වර්ෂ 2018 ක්වූ  ජනවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




විදුලි දුම්රියක සම්පූර්ණ චිත්‍රපටයක් The Commuter

විදුලි දුම්රියක සම්පූර්ණ චිත්‍රපටයක් The Commuter

ප්‍රංශය, අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය එක් වූ සිනමා නිර්මාණයක්

මයිකල් මැක්කියුලි යනු රක්ෂණ නියෝජිතයෙකි. රාජකාරිය නිම කර ඔහු තම නිවෙසට පැමිණෙන්නේ දුම්රියෙනි. එහිදී ඔහුට හමුවන කාන්තාවක් මෙම දුම්රියේ සැඟව සිටින මඟියෙකු සොයා දුන හොත් අමෙරිකානු ඩොලර් ලක්ෂයක් ලබා දෙන බවට පවසයි. නමුත් දුම්රිය අවසාන නැවතුමට ළඟා වීමට පෙර එම මඟියා සොයා ගැනිම මයිකල්හට ඇති අභියෝගය වේ.

ස්පාඤ්ඤ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ජූම් කොලෙට් සෙරාගේ අධ්‍යක්ෂණයෙන් යුතු නවතම ත්‍රාසජනක චිත්‍රපටයේ ලියම් නීසන් ජීවිතය හෝ මරණය අතර සටනක් වෙනුවෙන් නැවතත් සිය විශේෂ දස්කම් පාවිච්චි කරනවා. එම සටන මුල සිට අග දක්වාම ගමන් ගන්නා දුම්රියක සිදුවීමත් විශේෂයි.

නමුත් ජූම් කොලෙට් සෙරාට හෝ ලියම් නීසන්ට නම් එය තවත් එක් අත්දැකීමක් වන්නේ මීට පෙර මේ දෙදෙනා එක්ව 'In-transit thriller' ගණයට ගැනෙන ගමනක් අතරතුර ත්‍රාසජනක සිදුවීම් ඇතුළත් චිත්‍රපටයක් වූ Non-Stop නිර්මාණය කිරීම නිසයි. 2014 වසරේදි තිරගත කෙරුණු Non-Stop අහස් යානක් ගමන් ගන්නා අතරතුර සිදුවන ත්‍රාසජනක සිදුවීම් පෙළක් ගෙන ආවා. මෙවර දුම්රියකට මාරු වී ඇති එය The Commuter ලෙසින් නම් කර තිබෙනවා.

බෙහෙවින් වේගවත් ත්‍රාසජනක සිදුවීම් ඇතුළත් The Commuter චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය දැන් නිකුත් වී තිබෙනවා. අභිරහසකට සම්බන්ධ කාන්තාවක් පැමිණ එක්තරා පුද්ගලයකුහට ආකර්ෂණීය අවස්ථාවක් ලබා දෙනවා. මේ කතාව ටිකෙන් ටික දිග හැරීමත් සමඟ බරපතල සිදුවීම් රැසක් සිදු වන්නේ සිතා ගන්නටත් නොහැකි අයුරින්. මිනිසුන් බස් රථවලට හසු වීම, මඟීන් ප්‍රාණ ඇපයට ගැනීම, දුම්රිය පීලි පැනීම් අතරේ ඉහත ආකර්ෂණීය අවස්ථාව ලබා ගත් පුද්ගලයා මිනිසුන් සමඟින් මෙම සිදුවීම් වළක්වා ගැනීමට උත්සාහ දරනවා.

මයිකල් මැක්කියුලි යනු රක්ෂණ නියෝජිතයෙකි. රාජකාරිය නිම කර ඔහු තම නිවෙසට පැමිණෙන්නේ දුම්රියෙනි. එහිදී ඔහුට හමුවන කාන්තාවක් මෙම දුම්රියේ සැඟව සිටින මඟියෙකු සොයා දුන හොත් අමෙරිකානු ඩොලර් ලක්ෂයක් ලබා දෙන බවට පවසයි. නමුත් දුම්රිය අවසාන නැවතුමට ළඟා වීමට පෙර එම මඟියා සොයා ගැනිම මයිකල්හට ඇති අභියෝගය වේ. තමා මාරාන්තික සාපරාධි කුමන්ත්‍රණයකට මැදි වී සිටින බව මයිකල්හට තේරුම් යන්නේ, මේ ප්‍රෙහේලිකාව ඔස්සේ ඉදිරියට යාම සමඟින්. ඔහු දුම්රියේ ගමන් ගන්නා අනෙකුත් මඟින් ද සමඟින් මේ ව්‍යසනයෙන් ගැලවීමට ගන්නා උත්සාහය The Commuter ඔස්සේ රිදී තිරයේ දිග හැරෙනවා.

ප්‍රංශය, අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය එක් වූ සිනමා නිර්මාණයක් වන The Commuter ජනවාරි 12 වැනිදා අමෙරිකා එක්සත් ජනපදයේ තිරගත කිරීම ආරම්භ කරන අතර ජනවාරි 19 වැනිදා සිට බ්‍රිතාන්‍යයේදී තිරගත කිරීම ආරම්භ කරන්න නියමිතයි. මෙහි ලියම් නීසන් මයිකල් මැක්කියුලි ලෙසින් චරිත නිරූපණය කරන අතර වේරා ෆාර්මිගා, පැට්‍රික් විල්සන්, ජොනතන් බැන්ක්ස්, එළිසබෙත් මැක්ගොවෙර්න්, සෑම් නීල් ද රංගනයෙන් එක් වේ. The Commuter තිරරචනය ලිය වී ඇත්තේ, බ්‍රයන් විලින්ගර්, පිලිප් බැල්සි සහ රයන් එන්ගල් විසිනි.