වර්ෂ 2018 ක්වූ  ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

FEEDBACK

රෝයිගේ අභාවය දැරිය නොහැකියි

සිංහල සිනමාවට විශිෂ්ට සේවයක් කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සහ රංගන ශිල්පියෙක් වන රෝයි ද සිල්වාගේ අභාවය සිංහල සිනමාවට සහ අපට දැරිය නොහැකි ලොකු පාඩුවකි. රෝයි ද සිල්වා කලාකරුවාණෙනි, ඔබට නිවන් සුවය පතමි. ඔබ වැනි කලාකරුවන් මින් ඉදිරියට බිහි නොවනු ඇත.

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය


රෝයි ද සිල්වාට මොක් සුව පතමු

දේශීය සිනමාව පෝෂණය කළ තවත් එක් යුග පුරුෂයකු වූ ප්‍රවීණ රංගවේදී රෝයි ද සිල්වා මහතාගේ අභාවය සිංහල සිනමාවට දැරිය නොහැකි වූ පාඩුවකි. සිනමා රංගනයේදී ජෙය ශංකර් කෙනෙකු නොවී පෙම්වතා දුෂ්ටයා, හාස්‍ය වෙනත් චරිත සාර්ථකව රඟපෑමට සිටින අය සිටින්නේ අතේ ඇඟිලි ගාණටය. ඒ අතරින් ඔහු ප්‍රවීණයෙකි. ගායනය, අධ්‍යක්ෂණය, තිර නාටක ලිවීම හා චිත්‍රපට නිෂ්පාදනයෙන් ද සිනමාව පෙරට ගෙනා රෝයි ද සිල්වා සිනමාවේ අභිවෘද්ධිය සඳහා කලක් අරගල කළ කැපී පෙනෙන සෙනෙවියකු විය. ඔහු රඟපෑ චිත්‍රපට අතරින් මිහිඳුම් සිහින, මිනිසුන් අතර මිනිසෙක්, සමන්මලී, ආදර රත්නේ, ටොම් පචයා යන චිත්‍රපට තුළින් විවිධ චරිත රඟපෑම ගැන කතිකා කළ යුතු වේ.

රෝයි ද සිල්වා දැන් අප අතර නැත. ඔහු සිනමාව වෙනුවෙන් කළ සේවාව සිංහල සිනමා වංශ කතාවේ සදා ලියවෙනු ඇත.

විහඟි සදුනිකා

ජනාධිපති විදුහල

මිනුවන්ගොඩ


රෝයිට මොක්සුව අත්වේවා

අසහාය රංගන ශිල්පී චිත්‍රපට අධ්‍යක්ෂ රෝයි ද සිල්වා දිවියෙන් සමු ගැනීම සමස්ත සිනමා ක්ෂේත්‍රයටම දැරිය නොහැකි පාඩුවකි. එතුමාට මෝක්ෂ සුව අත්වේවායි රසික අප ප්‍රාර්ථනා කරමි.

නිවන් සුව

විවිධ අංශයන් ඔස්සේ ලාංකේය කලාකෙත පෝෂණය කළ සිනමාවට ජීවය දුන් ජ්‍යෙෂ්ඨ සිනමාවේදී රෝයි ද සිල්වාට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි.

අතුල රම්‍යසිරි

පානදුර


රුහුණු සේවය සැමදා දිලේවා

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය, මධ්‍යම පළාත, ඌව පළාත, රුහුණු පළාත ආවරණය වන පරිදි අපිටත් ඇසෙන්නට සලස්සන්න. රුහුණුු සේවයේ ඉංජිනේරු අංශයේ අවධානය යොමු වේවා. වසර ගණනක් රුහුණු සේවය අපි ශ්‍රවණය කළා. දැන් ඇසෙන්නේ නැහැ. රුහුණු සේවය සැමදා දිලේවා.

තෙල්දෙනිය බී. ජී. සුමනරත්න

බද්දේගම අමාලීකල්පගේ

ගාල්ලේ සමදරා දමයන්ති ගුණවර්ධන

සුල්තානාගොඩ කුශාන්ති රණසිංහ


ප්‍රේක්ෂකයන් අතර සදා අමරණීයයි

1964 'සුජාගේ රහස' සලරුවෙන් රිදි තිරය වර්ණවත් කළ දේශයේ සිනමාවේ උන්නතිය උදෙසා මහා මෙහෙවරක් කළ නළුවකු, නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂවරයකු වූ රෝයි ද සිල්වා නම් ඔහු මෙලොව හැර ගිය ද ප්‍රේක්ෂක අතර ඔහු සදා අමරණීය වේ. සහෘදයාණනි ඔබට නිවන් සුව.

විමලසේන හපුතන්ති

අත්තනගල්ලේ


සිංහල සිනමාවේ හිත හොඳ මිනිසා

සිංහල චිත්‍රපට කර්මාන්තය දියුණු කරන්නට විශාල සේවයක් කරන්නට රෝයි අමතක කළේ නෑ. චිත්‍රපට සංස්ථාවක් බවට පත් කරන්නට එදා රෝයි ද සිල්වා හොරගොල්ල වලව්වට ගියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මුණ ගැසීමේ බලාපොරොත්තු ඇතිවය. සිනමාව රැක ගන්නට දේශීය සිනමාවට උනන්දු වුණා. රෝයි ද සිල්වා චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසියේ 1964 දින. ඒ පලානියස් නීලකන්තන් අධ්‍යක්ෂණය කළ සුජාගේ රහස චිත්‍රපටයේ රඟපාමින්. ඉන් පසුව සුදු දුව, සැනසිලි සුවය, සැඟවුණ මැණික, රුහුණු කුමාරි, උතුම් ස්ත්‍රිය, පික් පොකට්, සමනළ කුමරියෝ, සුමුදු භාර්යා, ගීතා, දැවෙන පිපාසය, සුජිවා, සිංගප්පූර් චාලි, මේ දෑස කුමටද, සුනේත්‍රා, සූකිරි කෙල්ල, මගේ නංගි ශ්‍යාමා, සුදු පරවියෝ, මිනිසුන් අතර මිනිහෙක්, සිම්බා, ආදර රත්නේ, මිහිදුම් සිහින, ඔබට දිවුරා කියන්නම්, අහිංසා ඇතුළු චිත්‍රපට කීපයකට ද 1977 ටොම් පචයා, රෑ ඩැනියෙල් දවල් මිගෙල්, චෙරියෝ ඩොක්ටර්, චෙරියෝ කැප්ටන්, චෙරියෝ ඩාලිං චිත්‍රපට අධ්‍යක්ෂණය කළ චිත්‍රපට නළු රෝයි ද සිල්වා ඔබට අජරාමර නිවන් සැප ලැබේවා.

බී. ජී. සුමනරත්න

පාසල පාර,

තෙල්දෙණිය


රෝයි ද සිල්වාට

සිංහල සිනමාවට විශාල මෙහෙවරක් කළ චිත්‍රපට අධ්‍යක්ෂ හා රංගනයෙන් ප්‍රතිභාව දැක් වූ දයාබර රෝයි අයියේ ඔබ නැති අඩුව පිරිමැසිිය නොහැක. කෙසේ දරාගන්නද? පතන්නම් අජරාමර නිවන් සුවයම.

සුනිල් බී. වේහැල්ල

ගෝනපොල


බලවත් පාඩුව

ජාතික ගුවන් විදුලියේ සෑම සෙනසුරාදා දිනකම ප්‍රචාරය වුවද හිටි හැටියේ නවතා දමා නැවත ප්‍රචාරය වීම ඇරැඹි හිට්මාස්ටර් වොයිස් වැඩ සටහන මෙහෙය වූ සම්පත් සල්පිටිකෝරාල එයින් ඉවත් කිරීම පිළිබඳව අදාළ බලධාරින්ට අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටින්නෙමු.

සරත් රණසිංහ

කපුගොඩ මාළිඳ


හාර කෝටිය ආදර්ශයක්

ආදරය උතුම් වුවත් ආදරය බොළඳ ලෙස පෙන්වමින් දිග්ගස්සමින් ආදරය පමණක් මුල් කරගෙන එකම ශිල්පීන් පිරිසක් යොදා ගෙන කරන ඇතැම් ටෙලි නාට්‍යවලට හාර කෝටිය ආදරය, වෛරය, ත්‍රාසය, භීතිය, හාස්‍ය හා සමාජයට වටිනා පණිවිඩයක් සමඟ ඉදිරිපත් කරන හාර කෝටිය ටෙලි නාට්‍ය ආදර්ශයක්

නිමල් කුලසේකර

අඟුලාන


කේ. සේන අමතක නොවේවා

මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ

ඔබටත් මේ වගේ දුකක් දැනෙනවාද පුතේ

මෙම ගීතය ඇහෙන සෑම මොහොතක් පාසාම සිහි වන්නේ ඒ සොඳුරු ගායකයායි. 1989. 06. 21 දින අප අතරින් වියෝ වූ ඔබට නිවන් සුව අත්වේවා?

රත්නසිරි අමරසේකර

පානදුර


කාටත් අමතක වුණු ලිලියන් එදිරිසිංහ

සිනමාවේ හැඩි දැඩි පෞර්ෂ ශරීරයට හිමිකම් පෑ ලිලියන් ඇන්ටි රසික හදවත් මුසපත් කිරීමෙන් ද, සිනා සයුුරෙන් ගිල්ලමින් ද, කෲර හදවත් පෙන්නුම් කළ එකම නිළිය ඔබයි. 'චණ්ඩි ශ්‍යාමා', 'අක්ක නගෝ', 'පේනව නේද?' චිත්‍රපට 50 කට අධික සංඛ්‍යාවක් රංගනය කළ අතර කුසලතා සම්මානයට හිමිකම් පෑවේ 'දරු දුක' චිත්‍රපටයෙනි. ඔබට සමාන ශිල්පිනියක් සිනමාවේ තවම ආවේ නැත. ඔබව රසිකයින්ට අමතක වුණාද?'

ඊ. දයානන්ද ද සිල්වා

සීනිගම

හික්කඩුව


විශ්ව ප්‍රසාදිනියන්ට බැතිබර ආචාරය

ශ්‍රී ලාංකික සිනමාවේ එදා මෙදාතුර විශිෂ්්ට රංග ප්‍රතිභාවයෙන් විශ්ව ප්‍රසාදිනි සම්මානයට පත් මාලිනී ෆොන්සේකා, නීටා ප්‍රනාන්දු සහ අනෝජා වීරසිංහ යන රංගන ශිල්පීන් ත්‍රිත්වය රසික අපගේ බැතිබර ආචාරය පුද කර සිටී.

එච්. ඉන්ද්‍රපාල

මුංහේන


චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමාට තුති

මෙතෙක් කලක් පෞද්ගලික අංශයට භාරව තිබූ චිත්‍රපට බෙදා හැරීමේ කාර්යය මෙවර චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමන් වන සිතේන්ද්‍ර සේනාරත්න මහතා විසින් යළිත් වරක් චිත්‍රපට සංස්ථාව වෙත පවරා ගැනීමට කටයුතු කිරීම ගැන ප්‍රේක්ෂක අපගේ ස්තූතිය.

මැණිකේ විල්වල සහ

තිලකරත්න විල්වල

කෑගල්ලේ තටාකය පාර


උද්දික ප්‍රේමරත්න

විශිෂ්ට රංගනවේදියකු වන උද්දික ප්‍රේමරත්න ගායනයට ද දක්ෂ බව දනිමු. එසේම හිරු නාළිකාවේ 'හිරු ස්ටාර්' වේදිකාව ඉතාම පරිපූර්ණ නිවේදකයකු ලෙස ඉදිරිපත් කරන බව කිව යුතුය. ඔබ ඉතා දක්ෂයකු බව ඔප්පු කර ඇත.

ක්ලෝඩ් ද ලිවේරා සහ

නාලිනී ද ලිවේරා

මීගමුව


ජනක් ඔබේ රංගනය විශිෂ්ටයි

ස්වාධීන රූපවාහිනියෙන් දැන් විකාශනය වෙමින් පවතින වාලුකා ටෙලි සිතුවමේ ද්විත්ව චරිත නිරූපණය කරන ජනක් ප්‍රේමලාල් ඒ තුළ ගැමි මෝඩපහේ චරිතය තමන්ගේම කර ගනිමින් ඒ තුළ ජීවත් වෙමින් එම චරිතයට ඉතා වටිනාකමක් දෙමින් යෙදෙනා රංගනය නම් හරිම විශිෂ්ටයි. එම චරිතය තුළ ඔබ පමණක් නොව අප ද ජීවත්වන බව පවසන්නේ හද පිරි සතුටින්. ඔබට ජය.

සුසිලා පතිරාජ

උස්වැටකෙයියාව


ටෙලි නාට්‍යකරුවන්ට

තමන් ඉදිරිපත් කරන ටෙලි නාට්‍යයන් ආරම්භයේදී ජනප්‍රිය වූ පමණින් එම නාට්‍යයට අනවශ්‍ය දේ එකතු කොට දිග්ගස්සනවාට වඩා එය ජනප්‍රියභාවය තිබියදීම අවසාන කරන්නේ නම් එහි වටිනාකම රැකගත හැකියි. අනවශ්‍ය ලෙස දිග් ගැස්සීම ජනතා අප්‍රසාදයට ලක්වීම වැළැක්විය නොහැක.

අයිලීන් සෝවිස්

රාගම


සුනෙත් වල්පොලට නිසි තැන දෙන්න

අති දක්ෂ චිත්‍රපට පසුබිම් ගායකයකු වන ධර්මදාස වල්පොලයන්ගේ පුත් සුනෙත් වල්පොල එක සමාන හඬකින් හා දක්ෂතාවයක් පෙන්වමින් ගායනා කළත් ඔහුට සිනමාවේ එතරම් ඉඩක් නොලැබීම කණගාටුවට කරුණකි. ඔහුගේ සැබෑ දක්ෂතාවයන් හඳුනා ඔහුගේ හඬට ගැළපෙන ශිල්පීන් වෙනුවෙන් පසුබිම් ගායනයට ඔහු යොදා ගන්නා ලෙස ඉල්ලමි. නිසි ඇගයීමකට ලක් නොවූ ඔබට අති දක්ෂ ගායනයට නිසිතැන ලැබේවා.

නිමල් කුලසේකර

අඟුලාන


හඳුනා ගත්තොත් ඔබ මා සිත් අරගෙන

සෑම සිකුරාදා දිනකම පස්වරු 4.00 - 5.00 දක්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයෙන් ප්‍රචාරය කෙරෙන නව වැඩසටහනක් වන 'හඳුනා ගත්තොත් ඔබ මා' ශ්‍රාවකයන්ගේ සිත් ගත් වැඩ සටහනකි. එම වැඩසටහන මෙහෙයවන දයාබර නිවේදිකා නෙළුම් කළුබෝවිලට අපගේ ගෞරව ප්‍රණාමය. වැඩ සටහන දිනෙන් දින දියුණු වේවා.

මැල්කම් ජේ. රොඩ්රිගෝ

කඩවත


අනෝජා රඟපාන්නකෝ

සම්මානනීය නිළි අනෝජා වීරසිංහ රඟ නොපාන්නේ ඇයි. නැවත රංගනය අරඹන්න. මල්දෙනියේ සිමියොන්, සිරිමැදුර, කෙළිමඬල, ගුරු ගෙදර, සුරබිදෙන, සෙයිලම හරහා පෑ දස්කම් අමතක නැත.

එස්. පී. සොලමන්ස්

දුල්මුර

තලාතුඔය


මිහිරි ගී ප්‍රචාරයට පැසසුම්

එදා අප සවන් දුන් අර්ථවත් රස මිහිරි ගීත ඒ අයුරින්ම අද අපට ඇසෙන්නේ ගුවන් විදුලියේ වෙළඳ සේවයෙන් පමණි. එයට අපගේ පැසසුම්.

ප්‍රියන්ත හෙට්ටිආරච්චි

ගම්පහ


බී. එස්. සැමරුව අගනේය

හාස්‍යය රසයෙන් පිරුණ සිනමාපට දෙසීයකට අධික සංඛ්‍යාවක් රඟපෑ බී. ඇස්. පෙරේරා ඔහු වැනි නළුවන් සිනමාවට අහිමිවීම සිනමාවේ කඩා වැටීමට තවත් හේතුවක් විය හැක. ඔහුගේ ගුණ සමරුව පසුගියදා සිහි කිරීම ඉතා අගේ කොට සිහි කරමි.

ගාමිණී මහබාලගේ

පිළියන්දල