වර්ෂ 2018 ක්වූ  ජනවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




“දේදුනු නැති ආකාසයක තනි වීම”

“දේදුනු නැති ආකාසයක තනි වීම”

දේදුනු ආකාසේ සිනමා විමසුම

වේගයෙන් ධාවනය වන කාරයක තරුණ යුවළකි. රිය ධාවනය කරමින් තම බිරිඳ සිප ගන්න වෙර දරන ඇසිල්ලේ ඉදිරියට එන ට්‍රක් රථයක ගැටී සිදුවන අනතුරකි. මේ සමඟ පූර්ණ ලෙස බද්ධ වන රූපාවලිය චිත්‍රපටයේ අවසන් මිනිත්තු කීපයේදී ප්‍රේක්ෂක ඇස හා ගැළපීම අධ්‍යක්ෂවරයාගේ ව්‍යයාමය වී තිබේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ මේ සිහින කතාවට අඩු වැඩි සපුරලන්නේ ඒ අයුරිනි. සිහිනය පුපුරා ගිය බවට ඉදිරිපත් කරවන උත්සාහය තහවුරු කරවන්නට වග බලා ගන්නේ සිරුර අසීමාන්තිකව වෙහෙසවා, වෙහෙසකර ලෙස මුද්‍රවෙන් මුදාහරින සමුද්‍රගේ (හේමාල් රණසිංහ) බැලේ නර්තනයකිනි.

සිහින සිතිවිලිවල අතරමං නොවූයේ නම්, යථා ජීවිතයට අවබෝධයෙන් මුහුණ දුන්නේ නම් අරුමයක් නොවන ජීවන ගමනක් දෘශ්‍යමාන වන මෙහි 'මට මොනවද වෙලා නැත්තේ' යනුවෙන් සමුද්‍ර අසන්නේ නරඹන පේ‍්‍රක්ෂකයාට අවසානයේදී 'මොනවද වෙලා තියෙන්නේ' යනුවෙන් ඇසිය යුතු පැනය ඉතිරි කරවමිනි.

'ඉල්ලුවෙ මොනවද ජීවිතයෙන් දුන්නෙ මොනවද?' සමුද්‍රගේ ප්‍රශ්නයයි. සිය තරුණ බිරිඳ ගේ අකල් වියෝව නිසා පීඩිතව අසන සමුද්‍රගේ ප්‍රශ්නයට ප්‍රේක්ෂකයාට දිය හැකි පිළිතුරක් ද ප්‍රියන්ත කොළඹගේ ඉතිරි කරවයි. එනම් 'විහඟිට මොනවද කළේ ඇයි ඔයා බබා ද බබෙක්ද?' යනුවෙනි. තාක්ෂණය දියුණු සමාජයක එකිිනෙකා හා සන්නිවේදන සබඳතාවන් නැතිව කටයුතු කළේ නම් ඇත්තටම සමුද්‍ර පරයෙකි. අධමයෙකි. පාපතරයෙකි. පුරා අවුරුදු තුනක් සෞන්දර්ය සීමා ඉමක මිතු දම් සබඳතා අති පෞද්ගලික වීම සිල්ලර බවට සීමා කිරීම අපුලකි. අසුන්දරතාවකි.

'මල් කළඹ යට සේදුණ . . .' ගීතයෙන් කියැවෙන්නේ කතාවේ හැටියට ඇත්තටම ඇත්තකි. සමුද්‍රගේ 'සංසාර ගමන' බැලේ සන්දර්ශන කතාව හිටි තැනම ලොප් වේ. ප්‍රේක්ෂකයාට හැඟවෙන, අධ්‍යක්ෂවරයා හඟවන සමුද්‍රගේ අසංවර සංසාර ගමන චිත්‍රපටය තුළ දිග හැරේ. 'මුතු ඇටයක් අස්සේ වැලි කැටයක් බෙල්ලෙක්ට ලොකු වේදනාවක්' සමුද්‍රගේ වචන වේ. මේ අනුව නම් සමුද්‍ර ඇත්තටම පුදුම (මාර)යෙකි.

'මල් කළඹ යට පාට සේදුණ . . .' සෞන්දර්යයෙන් යුත් ගී හඬ දෙවන වර පවනිගේ මුවින් අත් විඳින සයුරිට (සහේලි සදිත්මා) තම අප්පච්චිව කවදා හෝ දැක ගැනීමේ බලාපොරොත්තුවේ ආසාව චිත්‍රපටය තුළ පළමුවරට සනිටුහන් කරවයි.

පුහුණු ගීතය (සෙල්පි) චිත්‍රපටය තුළ යළි යළි ඉස්තු වීම සාරයට හානියකි. නර්තන පුහුණුව තුළ සියල්ල දෝලනය වෙයි. පවනිගේ සමීපවීම සමුද්‍රගේත් විහඟිගේත් සමීපතාවන්ට බාධාවක් වෙයි. ඊර්ෂ්‍යාව ලියලා වැඩී ස්ත්‍රී ලලාසාවන් මතු වෙයි. එය සරල සුමට ලෙස භාව ලීලාවෙන් විහඟිගේ සිතිවිලි තුළින් හැසිරීමෙන් ඉස්මතු වෙයි. විහඟිගේ පාර්ශවයෙන් එය සාමාන්‍ය සබඳතාවකි. නමුත් සමුද්‍රගේ හැසිරීමෙන් නම් එය සරලදැයි සැකයෙකි. කඳුළින් කඳුළු නීරස ලෙස මුදා හැරීමක් පමණි.

සෞන්දර්ය නිකේතනයක විනය පද්ධතියක් තිබේ. චිත්‍රපටය තුළ එවැන්නක් නැති තරම්ය. රංග ශාලාවක කෙසේ වෙතත් සෞන්දර්ය නිකේතනයෙහි භූමි පරිසරයේ ගමන් කරත් දී සංකර ලෙස අඩක් නොව තුන් කාලක්ම නිරුවත් ලෙස ඇඳුමින් පැලඳුමින් සැරසී සිටීම හාස්‍යයට කරුණකි. නොගැළපීමකි. චිත්‍රපටය තුළ එය ඉස්මතුවකි. ඕනෑවටත් වඩා පවනිගේ චරිතය තුළින් සංකර අවස්ථා මතු වී පෙනෙයි. මෙයින් හින්දි, දමිළ චිත්‍රපටවල දැකගත හැකි ආටෝප අවස්ථා මතකයට නැගෙයි. එසේම ආලේප අවස්ථා බොහෝය. තරම ඉක්මවා සායම් කළ නිළි මුහුණු සමස්තය පුරා ඉස්මතුවකි. වේශ නිරූපණය යනු ආලේප තැවරීමම නොවන බවත්, ඊට එහා ගිය කාර්යයක් බවත් සයුරිගේ හැඩ ගැන්වීම් තුළින් පමණක් මතු වී පෙනෙයි.

සිහින තුළින් සිහිනවලට පණදීමට යත්න දැරීම නිසා සියල්ල ව්‍යර්ථ වී තිබේ. අධ්‍යක්ෂවරයා සිහින පිරි දේදුනු ආකාසයක අතරමං වී සිටියි. අස්ථාභාවිකව කතාව ගලා යන අන්දම විපරිතයකි. එහාට මෙහාට අවස්ථා අමුනා ගනිමින් කරන අසාර්ථක උත්සාහයකි. ඒ අතරින් කැමරා කෝණ, පසුබිම් සංගීතය, පසුතල අවස්ථා තුළින් චිත්‍රපටයට ලැබෙන්නේ කදිම අලංකාරයකි.

සිහිනයක් වූ අහඹු ලිපිය දිර්ඝ ජීවිත විරසකයකට ඉඩ නොතබා නිහඬවම අනතුරකින් සියල්ල කෙළවර කරලීමට අධ්‍යක්ෂවරයා උපායශීලී උත්සාහයක නිරත වී තිබේ.

දැනුම් තේරුම් තිබුණත් තුන්වන අවුරුද්්දේ අවසන් දින ප්‍රීතිමත් හමුවේදී අරමුණක් නැතිව තම පතිවත දන් දී එහි ජීවි ඵලය අනාගතයට සුරක්ෂිතව රැක ගනිමින් 'දඩයම' චිත්‍රපටයේ 'රත්මලී' වැන්නියක නොවන විහඟි හීන සමඟ ජීවත් වෙයි. ලස්සන රූපී කතාවක් විරූපී වී තිබේ. දීර්ඝ අතීතාවර්ජන අසාර්ථක රික්තයකි. වෙහෙසකර අත්විඳීමකි. දිගු පුරෝකතන චිත්‍රපටයේ ගැළපීමට බාධාවකි.

සයුරිගේ නර්තන රැඟුමින් පසු සමුද්‍රගේ සහ විහඟිගේ හමුවීම පෙර සූදානමක් වැන්න. නමුත් හමුවෙහි සංලාප බස අරුත් ගැන්වෙන සුලුය.

'එයා මෙහෙන් ගියේ නෑ සමුද්‍ර එයා මේ ගෙදරට ආවෙ නැහැ'

පවනිගේ අදිසි රූප මායාව, බලාපොරොත්තුවකින් සිටි සයුරිගේත් ඇගේ මව විහඟිගේත් ජීවිත කුටුම්බය ආලෝකමත් කරවන්නට සමත්වන බවට අධ්‍යක්ෂවරයා ඉඟි සපයයි.

'දේදුනු ආකාසේ ' චිත්‍රපටය සිහින ජාලයකි. සම්ප්‍රදායික සිහින කතා කලාව යළි සිහිපත් කරවීමක් මිස දෘෂ්ටාන්තයක් දැකිය හැකි ඉමක් නැති තරම්ය. කතාව සම්ප්‍රදායික පැරැණි සිනමා කතා කලාව සිහියට නංවයි. සියල්ල නවීකරණය වී තිබීම මෙහි ඇති වෙනස වේ. කඳුළු සැලීම අතීත සිනමා ආල කතාවල මෙනි. සමුද්‍රගේ මාර කඳුළු, අවුරුදු අටකට පසුවත් ඔහුගේ නෙතින් වැඟිරේ. අසරණ වූ විට සරණ වීම යහපත් දායාදයකැයි සිතන්නට අධ්‍යක්ෂවරයා උත්සාහ කර තිබේ.

හෝරා දෙකක් ඉක්මයත්දී අධ්‍යක්ෂවරයා දීර්ඝ ව්‍යායාමයකින් පසු රූප අවුල, මුල අග ගලපා ගනියි. රූප ගලා යාම දැවි දැවී පවතින කෙලෙස් සමුදායක් වැනිය. සෙනෙහස ගොළු වෙද්දී ආදරය කිරීම ඉස්මතුවීමක්දැයි ප්‍රශ්නාර්ථයකි. සරුව පිත්තල වැනි ආටෝපයෙන් පිරිපුන් සිහින යායක ප්‍රේක්ෂකයා අතරමං කරන අධ්‍යක්ෂවරයා ඊට රසවත්, ව්‍යාජ ගැළපීමක් එක් කර තිබේ.

සයුරිගේ කුසලතා ඉදිරියේ ඇයට අප්පච්චි හමුවීම ඔස්සේ 'දේදුනු ආකාසේ' සුඛාන්තයක් වීම උදෙසා පවනිගේ අදිසි පරිත්‍යාගය, චිත්‍රපටයේ දකින මායාමය වටිනාකමකි. සමස්ත චිත්‍රපටය තුළින්ම ඉතිරිවන වටිනාකම ද එයම පමණි.

දේදුනු, ආකාසේ පායන බව සැබවි. ඒ කවර අවස්ථාවන්හිදීදැයි තේරුම් නොගැනීම ප්‍රියන්ත කොළඹගේ නම් වූ බලාපොරොත්තු සපිරි අධ්‍යක්ෂවරයා අතින් සිදු වූ අත් වැරැද්දක්දැයි අවසානයේදී සිතේ.