වර්ෂ 2018 ක්වූ  ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




ජැක්සන්ට ලැබුණු ලොකුම උපන්දින තෑග්ග

ජැක්සන්ට ලැබුණු ලොකුම උපන්දින තෑග්ග

1983 වසරේ තරුණ කොලු ගැටයකු වේදිකා නාට්‍යයක තිර පරීක්ෂණයකට පෙනී සිටියේය. ජීවිතයේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගත් ආ ගමනේ රෝහණ බැද්දගේ ශූරීන් ඉදිරිපිට පෙනී සිටින්නේ ආශාවන් ගොන්නක් තුරුලු කරගෙනය. එදා ගමනින් දයානන්ද ගුණවර්ධනගේ මධුර ජවනිකා නාට්‍යයට තේරී පත්වීමට ඉඩ සැලසුණි. රංගධර ජැක්සන් ඇන්තනීට එදා ඇරඹි ගමනට අදට වසර 35 කි. මේ වනවිට නාට්‍යය වේදිකා ගතකළ වාර ගණන 5000 කට ආසන්නය.

මේ ප්‍රවීණ රංගධරයාට තම ගුරුවරුන්ට හිතමිතුරන්ට හා කලා ක්ෂේත්‍රයේ සියලු දෙනාට එය ප්‍රදර්ශනය කර පෙන්වීමට ජීවිතයේ ලොකු ආශාවක් තිබුණි. එම සතුට ඔහු වෙත පසු ගිය දින උදාවිය. ඒ ජැක්සන් ගේ උපන් දින තෑග්ගක් ලෙසටයි. එදා මෙදා තුර ඔහු ලැබූ ලොකුම උපන්දින තෑග්ග වූයේද ටවර් රඟහලේදී මධුර ජවනිකා වේදිකා ගතවීමය. කලාකරුවකු ජීවත්ව සිටියදී විශාලතම ප්‍රසාද තෑග්ගක් ලැබූ ජැක්සන් ඇන්තනියන්ට වීම නොරහසකි. එදා ඔහු සිතුපැතූ දෙය ඒ අයුරින්ම ඉටුවිය. එය ඉටුකිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ දිනුෂා රාජපතිරණ ඇතුළු සියලු දෙනාට ඔහු සුබ පැතුවේ වේදිකාව සිපගෙන වැඳ නමස්කාර කරමින්ය. මේ ඔහුට ලැබුණු උපන්දින තෑග්ගේ විශේෂ සටහන් කිහිපයකි.