වර්ෂ 2018 ක්වූ  ජනවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




සතුටයි කඳුළයි හවුලේ විඳගත් 2017 බොලිවුඩ් පුවත්

සතුටයි කඳුළයි හවුලේ විඳගත් 2017 බොලිවුඩ් පුවත්

මේ වසරේ බොක්ස් ඔෆිස් වාර්තා අතර ඉහළටම පැමිණෙන්න සමත් වූ හින්දි චිත්‍රපටය වන්නේ, වසරේ අවසානයේ එනම් දෙසැම්බර් 22 වැනිදා තිරගත කිරීම ආරම්භ කළ සල්මන් - කත්‍රිනා නැවතත් තිරයේ එක් කරමින් අලි අබ්බාස් සෆාර් විසින් අධ්‍යක්ෂණය කළ Tiger Zinda Hai  චිත්‍රපටය යි.

බොලිවුඩයට කාරුණික නොවූ 2017 වසර තුල සාර්ථක චිත්‍රපට අතරේ ආසාර්ථක වූ චිත්‍රපටද වන අතර ඒ අතරින් කිසිවෙකුත් නොසිතූ පරිදි ඇතැම් චිත්‍රපට අසාර්ථක ඒවා බවට පත් වූයේ වියදම තරමටවත් ආදායමක් නොලබමිනි

ගෙවී ගිය වසර බොලිවුඩයට සතුට මෙන්ම කඳුළ ද ගෙන ආ වසරක් බව කවුරුත් දන්නා කරුණක්. එසේම සිනමා නිර්මාණ තිරගත කිරීමේ තරගකාරී බවක් ඇති වූ වසරක් ලෙසත් විශේෂ වෙනවා. එසේම ඉහත වසර කිහිපය සමඟින් බලන විට සිදු වූ සිදුවීම් සමඟ 2017 වසර බොලිවුඩයේ අඳුරුතම අවධින් අතර එකක් බව ද ඇතැම් විචාරකයන්ගේ අදහස බවට පත් වුණා. ඉහළින්ම දිළෙන තරු කිහිපයක්ම දායක වූ නිර්මාණ අතර ලොකු තරගයක් ඇති වුවත් ඇතැම් නිර්මාණ කවුරුත් නොසිතූ පරිද්දෙන් අසාර්ථක වීම ද මේ අතර දකින්නට ලැබුණි.

මේ වසරේ බොක්ස් ඔෆිස් වාර්තා අතර ඉහළටම පැමිණෙන්න සමත් වූ හින්දි චිත්‍රපටය වන්නේ, වසරේ අවසානයේ එනම් දෙසැම්බර් 22 වැනිදා තිරගත කිරීම ආරම්භ කළ සල්මන් - කත්‍රිනා නැවතත් තිරයේ එක් කරමින් අලි අබ්බාස් සෆාර් විසින් අධ්‍යක්ෂණය කළ Tiger Zinda Hai චිත්‍රපටය යි. බොක්ස් ඔෆිස් වාර්තා තබන්නට නම් ලද බොලිවුඩ් තරුවක් ලෙසින් ජනප්‍රිය සල්මන් ගේ Tiger Zinda Hai චිත්‍රපටය දැනට ද ඉන්දීය රුපියල් කෝටි 310ක් ලබා වසරේ ඉහළටම පැමිණීම විශේෂත්වයක්. Baahubali 2 චිත්‍රපටයද තිරගත කෙරුණේ ඉන්දීය සිනමාවේ පෙරළියක් කරමිනි. තිරගත කිරීම ආරම්භ කළ දිනයේදී ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් වාර්තා කළ එය දැනට ඉන්දීය රුපියල් කෝටි 1,706.5ක ආදායමක් ලබා ඉන්දීය සිනමාවේ වැඩිම ආදායම් ලද චිත්‍රපට ලැයිස්තුවේ දෙවැනි වන්නේ 2016 වසරේ තිරගත කෙරුණු අමීර් ඛාන්ගේ Dangal (ඉන්දීය රුපියල් කෝටි 2,122.3) චිත්‍රපටයට පමණි.

බොලිවුඩයට කාරුණික නොවූ 2017 වසර තුල සාර්ථක චිත්‍රපට අතරේ ආසාර්ථක වූ චිත්‍රපටද වන අතර ඒ අතරින් කිසිවෙකුත් නොසිතූ පරිදි ඇතැම් චිත්‍රපට අසාර්ථක ඒවා බවට පත් වූයේ වියදම තරමටවත් ආදායමක් නොලබමිනි. මෙම ඉරණමට මුහුණ දුන් අය අතරේ අමිතාබ් බච්චන්, ශාරුක් ඛාන්, විද්‍යා බාලන්, කන්ගනා රනවුත් වැනි තරුද සිටිනවා. Raabta, Rangoon, Begum Jaan,Noor,Sarkar 3, Meri Pyaari Bindu, Aa Gaya Hero වැනි චිත්‍රපට පසුගිය වසරේ අසාර්ථක චිත්‍රපට ලැයිස්තුවට ඇතුළත්. එසේම පසුගිය අගෝස්තු මස තිරගත කිරීම ඇරඹි Jab Harry Met Sejal චිත්‍රපටය හැඳීන්වෙන්නේ, ශාරුක් ඛාන්ගේ මේ දක්වා වූ සිනමා ගමනේ අසාර්ථකම චිත්‍රපටය ලෙසින්.

එසේම පසුගිය වසරේ තිරගත කිරීමට නියමිතව තිබුණ ද තර්ජන එල්ල වීමත් සමඟින් සංජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ පද්මාවතී චිත්‍රපටය (Padmavati) තිරගත කිරීම වැළකී ගියා. එය දෙසැම්බර් 01 වැනිදා සිට ලොව පුරා තිරගත කරන්නට නියමිතව තිබුණ ද මෙම චිත්‍රපටයෙන් 14 වැනි සියවසේ ජීවත් වූ පද්මිණි නම් හින්දු රැජනට අපහාස කරන බවට චෝදනා කරමින් විවිධ කණ්ඩායම් රැසක් පද්මාවතී චිත්‍රපටය තිරගත කිරීමට එරෙහිව විරෝධතා ව්‍යාපාර දියත් කළා. ඒ හේතුවෙන් පද්මාවතී චිත්‍රපටය තිරගත කිරීම ද දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව බොලිවුඩ් පුවත් වාර්තා කළා.

වසර අවසානය කාගේත් අවධනායට ලක් වූයේ කෝලි - අනුෂ්කා විවාහය යි. ක්‍රිකට් සහ බොලිවුඩය එක් කළ අපූරු පෙම් කතාවක් ගෙන ආ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ ජනප්‍රිය බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා අතර විවාහය පසුගිය දෙසැම්බර් 11 වැනිදා ඉතාලියේදි සිදු කෙරිණි.

සතුට සේම 2017 වසර බොලිවුඩයට කඳුළු ගෙන ආ වසරක්ද වූයේ, රසික සිත් දිනූ සිනමා තරු කිහිපයකම සමු ගැනීමත් සමඟින්. බොලිවුඩයේ පැරණිතම නළුවෙකු වූ ඕම් පූරි මෙලොවින් සමුගත් අතර ඔහුගේ අවසන් රංගනය ඇතුළත් Tubelight චිත්‍රපටය ඔහුගේ මරණයෙන් පසුව තිරගත කෙරිණි. 1970 සහ 1980 දශකයන්හි හින්දි සිනමාවේ අතිශයින් ජනප්‍රිය නළුවකු වූ විනෝද් ඛන්නාගේ අභාවයද පසුගිය වසරේදී සිදු විය. බොලිවුඩ් චිත්‍රපට 100කට වඩා වැඩි ප්‍රමාණයකට ඔහු සිය රංගන දායකත්වය දක්වා ඇති අතර, ඉන්දීය පාර්ලිමේන්තුවටද සිව් වරක් තේරීපත් වීය.

මව්වරුන්ගේ දිනයෙන් දින කිහිපයකට පසුව බොලිවුඩයේ ජනප්‍රියම මව ද සිය ජීවිත රඟ මඬලින් සමු ගත්තා. ඇය රීමා ලාගෝ. 1990-2000 දශකවල බොලිවුඩ් රිදී තිරයේ ජනප්‍රිය නළු නිළියන් රැසකගේ මව ලෙසින් චරිත මැවු ඇය මිය යන විට 58 වැනි වියේ පසු වුණා. මහේෂ් භාත් අධ්‍යක්ෂණය කළ Naamkarann දර්ශන තලයේදී හදිසියේ ඇති වු හෘදයාබාධයකින් සිදු වූ ඇයගේ මරණය මුළු බොලිවුඩයම කම්පනයට පත් කළා. හැත්තෑව දශකයේ බොලිවුඩයේ රොමියෝ ලෙසින් විරුදාවලි ලද් ශෂි කපූර් ද පසුගිය දෙසැම්බර් 04 වැනිදා මෙලොවින් සමුගත්තා. බොලිවුඩයට අමරණීය මතක සිහිවටන රැසක් එක් කළ බොලිවුඩයේ දවැන්තම සිනමා පවුල වන කපූර් පවුලේ සාමාජිකයකු වූ ශෂී කපූර් මිය යන විට 79 වැනි වියේ පසු විය.

එපමණක් නොව කපූර් පවුලෙන් බොලිවුඩයට දායාද වූ Awaara (1951), Boot Polish, Jagte Raho and Shri 420 වැනි ඉහළ ජනප්‍රියත්වයක් ලද හින්දි චිත්‍රපට රැසක් එළි දුටු R.K. චිත්‍රාගාරය ද පසුගිය වසරේ සැප්තැම්බර් මස 16 වැනිදා හදිසි ගින්නක් විසින් මොහොතකින් අළු කර දැමුවේ ලොව පුරා පැරණි බොලිවුඩ් නිර්මාණවලට පෙම් බැඳී සියල්ලන්ගේ ද හදවත් කම්පා කරමින්. 1970 වසරේ තිරගත කෙරුණු රාජ් කපූර්ගේ Mera Naam Joker චිත්‍රපටයේ විකට වෙස් මුහුණ සහ ඇඳුම් කට්ටලය ද හින්දි සිනමාවේ නාර්ගීස් ගේ සිට ඓශ්වර්යා දක්වා නිළියන් සිනමා නිර්මාණවල ඇඳී ඇඳුම්, පැලඳී ආභාරණ ආදිය ද ඇතුළුව වටිනා දර්ශනතල රැසක් එම ගින්නෙන් විනාශයට පත් වුණා.