වර්ෂ 2018 ක්වූ  ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




විශිෂ්ට මාධ්‍ය සංස්කෘතියක් උදෙසා ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළක්

විශිෂ්ට මාධ්‍ය සංස්කෘතියක් උදෙසා ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළක්

විශිෂ්ට මාධ්‍ය සංස්කෘතියක් රටතුළ ස්ථාපිත කිරීම උදෙසා මාධ්‍යවේදීන් සිදුකරනු ලබන මෙහෙවර සහ ඔවුනගේ ගුණාත්මක දායකත්වය ඇගයුම උදෙසා ජනාධිපති මාධ්‍ය සම්මාන නමින් උලෙළක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් ආරම්භකොට තිබේ. එවන් වූ උලෙළක් මෙරට පැවැත්වනුයේ ප්‍රථම වතාවටවීම විශේෂත්වයකි. රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත්, වෙබ් ඇතුළු සියලු ජනමාධ්‍යයන් අවරණය කරමින් එකී උලෙළේ සම්මානයන් නිර්දේශ කරනු ඇත. ඒවාහි සේවයකරන ජනමාධ්‍යවේදීන් මෙහිදී ඇගයුමට ලක්කරමින් සම්මාන 54 ඒ වෙනුවෙන් වෙන්කොට තිබේ. විශේෂ ජූරි හතරකින් මාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් තෝරනු ඇත. එයට අමතරව දැනට ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙන් විශ්‍රාම ලබමින් සිටින විශිෂ්ට මාධ්‍යවේදීන් සිවුදෙනෙකු අගයමින් ජීවිතයට එකවරක් පමණක් පිරිනැමෙන සම්මානයක් ලබා දෙනු ඇත. මෙම වසරේ දෙසැම්බර් මාසයේදී ප්‍රථම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වේ. මේ පිළිබඳ වැඩි විස්තර ඹඹඹ.ථඥඤඪච.ඨධම.තඬ යන වෙබ් පිටුවෙන් ලබාගත හැකි අතර සම්මාන සඳහා අයැදුම්කිරීමද එම වෙබ් පිටුව හරහා සිදුකළ හැකිය.


සංස්ථා ඒකාධිකාරයට එරෙහිව බෙදාහරින්නෝ එකමුතු වෙති

චිත්‍රපට සංස්ථා ඒකාධිකාරයෙන් සිනමා කර්මාන්තය බේරා ගැනීමේ එකතුව පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ ජාතික චිත්‍රපට සංස්ථාව හදිසියේ චිත්‍රපට බෙදා හැරීම තමන්ගේ අධිකාරීත්වය යටතට ගැනීම නිසා විශාල අපහසුතාවකට තමන් මෙන්ම සිනමා කර්මාන්තයේ නියැළෙන වෘත්තිකයන් පත්ව ඇති බවයි.

මෙහිදී අදහස් දැක්වූ විමලදාස මහතා පැවසුවේ ජාතික චිත්‍රපට සංස්ථාව අකාර්යක්ෂම බව පවසමින් සිනමා ශාලා 84ක් ලිඛිතව තම සංගමය වෙත දැනුම් දී ඇති බවයි. 2001දී පෞද්ගලික අංශය වෙත චිත්‍රපට බෙදා හැරීම පවරන විට ශාලා 50ක් සංස්ථාවටද 173ක් පෞද්ගලික අංශය සතුව ද තිබුණු බවද, ත්‍රස්තවාදය වැනි විවිධ හේතු නිසා ශාලා කීපයක් වැසී ගියද ඒ බවට චෝදනා කරන සංස්ථාව අලුතින් ශාලා ගොඩ නැඟීමට පියවර නොගත් බවද පැවසූ විමලදාස මහතා අසීමිත ලෙස ණය ලබා දීම නිසා 1977 දී මාස හයකට සීමා වූ සිනමා ප්‍රදර්ශන පෝලිම 1996 වන විට අවරුදු 5ක් දක්වා වැඩි වූ බවද හෙළි කළේය.

මෙහිදී අදහස් දැක්වූ නාලක විතානගේ මහතා පෙන්වා දුන්නේ පෞද්ගලික අංශයේ යම් අඩුපාඩුවක් වෙතොත් එයට පිළියම් සොයාගෙන සංස්ථාවේද වැරැදි නිවැරැදි කරගෙන පොදු ගමනක් යායුතු කාලය එලඹ ඇති බවය. විදේශ සිනමාකරුවන් අප රටේ වැනි තත්ත්වයකට පත් නොවන්නේ ඒ රටටවල සිනමාව පිළිබඳ ගන්නා තීරණ රාජ්‍ය කේන්ද්‍රීය නොවීම සහ මීට වඩා නිදහස් ලෙස පැවතීම නිසා බවද ඔහු පෙන්වා දුන්නේය. පෞද්ගලික අංශය පොලී රහිත ණය ලබා දීම ඇගයූ ඔහු තමතමන්ගේ කොටස පිළිබඳ නොසිතා සමස්ත සිනමා කර්මාන්තය වෙනුවෙන් පැත්ත ගන්නා ලෙස කලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ මහතා සභාව අමතමින් පැවසුවේ තරුණ සිනමාකරුවන්ට අවස්ථාව ලබා දීම සම්බන්ධව සංස්ථාවේ ස්ථාවරය පිළිබඳ පැහැදීමක් නැති බවයි. කලාත්මක චිත්‍රපට නිෂ්පාදනය සඳහා චිත්‍රපට සංස්ථාවේ මැදිහත් වීම මෙන්ම මණ්ඩලයක් පිහිටුවීම සුදුසු බවද ඔහු පෙන්වා දුන්නේය.

චිත්‍රපට නිෂ්පාදක කැලුම් කුලරත්න මහතා අදහස් දක්වනමින් මේ වනතුරු පෞද්ගලික මණ්ඩල මඟින් චිත්‍රපට බෙදා හැරීම උසස් ප්‍රමිතියකින් සිදු කළ බවද ඒ නිසා ම විදෙස් ආයෝජකයන්ගේ අනුග්‍රහය අප සිනමා කර්මාන්තයට ලැබුණු බවද සංස්ථාවේ මේ හදිසි තීරණය නිසා ඒ තත්ත්වය ගැටලුකාරී මට්ටමකට පැමිණ ඇති බවද පෙන්වා දුන්නේය.

චිත්‍රපට නිෂ්පාදකයකු හා අධ්‍යක්ෂවරයකු වන පරාක්‍රම ජයසිංහ මහතා පැවසුවේ මේ වන විට ඇති චිත්‍රපට 80ක පමණ සංඛ්‍යාවකින් 60ක් පමණම ප්‍රදර්ශනයට නුසුදුසු මට්ටමේ පවතින බවය. එසේම සංස්ථාවේ සහ පෞද්ගලික අංශයේ තුලනයක් අවශ්‍ය බවද, පෞද්ගලික අංශයේ ඇතැම් සිනමා ශාලාවල පහසුකම් ඉතා පහළ මට්ටමක පවතින බවද නිදසුනක් ලෙස වැසිකිලිවල දුර්ගන්ධය පවා විඳීන්නට ප්‍රේක්ෂකයන්ට සිදු වී ඇති බැවින් මණ්ඩලවල ගුණාත්මකබව මීට වඩා ඉහළ නැංවීම පෞද්ගලික අංශයේ වගකීම වන බවද පෙන්වා දුන්නේය.

මෙහිදී චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු මහතා පැවසුවේ සංස්ථාවේ අත්තනෝමතික තීරණය නිසා පෞද්ගලික අංශයේ සේවකයන් මේ තීරණයත් සමඟ අසරණබවට පත්ව ඇති අතර අලුත් ගමනක් යෑමට සූදානම්ව සිටි පෞද්ගලික අංශය අහක දමා සංස්ථාව තනි ගමනක් යෑම අනුමත කළ නොහැකි බවයි.


වින්දන - කල්පන දෙසොහොයුරෝ රූකඩ පැංචි ගෙන එති

ප්‍රේමය නම් සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් අප සිනමාවේ වාර්තාවක් තැබූ දෙසොහොයුරන් වන වින්දන සහ කල්පන ආරියවංශ සිය දෙවැනි සිනමා කෘතිය සඳහා මේදිනවල සූදානම් වෙති. මෙවර ඔවුන් තෝරාගෙන ඇත්තේ තවත් අලුත් තේමාවක් රැගත් චිත්‍රපටයකි. එය නම්කොට ඇත්තේ රූකඩ පැංචි යන නමිනි. වයස් භේදයකින් තොරව සියලුම තරාතිරමේ ප්‍රේක්ෂකයන්හට නරඹා විනෝදවිය හැකි කතාපුවතකින් සමන්විත රූකඩ පැංචි සිනමාපටයේ වැඩිවිස්තර ඉදිරියේදී සරසවිය ඔස්සේ ගෙනඒමට අපි බලාපොරොත්තු වෙමු.


ප්‍රීතිරාජ්ට අලුත් තරුවක්

ජනප්‍රියම සිනමාපටය ලෙස සරසවිය සම්මාන දිනූ නොම්මර 17 නිෂ්පාදනය කළ ප්‍රීතිරාජ් වීරරත්න අධ්‍යක්ෂවරයකු බවට පත්වූයේ තිත්ත ඇත්ත සිනමාපටය සමඟිනි. එය නොබෝදිනකින් තිරයට ඒමටය නියමිතය. තිත්ත ඇත්ත නිෂ්පාදනය කරනු ලැබුවේද ප්‍රීතිරාජ් විසිනි. එම සිනමාපටයෙන් අනතුරුව ප්‍රීතිරාජ් තවත් සිනමාපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානමිනි. ඒ හරහා නවක රංගන ශිල්පිනියක් හඳුන්වාදීමට ඔහු අපේක්ෂා කරයි. ප්‍රීතිරාජ්ගේ නවතම සිනමාපටය සඳහා නවක රංගන ශිල්පියෙක් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් මෙම මස 14 වැනිදා එනම් එන සෙනසුරාදා කොළඹ 05 ජාවත්ත පාරේ අංක 65 දරන ස්ථානයේ පිහිටි ප්‍රීතිරාජ්ගේ කාර්යාලයේදී පැවැත්වෙනු ඇත. වයස අවුරුදු 20 - 30 අතර නර්තන හැකියාවක් ඇති අය සඳහා විශේෂ අවධානයක් යොමුකරන බව පී‍්‍රතිරාජ් සරසවියට දැන්වීය.

ජනප්‍රියම සිනමාපටය ලෙස සරසවිය සම්මාන දිනූ නොම්මර 17 නිෂ්පාදනය කළ ප්‍රීතිරාජ් වීරරත්න අධ්‍යක්ෂවරයකු බවට පත්වූයේ තිත්ත ඇත්ත සිනමාපටය සමඟිනි. එය නොබෝදිනකින් තිරයට ඒමටය නියමිතය. තිත්ත ඇත්ත නිෂ්පාදනය කරනු ලැබුවේද ප්‍රීතිරාජ් විසිනි. එම සිනමාපටයෙන් අනතුරුව ප්‍රීතිරාජ් තවත් සිනමාපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානමිනි. ඒ හරහා නවක රංගන ශිල්පිනියක් හඳුන්වාදීමට ඔහු අපේක්ෂා කරයි. ප්‍රීතිරාජ්ගේ නවතම සිනමාපටය සඳහා නවක රංගන ශිල්පියෙක් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් මෙම මස 14 වැනිදා එනම් එන සෙනසුරාදා කොළඹ 05 ජාවත්ත පාරේ අංක 65 දරන ස්ථානයේ පිහිටි ප්‍රීතිරාජ්ගේ කාර්යාලයේදී පැවැත්වෙනු ඇත. වයස අවුරුදු 20 - 30 අතර නර්තන හැකියාවක් ඇති අය සඳහා විශේෂ අවධානයක් යොමුකරන බව පී‍්‍රතිරාජ් සරසවියට දැන්වීය.


රඟහලක් නොමැති පාසලකට සමස්ත ලංකා ජයග්‍රහණ රැසක්

මිනුවන්ගොඩ අනගාරික ධර්මපාල මහා විද්‍යාලය මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කර්යාලයට අයත් දුෂ්කරතා සපිරි පාසලකි. ක්‍රීඩාවට කලාවට මෙන්ම අධ්‍යාපනයට ද උපන් හපන්කම් දක්වන මෙම පාසලේ දූ දරුවන් 2018 සමස්ත ලංකා පාසල් නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගාවලියෙහි මුද්‍රා නාට්‍ය (පිරිමි) දෙවන ස්ථානය දිනා ගන්නා ලදී. 2015 වර්ෂයේ සමස්ත ලංකා පාසල් නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගාවලියේ මුද්‍රා නාට්‍ය (පිරිමි) ප්‍රථම ස්ථානයද, 2016 වර්ෂයේ සමස්ත ලංකා පාසල් නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගාවලියේ මුද්‍රා නාට්‍ය (ගැහැනු) තෙවන ස්ථානයද, 2017 වර්ෂයේ සමස්ත ලංකා පාසල් නාට්‍ය හා මුද්‍රා නාට්‍ය තරගාවලියේ මුද්‍රා නාට්‍ය (පිරිමි) ප්‍රථම ස්ථානයද දිනා ගන්නා ලදී.