වර්ෂ 2018 ක්වූ  ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




කඳුල නිවන්නම් - සිත නොරිදනවා නම්

කඳුල නිවන්නම් - සිත නොරිදනවා නම්

PRIYANI JAYASINGHA

මරා දැමුවේ ඇයි?

ඉකුත් අටවෙනිදා සවස් යාමයේ මලහිරු බැසගියේ තවත් නවමු දිනයක දහසකුත් බලාපොරොත්තු පොදිබැදගෙනය. හිරු බැස යාමත් සමඟ පරිසරය අන්ධකාරයෙන් වෙලාගත් ඒ සැඳෑ රාත්‍රියේ ජනමාධ්‍ය ඔස්සේ අසන්නට ලැබුණේ ප්‍රියානි ජයසිංහ නම් වූ ශ්‍රී ලාංකේය ජනප්‍රිය ගායිකාවගේ මරණය පිළිබඳ ආරංචියයි. රසික සිත් අමන්දානන්දයට පත්කරමින් කඳුල නිවන්නම් සිත නොරිදනවා නම්... සුන්දර හදකට දී පෙම් වරම්.... ගී තුළින් අතිශයින් ජනාදරයට පත් ප්‍රියානි මිය යනවිට 51 වැනි වියේ පසුවූවාය. කුඩා අරුක්ගොඩ, අළුබෝගහලන්ද පානදුර ලිපිනයේ පිහිටි ඇගේ නිවසේදීම ප්‍රියානිගේ දිවි තොරකර තිබුණේ ඇයට කතුරු තලයකින් ඇණ සිදුකළ මාරාන්තික තුවාල හේතුවෙනි. පුතුන් දෙදෙනෙකුගේ මවකවන ප්‍රියානි ජීවත්වී සිටියේ තම බාල පුතු ලෝචන නිමුන් ඊටන් ළඟයි. වැඩිමල් පුතු විදේශගතව අධ්‍යාපන කටයුතුවල නියැලෙමින් සිටින මොහොතකය.
ප්‍රියානි,වසන්ති,කමල්,ජගත් හා වැඩිමල් පුතු ලෝසිත පොඩි පුතු ලෝචන සමඟ

සිද්ධිය වන අවස්ථාවේ තම පුතු අසල කඩයකට ගොස් ඇත්තේ නිවෙසට අවශ්‍ය බඩුබාහිරාදිය රැගෙන ඒමටය. ඒ අතරේ නිවසේ සිට ඇත්තේ බාල පුතු ලෝචනගේ බිරිය රෂිනි තක්ෂිලා හා ඇගේ තෙමස් වයසැති සිඟිති දියණිය පමණි. රෂිනි සාලයේ රූපවාහිනිය නරඹමින් සිටි අතරේ අසල කාමරයේ ප්‍රියානි තෙමස් බිළිඳිය ඇකයේ හොවාගෙන නලවමින් සිට ඇත. ඒ අතරේ ගෙට ඇතුළුවූ මිනීමරුවා (දැනට සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත) කතුරු තලයකින් ඇයට මාරාන්තික තුවාල අටක් පමණ සිදුකර ඇයගේ ජීවිතය තොරකොට පලාගොස් තිබුණි.

පානදුර අතිරේක මහේස්ත්‍රාත් සුනිතා ප්‍රනාන්දු මහත්මිය ගායිකා පි‍්‍රයානිගේ නිවෙසට හා රෝහලට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් හා මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත් වු අතර එහිදී ගායන ශිල්පිනීයගේ පුතුනුවන් වන ලෝචන නිමුන් ඊටන් මහතා හා ලේලිය රෂිනි තක්ෂිලා මහත්මිය මහේස්ත්‍රාත්තුමිය ඉදිරියේ සාක්ෂි ඉදිරිපත් කළේ මෙසේය.

“පානදුර කුඩාඅරුක්ගොඩ අලුත්බෝගහවත්ත ප්‍රදේශයේ නිවස තුළ ජනපි‍්‍රය ගායන ශිල්පිනි පි‍්‍රයානි ජයසිංහ (51) හා ඇයගේ සැමියා අතර රාත්‍රී සිදුවී ඇතැයි කියන බහින් බස් වීමකින් අනතුරුව කතුරකින් අටපොළකට ඇනීමෙන් නිවස තුළ දී බරපතළ තුවාල

වැඩිමල් පුතු ලෝසිත සමඟ

ලැබූ ඇය පානදුර මුලික රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යෑමේදී මියගොස් ඇත. පි‍්‍රයානි මහත්මියගේ ලේලිය වන රෂිනි තක්ෂිලා ෆොන්සේකා මහත්මිය හැඬු කඳුළින් මෙසේ පැවසුවාය.

මම සාලයේ ටී.වී. එක බල බලා ඉන්න කොට කාමරයෙන් එක පාරටම කෑගැහිල්ලක් ඇහුණා. “අනේ රෂිනි මාව බේරගන්න කියලා” ඒ සමඟම මම දුවලා ගිහින් ඉස්සරහ ගෙදර ඇන්ටිට කියලා ගෙදර එනකොට අම්මා ඇඳ උඩ ලේ විලක් මැද වැටිලා හිටියා.

එදා (08) වැනිදා රාත්‍රී හතයි තිහත් - අටත් අතර පමණ ඇති අම්මයි තාත්තයි කථා කර කර හිටියා. මගේ මහත්තයා කඩේට ගියා. මම සාලයේ ටී.වී. බල බලා හිටියේ. අපිට ඉන්න එකම දරුවා වන මාස තුනක් වයස දරුවා අම්මා සමඟ කාමරයේ ඇඳේ හිටියේ.

එක පාරටම මට ඇහුණා අනේ රෂිනි මාව බේරගන්න කියලා අම්මා හයියෙන් කෑ ගැහුවා. ඒ සමඟම මම ඇන්ටිලාගේ ගෙදරට දුවගෙන ගියා. අම්මා මට කියලා තිබුණේ මොකක් හරි වුණොත් එයාලට කියන්න කියලා. මම මහත්තයාටත් කෝල් කරලා කිව්වා.

මම ආයේ ගෙදර එනකොට මහත්තයා ඇවිල්ලා හිටියා. මම කාමරයට ගිහින් බලන විට අම්මා ඇඳ උඩ ලේ විලක් මැද හිටියා. කතුරක් ඒ අසල වැටිලා තිබුණා. කවුරුත් ගෙදර හිටියේ නැහැ. මහත්තයා අම්මාව ගේ ඉස්සරහට අරගෙන ආවත් තනියම ගෙනියන්න බැහැ. පස්සේ එහා පැත්තේ ගෙදර අන්කල් කෙනෙක් ඇවිත් උදව් කළා.

මම විවාහ වී ආවාට පස්සේ මේ වගේ ප්‍රශ්න වෙනවා දැකලා නැහැ. නමුත් මහත්තයා මට කියලා තිබුණේ අම්මයි තාත්තයි අතර ප්‍රශ්න කියලා. ඒ වගේම අම්මත් කියලා තිබුණේ බැන්ද දවසේ ඉඳලා ප්‍රශ්න තමයි කියලා.

ඝාතනයට ලක් වූ ගායන ශිල්පිනියගේ පුතු වන ලෝචන නිමුන් ඊටන් මහතා මෙසේ පැවසීය.

මම කඩේට ගිහින් විනාඩි හතර පහකට පස්සේ වයිෆ් කෝල් කරලා කිව්වා තාත්තා අම්මට ගහනවා කියලා. විනාඩි දෙක තුනක් යන විට මම ගෙදර ආවා.

මම අම්මා ඉන්න කාමරයට ගිහින් බලන විට අම්මා ලේ පෙරාගෙන ඉන්නවා දැක්කා. තාත්තා පේන්න හිටියේ නැහැ. මම අම්මාව උස්සගෙන ගේ ඉස්සරහට ගිහින් උදවු ඉල්ලා කෑ ගැහුවා. වාහනයක දාලා පානදුර, රෝහලට අරගෙන යන විට අම්මා නැති වුණා.

තමාට ආවේණික ගායන හඬ ලයාන්විත ලෙසින් ගොනුකරගත් ප්‍රියානි කවදත් සෙමින් ගමනක් ගිය ගායිකාවක් වූවාය. අත්තනමල්... දීපංකරේ කොයි.... අලුත් සඳ ඇවිත්.... අතීතයේ හමුවෙලා.... ගිමන් නිවන ගමන් සිසිල.... සදසාවිට... මට හිතාගන්න බෑ... ආදී ගී රැසක් ගායනා කරමින් රසික හදවත් ස්පර්ශ කළ ප්‍රියානි සුන්දර හදකට දී පෙම් වරම් නමින් සංයුක්ත තැටියක්ද එළිදැක්වූවාය. අශෝක කෝවිලගේ නම් වූ සොඳුරු ගීත රචකයාගේ මෙන්ම තනු නිර්මාපකයාගේ සොඳුරු ගී ඔස්සේ රසික ගී හදවත් ඇද බැඳගත් ප්‍රියානි කඳුල නිවන්නම් සිත නොරිදනවා නම් කියමින් අපව අමන්දානන්දයට පත් කළද ඈ අද අප අතහැර ගොසිනි.

ප්‍රියානි ඔබට නිවන් සුව...