වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




තරුණ පරපුර ආකර්ෂණය වන සිනමාවක් අවශ්‍යයි

තරුණ පරපුර ආකර්ෂණය වන සිනමාවක් අවශ්‍යයි

කාර්ගිල්ස් ආයතනයේ නියෝජ්‍ය සභාපති

රංජිත් පේජ්

මෙවර සරසවිය සිනමා සම්මාන උලෙළට පූර්ණ අනුග්‍රහය දක්වන්නේ කාර්ගිල්ස් ආයතනයයි. එහි සභාපති රංජිත් පේජ් මහතා හමු වූ අප ලේක් හවුස් ආයතනයේ සරසවිය පුවත්පත සහ කාර්ගිල්ස් අනුබද්ධ සිලෝන් තියටර්ස් ආයතනය අතර බැඳීම පිළිබඳවත් දේශීය සිනමාවේ අනාගතය ගැනත් සුහද කතාබහක යෙදුණෙමු.

"මම මේ ලෝකෙට ආවෙත් සිනමා කර්මාන්තය නිසා." පේජ් මහතා සිනාවකින් මුව සරසාගෙන කීවේය. අපි ඒ රස කතාව දැන ගැනීමට උනන්දු වූයෙමු. "සිලෝන් තියටර්ස් චිත්‍රපට බෙදා හැරීමේ පුරෝගාමියා. තාත්තා,අල්බට් පේජ් යාපනෙන් කොළඹ ඇවිත් ආනන්ද විද්‍යාලයෙන් ඉගෙන ගෙන සිලෝන් තියටර්ස් ආයතනයේ ගණකාධිකාරීවරයෙකු ලෙසයි මුලින්ම සේවයට කළේ. පස්සේ සමාගම් ලේකම් වෙලා, එම ආයතනයේ සභාපති බවට පත් වුණා. ඒකයි මම එහෙම කීවේ. තාත්තා‍ගෙන් පස්සේ අය්යා ඇන්තනී පේජ් තමයි මේ කටයුතු කරගෙන ගියේ. මම තුන් වැනියා හැටියටයි මේ රාජකාරි බාර ගත්තේ."

කාර්ගිල්ස් ආයතනයේ සේවය කිරීමට රංජිත් පේජ් තරුණ පුතුට පියාණන් අවස්ථාවක් දුන්නේය. එහි බරපතළකම දැනෙන්නට වූයේ ප්‍රායෝගිකව කටයුතු කරගෙන යද්දීය.

"තාත්තා මට සුපර් මාර්කට් එකක් කරන්න කීවා. බැංකු ණයක් ගත්තත් වැඩේ ටිකක් අමාරු වුණා. සුපිරි වෙළෙඳසැල් කීවාම මම හිතුවේ කොළඹ 3,4,5,7 ගැන විතරයි. අනෙක අපේ සේවක පිරිස කීවේ අපි වැඩ කරන්නේ සඳුදා සිට සිකුරාදා දක්වා උදේ 9 සිට හවස 5 වනතුරු විතරයි කියලා."

පේජ් මහතා මදක් කල්පනා කරයි. "දෛවයේ අපට ලැබෙන අවස්ථාව දෝතින්ම ගන්න ඕනෑ. ඒත් මම ටිකක් ඉක්මන් වුණා වැඩියි. මම තාත්තාගෙන් ඇහුවා මට පුළුවන්ද කාර්ගිල්ස් එකෙන් අයින් වෙලා සිලෝන් තියටර්ස් එකේ චිත්‍රපට නිෂ්පාදන ගැන බලන්න කියලා. තාත්තා අනුමැතිය දුන්නා. දවසක් සිලෝන් තියටර්ස් එකේ සාකච්ඡාවකට සිංහල සිනමාවට සම්බන්ධ කීප දෙනෙකුත් ඇමතිවරු කීපදෙනකුත් සහභාගී වුණා. එක් ඇමතිකෙනෙක් ඇහුවා ෆුඩ් සිටියට සම්බන්ධ කෙනෙකුට මෙහෙ මොනවාද කරන්න තියෙන්නෙ කියලා. ඒක මට උත්තර දෙන්න ටිකක් අමාරු ප්‍රශ්නයක්. ඊට පස්සේ ඔහු කීවා 'මගේ ආසනේ දවස් තුන්සිය හැට පහේම එළවළු පලතුරු හැදෙනවා කැමති නම් ගිහින් බලන්න' කියලා. ඇත්තෙන්ම මම ඒක පිළිගත්තේ 'පික්නික්' එකක් හැටියට. ඒත් ගියාට පස්සෙයි මම දැක්කේ ගොවීන්ගේ දුක් කම්කටොළු. කවුරු හරි දුකින් ඉද්දි අපට සතුටින් ඉන්න බෑ. මම කල්පනා කළා මේ අයට අපේ ආයතනයෙන් සහනයක් දිය හැක්කේ කොහොමද කියලා. අසරණ ගොවීන්ට අපට දෙන්න පුළුවන් අවස්ථාව තමයි අපේ රාක්කවල ඒ අය වෙනුවෙන් ඉඩක් වෙන් කරන එක. එදායින් පස්සේ අපි පස්ස බැලුවේ නෑ. කෑම තිබෙන්නේ ඉස්සරහ අපි ඉස්සරහ බලාගෙන යමු කියන තේමාවට ආවා. හැබැයි කෑමත් එක් තරහ වෙන්න බෑ, කෑම නාස්ති කරන්න බෑ. ඒ කතාව තමයි අද කාර්ගිල්ස් මේ තරම් ඉදිරියට අරන් ගියේ."

අම්මා තාත්තා කියා දුන් බොහෝ දේශානුරාගී අදහස් ද ඔහුගේ සිතේ පැළපදියම් වී ඇත.

"අම්මා තාත්තා කීවේ උපන් රටට සේවයක් කරන්න, අතේ මුදල් තිබෙනවා නම් මේ රටේ යොදවන්න කියලයි. ඉතින් අපි කතා කරකර ඉන්නේ නැතිව රට වෙනුවෙන් වැඩ කරන්න ඕනෑ. මම ශ්‍රී ලාංකිකයෙක් මේ අවස්ථාව මට ලැබුණේ මගේ මාතෘභූමිය නිසා. අපේ ජීවිතවලට අභියෝගයක් වුණු, පාරේ යන්න බැරි කාලයක් තිබුණා. දැන් එහෙම නෑ කියලා අපට නිකම් ඉන්න බෑ. අපි වගබලාගන්න ඕන ආයේ ඒ වගේ දවසක් නොඑන්න. මොකද අපට අද දවස උදාකරදෙන්න බොහෝ දෙනෙක් ජීවිත පරිත්‍යාග කළා."

එකිනෙකට මුහුණලා පවතින ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත සහ ඩී ආර් විජේවර්ධන මාවත නම් කෙරුණේ යුගයේ දැවැන්ත ව්‍යාපාරිකයන් දෙදෙනකු නමිනි. ඔවුන්ගේ ආයතන වු රීගල් සිනමා ශාලාව සහ ලේක් හවුස් ආයතනය පිහිටන්නේද එකිනෙක දෙස බලාගත් වනමය. සරසවිය සිනමා සම්මාන උලෙළට පුරෝගාමී වන්නේ මේ ආයතන දෙකෙහි හිමිකරුවන් දෙදෙනාය. රංජිත් පේජ් මහතා පුනර්ජීවයක් ලබා දෙන්නේ ඒ සබඳතාවයටය.

"අපේ පදනම තමයි සිලෝන් තියටර්ස්. අපි කාලයක් පසු බැස්සේ පැවතුණු සමාජ වටපිටාවේ ව්‍යාකූලත්වය නිසා. ඒ කාලේ තමයි අපි කාර්ගිල්ස් පටන් ගත්තේ. දැන් ආයෙත් පරණ තැනට එන්න අවස්ථාව තිබෙනවා. සරසවිය සිනමා සම්මාන උලෙළ එයට හොඳ රුකුලක්. එදා වගේම අදත් අපි චිත්‍රපට නිෂ්පාදනය කරන්න කැමැතියි. ඒ වගේම අපි කැමතියි අද අපට අහිමි වෙලා තිබෙන ව්‍යවසායකත්වය යළි රටේ ගොඩ නැඟෙනවා නම්. තරුණයන්ට ව්‍යාපාරිකයන් ලෙස නායකත්වය ගෙන රටේ යම් සුබවාදී පෙරළියක් ඇති කළ හැකි පරිසරය සකස් කරන්න ඕනෑ. හැබැයි ඒ අයත් තරයේ මතක තබා ගන්න ඕනෑ මට මේ අවස්ථාව දුන්නේ මගේ රටයි. ඒ නිසා ඉදිරි අවුරුදු කීපයක් අපි රට වෙනුවෙන් වැඩ කළ යුතුයි කියලා."

සිනමා කර්මාන්තය පිළිබඳ ඔහු දරන මතය මෙබන්දකි.

"ප්‍රේක්ෂකයන් රවටන්නේ නැති සිනමා කර්මාන්තයකට පුළුවන් සමාජය විශාල වෙනසකට ගෙන යන්න. ශ්‍රී ලංකාවට දැන් එය අත්‍යාවශ්‍යයි. මිනිසුන් එකට තබා ගැනීමට සිනමාව ඉතා වැදගත්. විනෝදාස්වාදය පවුලටම පොදු වෙන්න ඕන. නැත්නම් පවුලක් එකතු වන්නේ නෑ, එයින් තරුණයන් එකමුතු කරන්න ඕනෑ. ඔවුන්ට එතුළින් ලෝකය දකින්න පුළුවන් වෙන්න ඕනෑ."

සිනමා කර්මාන්තය නැංවීමෙහිලා කාර්ගිල්ස් ආයතනය නව වැඩපිළිවෙළක් සකස් කර ඇත. එය පේජ් මහතාගේ අරමුණ සඵල කරන්නට බොහෝ උපකාර වෙයි. ඔහු සිහින දකින්නෙක් පමණක් නොව ඒ සිහින සැබෑ සැබෑ කිරීම සඳහා ද කැප වන්නෙකි. එහිදී ඔහු සමාජ සංස්කෘතික අංග රැක ගැනීමටද උනන්දු වේ.

"මේ රටේ සිනමා කර්මාන්තය ගොඩ නඟන්න අපේ තරුණ පරපුරට අවශ්‍ය අවස්ථාව, පරිසරය සකසා දීමයි අපේ අරමුණ. මිලියන 21ක් ජනතාව අතර එකිනෙකාගේ දක්ෂතා වෙනස්. ඒ ඒ දක්ෂතා අප හරි විදිහට යෙදෙව්වොත් අපට රට බොහෝ ඉදිරියට ගෙන යන්න පුළුවන්. දෙමව්පියන් අප මේ ලෝකෙට ගේන්නේ රට විනාශ කරන්න නෙවෙයි, යම් දියුණුවකට දායක වෙන්න. ඉතින් අප අලුත් නළු නිළියන්ට, අධ්‍යක්ෂවරුන්ට, නිෂ්පාදකයන්ට තමන්ගේ හැකියාවන් ප්‍රයෝජනයට ගන්න අවස්ථාව දෙන්න ඕනා." ඒ සඳහා ඔහු කල් යල් බලමින් සිටි බව ‍මේ ප්‍රකාශය අපට පැහිදිලි කරයි.

"මේ සැප්තැම්බරයට සිලෝන් තියටර්ස් එකට අවරුදු 90ක් සපිරෙනවා. අතීතයේ අපි චිත්‍රපට කිපයක්ම හැදුවාට සිනමා කර්මාන්තය මඟහැරුණු සමයකුත් තිබුණා. අනුන්ගේ වැරැදි කියන්න කාලය ගත කරන එකේ තේරුමක් නෑ, බෙදා හැරීම රජයට බාර ගත් වෙලාවේ අපි හිතුවේ කර්මාන්තය කඩා වැටෙයි කියලා. ඒත් අපි කර්මාන්තයෙන් ඉවත් වුණේ නෑ. බලාපොරොත්තුවෙන් බලාහිටිය ගමනක් තමයි ආපසු ඇරැඹුවේ.

අපට සංස්තෘතියක්, ඉතිහාසයක් , ඒ හා බැඳුණු වටිනාකම් තිබෙනවා. බටහිර දේවල් වෙනුවට අපේ කම ගන්න නම් ගමේ ළමයින්ට අවස්ථාව දිය යුතුයි. සිනමා කර්මාන්තය නඟා සිටවීම ඉක්මන් කිරීමට පියවර දෙකක් ගත යුතුයි

එකක්, මේ කර්මාන්තයේ අලුත් තාක්ෂණයට ගැළපෙන ශාලා වැඩි වැඩියෙන් හැදෙන්න ඕනා. තරුණයන් ආකාර්ශනය වෙන්නේ එහෙම වුණොත් විතරයි. නැත්නම් අද තරුණ පරම්පරාව රූපවාහිනියෙන් හරි ජංගම දුරකථනයෙන් හරි තමන්ට අවශ්‍ය දෙයක් බලලා ඉන්නවා. ඒ නිසා අපි ඩිජිටල් සිනමා ශාලා ගොඩනඟන්න කටයුතු කළා

දෙවැන්න, චිත්‍රපටයක් නැරඹීමට යෑම 'ෆැමිලි අවුටින් එකක්' වගේ වෙන්න ඕනා. චිත්‍රපටය බලනවාට අමතරව පොඩි කෑමක්, තව කැමති දෙයක් ගන්න පුළුවන් සාප්පු කීපයක් එක්ක මැජස්ටික් සිටියේ අපි කළ අත්හදා බැලීම සාර්ථකයි. එනිසා අපි ගම්පහටත් එකක් හඳුන්වා දුන්නා. යුද්දෙන් පස්සේ ඉස්සෙල්ලාම යාපනයට අපි ගියේ සිනමා මාධ්‍ය ඔස්සේ රසඥතාව වර්ධනයට පරිසරය ගොඩ නඟා ඔවුන්ගේ හිත දිනා ගන්න.

රංජිත් පේජ් මහතා නිරන්තර පැවසුවේ තරුණ පරපුර බල ගැන්වීම පිළිබඳවය. ඔවුන් සිනමාව වැනි කලා මාධ්‍යවලට ආකර්ෂණය කර ගත යුතු ආකාරය පිළිබඳවය.

"සමහරු කියනවා අලුත් පරපුරේ ආකල්ප වැරැදියි කියලා. මම කියන්නේ ආකල්පය තිබෙන්න ඕනේ තමන්ට. තමන්ගේ ආකල්පය අනුවයි අනෙක් කෙනා ගැන තමන් තේරුම් ගන්නෙ. අප තමයි වෙනසක් ඇති කළ යුත්තේ. ඒ සඳහා සිනමාව යොදා ගන්න අප කල්පනා කළේ ඒකයි. අපි කෘෂිකර්මයේ, කිරි ආහාර ක්ෂේත්‍රයේ වෙනසක් ඇති කළා. ව්‍යවසායකත්වයෙත් පොඩි වෙනසක් ඇති කරමින් යනවා. සිනමාවෙන් අප උත්සාහ ගන්නේ සංස්කෘතිකමය වෙනසක් ඇති කරන්න. ඒත් ඒ සඳහා තාක්ෂණය අවශ්‍යයි. නිෂ්පාදකයාවත් අධ්‍යක්ෂවරයාවත් කැමැති චිත්‍රපටය නොවේ ප්‍රේක්ෂක පරපුර ආකර්ෂණය වන ශෛලිය කුමක්ද කියලා අප සිතිය යුතුයි. ආයෝජනයේදී අපට බය වෙන්න බෑ. ඒත් පැහැදිලි අදහසක් තිබිය යුතුයි, අප මේ ආයෝජනය කරන්නේ හුදෙක් අපේ සතුට වෙනුවෙන් ද නැත්නම් පරපුරක් අප වෙත ඇද බැඳ ගැන්ම වෙනුවෙන්ද යන්න පිළිබඳ. සිනමා ක්ෂේත්‍රයේ පාරිභෝගිකයා වන්නේ ප්‍රේක්ෂකයායි. මම ලේක්හවුස් ආයතනයේ සරසවිය සම්මාන උලෙළ පිළිබඳ උනන්දුවෙන් හිටියේත් ඒ නිසයි. සරසවිය උලෙළටත් තරුණ පරපුර ගෙන්වා ගැනීමෙනුයි අපේ ජයග්‍රහණය තහවුරු වන්නේ. ඒකයි වෙනස. ඉදිරි වසර වලදීත් සරසවිය සම්මාන උලෙළට අපේ අනුග්‍රාහකත්වය දෙන්න හිතුවෙත් ඒ නිසයි. "

ඔහු නිර්මාණශීලී, ශූර පරිපාලකයෙකි. අභියෝගවලට අභියෝග කරන නායකත්වයේ ලක්ෂණ ඔහුගේ වචනවල ගැබ් වෙයි.

"අපේ තරුණ දරුවන්ට පාසල්, විශ්වවිද්‍යාල සමය අවසන් කළ පසු නිදහසේ කාලය ගත කරන්න පුළුවන් තැන් තිබෙන්න ඕනෑ. අනෙක් රටවල පොඩි පොඩි 'මෝල්ස්' තිබෙනවා. කොළඹට කොහොම වුණත් ගම්වලට ගැළපෙන්නේ සුළු පරිමාණ 'මෝල්ස්'. අපට ඕන සිලෝන් තියටර්ස්ලට තමයි වැඩිම ශාලා වැඩිම ආසන තිබෙන්නේ කියලා අහන්න. තව අය ඒ දේ කළාට කමක් නෑ. අපි තරගකාරීත්වයට බය නෑ, අපි හැමෝම දැන ගන්න ඕන මේ සියල්ල අපි කරන්නේ අපේ තරුණ පරපුරට කියලා. එදා සහ අද සසඳද්දී අප දකිනවා සංගීතය පවා වෙනස්. අද තිබෙන්නේ ටෙක්නො මියුසික්. ප්‍රේක්ෂක‍යා වෙනස්. ඒ නිසා එදා කළ දේම අද කරන්න බෑ. හැබැයි පරණ දේවල් අමතක කරන්නත් හොඳ නෑ,"

අන්තර්ජාතික මට්ටමේ සිනමා ශාලාවල පහසුකම් දේශීය ප්‍රේක්ෂකයාට ලබා දීම ඔහුගේ ඒකායන අධිෂ්ඨානයයි. ඒ සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති සැකසිය යුතු බව රංජිත් පේජ් මහතා දැඩි සේ අවධාරණය කළේය.

"අන්තර්ජාතික හා දේශීය සිනමා පට වගේම පහසුකම් තිබිය යුත්තේ ප්‍රේක්ෂකයාට ඒ පහසුව දැනෙන මට්ටමට. අපට පුළුවන් සිනමා ශාලා 1000ක් වුණත් හදන්න. ඒත් ඒ සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති සකස් විය යුතුයි. ඒවා ඉදිරිය ඉලක්ක කරගත යුතුයි. අද අපේ රටේ නැත්තෙත් එයයි.

ඒත් ජාතික ප්‍රතිපත්තියක් නෑ කියලා අප අපේ මිනි හෝල් හදන එක නවත්වන්න බෑ. අපි එය කළේ ප්‍රේක්ෂයන් වෙනුවෙන්. අප දන්නවා අප කරන්නේ හරි දේ. හැබැයි නීති දේශීය විදේශීය සැම දෙනාටම පොදු විය යුතුයි. පොදු වේදිකාවක කා එක්ක තරග වැදුණත් අපි බය නෑ. අපි පොඩි රටක් නිසා අප ගැන විතරක් හිතුවොත් මේ රට කවදාවත් ඉදිරියට ගෙන යන්න බෑ. හොඳ ඩිජිටල් ශාලා දෙකක් සමඟ නාට්‍ය ආදිය නැරඹීය හැකි සියලු කලාවන්ට පොදු මධ්‍යස්ථානයක් තිබිය යුතු බවත් අපි හිතලා තිබෙන්නේ."

මේ සියලු බැරෑරුම් කරුණු අතරින් පතර හාස්‍යය, උපහාසය මතු කර සිත සැහැල්ලුවෙන් තබා ගැනීමටද ඔහු සමත් වෙයි. අපට සිනාවක් දීමට ඔහු මෙසේද කියයි.

තාත්තගේ සීයාගේ කාලේ මිෂනාරීන් ඇවිත් පවුලේ අය ආගමට හැරෙව්වා. ඒ වෙලාවේ ඔවුන් ඒ සීයාට නම් දෙකක් දීලා තිබෙනවා කැමති එකක් තෝරා ගන්න. එකක් පෙජ්(ර්‍ථචඨඥ) අනෙක පුවර්(ර්‍ථධධප). හොඳ වෙලාවට සීයා තෝරාගෙන තිබුණේ පේජ්."

රංජිත් පේජ් මහතා මෙතරම් බැරෑරුම් වගකීම් රැසක් මැද සැහැල්ලු සිතින් සතුටින් සිටීමේ රහස අපට අවබෝධ විය. ඒ යථාර්ථවාදී ජීවන දර්ශනය ඔහුගේ ප්‍රතිපත්තිය ලෙස පිළිපැදීම නිසාය.

"වෙනස් දෙයක් කරන්න, අභියෝග බාර ගන්න බිය විය යුතු නෑ. නිදහස් චතුරශ්‍රයේ අපි ශාලා දෙකක් හැදුවා.එහි තිබුණේ ලී පොළවක්. ඒත් අපි බෑ කීවේ නෑ. වැරදුණොත් අපට ඒ වැරැද්දෙන් යමක් ඉගෙන ගන්න පුළුවන්. අපට ජීවත් වෙන්න තිබෙන්නේ කුඩා කාලයයි. එනිසා කිසි දෙයක් සදාකාලිකව අයිතිකර ගෙන ඉන්න බෑ. මේ ලෝකේ කිසිම දෙයක් අපට අයිති නෑ. අප දැනගන්න අත්‍යාවශ්‍යම දේ තමයි අපට මේ සියල්ල අල්ලාගෙන යා හැකි කාලසීමාවක් තිබෙනවා . ඊට පස්සේ අලුත් පරම්පරාවට අප මෙය බාර දිය යුතුයි. අපේ සිහිනයත් එයයි."