනි.

'රජ වංශෙන් එකෙක්' තිරගත වන්නේ 1994 පෙබරවාරි මස 18 දිනයි. ඒ සඳහා රංගනයෙන් රන්ජන් රාමනායක සහ සංගීතා වීරරත්න දායක වූහ.

1994 මාර්තු මස 11 වන දින තිරගත වූ තවත් ජනප්‍රිය චිත්‍රපටයකි 'ජයග්‍රහණය'. එහි රංගනයෙන් දේවින්ද මාක්ස් සමඟ සමෝජා බිබිලේ දායක වී තිබේ. ග්‍රේෂන් ආනන්ද සමඟ කලාශූරී ලතා වල්පොල මෙහි පසුබිම් ගායනයේ නිරත වී තිබෙන අතර 'පිපෙන මලේ සුවඳ දැනේ' එම චිත්‍රපටයේ එන ජනප්‍රිය ගීතයකි. එලෙසම 'සුජාතා' චිත්‍රපටයේ නව නිෂ්පාදනය තිරගත වන්නේ 1994 මැයි මස 6 දිනයි. එහි රංගනයෙන් සනත් ගුණතිලක සමඟ සබීතා පෙරේරා දායක වී තිබේ. එහි එන 'නාරිලතා පුෂ්පේ' ගීතය නව නිෂ්පාදනය වෙනුවෙන් අල්හාජ් මොහිදින් බෙග් විසින් නැවත ගායනා කර තිබීම විශේෂත්වයකි. ඩිලානි අබේවර්ධන හා කමල් අද්දරආරච්චි පැරැණි සුජාතාවේ එන පෙම් රැල්ල නැඟී එන ගීය ගැයුවේය.

'අහස් මාලිගා' තිරයට නැගෙන්නේ 1994 මැයි මස 16 දිනයි. එහි අමරසිරි කලංසූරිය සමඟ ශිරාණි නුගේරා රංගනයෙන් දායක වෙති. කළං හා ශිරාණි අහස් මාලිගා පුවතට ඇතුළත් රැජින චිත්‍රපයේ පෙම් කළහ. රැජින තිලක් ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ අධ්‍යක්ෂණයකි. 1994 සැප්තැම්බර් 16 දින තිරගත වන 'ආත්මා' චිත්‍රපටය තවත් අතිශය ජනපි‍්‍රය වූ චිත්‍රපටයකි. ඒ සඳහා සනත් ගුණතිලක සමඟ සබීතා පෙරේරා රංගනයෙන් දායක වුහ. පසුබිම් ගායනය ග්‍රේෂන් ආනන්ද සමඟ කලශූරි ලතා වල්පොල විසින් සිදුකර ඇත. 'හිම රේණු වැටෙනා සීතලේ' මෙහි එන ජනප්‍රිය ගීතයකි.

'වාසනා වේවා' තිරගත වන්නේ 1995 වසරේ ජනවාරි16 වන දිනයි. එහි සංගීතා වීරරත්න සමඟ දමිත් ෆොන්සේකා රංගනයෙන් දායක වී තිබේ. පසුබිම් ගායනයෙන් එච්. ආර්. ජෝතිපාල සමඟ ඇන්ජලින් ගුණතිලක ඊට දායක වී ඇත. 'ප්‍රේමේ මේ සිහින ලොවේ' චිත්‍රපටයේ එන නැවත යොදාගත් ජනප්‍රිය ගීතයකි.

ජීවන් කුමාරතුංග සමඟ දිල්හානි අශෝකමාලා ඒකනායක ප්‍රධාන භූමිකා නිරූපණය කළ 'එදත් චණ්ඩියා - අදත් චණ්ඩියා' තිරගත වූයේ 1995 වසරේ සැප්තැම්බර් මස 22 වන දිනයි. ඒ සඳහා එච්. ආර්. ජෝතිපාල සමඟ ඇන්ජලින් ගුණතිලක විසින් ගායනා කළ 'සුදු පාට මීදුම් ගලාලා' ගීතය යොදාගෙන තිබේ.

'මන මෝහිනි' තිරගත වන්නේ 1996 අපේ‍්‍රල් මස 5 වන දිනයි. ඒ සඳහා රජීව් නානායක්කාර සමඟ සබීතා පෙරේරා රංගනයෙන් දායක වූහ.

1987 - 1996 දශකයේ තිරගත වූ අවසාන චිත්‍රපටය ලෙස 'මධුරි' හඳුන්වා දිය හැකිය. ඒ සඳහා රංගනයෙන් ප්‍රියංකර පෙරේරා සමඟ දිල්හානි අශෝකමාලා ඒකනායක දායක වී තිබේ. පසුකාලීනව එම නළු නිළි යුවළ විවාහ වීම ද එම චිත්‍රපටයෙන් පසුව සිදු වී ඇති තවත් සුවිශේෂී සිදුවීමකි.

- දිනේෂ් හේවාවිතාරණ