වර්ෂ 2018 ක්වූ  ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

බර්ග්මාන් සියවසට උත්සවයක්

ලොව විසූ සිනමා මුනිවරයකු ලෙස සැලකෙන ස්වීඩනයේ ඉංග්මර් බර්ග්මාන්ගේ ජන්ම ශත සංවත්සරය සමරමින් ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් මෙම මස 14 වැනිදා සවස 4 ට සිංහල සංස්කෘතික ආයතනයේ (සුදර්ශි) ගාමිණී ෆොන්සේකා ශාලාවේදී පැවැත්වීමට නියමිතය. මෙහිදී සමරු දෙසුම ආචාර්ය එඩ්වින් ආරියදාස විසින් පවත්වනු ලබයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ඩබ්ලිව්. ජයසිරි, ගාමිණී වේරගම සහ ඈෂ්ලි රත්නවිභූෂණ බර්ග්මාන් ගැන තම අදහස් දැක්වීමට නියමිතය. මෙහි සංවිධානය ෂේක්ස්පියර් කේන්ද්‍රයෙනි.


ප්‍රතිවර්තනා 40 දංකොටුවේදී

කලාශුරී අල්හාජ් මොහිදීන් බෙග් ශූරින්ගේ ජන්ම ශත සංවත්සරයට සමගාමීව ප්‍රතිවර්තනා 40 එළඹෙන 14 වැනි දින දංකොටුව සිංගක්කුලිය ගොවි සෙවණ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 40 දශකයේ එකලු කළ කලාකරුවන් පස් දෙනෙකු විසින් හෙළ සිනමා කලාව වෙනුවෙන් ලබා දුන් මාහැඟි දායකත්වය ඇගයීමේ ජාතික වැඩසටහනක් ලෙස මෙය පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු කරනු ඇත.

මෙහිදී අල්හාජ් මොහිදීන් බෙග්, රුක්මණී දේවි, ඒ. ඇම්. රාජා, හරුන් කුමාර් ලන්ත්‍රා හා කරුණාරත්න අබේසේකර යන කලාකරුවන් ඇගයීම සිදු කරනු ඇත.


ධනා හා සම්පත් ප්‍රාණට ඇරැයුම් කරයි

ධනංජය සිරිවර්ධන සමඟ සම්පත් ජයවීර ගැන අලුත් ආරංචියක් මේ. ඔවුන්ගේ ප්‍රාණ නම් රංගන වැඩමුළුව අලුත් කණ්ඩායම සඳහා එකතුවීමට නවකයන්ට ආරාධනා කරනවා. ඒ රංගනය ගැන හැදෑරීමට. මාස හයක පාඨමාලාවක වන මේ සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දසදෙනෙකුද සහභාගිවීමට නියමිතය. 0764500305 යන අංකයට ඇමතීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට පුළුවන.


ඡායාරූප ශිල්පී සරත් ධර්මසිරි මියයයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඡායාරූප ශිල්පී සරත් ධර්මසිරි අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස 58 කි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කළ සරත් වාර්තා චිත්‍රපට රැසක නිශ්චල ඡායාරූප ශිල්පියා වශයෙන් කටයුතු කළේය.


ජනකරළියෙන් නාට්‍ය ද්විත්වයක්

පරාක්‍රම නිරිඇල්ලගේ ජන කරළිය ජංගම වේදිකාව ආරම්භ කොට මෙම වසරට වසර දහසයකි. එය නිමිති කරගනිමින් මෙම මස 14 සහ 15 යන දිනයන්හී ලයනල් වෙන්ඩට් රංග ශාලාවේදී, ජනකරළියේ පිරිස රඟන නාට්‍ය ද්විත්වයක් වේදිකා ගත වේ. ඒ අනුව 14 වැනිදා තිත්ත කහට නාට්‍යත් 15 වැනිදා හිරු නැගෙන තුරු නාට්‍යත් වේදිකා ගත වනු ඇත. නාට්‍ය දර්ශනයන් රාත්‍රී 7ට ආරම්භ වේ. මෙම නාට්‍ය ද්විත්වය ජනකරළිය සංස්කෘතික පදනමේ ඉදිරිපත් කිරීමකි.


සදාදර රෝයි ඩී.වී.ඩී. නොමිලේ

සිංහල සිනමාවේ අභිවෘද්ධිය උදෙසා අති විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ රංගධර, අදියුරු රෝයි ද සිල්වා සමඟ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ විසින් පැවැත්වූ රූපවාහිනී සංවාද ඇතුළත් සංගත තැටි DVD)) නොමිලේ ලබාදීමට කටහඬ මාධ්‍ය කේන්ද්‍රය පියවර ගෙන ඇත.

ඩී.වී.ඩී. 'ආලකමන්දාව' සහ ඩී.වී.ඩී. 'සවනට ගී මධු' සිනමා විචිත්‍රාංග 'සාදර රෝයි' සංගත තැටියට ඇතුළත්ය.

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ කටහඬ නිර්මාතෘ, කටහඬ මාධ්‍ය කේන්ද්‍රය, 55, බුවනෙකබා මාවත, මිරිහාන, නුගේගොඩ ලිපිනයෙන් හෝ 0773749767 දුරකථන අංකයට ඇමතීමෙන් අදාළ පිටපත් ලබාගත හැකිය.


ඉසුරු පපාස් හවුස් ගෙන එයි

කලර් සහ පැතිමකුළුවෝ තිරයට ගෙනා ඉසුරු වීරසිංහ මුදලිගේ නවතම සිනමා පටය පපාස් හවුස් ලෙසට නම් කොට තිබේ. විනෝද චාරිකාවක යෙදෙන පාසල් දරුවන් පිරිසක් නවාතැන් ගන්නා පැරැණි බංගලවකදි ඔවුන් මුහුණ දෙන අද්භුතජනක සිදුවීම් පෙළක් පාදක කරගෙන ගොඩ නැගී ඇති මෙය කුතුහලයෙන් යුතු ළමා සිනාම සිතුවමකි.

හේමසිරි ලියනගේ, රිචඩ් මාන මුදලි, ඕෂධි හේවාමද්දුම, ත්‍රිකලා ධරණි, ජානවී අප්සිරි අබේවර්ධන, ප්‍රභාෂි දිලීපන්, මාලිකා චන්චරා, නිමල් ජයසිංහ පපාස් හවුස් රංගනයෙන් හැඩ කරති. ගයාන් ශානක මුහුන්දිරම් කැමරා අධ්‍යක්ෂවරයාය, ශාන් අල්විස්ගේ සංස්කරණයකි. ඉඳුනිල් දැරණියගල සහාය අධ්‍යක්ෂවරයාය, කසුන් රජීව කලා අධ්‍යක්ෂණයෙන් දායකවිය, තාරක අධිකාරිගේ අංගරචනයකි. ඉනෝකා පෙරේරා පපාස් හවුස් නිෂ්පාදනය කොට තිබේ.


බෝඩිංකාරියෝ ජුලි 15

ජිනදාස පෙරේරාගේ ‘බෝඩිංකාරියෝ’ ජුලි 15 සවස 06.00 ලුම්බිණි රඟහලේදි වේදිකා ගතවේ. කෝපිකඩේ ගිත නගාගේ රුගුම් ගැයුම් සමග ප්‍රසන්න ෆෙන්සේකා, චතුරපෙරේරා, සිසන්ති ජයතිලක, දයා හේවගේ, රෝහන හඳුන්නෙත්ති රංඟපායි.


වස්සානේ සඳ එළිදකී


උදයකාන්ත වර්ණසූරිය තිර රචනය කර අධ්‍යක්ෂණය කළ 'වස්සානේ සඳ' සිනමාපටයේ තිර පිටපත ග්‍රන්ථයක් ලෙස පසුගිය දින ජනගත කෙරිණි. සිනමාව හා ජනමාධ්‍ය ඉගෙන ගන්නා සියලු දෙනාගේ ප්‍රයෝජනය උදෙසා උදයකාන්ත වර්ණසූරිය මෙම සිනමාපටයේ තිර පිටපත කෘතියක් ලෙස එළි දැක්වීම ඉතා අගනා බව කිය යුතුය.