වර්ෂ 2018 ක්වූ  ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




නිශ්ශංක රෑ මල්ල

 

ගුරුතුමනි අපට යන කල

පසුගිය ඉරුදින ටවර්හෝල් රඟහලේ අපූරු උපන් දිනයක් සිදුවිණි. ඒ ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනිගේ උපන් දින සැමරුමයි. ජැක්සන් පුදුමයට පත් කරවන නොසිතූ උපන් දින සැමරුමකි මෙය. ගෝල බාලයන්, එක බත් පත එකට අනා කෑ, වල බැහැපු උන් සහ තම හිතමිතුරන් මෙන්ම තමා සිප් සතර හදාල ගුරුවරුන් ද මේ සුභපැතුමට අඩුවක් නොවීය. මෙහිදී ජැක්සන් නිළි රැජින මාලිනී තමාට සුභ පතන්නට ආ මොහොතේ කේක් කපා කේක් කෑල්ලක් කැවීමට අමතක නොකළේය. එය දුටු මහාචාර්ය ජේ. බී. දිසානායක ගුරුතුමාණන් තම ජංගම දුරකථනයේ කැමරාව ක්‍රියාත්මක කළේ විදුලි වේගයෙනි. කවුරුත් අමන්දානන්දයට පත් කළ මේ මොහොත තමාට සමරු සටහනක් තබා ගන්නට ජේ. බී. සර් අමතක නොකළ අයුරු මගේ තුන් වැනි ඇස රැඳුනේය. ජේ.බී සර් කැමරාව ගත්තොත් අපට යන කල.?

තිදෙනකු වශී වූ සිනහව

කලකට පසු සහෝදරවරුන් දෙදනකුª හමු විය. ඒ හමුවීමට තවත් තිදෙනකු ද එකතු විය. බේරේ වැවේ පාවෙන බෝට්ටුවේ මේ හමුවීම සිදුවීම ද විශේෂයකි. සිනමාවේ සුපිරි තරුව ඒ රන්ජන් රාමනායකය. ජීවන් කුමාරතුංග, සුනිල් ටී. ප්‍රනාන්දු වට කරගත් සුරූපී ලලනාවන් දෙදෙනෙකු වන චතුරි සහ සනාරා අපූරු ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි මේ...

මේ උතුම් කටයුත්ත තව පාරක්

විශිෂ්ට සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ නෙතට එදා වැල්ලවත්ත සෆායාර් හෝටලයේදී කඳුළක් නැඟුණි. ඒ ප්‍රවීණයන්ගේ අගය නොදන්නේ යැයි පැවසෙන නව පරපුරේ තරුණ නිළියක් වන උදාරි වර්ණකුලසූරිය මේ මහා සිනමාකරුවට දෑත් එක්කර පිය සෙනෙහසින් මෙන් වැඳ නමස්කාර කිරීම නිසාය. ‘දෙවන යුද්ධයට’ සම්බන්ධ සියලු කලාකරුවන් පසෙක සිටියත් ඇයගේ ක්‍රියාව සියලු දෙනා අගය කළේය.

රිසි තැන රිසි දේ

අප හමුවන සෑම තත්ත්පරයක් පාසාම කතා කරන්නේ අනාගත කලාවේ ප්‍රගමනය ගැනයි. එවන් දෙදෙනකු හමු වන්නේ ද කලාතුරකිනි. තනුජා ජයවර්ධනත්, වීණා ජයකොඩිත් ළෙන්ගතුය. නව මං සොයා යන ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය ලෝකයේ එක පුරුකකි තනුජා. ඇය මේ කතා කරන්නේ ඇයගේ නවතම ගමන් මඟ ගැනයි. ඒ නව ගමන් මඟට අත්වැලක් හා තොරතුරු සම්භාරයක් එකතු කරන්නට එදින රංගනවේදිනි වීණා ජයකොඩි ඇයට සමීප වූ අයුරු දක්වන සුන්දර දසුනකි මේ.

රුපියල වෙනස් වුවද යාළුකම එලෙසමයි

ශත පනහෙන් පටන් ගත් ලොතරැයිය අද රුපියල් විස්ස වී ඇත. එදා තෑගි බෙදන්නට කියන්නට පුංචි තිරයේ සිටි දෙදෙනෙක් තරුණ දිවියේ රසමුසු තැන් කතා කරන්නට මේ උදා වූ නිමේශය යොදා ගත්හ. චූටි කෙල්ලො දෙන්නා අදත් පෙරදා මෙන් නොවෙනස්ව ගෙවන මිතුදම අගනේය. මේ නිල්මිණි සිගේරා සහ රේණුකා බාලසූරියයි. ඒ සුන්දර මොහොත මගේ කාචයට හසු වූ අයුරු.

දැවී ගිය තාත්තා යළිත් ඇවිත්

තාත්තා එනතුරු මල්ලිලා නංගිලා බලා හිඳිති. ලොකු අක්කා ඒ සියලු වේදනාවන් මව සමඟ දරාගෙන ජීවිතයට මුහුණ දෙයි. තාත්තා මැරුවත් අධිෂ්ඨානය සරල රේඛාවකි. නොබිඳෙන විශ්වාසය ඇයව ජීවත් කරන්නේ තම පවුල රකින්නටය. මේ නොඑනා ගමන් ගිය සංජීව දිසානායක තාත්තා පසුගිය දින රීගල් සිනමා ශාලාවේදී ලොකු දුව සමනලී වැලඳගත් මොහොතයි මේ. සියොත් රාව රැව් පිළිරැව් දෙයි... දැවෙන විහඟුන් මේ කතා කරන්නේ තාත්තා සමඟයි.