වර්ෂ 2018 ක්වූ  ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




හැමදේම සිල්ලරට යටවෙලා

හැමදේම සිල්ලරට යටවෙලා

නම - සිතාරා කළුඅරච්චි.

වෘත්තීය - නිවේදනය සහ වැඩසටහන් නිෂ්පාදනය.

සේවය කරන නාළිකාව - ස්වාධීන රූපවාහිනිය.

මාධ්‍ය ජීවිතයට - අවුරුදු 13.

නිෂ්පාදනය කරන වැඩසටහන්

සිනෙරූ, සිනෙ සිකුරාදා සහ සඳුදා උදෙන්ම අයි. ටී. එන්. (මේවා අතරින් සිනෙරූ සහ සිනෙ සිකුරාදා නිවේදිකාවද ඇයයි.)

සිතාරා ගැන යම් යම් තොරතුරු ඔබ මේ වන විට දන්නා නමුදු සම්ප්‍රදායට ගරු කරමින් එලෙස නැවතත් අපි ඔබට ඇයව හඳුන්වා දුන්නෙමු.

ආයුබෝවන් සිතාරා . . .

ඔබටත් එලෙසම ප්‍රාර්ථනා කරනවා

වසර දහතුනම ගෙවුණේ අයි. ටී එන්. එකේද?

නැහැ. මං සිටි ගුවන් විදුලියේ වසර පහක් පමණ හිටියා. ඒ අතරතුරදී ස්වාධීන රූපවාහිනියටත් ආවා ගියා. මේ දෙකේ මං වැඩ කළේ නිදහස් මාධ්‍යවේදිනියක විදිහට. ස්ථිර පත්වීම ලැබුණේ ස්වාධීන රූපවාහිනියෙන්.

නිවේදිකාවක් නොවුණා නම්?

නීතිඥවරියක හෝ ඉංග්‍රීසි ගුරුවරියක වේවි.

පාර්ට් ටයිම් නීතිය හදාරන්න තිබුණා නොවෙද?

මං ආස නැහැ එහෙන් මෙහෙන් දේවල් කරන්න. දෙයක් ඉගෙන ගන්නවා නම් ඒ වෙනුවෙන්ම කැප වෙලා ඉන්න ඕනෑ.

නිවේදිකාවක විදිහට ඔබ මුහුණ දුන් අසීරුතම අවස්ථාව මොකක්ද?

මෙන්න මේකයි කියලා විශේෂ අවස්ථාවක් කියන්න අපහසුයි. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. මට අලුතින් වැඩ සටහනක් කරද්දී පොඩි රිස්ක්

එකක් තිියෙනාව කියලා දැනෙනවා. ඇතැම් විට ඒක පොදු කාරණයක් වෙන්න පුළුවනි. විශේෂයෙන් වැඩ සටහන් නිෂ්පාදනය කරද්දී මට ඒ දේ දැනෙනවා.

ඔබේ කටහඬ ලස්සනයි කියලා වැඩිපුරම වර්ණනා කරන්නේ කවුද?

කවුරුවත් මේවනකම් කියලා නැහැ මගේ වොයිස් එක ලස්සනයි කියලා. ඒ වගේම වර්ණනා කරලත් නැහැ. මමත් හිතනවා මට තියෙන්නෙත් එහෙම වර්ණනා කළ හැකි හඬක් නෙවෙයි කියලා.

මාධ්‍ය ලෝකයට එන්න හීනයක් තිබුණාද?

මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න ඕන කියලා කිසිදු බලාපොරොත්තුවකින් හිටිය කෙනෙක් නෙවෙයි මම. නමුත් මට සබඳකම් ගොඩ නැඟුණේ මේ කෂේත්‍රයේම අයත් එක්ක. නොදැනුවත්වම ඒ ඔස්සේ මාව මෙතුළටම තල්ලු වුණා. ඒ හින්දා මං මේ කරන වෘත්තීය මගේ බලාපොරොත්තුවක මල්ඵල ගැනීමක් නෙවෙයි.

මාධ්‍ය ක්ෂේත්‍රයේ ඔබ දකින අඩුපාඩු මොනවාද?

ඕනෑම ක්ෂේත්‍රයක අඩුපාඩු තියෙනවා. ඒක සාමාන්‍යයි. මාධ්‍ය ක්ෂේත්‍රය තුළ මං දකින දෙයක් තමයි වෘත්තීමය වශයෙන් යම් පහළකට ඇද වැටීමක් තියෙනවා කියන එක. මං ඒකට කාටවත් ඇඟිල්ල දිගු කරන්නේ නැහැ. දක්ෂයෝ ඉන්නවා. ඒත් ඔවුනට ඉදිරිපත් කරන්න වැඩ සටහන් නැත්නම් ඔවුන්ගේ දක්ෂකම එළි දක්වන්න බැහැනෙ. හැමදේම සිල්ලරට යට වෙලා කියලා හිතනවා.

මාධ්‍ය ක්ෂේත්‍රයේ වගකිවයුතු තනතුරක් ලැබුණොත් ඔබ මුලින්ම ගන්න පියවර කුමක්ද?

මාධ්‍ය ක්ෂේත්‍රයට නියාමනයක් හදනවා. ඒක තමයි මුලින්ම කරන්නේ.

ඔබ ආඩම්බරකාර චරිතයක් කියලා ඇතැම් අය කියනවා?

ඔය කතාව කියන බහුතරයක් මාව ඇසුරු කරන අය නෙවෙයි. මගේ සමීපතමයන් දන්නවා මං කවුද කියන එක. මං මිතුරන් එක්ක හරි සුහදයි. නොදන්න අය එක්ක කතාබහ කරනවා අඩුයි. ඒ මගේ හැටි.

සිතාරාගේ ජීවිතයේ වඩාත් කම්පනයට පත් වූ සිදුවීම මොකක්ද?

ගිය වසරේ මං රිය අනතුරකට මුහුණ දුන්නා. ඒක තමයි මාව වඩාත් කම්පනයට පත් කළ සිදු වීම.

ෆේස්බුක් වගේ සෝෂල් මීඩියා ගැන ඔබ දරන්නේ මොන වගේ මතයක්ද?

මං ෆේස්බුක් යනවා හරි අඩුයි. නමුත් ගිණුමක් තියෙනවා. ඕවාවල තියෙන්නේ වැඩිපුරම හොඳ දේවල් නෙවෙයිනෙ.

කෙටි චිත්‍රපටකරුවන් වෙනුවෙන් ඔබගේ මූලිකත්වයෙන් ස්වාධීන රූපවාහිනිය හරහා අලුත් කර්තව්‍යයක් කරන්න සූදානම් වෙනවා කියලා ආරංචියි. ඒ ගැන විස්තරයක් කිව්වොත්?

එහි නම ඩිජිකොන් සික්ස් ශ්‍රී ලංකා. කෙටි චිත්‍රපටකරුවන් ජාත්‍යන්තරයට රැගෙන යාම සහ ඔවුන්ගේ නිර්මාණ එළි දැක්වීමයි එහි අරමුණ. තව නොබෝ දිනකින් එය කි‍්‍රයාත්මක වේවි.

සිතාරාගේ පවුල් විස්තර සඳහන් කළොත්?

මගේ මහත්තයා නිශ්ශංක මුතුනායක. මට වයස අවුරුදු හතරාහමාරක පුතෙක් ඉන්නවා. ඔහු ධනුධර රාවණ මුතුනායක.

මොනවද ඉදිරි බලාපොරොත්තු?

ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීම සහ හොඳ ව්‍යවසායිකාවක් වීම.