වර්ෂ 2018 ක්වූ  ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




තැන එතැන

තැන එතැන

ඉකුත් දිනයකදී ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම චිත්‍රපටය වූ ‘ඝරසරප’ හි විශේෂ දර්ශනයක් පැවැත්වුණා. ඇත්තටම එය ඉතාම ආකර්ෂණීය සිනමා සිතුවමක්. මේ කියන්න හදන කතා ද්විත්වය එම චිත්‍රපටයට සම්බන්ධයි. ඝරසරප චිත්‍රපටයේ එක් ප්‍රධාන දර්ශන තලයක් වන්නේ පෞරාණික කතෝලික පල්ලියක්. එහෙම තැනක් සොයා ජයන්ත රට පීරමින් ඇවිදලා තියෙනවා. එහෙත් චිත්‍රපටයට සුදුසු හිතේ ඇඳුන වගේ තැනක් හමු වුණේම නැතිලු.

ඔය අතර දිනයක රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස්ට මග්ගොන පල්ලියේ කමිටුවකින් කතා කරලා ළමයින් වෙනුවෙන් දෙසුම් මාලාවකට. ඊට මුදල් ගෙවන්නට හැදුවත් ළමයින්ගේ වැඩක් නිසා ඔහු මුදල් ගැන තැකීමක් නොකොට ආරාධනාව බාර අරගෙන කියපු දවසෙ කියපු තැනට ගියාට එතැන කවුරුවත්ම නැතිලු. කුතුහලයකින් යුතුව ශ්‍රියන්ත මග්ගොන පල්ලියේ අවට ඇවිදමින් බැලුවලු තමන්ට ආරාධනා කළ අයෙක් ඉන්නවද කියලා. ඔය අතරේ ඔහුට එක පාරටම දෙයක් මතක් වුණා.

ඒ ජයන්ත ඝරසරප සඳහා හොයන්නේ මේ වගේම දර්ශන තලයක් කියන කාරණය. එවලෙම ගත්තලු ජයන්තට ඇමතුමක්. පල්ලිය ගැන විස්තර කිව්වලු. ජයන්ත නොබෝ දිනකින් එතැනට ඇවිත් වටපිට බැලුවලු. හරියටම හරි. මෙතැන තමයි තැන කියලා ඝරසරප රූ ගත කරන්න පල්ලිය ගත්තලු. ශ්‍රියන්ත එහෙමයි ජයන්තට සහාය වුණේ.